E   |     |  

2026-01-08

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීම) පනත යටතේ නියෝගයට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

පාර්ලිමේන්තුවේ හෙට (ජන. 9) විවාදයට ගැනීමට නියමිත (129 අධිකාරිය වූ) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීම) පනත යටතේ නියෝගයට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය. 

එම කාරක සභාව, කම්කරු අමාත්‍ය (ආචාර්ය) අනිල් ජයන්ත මහතාගේ සභාපතීත්වයෙන් සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ සහභාගීත්වයෙන් 2026.01.06 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය ලබාදීම සිදුවිය. 

කම්කරු අමාත්‍යවරයා විසින් 2025.12.12 දින සාදන ලද මෙම නියෝගය 2025.12.18 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. “කිසියම් නේවාසික හෝටලයක අමුත්තන් පිළිගන්නියක්, කාන්තා ඇඳුම් කාමර සේවිකාවක්, කාන්තා රෙදිපිළි ගබඩා සේවිකාවක් හෝ කාන්තා සනීපාරක්ෂක සේවිකාවක් වශයෙන් අවුරුදු දහඅටට එළඹ සිටින කවර ස්ත්‍රියක් වුව ද පෙ.ව 6.00 ට පෙර හෝ ප.ව 6.00න් පසුව සේවයේ යෙදවිය හැකිය” යනුවෙන් දැනට පවතින නෛතික ප්‍රතිපාදනය මෙම නියෝගය මගින් සංශෝධනය කෙරේ. ඒ අනුව එම නියෝගය මගින් අවසර ලබා දී ඇති නියමිත සේවාවන්ට අමතරව නේවාසික හෝටල්වල සේවයේ යෙදී සිටින  ආහාර පාන පිළිගන්වන කාර්යයෙහි නියැලෙන වයස අවුරුදු 18ට වැඩි සේවිකාවන්ද  (Food and Beverage Stewardess) පස්වරු 6.00ට පසු හෝ පසුදා  පෙරවරු 6.00ට පෙර, සේවයේ  යොදවා ගැනීමට හැකිවන පරිදි අවශ්‍ය  නෛතික සංශෝධන මෙම නියෝගය මගින් හදුන්වා දී ඇත. 

එසේවුවද මෙම නියෝගය යටතේ සේවයේ නියුක්ත කරවන ලද යම් ස්ත්‍රියකගේ සේවා මුරය පස්වරු හයත් පසුදා පෙරවරු හයත් අතර වේලාවකදී අවසන් වන අවස්ථාවකදී , එකී සේවා මුරය අවසන් වූ  අවස්ථාවේ සිට පෙරවරු හය දක්වා එම ස්ත්‍රීයට සුදුසු නවාතැනක් සැපයීම හෝ එම ස්ත්‍රීයගේ සුපුරුදු වාසස්ථානය වෙත ප්‍රවාහන පහසුකම් සැපයීම ඇතුළුව එම ස්ත්‍රීයගේ සෞඛ්‍යාරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් සේවා යෝජකයා වගකිව යුතු බවටත් නෛතික ප්‍රතිපාදන සහිත බව නිලධාරීහු මෙහිදී කාරක සභාවට දැනුම් දුන්හ. 

මෙරට වර්තමාන කාන්තා ජනගහන ප්‍රතිශතය 51%ක් පමණ වන නමුත් කාන්තා ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 34%ක් පමණ වේ. එසේම වර්තමානයේ ශීඝ්‍රයෙන් දියුණුවන සංචාරක ක්ෂේත්‍රයට පහසුකම් සැපයීම සඳහා කාන්තා ශ්‍රම දායකත්වයට වැඩි කිරීමට අවස්ථාවක් සලසා දීමේ අරමුණින් පවතින නීතිමය සීමාවන් ලිහිල් කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් මෙහිදී සාකච්ඡා විය. 

එසේම කාන්තා ශ්‍රමිකයන් ඇතුළු සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගතහැකි පියවර පිළිබඳ යෝජනා රැසක් මෙන්ම වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකිරී‍මට අදාළ තත්ත්වයන් පිළිබඳ කරුණු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් කාරක සභාවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ඉදිරියේදී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමටත් අපේක්ෂා කරන බව ගරු කම්කරු අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නේය. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක්ද කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු කම්කරු අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. 




සම්බන්ධිත පුවත්

2026-05-15

ද්විපාර්ශ්වික සහ පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඉන්දියාවේ නිල සංචාරයක

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයකට අනුව  කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ  සංසදයේ  නියෝජිත පිරිසක්, මේ මස  10 සිට 16 දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වෙමින් සිටී.ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා දිගුකාලීන පාර්ලිමේන්තු, සංස්කෘතික සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, කාන්තා සවිබල ගැන්වීම, පාර්ලිමේන්තු කටයුතු, සමාජ සංවර්ධනය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී පාලනයට ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණයි.නියෝජිත පිරිස පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටා ඇති මහත්මා ගාන්ධි පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදු කළ අතර, ලෝක් සභාවේ කථානායක ගරු ඕම් බිර්ලා මහතා සමඟද සාකච්ඡා පැවැත්වූහ. එහිදී දෙපාර්ශ්වයම අන්තර්-පාර්ලිමේන්තු සහයෝගිතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළහ.නියෝජිත පිරිස ඉන්දියාවේ කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වූහ. එහිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස, කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යවරිය ගරු අන්නපූර්ණා දේවී මහත්මිය සමග කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන්, ළමා සුභසාධනය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සංවේදී ප්‍රතිපත්ති සහ දෙරට අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ හොඳම භාවිතයන් හුවමාරු කර ගැනීමේ අවස්ථා පිළිබඳව ඵලදායී සාකච්ඡා පැවැත්වූහ.මෙම නියෝජිත පිරිස දිල්ලි පොලිස් කොමසාරිස්වරයාද හමුවී, කාන්තාවන්ට හා ළමුන්ට එරෙහි අපරාධ වැළැක්වීම සහ ඒවාට මුහුණ දීමේදී අනුගමනය කරන හොඳම ක්‍රමවේද හා උපාය මාර්ග පිළිබඳව ඵලදායී සාකච්ඡා පැවැත්වූහ. එහිදී විශේෂයෙන් කාන්තා හා ළමා ආරක්ෂාව, ආරක්ෂණ යාන්ත්‍රණ, නීතිමය බලාත්මක කිරීම සහ ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳව විශේෂ අවධානය යොමු විය.නියෝජිත පිරිස, කාන්තා නායකත්වයෙන් යුත් ස්වයං සහාය කණ්ඩායම්  (Self-Help Groups) සමඟ මෙන්ම  ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ කාන්තා සංවිධානයේ (FICCI FLO) නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වූහ.සංචාරය අතරතුර, නියෝජිත පිරිස ඉන්දීය පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනය (PRIDE) විසින් සංවිධානය කරන ලද පුළුල් වැඩසටහනකට සහභාගී වෙමින් සිටී. මෙම වැඩසටහනට ඉන්දියානු පාර්ලිමේන්තු ක්‍රමය, කමිටු පද්ධතිය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා ආචාරධර්ම පිළිබඳ සැසි මෙන්ම කාන්තා නායකත්වයෙන් යුතු සංවර්ධන වැඩසටහන් සහ කාන්තාවන් හා ළමුන් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා ඉන්දියාව විසින් අනුගමනය කරන හොඳම ක්‍රමවේද පිළිබඳ සාකච්ඡාද ඇතුළත් වේ.ඉදිරි දිනවලදී නියෝජිත පිරිස නවදිල්ලි ප්‍රධාන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර අග්‍රා නගරයේ පිහිටි ටාජ් මහල්, අග්‍රා කොටුව ඇතුළු වැදගත් සංස්කෘතික හා ඓතිහාසික ස්ථානවල සංචාරය කිරීමටද නියමිතය.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් පාර්ලිමේන්තු කටයුතු හා ප්‍රජා සම්බන්ධතා වැඩසටහන් මඟින් ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය, කාන්තා සවිබල ගැන්වීම සහ සමාජ ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කිරීමේදී වැදගත් භූමිකාවක් අඛණ්ඩව ඉටු කරමින් සිටී.මෙම සංචාරය සඳහා රෝහිණී කුමාරි විජේරත්න, ඔෂානි උමංගා, ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි, නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, නීතිඥ ඒ.එම්.එම්. රත්වත්තේ, නීතිඥ හසාර ලියනගේ, අම්බිකා සාමිවෙල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, නීතිඥ ගීතා හේරත් යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ සහභාගී වී සිටිති.නියෝජිත පිරිසට පාර්ලිමේන්තුවේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම්  කුෂානි රෝහණදීර මහත්මිය, පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන සහකාර ප්‍රධාන නිලධාරී හෂ්මි ප්‍රනාන්දුපුල්ලේ, ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු පරිවර්තක චමිලා නිස්සංගා සහ ජ්‍යෙෂ්ඨ සහකාර පාර්ලිමේන්තු සන්ධාන නිලධාරී  රනිල් නානායක්කාර  යන මහත්ම  මහත්මින්ද  සහභාගී වූහ.


2026-05-15

රජය සතු ව්‍යාපාර ආයතනවල (SOEs) අභ්‍යන්තර විගණන නිලධාරීන්ට සහ මූල්‍ය ප්‍රධානීන්ට 'කෝප්' කමිටුවෙන් වැඩමුළුවක්

රජය සතු ව්‍යාපාරවල යහපැවැත්මට ශක්තිමත් අභ්‍යන්තර විගණන ක්‍රියාවලියක් අත්‍යවශ්‍යයි - රජය සතු ව්‍යාපාර මූල්‍ය ප්‍රධානීන් සහ අභ්‍යන්තර විගණන නිලධාරීන්  අමතමින් කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අවධාරණය කරයිරජය සතු ව්‍යාපාරවල යහපැවැත්මට ශක්තිමත් අභ්‍යන්තර විගණන ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය බව රජය සතු ව්‍යාපාර මූල්‍ය ප්‍රධානීන් සහ අභ්‍යන්තර විගණන නිලධාරීන්  අමතමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පසුගියදා අවධාරණය කළේය.  රජය සතු ව්‍යාපාර ආයතනවල අභ්‍යන්තර විගණනය සහ මූල්‍ය අධීක්ෂණය  ශක්තිමත් කිරීම පිළිබඳව කෝප් කමිටුව විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ (UNDP) අනුග්‍රහයෙන් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී  සංවිධානය කළ වැඩමුළුවක් අමතමින් කෝප් කමිටු සභාපතිවරයා මේ බව පවසා සිටියේය.  මෙහිදී අදහස් දැක්වූ කෝප් සභාපතිවරයා, රජය සතු ව්‍යපාර ක්ෂේත්‍රයේ පවතින අසංවිධිත බව ඉවත් කිරීම සඳහා ක්‍රියාකාරී මැදිහත්වීමක් සිදුකළ යුතු බවත්  රාජ්‍යයට වග කියන නිලධාරීන් ලෙස ඉහළ කාර්ය සාධනයක් පෙන්වීම අපේක්ෂා කරන බවත් පෙන්වා දුන්නේය. සියලු රජය සතු ව්‍යාපාර ප්‍රධානීන් මීට පෙර කැඳවා සාර්ථක වැඩමුළුවක් පැවැත්වීමට හැකිවූ බව සඳහන් කළ කෝප් කමිටු සභාපතිවරයා, මූල්‍ය විනය සහ අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙලෙස සියලු ආයතනවල අභ්‍යන්තර විගණන නිලධාරීන් සහ මූල්‍ය ප්‍රධානීන් කැඳවා දැනුවත් කිරීමක් සිදු කිරීමට තීරණය කළ බවත් පවසා සිටියේය.  එසේම රජය සතු ව්‍යාපාර ආයතන 457ක් පවතින නිසා එම සියලු ආයතන කෝප් කමිටුවට කැඳවීම ප්‍රායෝගිකව අපහසු බැවින් එම ආයතනවල කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් සකස් කිරීමට අපේක්ෂා කරන බවත් කෝප් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.   “රාජ්‍ය විගණනය සහ රාජ්‍ය ආයතනවල කාර්යභාර්ය, වගකීම් හා සහයෝගීතාව පිළිබඳ විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය මෙහිදී සිය දේශනය ඉදිරිපත් කළාය. රජය සතු ආයතනයන්හි  අරමුදල්වල හිමිකරුවන්  මහජනතාව බැවින් ඒවා මහජනතාව වෙනුවෙන් නිසි පරිදි කළමනාකරණය කළ යුතු බවත් ඒ සඳහා නිසි මූල්‍ය විනයක් සහ අභ්‍යන්තර විගණනයක් පවත්වා ගනිමින් රාජ්‍ය විගණනයට සහය ලබාදිය යුතු බවත් ඇය පෙන්වා දුන්නාය.      එසේම කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. පී කුරුම්බලපිටිය මහතා විසින් “ජනතාවට වගවීම තහවුරු කිරීම සඳහා අභ්‍යන්තර විගණනයේ කාර්යභාර්ය” පිළිබඳව සහ  හිටපු විගණකාධිපති, කෝප් සහ කෝපා කමිටුවල උපදේශක සරත් මායාදුන්නේ මහතා විසින් “ජනතාවට වගවීම කෙරෙහි රජය සතු ව්‍යාපාරවල කාර්යභාර්ය” පිළිබඳව දේශන ඉදිරිපත් කරන ලදී.  රජය සතු ව්‍යාපාර ආයතනවල නිලධාරීන්ට විෂයට අදාළව ප්‍රශ්න විමසීම සඳහා ද මෙහිදී අවකාශය සැලසිණි. අභ්‍යන්තර විගණක තනතුර අදාළ ආයතනයේ ප්‍රධානියා යටතට පත් කිරීම වෙනුවට අමාත්‍යාංශ ලේකම්වරයාට වාර්තා කරනු ලබන වඩාත් ස්වාධීන තනතුරක් බවට පත් කිරීමේ අවශ්‍යතාව ඇතුළු කරුණු මෙහිදී සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ එම්. ජයලත් පෙරේරා  සහ රජය සතු ව්‍යාපාර ආයතන 300කට ආසන්න ප්‍රමාණයක අභ්‍යන්තර විගණන නිලධාරීන් සහ මූල්‍ය අංශයේ ප්‍රධානීහු මෙම වැඩමුළුව සඳහා සහභාගී වූහ.


2026-04-29

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් විශේෂ කාරක සභාව හමුවට

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් කැඳවා තිබිණි.එම කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු විමසීම සිදු කෙරිණි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ යන මහත්වරු ඇතුළු එම ආයතනවල ජේෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.   ස්වාභාවික ආපදා අවස්ථාවකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මූලිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙහිදී කාරක සභාව විසින් කරුණු විමසන ලදී.එසේම පවතින යාන්ත්‍රණයේ අඩුලුහුඩුකම් සහ අදාළ තාක්ෂණික උපාංගවල අඩුපාඩු පිළිබඳව ද මෙහිදී නිලධාරීහු කරුණු පැහැදිළි කළහ. එසේම  වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යන ආයතනවල නිලධාරීන් ද ඉදිරියේදී කාරක සභාව හමුවට කැඳවා එම ආයතන ද මූලිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විමසීමටත්, අනතුරුව මෙම ආයතන වෙන් වෙන් වශයෙන් කැඳවා දිට්වා සුළි කුණාටුවට සම්බන්ධ සිද්ධීන් පිළිබඳව විමරශනය කිරීමටත් මෙහිදී තීරණය විය. මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ඇන්ටන් ජයකොඩි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන  නීතිඥ අනුරාධ ජයරත්න, හෙක්ටර් අප්පුහාමි, රෝහිණි කුමාරි විජේරත්න, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ අනුෂ්කා තිලකරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම සහ (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-04-28

2026 අයවැය මගින් ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් වෙන් වූ ප්‍රතිපාදන සහ වැඩසටහන් පිළිබඳව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය අමාත්‍යාංශ කිහිපයක් සමග සාකච්ඡා පවත්වයි

ආබාධ සහිත  තැනැත්තන්  සඳහා 2026 අයවැය මගින් වෙන් කර ඇති ප්‍රතිපාදන සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව  අමාත්‍යාංශ කිහිපයක්   සමග ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය  සාකච්ඡා පවත්වන ලදී. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්  එම  සංසදය  පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙම රැස්වීමේදී උසස් අධ්‍යාපනය, ආගමික හා සංස්කෘතික ස්ථාන, අබාධ සහිත තැනැත්තන්  සඳහා  ප්‍රවේශ පහසුකම් සහිත නිවාස, ව්‍යවසායකත්වයට ණය ප්‍රවේශය සහ තාක්ෂණික නව නිපැයුම් යන ක්ෂේත්‍ර  සම්බන්දයෙන් ඒක්  එක් අමාත්‍යාංශ  කරුණු ඉදිරිපත් කරන ලදී.ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, 2024/2025 දී ආබාධ සහිත ශිෂ්‍යයන් 143ක් බඳවා ගත් බවත්, 2025/2026 දී එය 203 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන බවත්ය. සෑම විශ්වවිද්‍යාලයකටම යටිතල පහසුකම් සඳහා රු. මිලියන 25-50 බැගින් වෙන් කර ඇති අතර, අඩු ආදායම්ලාභී ආබාධ සහිත සිසුන්ට රු. 5,000ක අමතර මාසික දීමනාවක්   ද ලබාදීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීහු පැවසුහ.එමෙන්ම  විශ්වවිද්‍යාල කිහිපයක   වෛද්‍ය පීඨ සඳහා ආබාධ සහිත සිසුන් ඇතුළත් කරගැනීමේ නියමු ව්‍යාපෘතියක් (Pilot study) ක්‍රියාත්මක කරන බවද ඔවුහු පැවසුහ. එමෙන්ම  විශ්වවිද්‍යාල  සඳහා ස්ථිර සංඥා භාෂා පරිවර්තකවරුන් බඳවා ගැනීමටත්, හදිසි අනතුරු නිසා ආබාධිත වන සිසුන් හඳුනාගෙන ඔවුන්ට රෝද පුටු වැනි ආධාරක උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසීය.මේ අතර ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව කටයුතු  සිදු කිරීම සඳහා  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ දැනටමත් සම්බන්ධිකරණ නිලධාරීන් පත් කර ඇති බව එම අමාත්‍යාංශයේ  නිලධාරීහු පැවැසුහ. මෙහිදී සංසදයේ සභාපතිවරයා ආගමික ස්ථානවලට, විශේෂයෙන් විහාරස්ථානවලට ආබාධ සහිත තැනැත්තන්ට භෞතිකව ප්‍රවේශ වීමේ පහසුකම් පිළිබඳව පවතින ගැටලු පිළිබඳව නිලධාරීන්ගේ අවධානය යොමු කළේය. ඒ  අනුව ආගමික හා ඓතිහාසික ස්ථානවල ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රවේශ විය හැකි යටිතල පහසුකම් සැපයීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය වෙමින්  එම කටයුතු කිරීමට තීරණය විය.නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන  අමාත්‍යාංශය බස්නාහිර පළාතේ ආබාධ සහිත පුද්ගලයන්ගේ සනීපාරක්ෂක පහසුකම් සඳහා රු. මිලියන 500ක් වෙන් කර ඇති අතර, 2026 දී නිවාස 9,700ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව  සංසදයේදී අනාවරණය විය. ආබාධ සහිත පිරිසට  ණය දීමේදී විශේෂ ලබාදීමේ  ක්‍රමවේදයක් යොදා  ඇති බවත්  එමෙන්ම  “ආදර්ශ සැලැස්මක්” සකස් කර ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා සපුරාලන නිවාස ඉදිකිරීමට කටයුතු කිරීමට අමාත්‍යාංශය එකඟ විය.ආබාධ සහිත තැනැත්තන්ගේ විශේෂ අවශ්‍යතා සලකා බලා සකස් කරන ලද නම්‍යශීලී "ආදර්ශ සැලසුම්"  මත ඔවුන්ගේ නිවාස ඉදිකිරීමට  අමාත්‍යාංශය කටයුතු කිරීමට  සැළසුම්  කරන  බව  අමාත්‍යාංශ නිලධාරීහු සංසදයට දැන්වූහ.මෙහිදී කරුණු දක්වමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දුන්නේ බැංකු සහ ආබාධ සහිත ව්‍යවසායකයන් අතර “විශ්වාසයේ පරතරය” නිසා ණය ලබා ගැනීමට දැඩි අපහසුතා ඇති බවයි. ඒ අනුව, ආබාධ සහිත ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයන් සඳහා ණය ඇපකර යෝජනා ක්‍රමයක් (Credit Guarantee Scheme) හඳුන්වා දීමේ හැකියාව සොයා බලන ලෙස සභාපතිවරයා  විසින් අමාත්‍යාංශයට උපදෙස් ලබා  දෙන ලදී.තවද විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය නව නිපැයුම් වාණිජකරණය කිරීමේදී ආබාධ සහිත ප්‍රජාව සඳහා පහසුකම් සපයන පර්යේෂණ කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව පැවසීය. ආධාරක උපකරණ (assistive devices) නිෂ්පාදනය සඳහා පර්යේෂණ කණ්ඩායම් පොළඹවන ලෙසටත්, ඒවා වෙළඳපොළට ගෙන ඒමේදී ප්‍රමුඛතාව ලබා දෙන ලෙසටත් සංසදය විසින්  අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙන ලදී.ඊට අමතරව තරුණ කටයුතු හා ක්‍රීඩා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු, විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක  හා පරිසර  යන  අමාත්‍යාංශයන්  හි නිලධාරිහුද ඔවුන්ගේ අදහස් දැක්වූහ.ඒ අනුව එක්  එක් අමාත්‍යාංශ මගින්  ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ඉහත සියලු සැලසුම්වල ප්‍රගතිය මාස හයකින් නැවත සමාලෝචනය කිරීමට ද මෙහිදී  සංසදය තීරණය කර  කරන ලදී.   මෙම රැස්වීම සඳහා  සංසදයේ  නියෝජ්‍ය සම සභාපති ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්යලිංගම් මහතා,සංසදයේ  සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන පද්මසිරි බණ්ඩාර, චන්දිම හෙට්ටිආරච්චි සහ සංසදයේ සභාපතිවරයාගේ අවසරය මත  ගරු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටී.කේ. ජයසුන්දර, ජගත් මනුවර්ණ යන  මත්වරුන් ඇතුළුව   නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. තවද  ආබාධ සහිත කාන්තාවන්ගේ දේශීය සංසදය, ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය, Little People Association, Youth Network with Disabilities (YND) ඇතුළු සංවිධාන වල නියෝජිතයින් සහ  සංසදයේ සභාපති  සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ආරාධනය පරිදි අබාධිත ප්‍රජාවේ නියෝජිතයින් පිරිසක් නිරික්ෂකයින් ලෙස හා මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්‍යන්තර පදනමේ (IFES) නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks