logo

02

E   |     |  

2026-01-08

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීම) පනත යටතේ නියෝගයට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

පාර්ලිමේන්තුවේ හෙට (ජන. 9) විවාදයට ගැනීමට නියමිත (129 අධිකාරිය වූ) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීම) පනත යටතේ නියෝගයට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය. 

එම කාරක සභාව, කම්කරු අමාත්‍ය (ආචාර්ය) අනිල් ජයන්ත මහතාගේ සභාපතීත්වයෙන් සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ සහභාගීත්වයෙන් 2026.01.06 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය ලබාදීම සිදුවිය. 

කම්කරු අමාත්‍යවරයා විසින් 2025.12.12 දින සාදන ලද මෙම නියෝගය 2025.12.18 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. “කිසියම් නේවාසික හෝටලයක අමුත්තන් පිළිගන්නියක්, කාන්තා ඇඳුම් කාමර සේවිකාවක්, කාන්තා රෙදිපිළි ගබඩා සේවිකාවක් හෝ කාන්තා සනීපාරක්ෂක සේවිකාවක් වශයෙන් අවුරුදු දහඅටට එළඹ සිටින කවර ස්ත්‍රියක් වුව ද පෙ.ව 6.00 ට පෙර හෝ ප.ව 6.00න් පසුව සේවයේ යෙදවිය හැකිය” යනුවෙන් දැනට පවතින නෛතික ප්‍රතිපාදනය මෙම නියෝගය මගින් සංශෝධනය කෙරේ. ඒ අනුව එම නියෝගය මගින් අවසර ලබා දී ඇති නියමිත සේවාවන්ට අමතරව නේවාසික හෝටල්වල සේවයේ යෙදී සිටින  ආහාර පාන පිළිගන්වන කාර්යයෙහි නියැලෙන වයස අවුරුදු 18ට වැඩි සේවිකාවන්ද  (Food and Beverage Stewardess) පස්වරු 6.00ට පසු හෝ පසුදා  පෙරවරු 6.00ට පෙර, සේවයේ  යොදවා ගැනීමට හැකිවන පරිදි අවශ්‍ය  නෛතික සංශෝධන මෙම නියෝගය මගින් හදුන්වා දී ඇත. 

එසේවුවද මෙම නියෝගය යටතේ සේවයේ නියුක්ත කරවන ලද යම් ස්ත්‍රියකගේ සේවා මුරය පස්වරු හයත් පසුදා පෙරවරු හයත් අතර වේලාවකදී අවසන් වන අවස්ථාවකදී , එකී සේවා මුරය අවසන් වූ  අවස්ථාවේ සිට පෙරවරු හය දක්වා එම ස්ත්‍රීයට සුදුසු නවාතැනක් සැපයීම හෝ එම ස්ත්‍රීයගේ සුපුරුදු වාසස්ථානය වෙත ප්‍රවාහන පහසුකම් සැපයීම ඇතුළුව එම ස්ත්‍රීයගේ සෞඛ්‍යාරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් සේවා යෝජකයා වගකිව යුතු බවටත් නෛතික ප්‍රතිපාදන සහිත බව නිලධාරීහු මෙහිදී කාරක සභාවට දැනුම් දුන්හ. 

මෙරට වර්තමාන කාන්තා ජනගහන ප්‍රතිශතය 51%ක් පමණ වන නමුත් කාන්තා ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 34%ක් පමණ වේ. එසේම වර්තමානයේ ශීඝ්‍රයෙන් දියුණුවන සංචාරක ක්ෂේත්‍රයට පහසුකම් සැපයීම සඳහා කාන්තා ශ්‍රම දායකත්වයට වැඩි කිරීමට අවස්ථාවක් සලසා දීමේ අරමුණින් පවතින නීතිමය සීමාවන් ලිහිල් කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් මෙහිදී සාකච්ඡා විය. 

එසේම කාන්තා ශ්‍රමිකයන් ඇතුළු සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගතහැකි පියවර පිළිබඳ යෝජනා රැසක් මෙන්ම වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකිරී‍මට අදාළ තත්ත්වයන් පිළිබඳ කරුණු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් කාරක සභාවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ඉදිරියේදී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමටත් අපේක්ෂා කරන බව ගරු කම්කරු අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නේය. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක්ද කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු කම්කරු අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. 




සම්බන්ධිත පුවත්

2026-08-07

විගණකාධිපතිවරියගේ වැටුප් අනුමත කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

විගණකාධිපති ධුරයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, විගණකාධිපතිවරියගේ වැටුප අනුමත කිරීමට පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව තීරණය කළේය.ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, එම්.කේ.එම්. අස්ලම්, තිලිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මෙම කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා (04) රැස්වූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(2) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපති ධුරයේ වැටුප් සම්බන්ධයෙන් අදාළ යෝජනාව කාරක සභාවේ අවධානයට යොමු කර තිබිණි.එහිදී විගණකාධිපතිවරියගේ වගකීම්, රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය හා විගණන ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින් වැටුප් මට්ටම පිළිබඳව කාරක සභා සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් විසින් අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 170 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාරව  විගණකාධිපති රාජ්‍ය සේවකයකු නොවන බවත් පවත්නා රාජ්‍ය වැටුප් පරිමාණයෙන් බැහැරව විගණකාධිපතිවරයාගේ වැටුප සඳහා විශේෂ සැලකිල්ලක් යොමු කළ හැකි බවත් මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් කාරක සභාව පවසා සිටියේය.  යොජිත වැටුප, මීට පෙර සිටි විගණකාධිපතිවරුන්ගේ වැටුප් ද  සලකා බලමින් මෙම තිරණයට එළඹුණ බව නිලධාරීන් විසින්   පවසන ලදී. මිට පෙර, එය ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවෙන් තිරණය කළ ද වර්තමානයේ එවැනි කොමිසමක් නොමැති බවත්  නිලධාරීහු  සදහන් කළහ.විගණකාධිපතිවරිය සඳහා යෝජිත වැටුප් මට්ටම අනුමත කළ ද, එම තනතුරට පැවරී ඇති වගකීම් සහ කාර්යභාරය සැලකිල්ලට ගනිමින් වැටුප තවදුරටත් ඉහළ මට්ටමක පැවතිය යුතු බවට කාරක සභා සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ අදහස විය. ඒ අනුව, අදාළ වැටුප් මට්ටම සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් අවධානය යොමු කර අවශ්‍ය තීරණ ගැනීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී පෙන්වා දුන් අතර ස්ථිර සහ ස්වධින වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවක් ස්ථාපිත කරන ලෙස කාරක සභාවේ සභාපති යෝජනා කළේය.


2026-08-07

මැතිවරණ ප්‍රතිසංස්කරණයට ලැබී ඇති යෝජනා 31ක් සමාලෝචනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විශේෂඥ මණ්ඩලයක් පත් කරයි

මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පුද්ගලයන් සහ සංවිධාන වෙතින් ලැබී ඇති යෝජනා 31ක් මෙන්ම මීට පෙර මැතිවරණ ප්‍රතිසංස්කරණවලට අදාළව ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා සමාලෝචනය කර, වාර්තාවක් සකස් කිරීම සඳහා මැතිවරණ සම්බන්ධ නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සහ ඒ පිළිබඳ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් විශේෂඥ මණ්ඩලයක් පත් කරන ලදී.ඒ මෙම විශේෂ කාරක සභාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පසුගියදා රැස් වූ අවස්ථාවේදීය.එහිදී 2004, 2007 සහ 2022 වසරවල පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා මෙන්ම පුද්ගලයන් හා සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති යෝජනා 31ක් පදනම් කර ගනිමින් මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.සාකච්ඡාවේදී පළාත් පාලන මැතිවරණ ක්‍රමය සඳහා මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම, සුළු පක්ෂ හා සුළුතර කණ්ඩායම්වල නියෝජනය තහවුරු කිරීම, කාන්තා නියෝජනය වැඩිදියුණු කිරීම, විද්‍යුත් ඡන්ද ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ කල්තියා ඡන්දය ප්‍රකාශ කිරීමේ පහසුකම් සැලසීම ඇතුළු යෝජනා පිළිබඳව අවධානය යොමු විය. එමෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් වන යෝජනා පිළිබඳව ද සලකා බැලුණු අතර, ඒ සඳහා අවශ්‍ය නීතිමය හා පරිපාලනමය ප්‍රතිපාදන පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.කාරක සභාව විසින් පත් කළ විශේෂඥ මණ්ඩලය මඟින් ලැබී ඇති යෝජනා 31 සහ පූර්ව පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා විශ්ලේෂණය කර ප්‍රායෝගික නිර්දේශ සහිත වාර්තාවක් සකස් කිරීමට නියමිත අතර, එම නිර්දේශ සමාලෝචනය කිරීම සඳහා ඉදිරි කටයුතු සිදු කිරීමට කාරක සභාව තීරණය කළේය.මෙම රැස්වීමට කාරක සභා සාමාජික ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, රුවන්තිලක ජයකොඩි සහ කදිරවේලු ෂන්මුගම් කුගදාසන් යන මහත්වරු සහභාගී වූහ.


2026-08-07

විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයෙන් ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාව සඳහා පවත්වනු ලබන වැඩමුළුව අගෝස්තු 16 වැනිදා

විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරනු ලබන ප්‍රාදේශීය වැඩමුළු මාලාවේ පළමුවැන්න ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාව සඳහා අගෝස්තු 16 වැනිදා මීගමුව ජෙට්වින් බ්ලූ හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත බව එම සංසදයේ සම සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පැවසීය.ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.08.05 දින පැවති එම සංසදයේ රැස්වීමේදී මීට අදාළ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කෙරිණි.  තරුණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩමුළු මාලාව සංවිධානය කෙරෙන අතර සංසදයේ සාමාජික මන්ත්‍රීවරු මෙන්ම ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.මෙම වැඩමුළු මගීන් විශේෂයෙන් තරුණ ප්‍රජාව පාර්ලිමේන්තු කටයුතු, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ විවෘත පාර්ලිමේන්තු මූලධර්ම පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම, පාර්ලිමේන්තුව සහ පුරවැසියන් අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම ද අපේක්ෂා කෙරේ.මෙම රැස්වීමට සංසදයේ සාමාජික මන්ත්‍රීවරු සහ වැඩමුළු මාලාව සඳහා අනුග්‍රාහකත්වය සපයන සංවර්ධන සහකරු වන CII (Coalition for Inclusive Impact) ආයතනයේ නියෝජිතයෝ  එක්ව සිටියහ.මෙම වැඩමුළුව සඳහා සහභාගීවීමට අපේක්ෂා කරන ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවු 18 – 35 අතර තරුණ තරුණියන් https://forms.gle/aVp5UzhLbtPSmVap8 සබැඳිය ඔස්සේ අදාළ පෝරමය සම්පූර්ණ කොට ලියාපදිංචි විය විය යුතුය.


2026-08-05

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අතරතුර දී නිලධාරීන්ගේ නොමනා හැසිරීමක් සම්බන්ධයෙන් දක්වනු ලබන ප්‍රතිචාරය

2025 ඔක්තෝබර් මස 08 වන දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂවල විගණනය කරන ලද වාර්ෂික වාර්තා සහ එකී ආයතනයේ වත්මන් කාර්යසාධනය පිළිබඳ විමර්ශනය කිරීමේදී, එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුගේ හැසිරීම පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු ව තිබේ.  මෙම රැස්වීම සඳහා සහභාගී වූ නිලධාරීන් අතරින් එක් අයෙකු, පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සඳහා සහභාගී වීමේ දී නිලධාරීන් විසින් තම ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් පිළිපැදිය යුතු වන නිර්නායකයන්ගෙන් බැහැරව, එකී අවස්ථාවට නුසුදුසු ආකාරයෙන් සැරසී රැස්වීමට සහභාගී වී සිටි බව කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලදී. තවද, ඉහත කී නිලධාරීන් දෙදෙනාම පාර්ලිමේන්තු සම්ප්‍රදායට හා ක්‍රියාපටිපාටියට පටහැනි අයුරින් සභාපතිවරයාගේ පූර්ව අවසරයකින් තොරව කාරක සභා රැස්වීමෙන් බැහැර ගොස් ඇති බව ද කාරක සභාව විසින් සඳහන් කරන ලදී. මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ගැටළුවට අනුව, පාර්ලිමේන්තුවට අපහාස කිරීමේ චෝදනාව යටතේ එම නිලධාරීන් දෙදෙනා 2026 පෙබරවාරි මස 17 වැනි දින ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටිනු ලැබූ අතර, එහිදී, ඔවුන් විසින්  සිය හැසිරීම සම්බන්ධයෙන් අවංකවම සමාව අයැද සිටින බව සඳහන් කෙරිණි.  පාර්ලිමේන්තු කාරක සභාවල අධිකාරිය, ගෞරවය සහ ස්ථාපිත ක්‍රියාපටිපාටිවලට ගෞරව කිරීමේ වැදගත්කම පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව තම ක්‍රියාවන්හි බරපතලකම නිලධාරීන් විසින් අවබෝධ කරගෙන ඇති බව නිරීක්ෂණය කළ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා විසින් ඒ පිළිබඳව නිසි පරිදි සලකා බැලීමෙන් අනතුරුව, ඉහත කී නිලධාරීන්ට සමාව ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීම පිළිගන්නා ලදී. පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සඳහා පෙනී සිටින සියලුම පුද්ගලයන් සෑම අවස්ථාවකදීම ඉහළම මට්ටමින් ආචාරධර්ම හා හැසිරීම් අනුගමනය කිරීමත්, පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටීන්ට අනුකූලව කටයුතු කිරීම සහ පාර්ලිමේන්තුවේ ගරුත්වය හා අධිකාරිය ආරක්ෂා කරමින් කටයුතු කිරීමත් අපේක්ෂා කරන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තව දුරටත් අවධාරණය කරයි. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks