04

E   |     |  

2026-01-21

පුවත් කාණ්ඩ : පුවත් 

සියලු දෙනා එක්ව තෛපොංගල් උත්සවය සැමරීම පොදු මනුෂ්‍යත්වය සහ ජාතියක් ලෙස එකමුතුකමේ බලය පිළිබිඹු කරනවා - ගරු කථානායක (වෛද්‍ය ) ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවේ පැවති ‍තෛයිපොන්ගල් සැමරුමේදී පවසයි

පාර්ලිමේන්තුවේ සියලු දෙනා එක්ව  සැබෑ උද්යෝගයකින් තෛපොංගල් උත්සවය සැමරීම තුළින් මනුෂ්‍යත්වයේ සැබෑ සුන්දරත්වයත් එකම ශ්‍රී ලාංකේය ජාතියක එකමුතුකමත් පිළිබිඹු කරන බව ගරු කථානායක (වෛද්‍ය ) ජගත් වික්‍රමරත්න මහතා පැවසීය. රටකට දියුණු විය හැක්කේ එහි ජනතාව සිය සංස්කෘතික විවිධත්වය රැකගනිමින්  එකම ජාතියක් ලෙස පෙනී සිටින විට පමණක් බවත් කථානායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

පසුගිය 15 වන දිනට යෙදුණු තෛපොංගල් දිනය සැමරීම සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද (ජන. 21) පැවති තෛපොංගල් උත්සවයට එක්වෙමින් ගරු කථානායකවරයා මේ බව පැවසීය .

මෙහිදී  පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළේ තෛපොංගල් උත්සවය හුදෙක් උත්සවයක් පමණක් නොව, ශ්‍රී ලාංකිකයන් කෘෂිකර්මාන්තය සහ සොබාදහම කෙරෙහි දක්වන ගැඹුරු ගෞරවයේ වැදගත් සැමරුමක් බවයි. රට වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විවිධ ආගමික හා සංස්කෘතික පසුබිම් සහිත ප්‍රජාවකින් යුතු බවත් බවත් ඇය පෙන්වා දුන්නාය. විවිධත්වයක් සහිත සංස්කෘතික උරුමයන් පිළිබඳ අවබෝධයෙන් යුතුව එකමුතුකමින් මෙවැනි සැමරුම් සංවිධානය කිරීම සුවිශේෂී අවස්ථාවක් බවත්  ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා  මහතාගේ ඉල්ලීම අනුව ගරු කථානායකතුමාගේ මඟ පෙන්වීම යටතේ මෙම සැමරුම සංවිධානය කර තිබිණි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමග එක්ව මෙම උත්සවය සංවිධානය කරන ලදී. 

දෙමළ සංස්කෘතිය පිළිබඳ දැනුවත්භාවය සහ වටිනාකම් ප්‍රවර්ධනය කිරීම, දෙමළ ප්‍රජාවේ උරුමයන් සහ සම්ප්‍රදායන්ට ගරු කිරීම සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය තුළ ජාතික අනන්‍යතාවයක් පෝෂණය කිරීම ඇතුළු ප්‍රධාන අරමුණු කිහිපයක් ඔස්සේ මෙම උත්සවය සංවිධානය කරන ලදී.

ඒ අනුව, අද උදෑසන ආගමික චාරිත්‍ර වාරිත්‍ර සමඟ ආරම්භ තෛපොංගල් උත්සවය දමිල සංස්කෘතික නැටුම් ගැයුම්වලින් අලංකෘත විය. මෙම උත්සවය අලංකාර කෝලම් රටාවන් සහ හින්දු ආගමික සැරසිලිවලින් වර්ණවත් වූ අතර  සෞභාග්‍ය සහ  කෘතඥතාව පිරිනැමීම සංකේතවත් කිරීම සඳහා සාම්ප්‍රදායික පොංගල් බත සකස් කිරීම සිදුවිය විය.

මෙම අවස්ථාවට මයුරපති කෝවිලේ හින්දු ආගමික පූජකවරු  ද නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි, ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු සභානායක සහ අමාත්‍ය බිමල් රත්නායක, ගරු බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, ගරු ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් ගරු. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීහු  ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 

එසේම පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්වරු පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලය  ඇතුළු  පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



සම්බන්ධිත පුවත්

2026-02-17

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

• පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකයත් හිමිවෙයි පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (පෙබ. 17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152 කින් සම්මත විය. අද පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වූ  මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදයෙන් අනතුරුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය. ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154 ක් ද විපක්ෂව ඡන්ද 2 ක් ද හිමිවිය. අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක සහ චාමර සම්පත් දසනායක යන මහත්වරු විසින් පනත් කෙටුම්පතේ 3වන වගන්තිය සඳහා සංශෝධන ඉදිරිපත් කළහ.  ඒවා නොපිළිගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් දැනුම් දුන් අතර එහිදී චාමර සම්පත් දසනායක මහතා විසින් සිය සශෝධනයට අදාළව ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය. ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය සංශෝධනයකින් තොරව සම්මත කිරීම සඳහා ඡන්ද 152 ක්ද ද යෝජිත සංශෝධනය කිරීම සඳහා පක්ෂව 4ක් ද හිමිවිය. එසේම   ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් පනත් කෙටුම්පතේ 4 වැනි වගන්තිය සඳහා ද සංශෝධනයක් ඉදිරිපත් කරන ලද අතර එය නොපිළිගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් දැනුම් දෙන ලදී. ඉන්පසු පනත්කෙටුම්පත තෙවැනිවර කියවීමෙන් අනතුරුව සංශෝධන රහිතව සම්මත කෙරිණි.මෙම පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් 2026 ජනවාරි මස 07 වන දින පළමුවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.තවද මෙම පනත් කෙටුම්පතට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සහතිකය ද අද හිමිවිය. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2026 අංක 5 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වනු ඇත.ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම මෙම පනත මගින් සිදුවේ. ඒ අනුව පනතේ 3 වගන්තිය ප්‍රකාරව, මෙම පනත ක්‍රියාත්මකවීම ආරම්භවන දිනට පෙරාතුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇති සහ විශ්‍රාම වැටුප් ලබන යම් තැනැත්තෙකුට මෙම පනත ක්‍රියාත්මකවීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව එම විශ්‍රාම වැටුප් ලැබී‍ම නතර‍වීම සිදුවේ. 


2026-02-12

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් පකිස්ථානයේ කරච්චි නුවර පැවති 7 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කලාපීය සමුළුවට සහභාගී වෙති

පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතාගේ නායකත්වයෙන් යුත් මෙරට පාර්ලිමේන්තු නියෝජිත පිරිසක්, 2026 පෙබරවාරි 3 සිට 7 දක්වා පකිස්ථානයේ කරච්චි නුවර  පැවති 7 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) ආසියානු කලාපීය සමුළුව, 2 වන ඒකාබද්ධ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කඳවුරට සහ  නැගෙනහිර ආසියානු කලාපීය සමුළුවට සහභාගී වූහ. පකිස්තානයේ සින්ද් පළාත් සභාව විසින් සත්කාරකත්වය දරන ලද මෙම සමුළුව "අනාගතයේ පාර්ලිමේන්තු: විශ්වාසය, සියලුදෙනාටම අවස්ථාවන් ලබාදීම, නවෝත්පාදනය සහ සාමය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය නැවත අර්ථ දැක්වීම." යන තේමාව ඔස්සේ පැවැත්විණි.ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ගරු විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් අගලකඩ, සුජීව දිසානායක සහ සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන් ඇතුළත් වූහ. 2026 පෙබරවාරි 3 වන දින පැවති සමාරම්භක උත්සවයට පකිස්ථාන ජාතික සභාවේ කථානායක ගරු සර්දාර් අයාස් සාදික් මහතා සහභාගී විය. මෙම සමුළුවට පකිස්ථානය, මාලදිවයින සහ මැලේසියාව මෙන්ම පළාත් සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන් කිහිපයක නියෝජිතයින් ද ඇතුළුව ආසියාව සහ නැගෙනහිර ආසියානු රටවල  සභාපතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු නිලධාරීන් සහභාගීව සිටියහ.“සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාසය: සංහිඳියාව සඳහා පාර්ලිමේන්තු” යන මැයෙන් පැවති පළමු සැසිවාරයේදී ගරු නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතා මෑත කාලීන ආර්ථික හා දේශපාලන අභියෝගවලින් පසු ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාසය නැවත ගොඩනැගීමේදී ශ්‍රී ලංකාවේ අත්දැකීම් සඳහන් ක‍ළේය. විනිවිදභාවය, අධීක්ෂණ කාරක සභා, දූෂණ විරෝධී යාන්ත්‍රණ සහ තරුණ සහභාගීත්වය තුළින් සාකච්ඡා සහ සංවාදය ප්‍රවර්ධනය කරන සහ වගවීම ශක්තිමත් කරන ආයතන ලෙස නූතන පාර්ලිමේන්තු ක්‍රියා කළ යුතු බව ඔහු අවධාරණය කළේය. එසේම එය  සංහිඳියාව, විශ්වාසය, කල් පවතින සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍ය අත්තිවාරම බව ද නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.“පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ අධ්‍යාපනය: එදිනෙදා ජීවිතයේදී ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ඇති කිරීම” යන මාතෘකාව යටතේ පැවති සැසියේදී, නියෝජ්‍ය කථානායකවරයා ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපන රාමුව, ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන්, තරුණ පාර්ලිමේන්තු වැඩසටහන් සහ පාර්ලිමේන්තුවේ මහජන සම්බන්ධතා ක්‍රියාකාරකම් පැහැදිලි කළ අතර, පාසල් මට්ටමේ සිට වැඩිහිටි විය දක්වා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ පාර්ලිමේන්තු වගවීම පිළිබඳව පුරවැසියන් දැනුවත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.ගරු විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් අගලකඩ සුජීව දිසානායක, සහ ගරු සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරු “සාමකාමී සමාජවල පෙරගමන්කරුවන් ලෙස පාර්ලිමේන්තු: ව්‍යාජ ප්‍රවෘත්ති, කෘතීම බුද්ධිය (AI) සහ වැරදි තොරතුරු වැඩිවීම”, “පැවැත්ම සඳහා නීති සම්පාදනය: දේශගුණික ප්‍රතිරෝධී හැකියාව සහ අවදානම”: “ස්ත්‍රී පුරුෂ සමාජභාවය, තාක්ෂණය සහ විශ්වාසය: මාර්ගගත ප්‍රචණ්ඩත්වයෙන් සහ ඩිජිටල් අවකාශයේ හිංසනයන්ගෙන් කාන්තා නායිකාවන් ආරක්ෂා කිරීම” යන මාතෘකා යටතේ සැසිවාරවලට සහභාගී වෙමින් සිය දායකත්වයන් ලබා දුන්හ.සමාප්ති උත්සවයේදී, ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා ස්තූති කතාව පවත්වමින්, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) ආසියානු කලාපයට, CPA සින්ද් ශාඛාවට සහ පකිස්ථාන පාර්ලිමේන්තුවට ඔවුන්ගේ උණුසුම් ආගන්තුක සත්කාර සහ සංවිධාන ශක්තිය වෙනුවෙන් කෘතඥතාව පළ කළේය. මෙම සමුළුව, සංවාදය සහ අත්දැකිීම් හුවමාරුව සඳහා වටිනා වේදිකාවක් සපයමින් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීමේදී ශක්තිමත් පාර්ලිමේන්තුවල වැදගත්කම නැවත තහවුරු කළ බවත් ඔහු පෙන්වා දුන්නේය. එසේම  මෙම සහයෝගීතාව ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය ද  නියෝජ්‍ය කථානායකවරයා අවධාරණය  කළේය.සහභාගී වූ නියෝජිතයෝ කරච්චි ප්‍රකාශනය සම්මත කර ගැනීමෙන් සමුළුව අවසන් වූ අතර ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ව්‍යවස්ථාමයබව, පාර්ලිමේන්තු වගවීම, සියලු දෙනා හට අවස්ථාව ලබා දීම, නවෝත්පාදනය සහ තිරසාර සාමය සඳහා කැපවීම නැවත තහවුරු කෙරිණි. එසේම  මහජන විශ්වාසය පහත වැටීම, ව්‍යාජ තොරතුරු සංසරණය සහ  දේශගුණික අවදානම වළක්වා ගැනීම මෙන්ම පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය හරහා තාක්ෂණික දියුණුව ඇති කිරීමේ අවශ්‍යතාවත් මෙහිදී අවධාරණය කෙරිණි.


2026-02-10

විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම සඳහා අයදුම්පත්‍ර කැඳවනු ලැබේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ ව්‍යවස්ථාව යටතේ, විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ ඇතිවීමට නියමිත පුරප්පාඩු පිරවීම සඳහා මේ පිළිබඳ උනන්දුවක් දක්වන තැනැත්තන්ගෙන් අයදුම්පත්‍ර කැඳවනු ලැබේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153අ ව්‍යවස්ථාව යටතේ, විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා පහත සඳහන් පත්වීම් සඳහා සුදුසු තැනැත්තන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ගරු ජනාධිපතිතුමා වෙත නිර්දේශ කළ යුතුය:i.    නියෝජ්‍ය විගණකාධිපති ධුරය හෝ ඊට ඉහළින් වූ ධුරයක් දරන ලද විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් නිලධරයන් දෙදෙනෙක්;ii.    ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ හෝ මහාධිකරණයේ විශ්‍රාමලත් විනිශ්චයකාරවරයෙක්; සහiii.    ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විශ්‍රාමලත් I වන පන්තියේ නිලධරයෙක්.මීට අදාළ අයදුම්පත්‍ර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියෙහි ක්ෂණික සබැඳි යටතේ ‘විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම’ නමින් පළකර ඇති අයදුම්පත්‍රයට අනුකූලව පිළියෙල කරනු ලැබිය යුතු ය. නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2026 පෙබරවාරි 20 දින හෝ එදිනට පෙර,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - කාර්යාලය    ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව    ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේයන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කරනු ලැබිය යුතුය. ලියාපදිංචි තැපෑලෙන් එවනු ලබන ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය. 


2026-02-10

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරි 17

පාර්ලිමේන්තුව පෙබරවාරි  17 වන දා  සිට  20 වන දා දක්වා  රැස්වෙයි.පාර්ලිමේන්තුව පෙබරවාරි 17 වන අඟහරුවාදා සිට 20 වන සිකුරාදා දක්වා රැස්වීමට නියමිත ය. 2026.02.06 වන දින ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.මේ අනුව 2026 පෙබරවාරි 17 වන අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත (දෙවන වර කියවීම) විවාදයට ගැනීමට සහ ප.ව. 5.00ට මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීම සඳහා වූ  යෝජනාව ද  අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටද නියමිතය.අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.2026 පෙබරවාරි 18 වන බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තුනක්, (235 අධිකාරය වූ) රේගු ආඥාපනත යටතේ අංක 2464/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති යෝජනා සම්මතය සහ (203 අධිකාරය වූ) මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් විවාදයට ගෙන  අනුමත කිරීමට නියමිතව තිබේ.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.2026 පෙබරවාරි 19 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සහ විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී ඇත.අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.2026 පෙබරවාරි 20 වන සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන, “බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ගැටලු” යන මැයෙන් වූ යෝජනාවකට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී එකඟත්වය පළ වී තිබේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks