01

E   |   த   |  

2026-05-29

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය, සේවා සහ පහසුකම් සැලසීම වෙනුවෙන් 2027 වර්ෂයේ අයවැය සඳහා යෝජනා ලබා ගැනේ

වර්තමාන රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව “නිර්බාධිත පරිසරයක් - අන්තර්කරණය වූ සමාජයක්” නිර්මාණය කිරීම උදෙසා, ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය, සේවා සහ පහසුකම් සැලසීම වෙනුවෙන් 2027 වර්ෂයේ දී ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් සඳහා අයවැය යෝජනා ලබා ගැනීමේ වැඩසටහනක් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය  විසින් පවත්වන ලදි. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්  එම  සංසදය පාර්ලිමේන්තුවේදී මේ මස 25 සහ 27 දිනයන්වලදී රැස්වූ අවස්ථාවේදීය.
 
ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය මෙන්ම ඔවුන්ට සේවා සහ පහසුකම් සැලසීම සඳහා පවතින බාධක හඳුනාගනිමින්, ඊට තිරසර විසඳුම් ලබාදීම උදෙසා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු  සංසදය බහුවිධ ප්‍රවේශයකින් ක්‍රියාත්මක වෙමින් පවතී. එහි දිගුවක් ලෙස 2027 වර්ෂයට අදාළ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම තුළින් ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමත්, ඔවුන්ගේ පූර්ණ හා ඵලදායි සමාජ සහභාගීත්වය වඩාත් සංවිධිත ආකාරයට තහවුරු කිරීමත්, අපේක්ෂා කෙරේ.

ඒ අනුව, දැනට ක්‍රියාත්මක කරමින් පවතින වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාමටත්,  නව යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහාත්, ආබාධ සහිත තැනැත්තන්ගේ සංවිධාන නියෝජිතයින්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන නියෝජිතයින් සහ ආබාධ සහිත ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් මෙම යෝජනා ලබාගැනීම සිදු විය. 

මෙම අවස්ථාව, ආබාධ සහිත තැනැත්තන් ජාතික අයවැය ලේඛනයේ අන්තර්ගතය සම්බන්ධයෙන් සෘජු සහ ජාතික මට්ටමේ උපදේශන ක්‍රියාවලියකට දායක කරගත් පළමු අවස්ථාව බව ගරු සභාපතිවරයා වැඩසටහන අතරතුර අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. දින දෙකක් පුරාවට, වාචික ඉදිරිපත් කිරීම් සමඟ ලිඛිත යෝජනා කට්ටල 50 ක් පමණ මෙහිදී විවිධ ආබාධිත කණ්ඩායම් නියෝජනය කරන සංවිධානය මගින් සංසදය වෙත ඉදිරිපත් කරන ලදි. මූල්‍ය දීමනා සහ සමාජ ආරක්ෂණය, අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව, ප්‍රවේශ්‍යතාව සහ යටිතල පහසුකම්, සෞඛ්‍ය සහ සහායක තාක්ෂණික උපකරණ, රැකියා සහ ජීවනෝපායන්, නීති ආධාර, දත්ත කළමනාකරණය සහ  ආබාධිතභාවයන්ට අදාළ අනෙකුත් නිශ්චිතව හඳුනාගත් ප්‍රමුඛතා ඇතුළුව ආබාධ සහිත තැනැත්තන්ට බලපාන ප්‍රධාන ක්ෂේත්‍ර මෙම යෝජනා මගින් ආවරණය විය.

ඉදිරිපත් වූ සියලු යෝජනා පරීක්ෂා කර, ප්‍රමුඛතාව අනුව ගොනුකර, ජනාධිපති ලේකම් කාර්යාලයට සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන  අමාත්‍යාංශයට සංසදය ඔස්සේ සෘජුවම ඉදිරිපත් කරන බවට ද ගරු සභාපතිවරයා රැස්වීම අවසානයේ සහතික විය. 

මෙම පාර්ලිමේන්තු සංසදයේ රැස්වීම සඳහා එහි සාමාජික මන්ත්‍රීවරු පිරිසක්ද සහභාගී වූහ. ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය ලබන මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්‍යන්තර පදනම (IFES) විසින් මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය සහ මූල්‍ය සහාය දක්වන ලදී.
 



සම්බන්ධිත පුවත්

2026-10-30

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක්

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ විශේෂ සාකච්ඡාවක් එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ගරු මැතිව් ජෝන් ඩක්වර්ත් (H.E. Matthew John Duckworth) මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මැතිවරණ පද්ධති පිළිබඳ ජාත්‍යන්තර පදනමේ (International Foundation for Electoral Systems - IFES) නියෝජිතයෝ ද සහභාගී වූහ.මෙහිදී සංසදයේ නියෝජ්‍ය සම සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පද්මනාතන් සත්‍යලිංගම් මහතා විසින් ගතවූ වසර එකහමාරක කාලය තුළ සංසදය විසින් ඉටුකරන ලද කාර්යභාරය සහ ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.දිස්ත්‍රික් මට්ටමින් ආබාධ සහිත තැනැත්තන් සහ අදාළ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගනිමින් උපදේශන වැඩසටහන් මාලාවක් සංවිධානය කළ බවත්, උතුරු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ වැඩසටහන් සාර්ථකව නිම කර ඉදිරියේදී තවත් දිස්ත්‍රික්ක 6 ක මෙම වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරයා පැවසීය.ලබන වසරේ අයවැය වෙනුවෙන් ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන සංවිධාන 50 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් යෝජනා රැස් කර ඇති අතර, සෑම අමාත්‍යාංශයකම අයවැය ලේඛනය තුළ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් වෙන්වූ වැය ශීර්ෂයක් (Disability inclusive budget line) ඇතුළත් කිරීමට යෝජනා කර තිබේ.1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නව ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත (Disability Bill) සම්මත කිරීමටත්, සංඥා භාෂා පනතක් (Sign Language Act) හඳුන්වා දීමටත්, විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවශ්‍ය සංශෝධන සිදු කිරීමටත් සංසදය පියවර ගනිමින් සිටී.ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට හදිසි අවස්ථාවකදී 119 පොලිස් හදිසි ඇමතුම් සේවාවන් සංඥා භාෂාවෙන් ලබා ගැනීමට හැකි වන පරිදි සංඥා භාෂාව පුහුණු කළ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ‘වට්ස්ඇප්’ වීඩියෝ ඇමතුම් සේවාවක් සංසදයේ සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් ආරම්භ කර ඇත.සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා විසින් ඉටුකරන ලද විශිෂ්ට සේවය උදෙසා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) විසින් පිරිනමනු ලබන 2026 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය නව පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය (2026 Commonwealth New Parliamentarian Award) හිමිවීම සහ මෙරට ඉතිහාසයේ පළමු වරට ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරමින් ඒ මහතා 10 වැනි පාර්ලිමේන්තුවට පත්වීම ජයග්‍රහණයක් බවත් වෛද්‍ය පද්මනාතන් සත්‍යලිංගම් මහතා පෙන්වා දුන්නේය.   සාකච්ඡාවට එක්වූ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා සඳහන් කළේ ආබාධ සහිත ප්‍රජාව අනෙකුත් ප්‍රජාවට සමගාමීව ඉදිරියට ගෙනයාම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක සහ ඔස්ට්‍රේලියානු විදේශ ප්‍රතිපත්තියේ මූලික පරමාර්ථයක් බවයි. දත්ත පද්ධති ගොඩනැගීම, සංඥා භාෂා ශබ්දකෝෂ නිර්මාණය ඇතුළු ප්‍රතිපත්තිමය නීති සංශෝධන සඳහා දිගු කාලීනව සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළේය.සංසදයේ ඉදිරි කටයුතු සඳහා සියලු අවශ්‍යතා ආවරණය වන පරිදි පුළුල් ක්‍රියාකාරී සැලැස්මක් (Action Plan) ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව සියලු පාර්ශවවල සහයෝගයෙන් මෙරට ආබාධ සහිත ප්‍රජාවගේ උන්නතිය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් සංසදයේ සභාපතිවරයා විසින් මෙහිදී අවධාරණය කරන ලදී. ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාමාජික මන්ත්‍රීවරු පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ. 


2026-10-29

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි මීටර් 2,199 ක් සොරකම් කිරීමෙන් රුපියල් මිලියන 8 කට අධික අලාභයක් – ‘COPE’ කමිටුවේදී අනාවරණය වෙයි

රෝහලේ ආරක්ෂක හා අභ්‍යන්තර පාලන දුර්වලතා, මූල්‍ය කළමනාකරණ ගැටලු සහ විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ කාරක සභාවේ අවධානයජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු සන්නායක පද්ධතියට අයත් තඹ පටි මීටර් 2,199 ක් සොරකම් කිරීමෙන් රුපියල් 8,442,091 ක අලාභයක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගිය දා (ඔක්. 21) රැස් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 2023 සහ 2024 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ විශ්වවිද්‍යාලයේ වර්තමාන කාර්යසාධනය හා මෙහෙයුම් කටයුතු පරීක්ෂා කිරීම සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය කැඳවා තිබිණි.2022 සහ 2023 වර්ෂවලදී සිදුව ඇති තඹ පටි සොරකම සම්බන්ධයෙන් සිවිල් කොන්ත්‍රාත් සේවකයෙකු සහ නාවික හමුදා සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව මෙහිදී අනාවරණය විය. කෙසේ වෙතත්, සොරකම් කළ තඹ පටිවල මුළු ප්‍රමාණය සහ පොලිසිය විසින් සොයාගත් ප්‍රමාණය අතර පවතින වෙනස්කම් මෙන්ම, නඩු භාණ්ඩ සම්බන්ධ වාර්තාවල සඳහන් මිනුම් අතර පවතින පරස්පරතා පිළිබඳව කාරක සභාව විසින් කරුණු විමසන ලදී. එමෙන්ම, රෝහලේ දේපළ කළමනාකරණය හා අභ්‍යන්තර පාලන ක්‍රමවේදවල පවතින දුර්වලතා ද පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. රෝහල ආරම්භයේ සිටම දේපළ සහ ඒවායේ ප්‍රමාණ පිළිබඳ නිසි ලේඛන පවත්වාගෙන නොතිබීම, විදුලි හා අකුණු සන්නායක පද්ධති සම්බන්ධ වගකීම් නිසි පරිදි නිලධාරීන් වෙත භාර නොදීම සහ නියමිත නඩත්තු පරීක්ෂණ සිදු නොකිරීම යන කරුණු පිළිබඳව කාරක සභාව අවධානය යොමු කළේය. සොරකමෙන් පසු අකුණු සන්නායක පද්ධතිය යළි සකස් කිරීමේදී තඹ වෙනුවට ඇලුමිනියම් කම්බි භාවිත කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාව ප්‍රශ්න කළ අතර, එමඟින් පද්ධතියේ තාක්ෂණික ප්‍රමිතීන් හා ආරක්ෂාව නිසි පරිදි තහවුරු කර තිබේ ද යන්න පිළිබඳව කරුණු විමසීය.ඇඳන් 800 කට අධික ධාරිතාවකින් යුත් රෝහලේ ඇතැම් වාට්ටු, ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක පූර්ණ වශයෙන් භාවිතයට නොගැනීම මෙන්ම, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් රෝහල් සේවා පවත්වාගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව කාරක සභාව දීර්ඝ ලෙස කරුණු විමසීය. රෝහල තුළ දිගින් දිගටම මතුවන ගැටලු නිරාකරණය කරගැනීම සඳහා එය රජයේ රෝහල් ආකෘතිය යටතේ පවත්වාගෙන යන්නේ ද, නැතහොත් පෞද්ගලික රෝහල් ආකෘතියකට අනුව පවත්වාගෙන යන්නේ ද යන්න කඩිනමින් තීරණය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරක සභාව පරිපාලන නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර එසේ පැහැදිලි තීරණයකට එළඹ අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් රෝහල තුළ පවතින ගැටලු තවදුරටත් උග්‍ර විය හැකි බව ද කාරක සභාව අවධාරණය කරන ලදී.රෝහල ඉදිකිරීම සඳහා ලබාගත් විදේශීය ණය ආපසු ගෙවීමේදී මතුව ඇති ගැටලු, ශ්‍රවණාගාර ඉදිකිරීම් ව්‍යාපෘතියේ දිගුකාලීන ප්‍රමාදය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ CUE Technologies Lanka (Pvt) Ltd සමාගමේ මූල්‍ය හා පරිපාලන පාලනය සම්බන්ධ විගණන නිරීක්ෂණ පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.විශ්වවිද්‍යාලයේ පාලන ව්‍යුහය වඩාත් විධිමත් කිරීම සහ හඳුනාගෙන ඇති පාලන හා පරිපාලන ගැටලු සඳහා විසඳුම් ලබා දීම වෙනුවෙන් දැනට පවතින විශ්වවිද්‍යාල පනත කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි. මීට පෙර හඳුනාගෙන ඇති අඩුපාඩු සැලකිල්ලට ගනිමින් පනත සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත්, ඒ සඳහා අදාළ නීතිමය හා පරිපාලන කටයුතු කඩිනම් කිරීමේ වැදගත්කමත් මෙහිදී පෙන්වා දෙන ලදී.රෝහලේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම, කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් ලබා දීම, ඖෂධ කළමනාකරණය විධිමත් කිරීම සහ විශ්වවිද්‍යාලයේ මූල්‍ය හා පරිපාලන පාලන ක්‍රමවේද ශක්තිමත් කිරීම මඟින් රාජ්‍ය සම්පත් වඩාත් ඵලදායීව භාවිත කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.මේ රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර, මුජිබුර් රහුමාන්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සමන්මලී ගුණසිංහ, වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා,  ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, ජගත් මනුවර්ණ, සුනිල් රාජපක්ෂ, අසිත නිරෝෂණ එගොඩ විතාන, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීන් මෙන්ම, ත්‍රිවිධ හමුදා පතිවරුන්  ඇතුළු  ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ  නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.


2026-10-29

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙන් පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව වාර්තා වන පියයුරු පිළිකා රෝගය කලින් හඳුනාගැනීම සහ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නොවැම්බර් මස 02 වැනිදා දිවයින පුරා විශේෂ ජාතික වැඩසටහනක් පැවැත්වීමට තීරණය කර ඇත.පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි, ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සභාපතීත්වයෙන් එම සංසදය පසුගියදා (ඔක්. 22) රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබිණි. පියයුරු පිළිකා පිළිබඳ වත්මන් තත්ත්වය සහ පූර්ව හඳුනාගැනීමේ වැදගත්කම මෙහිදී  සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පැහැදිළි කළහ. ශ්‍රී ලංකාව තුළ වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000 ක් පමණ වාර්තා වන අතර, වසරකට කාන්තාවන් 1,000 ක් පමණ මෙම රෝගයෙන් මිය යති. පියයුරු පිළිකාවක් ආරම්භක අවස්ථාවේදීම හඳුනාගතහොත් එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි වුවද, බිය, ලැජ්ජාව හෝ දැනුවත්භාවය අඩුකම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමු වීම ප්‍රමාද වීම ප්‍රධාන ගැටලුවක් ලෙස පෙන්වා දී ඇත.මේ අනුව, නොවැම්බර් 02 වන සඳුදා දින, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සිය ආසන හා දිස්ත්‍රික්ක මට්ටමින් සෞඛ්‍ය සායන සහ වැඩසටහන් සංවිධානය කිරීමට හා ඒවාට සෘජුවම සම්බන්ධ වීමට නියමිතය. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් මෙන්ම පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර ද රෝස පැහැති සංකේත (Pink ribbons/ Pink wristbands) සහ ඇඳුම් භාවිත කරමින් පියයුරු පිළිකා මර්දන රෝස මාසය වෙනුවෙන් සක්‍රීය සහභාගීත්වය ප්‍රකාශ කිරීමට සැලසුම් කර ඇත.ග්‍රාමීය, වතු ආශ්‍රිත, නාගරික තට්ටු නිවාස සහ සහභාගීත්වය අඩු ප්‍රදේශවල කාන්තාවන් සුවනාරී සායන වෙත යොමු කරවා ගැනීමට මෙහිදී විශේෂ අවධානය යොමු කෙරේ. දැනට වයස අවුරුදු 35-45 අතර කාන්තාවන් සඳහා වන සුවනාරී සායනවලට පැමිණෙන්නේ 50% ක පමණ පිරිසක් බැවින්, එම පිරිස ප්‍රධාන පිළිකා පූර්ව හඳුනාගැනීමේ මධ්‍යස්ථානවල පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට කාන්තාවන් දිරිමත් කරනු ලැබේ.ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක කාන්තා සමිති ඇතුළු අදාළ අංශ ඒකාබද්ධ කරගනිමින් වයස අවුරුදු 35-45 අතර සියලුම කාන්තාවන් පරීක්ෂණ (Screening tests) සඳහා යොමු කිරීමේ පුළුල් වැඩපිළිවෙලක් ඉදිරි වසරේදී ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත. මීට අමතරව, ජනවාරි මාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ මූලිකත්වයෙන් ගැබ්ගෙල පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම පිළිබඳව ද අවධානය යොමු විය.මීට අමතරව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අයවැයකරණය (GRP) සහ රැකවරණ ආර්ථිකය (Care Economy) පිළිබඳව ද අවධානය යොමු විය. ජාතික රැකවරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ අයවැය ක්‍රියාවලියට ස්ත්‍රී පුරුෂ සංවේදී ප්‍රතිපත්තීන් ඇතුළත් කිරීම සඳහා තාක්ෂණික උපදේශක සහාය ලබා ගැනීමට අදාළ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.තවද, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත, නඩත්තු පනත සහ ළමුන්ට කායික දඬුවම් පැමිණවීම වැළැක්වීමේ නීතිවල පවතින අඩුපාඩු නිරාකරණය කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය හා සම්බන්ධ වී එම සංශෝධන කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභාපතිනි හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනි නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල යන මහත්මීහු ඇතුළු කාරක සභා සාමාජික මන්ත්‍රීවරියන් පිරිසක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්මින්ස්ටර් පදනමේ (WFD) මෙරට නි‍යෝජිතයන් පිරිසක් ද මෙම සාකච්ඡාවලට සහභාගී වූහ. 


2026-10-28

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වෙයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී  පසුගියදා (ඔක්. 23) රැස්විය.මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් ප්‍රමාද වූ ශ්‍රමිකයන්ගේ ගමන් පහසුකම් සැලසීම සඳහා විශේෂ ගුවන්වාර යොදා ගැනීමටත්, අවශ්‍ය අවස්ථාවල තාවකාලික නවාතැන් සහ ආහාර පහසුකම් සැපයීමටත් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව නිලධාරීහු කරුණු පැහැදිලි කළහ. එමෙන්ම, විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු වන පරිදි විදේශීය ප්‍රාන්ත සමඟ ගිවිසුම් ඇති කරගැනීමේ වැදගත්කම ද සාකච්ඡා විය.මීට අමතරව, රුසියාව සමඟ වෙළෙඳ ගනුදෙනු සඳහා රූබල් භාවිත කිරීමේදී පවතින බාධා සහ විකල්ප ගෙවීම් ක්‍රමවේද පිළිබඳව ද සාකච්ඡා විය. එමෙන්ම, විදේශයන්හි ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය, විදේශ රැකියා ගිවිසුම් සහ සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද කරුණු සාකච්ඡා  කරන ලදී.මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks