01

E   |     |  

2026-01-22

පුවත් කාණ්ඩ : පුවත් 

ශ්‍රී ලංකා - බෙල්ජියම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට ගරු අමාත්‍ය (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා තේරී පත් වෙයි

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - බෙල්ජියම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට ගරු නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා තේරී පත් විය.

මෙම සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමේ රැස්වීම 2026.01.21 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ බෙල්ජියම් ගරු කොන්සල්වරයා වන කොන්රාඩ් ප්‍රින්ගර්ස් (Koenraad Pringiers) මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස රැස්වීමට සහභාගී විය. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනි නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය සංගමයේ ලේකම් ධුරයට තේරී පත් වූ අතර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පද්මසිරි බණ්ඩාර සහ ජී.ජී. පොන්නම්බලම් යන මහත්වරු  සංගමයේ සම භාණ්ඩාගාරික ධුරයට තේරී පත් වූහ.

මෙම හමුව අතරතුර, දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාවය මත පදනම් වූ දිගුකාලීන හා මිත්‍රශීලී සබඳතා සිහිපත් කළහ. පාර්ලිමේන්තු කටයුතු සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම අවධාරණය කරමින්, දෙපාර්ශ්වයම උනන්දුවක් දක්වන බහුවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ පියවර සම්බන්ධයෙන් ද සාකච්ඡාවලදී අවධානය යොමු විය.

එසේම මෙම රැස්වීමට පෙර, බෙල්ජියමේ ගරු කොන්සල්වරයා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූ අතර, එහිදී ද ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්විණි. 
 



සම්බන්ධිත පුවත්

2026-05-05

විගණන සේවා කොමිෂන් සභාවට පත්කළ නව සාමාජිකයන් සිවු දෙනෙක් කථානායකවරයා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දෙති

විගණන සේවා කොමිෂන් සභාවට පත් කරන ලද නව සාමාජිකයන් සිවු දෙනෙක් ඊයේ (මැයි 04) පාර්ලිමේන්තුවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්හ.හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ, හිටපු නියෝජ්‍ය විගණකාධිපති ජී. තේවඥානන්, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ සහ රාජ්‍ය සේවයේ විශ්‍රාමික නිලධාරියෙකු වන රත්න දේශප්‍රිය යන මහත්වරු විගණන සේවා කොමිෂන් සභාවේ නව සාමාජිකයන් ලෙස මෙසේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්හ. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 9 වැනි වගන්තිය ප්‍රකාරව, අධිකරණයක් හෝ පාර්ලිමේන්තුව නියම කරනු ලබන අවස්ථාවකදී හෝ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 9 (අ) වගන්තියට යටත්ව යම් ලිඛිත නීතියක් යටතේ නිශ්චිතව දක්වා ඇති විටකදී හැර විගණනයට අදාළ තොරතුරු රජයේ හෝ පෞද්ගලික අංශයේ කවර තැනැත්තෙකුට කවර හෝ ආකාරයෙන් හෙළිදරව් නොකරන බවටත් සාකච්ඡා හෝ ප්‍රකාශ කිරීම සිදු නොකරන බවටත් දිවුරුම් දීම සිදුකළ යුතු වේ.විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති, විගණකාධිපති සමුදිකා ජයරත්න, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහලේකම් හංස අබේරත්න, පාර්ලිමේන්තුවේ  ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ  එම්. ජයලත් පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 


2026-04-29

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සභිකයින්ට නිල ලාංඡන පැළඳවීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සභිකයින්ට නිල ලාංඡන පැළඳවීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී  පසුගියදා  (අප්‍රේල් 27) පැවැත්විණි.මේ අවස්ථාව සඳහා, ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම් විජේබණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන ගමගේ, පාර්ලිමේන්තුවේ හැන්සාඩ් සංස්කාරක නයනි ලොකුකොඩිකාර යන  මහත්ම මහත්මීහු සහභාගී වූහ. ඒ අනුව කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ  අභිනවයෙන් තේරී පත්වූ  ගරු  කථානායකවරිය, අග්‍රාමාත්‍යවරිය, අමාත්‍ය මණ්ඩලය සහ මන්ත්‍රීවරියන්  සහ  සඳහා  මෙලෙස  නිල ලාංඡන පැළඳවීම පැළඳවීම  හා සහතික පත් ප්‍රදානය කිරීම  සිදුවිය.මෙහිදී ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන ගමගේ යන මහත්වරුන්  අදහස් දක්වමින්  රට තුළ  සමානව  නීති ක්‍රියාත්මක   වීමේ වටිනාකම් සහ  ජනාධිපති අරමුදලේ  ක්‍රියාකාරිත්වය  සම්බන්ධයෙන්  කරුණු ඉදිරිපත් කළහ. එමෙන්ම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් සංස්කාරක නයනි ලොකුකොඩිකාර මහත්මිය විසින් ශිෂ්‍ය පාර්ලිමේන්තුවක වටිනාකම පිළිබඳව අදහස් දක්වමින් මෙරට පවතින අඩු දේශපාලනික සාක්ෂරතාව වර්ධනය කරගැනීමට  ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ වැදගත්කම අවධාරණය කලාය.පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, ශ්‍රී ලංකා පර්ලිමෙන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ  විදුහල්පතිනිය, නියෝජ්‍ය විදුහල්පති , ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.


2026-04-28

වියට්නාම ජනාධිපතිවරයා මැයි 8 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි

පාර්ලිමේන්තුව මැයි 5 සිට 8 දක්වා රැස්වෙයි - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයිවියට්නාම ජනාධිපති අතිගරු ටෝ ලාම් මැතිතුමා ලබන මැයි 8 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බවත් ඊට අදාළ වැඩසටහන ඇතුළු පාර්ලිමේන්තු කටයුතු ඊයේ (අප්‍රේල් 27) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.      මේ අනුව පාර්ලිමේන්තුව මැයි 5 සිට 8 දක්වා රැස්වීමට නියමිතව තිබේ.     2026 මැයි 5 වැනි අඟහරුවාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා   කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ වූ නියමයන් හතරක් ( අංක 2471/52, 2471/53, 2471/54, 2471/55 දරන අති විශේෂ ගැසට් පත්‍ර) සහ නියෝගයක් ( අංක 2475/28 දරන ගැසට් පත්‍රය) විවාදයට ගැනීමට තීරණය වී ඇත.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.2026 මැයි 6 වැනි බදාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.  පෙ.ව. 10.00 - පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව.  11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.  අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා බේරා ගැනීම, පුනරුත්ථාපනය සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ. 2026 මැයි 7 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දක්වා  ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නියෝග   (අංක 2471/68 දරන ගැසට් පත්‍රය) , (203 අධිකාරිය වූ) මෝටර් වාහන පනත යටතේ නියෝග (අංක 2470/14 දරන ගැසට් පත්‍රය) සහ (351 අධිකාරිය වූ) ආගාමික හා විගාමික පනත යටතේ නියෝග ( 2026.05.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත)  විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබේ. ඉන්පසු ප.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය සහ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබේ. 2026 මැයි 08 සිකුරාදා පෙ.ව. 11.05 ට පමණ වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ කොමියුනිස්ට් පක්ෂයේ නායක අතිගරු ටෝ ලාම් මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත අතර අනතුරුව පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත. ඉන්පසු  ප.ව. 1.30 සිට ප.ව. 5.30 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා 07 ක් විවාදයට ගැනීමට තීරණය වී තිබේ.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමපෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ මාතෘකාවගරු හේෂා විතානගේ මහතාජාතික ක්‍රීඩා කණ්ඩායමක් නියෝජනය කරනු ලබන හෝ ජාතික මට්ටමේ වාර්තාවකට හිමිකම් කියනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ ඕනෑම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවකාශ සලසා දීම.ගරු චමින්ද විජේසිරි මහතාවෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය පිළිබඳව පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සකස් කිරීම.ගරු රවී කරුණානායක මහතාසංක්‍රමණික සේවකයින් විසින් මුහුණ දෙනු ලබන ගැටළු විසඳීම සඳහා නීතිමය බලතල සහිත ඒකකයක් පිහිටුවීම.ගරු ලාල් ප්‍රේමනාත් මහතාබිම් මට්ටමේ පවතින සියලුම පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඇති ජනතා අප්‍රසාදය වළක්වා ගැනීමට කටයුතු කිරීම.ගරු රෝහණ බණ්ඩාර මහතාමහාචාර්ය, ආචාර්ය තනතුරු අවභාවිත කිරීම වළක්වා ගැනීමට වැඩ පිළිවෙළක් සකස් කිරීම.ගරු නලින් බණ්ඩාර ජයමහ මහතාඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නියාමනයට යටත් කිරීම.ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතාෆයිනස් වගාවන් හේතුවෙන් ජල මූලාශ්‍ර වලට සහ පරිසරයට සිදුවන හානිය වැළැක්වීමට ක්‍රමවේදයක් සකස් කිරීම.


2026-04-23

අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයාර් නසීර් මහතා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවෙයි

අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයාර් නසීර් (Nayyar Naseer) මහතා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගියදා  (අප්‍රේල් 21) පාර්ලිමේන්තුවේදී හමු විය. මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ පකිස්තාන නියෝජ්‍ය මහ කොමසාරිස් සුනෙයිරා ලතීෆ් (Zunaira Latif) මහත්මිය සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහභාගී වූහ.ශ්‍රී ලංකාව වැනි සංස්කෘතික උරුමයෙන් පොහොසත් හා මිත්‍රශීලී රාජ්‍යයක ප්‍රථම වරට මහ කොමසාරිස්වරයකු ලෙස රාජකාරියෙහි නිරත වීමට ලැබීම ඉමහත් සතුටක් හා ගෞරවයක් බව ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස්වරයා අවධාරණය කළේය. දශක ගණනාවක් තිස්සේ දෙරට අතර පැවතෙන දීර්ඝ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ඵලදායී මට්ටමකට ගෙනයාමට තමන්  කැපවී සිටින බවද අභිනව මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ගරු කථානායකවරයා, අභිනව පකිස්තාන මහ කොමසාරිස්වරයාට සිය සුබපැතුම් එක් කරමින්, ශ්‍රී ලංකාව මුහුණ දුන් සෑම අර්බුදකාරී අවස්ථාවකදීම අඛණ්ඩව ලබාදුන් සහාය සම්බන්ධයෙන් පකිස්තාන රජයට හා ජනතාවට කෘතඥතාව පළ කළේය. රටේ යුධමය අර්බුදයේ සිට "දිට්වා" සුළිකුණාටුව ඇති කළ ව්‍යසනකාරී ස්වාභාවික විපත දක්වා වූ විවිධ අවස්ථාවන්හිදී පකිස්තානය ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය, සැබෑ මිත්‍රත්වයේ ප්‍රකාශනයක් ලෙස ගරු කථානායකවරයා කෘතවේදීව සිහිපත් කළේය.වර්තමාන ජාත්‍යන්තර සන්දර්භය තුළ ගෝලීය සමගිය ඇති කිරීම උදෙසා පකිස්තානය ක්‍රියාශීලී මැදිහත්කරුවකු ලෙස ඉටු කරමින් සිටින වැදගත් කාර්යභාරය ගරු කථානායකවරයා විශේෂයෙන් ඇගයීමට ලක් කළේය. එමෙන්ම ශ්‍රී ලංකා – පකිස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීම තුළින් දෙරටේ ව්‍යවස්ථාදායකයන් අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉඩකඩ සැලසී ඇති බවද ගරු කථානායකවරයා අවධාරණය කළේය.එමෙන්ම  ගන්ධාර කලා නිර්මාණයට අයත්  පකිස්තානයේ ලාහෝර් කෞතුකාගාරයේ තැන්පත්ව පවතින බුදුරජාණන් වහන්සේගේ දුෂ්කර ක්‍රියාව නිරූපණය කරන ප්‍රතිමාවහන්සේ (Fasting Buddha Statue) ශ්‍රී ලාංකික සැදැහැවතුන් හට දැකබලා වන්දනා කිරීමට අවස්ථාව සලසා දීම පිණිස, මෙරටට වඩම්මවා ගැනීම සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස්වරයාගෙන්  ඉල්ලීමක් සිදු කළේය.සුන්දර ස්වාභාවික පරිසරයකින් හා සංග්‍රහශීලී ජනතාවකින් සමන්විත ශ්‍රී ලංකාවට සංචාරක කර්මාන්තය තවදුරටත් වර්ධනය කර ගැනීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය. එමෙන්ම නවීන තාක්ෂණය ඇසුරු කරගත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පකිස්තානය සතු අත්දැකීම් හා දැනුම ශ්‍රී ලංකාව සමඟ හුවමාරු කර ගැනීමට සූදානම් බවද පකිස්තාන මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.තවද මෙහිදී ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස්වරයා, ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා හමුවී සුහද සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී දෙපාර්ශ්වය විසින් ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත්හ. දෙරට අතර අධ්‍යාපන ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන් ශක්තිමත් කිරීම මෙන්ම දෙරටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් ව්‍යාප්ත කිරීම පිළිබඳවද මෙම සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස්වරයා මෙම සංචාරයේදී පාර්ලිමේන්තුවේ සභා නායක ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා ද හමුවී  සුහද සාකච්ඡාවක නිරත වූ  අතර, එහිදී ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳ පුළුල් සාකච්ඡාවක් ඇති විය."දිට්වා" සුළිකුණාටුව ඇති කළ ව්‍යසනකාරී ස්වාභාවික විපත අවස්ථාවේ පකිස්තානය ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය වෙනුවෙන් ගරු අමාත්‍යවරයා සිය ගැඹුරු කෘතඥතාව පළ කළේය. පසුගිය වසරේ පකිස්තානයේ පැවැති කලාපීය ප්‍රවාහන අමාත්‍යවරුන්ගේ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වූ අත්දැකීම සිහිපත් කළ ගරු අමාත්‍යවරයා, 2028 වසර අවසාන වන විට මෙරටේ යෝජිත අධිවේගී මාර්ග ජාලයේ සියලු ඉදිකිරීම් කටයුතු නිමා කර ජනතා අයිතියට පත් කිරීමට සැළසුම් කොට ඇති බවද අවධාරණය කළේය.දෙරටේ ආයෝජන අවස්ථා හා සංචාරක කර්මාන්තය සංවර්ධනය සඳහා ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග මෙන්ම පාර්ලිමේන්තු හා පළාත් පාලන මට්ටමේ ජනතා නියෝජිතයන් අතර අත්දැකීම් හුවමාරු වැඩසටහන් ආදී  ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි මෙම හමුවේදී විශේෂ අවධානය යොමු විය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks