පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-01-13
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
2026-01-14
නව තානාපතිවරුන් තිදෙනෙකු සහ නව මහ කොමසාරිස්වරයෙකුගේ පත්වීම් සඳහා වන නාමයෝජනා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබේ. එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ පත්වීමකටද උක්ත කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ එම කාරක සභාව පසුගියදා (ජන. 09) අචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි. ඒ අනුව, මැලේසියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස දර්ශන මහේන්ද්‍ර පෙරේරා මහතා පත්කිරීම සහ ස්විට්සර්ලන්තයේ නව ශ්‍රී ලංකා තානාපති සහ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරයා ලෙස දසනායක මුදියන්සේලාගේ සුමිත් ප්‍රියන්ත දසනායක මහතා පත් කිරීම සඳහා වන නාම යෝජනාවලට උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් සිය අනුමතිය ලබාදී තිබේ.එමෙන්ම, ඔස්ට්‍රියා ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය සහ නිත්‍ය නියෝජිතවරිය ලෙස දයානි මෙන්ඩිස් මෙනවිය සහ රුමේනියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සමන්ත ප්‍රියදර්ශන වීරසිංහ පතිරණ මහතා පත්කිරීම සඳහා වන නාම යෝජනාවලටද එහිදී කාරක සභාවේ අනුමතිය හිමිවිය.එයට අමතරව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතා පත් කිරීමටද පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.
2026-01-14
විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක පිළිබඳ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් 2026.01.09 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක මගින් මහ මුහුදේදී අන්තරායදායක ඖෂධ වර්ග ජාවාරම් හා නිෂ්පාදන ක්‍රියාමාර්ග පාලනය සඳහා පවතින නීති සංශෝධනය කර නව නීති සහ විධි විධාන හඳුන්වාදීම සිදු කිරීමට නියමිතය.කාරක සභාවේදී මෙම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීම සිදු වූ අතර පැමිණ සිටි කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් මෙම පනත් කෙටුම්පත්වලට ඇතුළත් විය යුතු තවත් සංශෝධන කිහිපයක්ද යෝජනා කරන ලදි. ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගැනීම සහ අමාත්‍ය මණ්ඩල අනුමතිය සඳහා ඉදිරිපත් කිරීම සිදු කළ යුතු බව නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අනුව ඉදිරියේදී කාරක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් නැවත සමාලෝචය කිරීමට තීරණය විය.එසේම මෙහිදී රජයේ රස පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම සම්බන්ධයෙන් සහ eZ-cash සහ mCash මත්ද්‍රව්‍ය ජාවාරමේදී යොදාගැනීම සම්බන්ධයෙන් වාර්තා වන බවත් එබැවින් මේ සම්බන්ධයෙන් ගත හැකි නීතිමය පියවර සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීම සිදු විය.මෙම රැස්වීමට ගරු නියොජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, (නීතීඥ) අජිත් පී පෙරේරා, (ජනාධිපති නීතීඥ) ෆයිසර් මුස්තාපා, (නීතිඥ) තුෂාරි ජයසිංහ සහ චන්දන සූරියආරච්චි, (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
2026-01-13
ලැබුණු වන්දි මුදල් ඉතිරි වී ඇත්නම් එම මුදල් නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධ කාරණයකට වියදම් කරන ලෙස කාරක සභාවෙන් නිර්දේශඑක්ස්ප්‍රස් පර්ල් (X – Press Pearl) නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් ලැබුණු වන්දි මුදල් ධීවරයන්ට ගෙවීම සහ වෙරළ සංරක්ෂණය සඳහා යෙදවීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.මේ අනුව මේ වන විට ලැබී ඇති වන්දි මුදල් ප්‍රමාණය සහ ඒවායින් ධීවරයන්ට වන්දි වශයෙන් ගෙවා ඇති මුදල් ප්‍රමාණය, වෙරළ ආරක්ෂණය වෙනුවෙන් වියදම් කර ඇති මුදල් ප්‍රමාණය සහ මේ වන විට ඉතිරි වී ඇති මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙසද මෙහිදී කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි. මේ පිළිබඳ අවධානය යොමු වූයේ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් 2026.01.08 පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී මෙම නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් සිංගප්පූරුවේ සහ ශ්‍රී ලංකාවේ පවරා ඇති නඩුවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද පැමිණි පාර්ශ්වවලින් කරුණු විමසීම සිදු විය. එසේම ශ්‍රී ලංකාවේ නඩු පැවරීමේ ක්‍රියාවලියට පරිභාහිරව සිංගප්පූරුවේ නඩු පැවරීම සිදු වූ ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. තවද ඉදිරියේදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කිරීමේ අවශ්‍යතාවයද කාරක සභාවේ සභාපතිවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදි.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) අජිත් පී. පෙරේරා, රොෂාන් අක්මීමන, එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, (නීතිඥ) චිත්‍රාල් ප්‍රනාන්දු, (නීතිඥ) භාග්‍ය ශ්‍රී හේරත් සහ අබූබකර් අතම්බාවා යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. එසේම පරිසර අමාත්‍යාංශය, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය (NARA) නියෝජනය කරමින් නිලධාරීහුද මෙම කාරක සභාව සඳහා සම්බන්ධ වී සිටියහ.
2026-01-13
යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සඳහා සකස් කර ඇති කෙටුම්පත සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර අදාළ සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සාකච්ඡාවක් පැවැත්විය යුතු බව පසුගියදා රැස්වූ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ සභාපතීත්වයෙන් ජන. 07 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව අවධාරණය කෙරිණි.ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ සාමාජිකයින් පැවසුවේ ජාතික බලශක්ති ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්තිය ය සඳහා කෙටුම්පතක් සකස් කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් මහජනතාවගේ සහ අදාළ පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්ය. පිරිවැය-ඵලදායී මිල ගණන් යටතේ කාර්යක්ෂම විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා මෙම ප්‍රතිපත්ති සකස් කර ඇති බව ද ඔවුහු සඳහන් කළහ.මෙම ප්‍රතිපත්ති සකස් කිරීමේ කටයුතු පුළුල් සාකච්ඡාවලින් අනතුරුව සිදු කළ යුතු බව ප්‍රකාශ කළ කාරක සභා සභාපතිවරයා, පෞද්ගලික අංශය ඇතුළු විදුලිබල ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශ්වයන්ගේ අදහස් සලකා බැලීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්ති කෙටුම්පත ඇතුළුව යෝජිත ගාස්තු ප්‍රතිපත්තිය මෙම කාරක සභා රැස්වීමේදී විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී. බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු විශේෂඥයින් මේ පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කළහ.මෙම කාරක සභා රැස්වීමට කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, මංජුල සුරවීර ආරච්චි, චතුර ගලප්පත්ති, රවීන්ද්‍ර බණ්ඩාර, ධනුෂ්ක රංගනාත්, අසිත නිරෝෂණ එගොඩ විතාන, ජගත් විතාන, ශාන්ත පද්ම කුමාර සුබසිංහ, නීතිඥ ගීතා හේරත්, යන මහත්ම මහත්මීහු ද කාරක සභා සභාපතිවරයාගේ අනුමතිය මත ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks