E   |     |  

2025-12-12

පුවත් කාණ්ඩ : පුවත් 

පකිස්ථානයේ සමුද්‍රීය කටයුතු පිළිබඳ ගරු ෆෙඩරල් අමාත්‍යවරයා ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා හමුවෙයි

පකිස්ථානයේ සමුද්‍රීය කටයුතු පිළිබඳ ගරු ෆෙඩරල් අමාත්‍ය මුහම්මද් ජුනයිඩ් අන්වර් මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුතු දූත පිරිසක් පසුගිය දෙසැ. 10 වන දා පාර්ලිමේන්තුවේ දී ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා හමුවිය.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනය හේතුවෙන් මිය ගිය සියලු ජනතාව වෙනුවෙන් මුහම්මද් ජුනයිඩ් අන්වර් මහතා සිය ශෝකය ප්‍රකාශ කළ අතර, ශ්‍රී ලංකා ජනතාව සමඟ එක්ව සිටින බව ප්‍රකාශ කළේය. මෙම අසීරු අවස්ථාවේ සිය සහයෝගය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දෙන බව ප්‍රකාශ කළ ඒ මහතා දේශගුණික විපර්යාස, ඒ සඳහා ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාරභාවය කෙරෙහි අවධානය යොමු කළ යුතු අනාගත අත්‍යවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කළේය.

මේ අවස්ථාව සඳහා පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆාහීම් උල් අසීස්, නියෝජ්‍ය මහ කොමසාරිස් සුනයිරා ලතීෆ් මහත්මිය සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ද සහභාගී වූහ.

වෘත්තීය විශේෂඥයින් සහ ඉහළ අධ්‍යපන පසුබිමක් සහිත නියෝජිතයින් පාර්ලිමේන්තුවේ සිටීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීමේ වැදගත් ඉදිරි පියවරක් බව ප්‍රකාශ කළ මුහම්මද් ජුනේද් අන්වර් මහතා ගරු නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතාට පකිස්ථානයේ සංචාරයකට ද ආරාධනා කළේය.

තවද ඒ මහතා විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කර ඇති කාරක සභා ක්‍රමය පිළිබඳව ද විමසන ලදී. එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තුවේ පවතින ශක්තිමත් කාරක සභා ක්‍රමය සහ එහි කාර්යයන් පිළිබඳව පැහැදිළි කිරීමක් සිදුකළාය.

අනතුරුව, පකිස්ථානයේ සමුද්‍රීය කටයුතු පිළිබඳ ගරු ෆෙඩරල් අමාත්‍ය මුහම්මද් ජුනයිඩ් අන්වර් මහතා ඇතුළු දූත පිරිස ගරු නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතා සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුහ.



සම්බන්ධිත පුවත්

2026-05-08

ශක්තිමත් ද්විපාර්ශ්වික සහ පාර්ලිමේන්තු සබඳතා නැවත තහවුරු කරමින් වියට්නාම ගරු ජනාධිපති ටෝ ලාම් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින් වියට්නාම ජනාධිපතිවරයා,  කථානායකවරයා සහ ශ්‍රී ලංකා - වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟ සාකච්ඡා පවත්වයිවියට්නාම සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති ටෝ ලාම් (To Lam) මහතා අද (මැයි 08) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය සහ වර්ධනය වන පුළුල් හවුල්කාරිත්වය නැවත තහවුරු කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් ජනාධිපති ටෝ ලාම් මහතා වියට්නාමයේ සංවර්ධන ගමන, පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ වැදගත්කම, සාමය, තිරසාර සංවර්ධනය, කලාපීය සහයෝගීතාවය සහ ජනතාව කේන්ද්‍ර කරගත් වර්ධනය සඳහා දෙරටේම පොදු කැපවීම සඳහන් කළේය.    වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා පෙ.ව. 11.05 ට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අතර ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පිළිගනු ලැබීය. ඉන්පසු වේත්‍රධාරි කුෂාන් ජයරත්න, නියෝජ්‍ය වේත්‍රධාරි අචින්ත කුරේ සහ සහකාර වේත්‍රධාරි ලක්මාල් කඩිගමුව යන මහත්වරුන් විසින් වියට්නාම ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට උත්සවාකාරයෙන් කැඳවාගෙන යන ලදී.අනතුරුව දෙරට අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සහ පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කරමින් ජනාධිපති ටෝ ලාම් මහතා සහ  පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර ද්විපාර්ශ්වික හමුවක් පැවැත්විණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ශ්‍රී ලංකා - වියට්නාම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සහ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්ම මහත්මීහු  ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ. මෙහිදී ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ගැඹුරු මිත්‍රත්වය සහ දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දෙපාර්ශ්වයම නැවතත් තහවුරු කළහ. විශේෂයෙන් ශ්‍රී ලංකා - වියට්නාම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය මගින්  පාර්ලිමේන්තු හුවමාරු වැඩසටහන් හරහා ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙහිදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  අවධාරණය කළේය.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට අවස්ථාව ලැබීම පිළිබඳව ජනාධිපති ටෝ ලාම් මහතා සිය කෘතඥතාව පළ කළ අතර, සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා වියට්නාමයට පැමිණෙන ලෙස ගරු කථානායකතුමාට සහ පාර්ලිමේන්තු දූත පිරිසකට ආරාධනාවක් ද කළේය. ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය සහ අඛණ්ඩ සංවර්ධන ප්‍රයත්නයන් ද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්වූ අතර, වියට්නාමයේ සහයෝගය සහ දෙරට අතර පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම නැවත අවධාරණය කළේය.වියට්නාම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අමුත්තන් සඳහා වන විශේෂ පුස්තකයෙහි සිය අත්සන ද  තැබීය.අනතුරුව පෙ.ව 11.35 ට සභාගර්භයට පිවිසෙන වියට්නාම් ජනාධිපතිවරයා ගරු කථානායකවරයාගේ ආසනය සමීපයේ පනවා ඇති විශේෂ ආසනයේ අසුන් ගත් අතර, පෙරවරු 11.40 ට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් සිය විශේෂ කතාව සිදුකළේය. වියට්නාම ජනාධිපතිවරයාගේ කතාවෙන් පසුව, ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන් විසින් සිය ප්‍රකාශ සිදුකරන ලදී. සභාව තාවකාලිකව අත්හිටුවීමෙන් පසු, ජනාධිපති ටෝ ලාම් මහතා ප.ව. 12.30 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව ගියේය. 


2026-05-08

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ දරුවන් වෙනුවෙන් “ලිට්ල් රූට්ස්” නමින් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සහ පෙර පාසලක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ  සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ දරුවන්ට  සහාය වීම පිණිස,  “ලිට්ල් රූට්ස්” දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙර පාසල පසුගියදා (මැයි 06) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ “ගොවිජන මන්දිර” පරිශ්‍රයේ දී නිල වශයෙන් විවෘත කෙරිණි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඉල්ලීමක් මත සමස්ත චීන කාන්තා සම්මේලනය (ACWF) විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත ප්‍රදානය කරන ලද චීන යුවාන් 1,000,000 ක  පරිත්‍යාගය යොදාගනිමින් මෙම  “ලිට්ල් රූට්ස්” නව දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙර පාසල ඉදිකොට තිබේ. දෙමාපියන් තම වෘත්තීය වගකීම් ඉටු කරන අතරතුර දරුවන්ගේ අධ්‍යාපනයට සහ මුල් ළමාවිය සංවර්ධනය කිරීමට අවශ්‍ය ආරක්ෂිත සහ උත්තේජක පරිසරයක් සැපයීම මෙම නව දිවා සුරැකුම් මධ්‍යස්ථානය  සහ පෙර පාසල  පිහිටු වීමේ අරමුණයි.“ලිට්ල් රූට්ස්” දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙර පාසල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යන ආයතනයන්හි සමූහ ව්‍යාපෘතියක් ලෙස ඉදි කෙරිණි. මෙහි මුල් අදියරේ දී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සඳහා විවෘත වන අතර ඉදිරියේදී එය අනෙකුත් ආයතන දක්වා වඩාත් පුළුල් කිරීමට අපේක්ෂිතය. මෙම අවස්ථාවට  කෘෂිකර්ම, පශු සම්පත් සහ ඉඩම් ගරු අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තු  මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන, කෘෂිකර්ම ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ, ජනමාධ්‍ය ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තුවේ නියොජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු  මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සම උප සභාපතිනි සමන්මලී ගුණසිංහ, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නියෝජනය කරමින් සංස්කෘතික කටයුතු භාර උපදේශක ජි ලිලී (Ji Lili) තෙවන ලේකම් ජියැං චැං (Jiang Chang) පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු  මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වුහ. මෙයට අමතරව  පාර්ලිමේන්තු නිලධාරීන්, අමාත්‍යාංශ නිලධාරීන්, දෙමව්පියන් සහ දරු දැරියන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2026-05-07

වියට්නාම් ගරු ජනාධිපති ටෝ ලාම් මහතා හෙට (මැයි 08) පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරයි

සමාජවාදී වියට්නාම් ජනරජයේ ගරු ජනාධිපති ටෝ ලාම් (To Lam) මහතා හෙට (08) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආමන්ත්‍රණය කරමින් විශේෂ කතාවක් සිදු කිරීමට නියමිතය.හෙට පාර්ලිමේන්තු පරිශ්‍රයට පෙරවරු 11.05 ට පිවිසෙන වියට්නාම් ජනාධිපතිවරයාව, ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පිළිගැනීමෙන් අනතුරුව, වියට්නාම් ජනාධිපතිවරයා සහ ගරු කථානායකවරයා අතර කෙටි හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇත. මේ අවස්ථාව සඳහා  ශ්‍රී ලංකා - වියට්නාම් මිත්‍රත්ව සංගමයේ සභාපති ගරු අමාත්‍ය (වෛද්‍ය) දම්මික පටබැඳි සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගි වනු ඇත.මෙහිදී වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අමුත්තන් සඳහා වන විශේෂ පුස්තකයෙහි සිය සටහන තැබීමට ද නියමිතය.අනතුරුව සභාගර්භයට පිවිසෙන වියට්නාම් ජනාධිපතිවරයා ගරු කථානායකවරයාගේ ආසනය සමීපයේ පනවා ඇති විශේෂ ආසනයේ අසුන් ගන්නා අතර, පෙරවරු 11.40 ට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් සිය විශේෂ කතාව සිදුකරයි. ඒ අනුව 2015 වසරෙන් පසු රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන පළමු අවස්ථාව ලෙසයි මෙය සැළකෙන්නේ.වියට්නාම් ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව ගරු අග්‍රාමාත්‍යවරිය සහ ගරු විපක්ෂ නායකතුමා සිය ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමට නියමිත අතර, අනතුරුව සභාව තාවකාලිකව අත්හිටුවීමෙන් පසු වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් නික්ම යනු ඇත. 


2026-05-07

කියුබානු තානාපතිවරිය ගරු කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ කියුබානු ජනරජයේ තානාපති ගරු පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය (Patricia Lázara Pego Guerra) ඊයේ (මැයි 06) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය. මෙම හමුවේදී දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාව සහ කියුබාව අතර වසර 65 කට අධික ශක්තිමත් සහ මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා නැවත තහවුරු කළහ.ගරු කථානායකවරයා තානාපතිවරියගේ පත්වීම පිළිබඳව සුබ පැතුම් එක් කරමින් දෙරට අතර කල් පවතින මිත්‍රත්වය සිහිපත් කළේය. එසේම චේ ගුවේරා, ෆිදෙල් කැස්ත්‍රෝ ඇතුළු කීර්තිමත් කියුබානු නායකයින්ගේ භූමිකාව ද  කථානායකවරයාගේ ඇගයීමට ලක්විය. බහුපාර්ශ්වික ජාත්‍යන්තර සැසිවාරයන්හීදි, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවලදී, කියුබාව ශ්‍රී ලංකාව සඳහා දැක්වූ අඛණ්ඩ සහයෝගය පිළිබඳව ගරු කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය.කියුබාවේ පවතින දියුණු වෛද්‍ය ක්ෂේත්‍රය ගරු කථානායකවරයා ඇගයීමට ලක් කළ අතර තමා වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස සිටි කාලය තුළ සුවිශේෂී කැපවීමකින් හා මානුෂීය ගුණාංගයන්ගෙන් යුතුව ශ්‍රී ලංකාවේ සේවය කළ කියුබානු වෛද්‍යවරුන් පිළිබඳව ඔහුගේ මතකය ගෞරවයෙන් සිහිපත් කළේය. ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දනය සඳහා සහාය වීම පිළිබඳව කියුබානු රජයට කථානායකවරයා සිය කෘතඥතාව පළ කළ අතර, විශේෂයෙන් කියුබානු දියුණු වෛද්‍ය තාක්ෂණික සහය තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශය සංවර්ධනය කිරීමේදී අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරන බව පැවසීය.පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ වැදගත්කම අවධාරණය කරමින්, ශ්‍රී ලංකා - කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය මගින් ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාව ගරු කථානායකවරයා පෙන්වා දුන්නේය.මෙහිදී අදහස් දක්වමින් ගරු තානාපතිනිය වන  පෙගෝ ගුවේරා මහත්මිය කියුබාවේ කල් පවතින මිත්‍රත්වය සහ ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය නැවත තහවුරු කළේය. ශ්‍රී ලංකා රජයේ කළමනාකරණ හැකියාව, විශේෂයෙන් දිට්වා සුළි කුණාටුවෙන් පසු  රට යථාවත් කිරීම සඳහා රජය කඩිනම් පියවර ගැනීම පිළිබඳ ඇය ප්‍රශංසා කළාය.ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් සමඟ කියුබාවට පැමිණෙන ලෙස ද තානාපතිවරිය ගරු කථානායකතුමාට ආරාධනා කළාය.කියුබානු ශිෂ්‍යත්ව වැඩසටහන් හරහා අධ්‍යාපනය, ක්‍රීඩා අංශයේ සංවර්ධනය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා වැවිලි කර්මාන්තයේ සහයෝගීතාවය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි ද සාකච්ඡාවේදී අවදානය යොමු විය.මෙම හමුවෙන් අනතුරුව, තානාපතිවරිය ශ්‍රී ලංකා - කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් පිරිසක් ද හමුවී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks