logo

02

E   |     |  

2025-12-03

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මගින් දිස්ත්‍රික් මට්ටමින් රජයේ ආයතන GovPay ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ කිරීමට සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සකස් කරන්න - විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

දිස්ත්‍රික් මට්ටමින් රජයේ ආයතන GovPay ව්‍යාපෘතිය සමඟ සම්බන්ධවීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය  මගින් යාන්ත්‍රණයක් සකස්  කර ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම  විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) ජනක සේනාරත්න මහතා අවධාරණය කළේය.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සඳහා 2025 අයවැය යෝජනා සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා (නොවැ. 25) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

ඩිජිටල්කරණ වැඩසටහන යටතේ රජය විසින් හඳුන්වා දී ඇති GovPay ව්‍යාපෘතිය සඳහා දිස්ත්‍රික් මට්ටමින් බොහෝ රාජ්‍ය ආයතන සම්බන්ධ වීමේ අවශ්‍යතාවය පිළිබඳව ද කාරක සභා සභාපතිවරයා මෙහිදී කරුණු දක්වමින් පෙන්වා දුන්නේය. ඒ අනුව මෙය වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කරමින් ඉදිරියට ගෙන යාම සඳහා අමාත්‍යාංශ මට්ටමින් සම්බන්ධීකරණය සිදු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

තවද රජයේ ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළේදී සෑම රාජ්‍ය ආයතනයකම ඩිජිටල් තාක්ෂණය පිළිබඳ දැනුමක් සහිත නිලධාරීන් පත් කිරීමේ අවශ්‍යතාව ද කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම රැස්වීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහු සහභාගී වී සිටි අතර, ඔවුහු ඩිජිටල් අංශයේ වර්ධනයන් සහ ඒ සඳහා මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳව කාරක සභාව දැනුවත් කළහ.

මේ අතර, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ සිදු කරනු ලබන කාර්යභාරය පිළිබඳව ද කාරක සභාව අවධානය යොමු කරන ලදී. නව සොයාගැනීම් ඇතුළු පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබන කාර්ය භාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

මෙම රැස්වීම සඳහා  බලශක්ති  ගරු නියෝජ්‍ය අමාත්‍ය  අර්කම් ඉල්යාස්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම හෙට්ටිආරච්චි, ලසිත් භාෂණ ගමගේ, නීතිඥ හසාරා ලියනගේ, චතුර ගලප්පත්ති, ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.



සම්බන්ධිත පුවත්

2026-07-10

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩී.පී. වික්‍රමසිංහ මහතා  පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී පසුගියදා  (ජූලි 08) රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී ඇත.ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම කාරක සභාවට, ගරු අමාත්‍යවරුන් වන බිමල් රත්නායක  සහ ආචාර්ය උපාලි පන්නිලගේ මෙන්ම  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නිහාල් අබේසිංහ, රිසාඩ් බදියුදීන්, කේ. කාදර් මස්තාන්, කුමාර ජයකොඩි, කදිරවේලු ෂන්මුගම් කුගදාසන්  සහ නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල යන මහත්ම මහත්මීහු  සහභාගි වූහ.


2026-07-08

රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතයක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමයන් දෙකකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතයක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමයන් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව ඒවා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් අනුමැතිය ලබා දෙන ලදී. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජූලි 06) පාර්ලිමේන්තුවේදී රැස්වූ මෙම කාරක සභාවේදී ඉහත තීරණය ගනු ලැබීය. ඒ අනුව, (235 අධිකාරිය වූ) රේගු ආඥා පනත යටතේ අංක 2478/03 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති යෝජනා සම්මතය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2478/04 හා 2479/38 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියමයන් කාරක සභාව විසින් සලකා බලන ලදී. මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරීහු  සහභාගිවී සිටියහ.ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන 2026 අයවැය යෝජනාව පරිදි මෙරටට ආනයනය කරන භාණ්ඩ මත ක්‍රියාත්මකව පැවතී පැවතී 0%, 15% සහ 20% වන රේගු ආනයන බදු අනුපාතයන් 0%, 10%, 20%  සහ 30% ලෙස කාණ්ඩ හතරක් වන පරිදි 2026 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීම  මේ අනුව සිදුවේ. මෙම සංශෝධන හුදෙක් බදු අනුපාත වෙනස් කිරීමක් නොව, ඉදිරි දශකය සඳහා රටේ වෙළෙඳ හා ආයෝජන පරිසරය හැඩගස්වන ජාතික තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ආරම්භය බව කාරක සභාවේදී අවධාරණය කෙරිණි. විද්‍යාත්මක හා පුරෝකථනය කළ හැකි තීරුබදු ව්‍යුහයක් ස්ථාපිත කිරීම මඟින් ශ්‍රී ලංකාව ගෝලීය සැපයුම් දාමයන් සමඟ වඩාත් කාර්යක්ෂමව සම්බන්ධ කිරීම මෙම ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ බව  නිලධාරීහු පැහැදිලි කළහ.මෙම ප්‍රතිපත්තිය යටතේ, එක්සත් ජාතීන්ගේ පුළුල් ආර්ථික වර්ගීකරණය (BEC Revision 5) පදනම් කරගත් නව සිව්-වැදෑරුම් තීරුබදු ව්‍යුහයක් හඳුන්වා දීමට යෝජනා කර ඇති අතර, එමඟින් HS කේත රැසක් ප්‍රතිසංවිධානය කිරීමට නියමිතය. ප්‍රාග්ධන භාණ්ඩ, අතරමැදි භාණ්ඩ, සංවේදී අතරමැදි භාණ්ඩ සහ පාරිභෝජන භාණ්ඩ යන ප්‍රධාන කාණ්ඩ හතර යටතේ නව බදු ව්‍යුහය ක්‍රියාත්මක කෙරෙන අතර, දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම සහ රාජ්‍ය ආදායම් ස්ථාවරව පවත්වා ගැනීම පිළිබඳව ද අවධානය යොමු කර ඇත.ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහනයක් ලබාදීමේ අරමුණින් ටයිල් සඳහා දැනට පවතින 85-90%  ඉහළ ඵලදායී බදු අනුපාතය 2029 වන විට පියවරෙන් පියවර 20% දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති බව ද අනාවරණය විය. එමඟින් ඉදිකිරීම් පිරිවැය අඩුවී නිවාස හා යටිතල පහසුකම් ආයෝජන සඳහා ධනාත්මක බලපෑමක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.දේශීය කර්මාන්තවල ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් විවිධ ක්ෂේත්‍ර සඳහා නව ජාතික උප-බෙදුම් හඳුන්වාදීමට ද යෝජනා කර තිබේ.තවද, 2029 වන විට CESS සහ PAL වැනි පැරා තීරුබදු ක්‍රමානුකූලව ඉවත් කර  සරල තීරු බදු ක්‍රමයක් කරා ගමන් කිරීම රජයේ ඉලක්කය බවද නිලධාරීහු පෙන්වා දුන්හ. බදු ලිහිල් කිරීමත් සමඟ ඇතිවිය හැකි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ගත හැකි පියවරයන් පිළිබඳව ද කාරක සභාව උපදෙස් ලබා දුන්නේය.මෙම බදු ප්‍රතිසංස්කරණ මඟින් ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 18 සිට බිලියන 36 දක්වා දෙගුණ කිරීමේ අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉලක්කය සපුරා ගැනීමට සහාය වනු ඇති බවද සඳහන් විය. විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික උපකරණ, රබර් නිෂ්පාදන, ඖෂධ හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල ගෝලීය සැපයුම් දාමයන් සමඟ ඒකාබද්ධ වීම සඳහා මෙම ප්‍රතිපත්තිය වැදගත් පදනමක් වනු ඇතැයි ද ප්‍රකාශ විණි.එමෙන්ම, වෙළෙඳ දත්ත යාවත්කාලීන කිරීමේ ප්‍රමාදය පිළිබඳවද කාරක සභාව දැඩි අවධානය යොමු කළේය. වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සතු වෙළෙඳ දත්ත 2021 වසරෙන් පසු යාවත්කාලීන වී නොමැති බව සභාපතිවරයාගේ අවධානයට ලක් වූ අතර, දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවශ්‍ය සියලු වෙළෙඳ දත්ත සහ අදාළ තොරතුරු සතියක් ඇතුළත යාවත්කාලීන කරන ලෙස අදාළ නිලධාරීන්ට කාරක සභාව උපදෙස් ලබා දුන්නේය.මෙම ගැසට් නිවේදන අද (08) පාර්ලිමේන්තුවේ  විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමැතිය ලබා ගැනීමට ගැනීමට නියමිතය.ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න,  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවි කරුණානායක, හර්ෂණ රාජකරුණා සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.  


2026-07-08

වඩාත් යහපත් පොදු ප්‍රවාහනයක් උදෙසා පොකුරු බස් සමාගම් ක්‍රමය අරඹනවා - අමාත්‍ය බිමල් රත්නායක මහතා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසයි

වඩාත් යහපත් පොදු ප්‍රවාහනයක් උදෙසා පොකුරු බස් සමාගම් ක්‍රමය ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගියදා හිමි වූ බවත්  ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී ඊයේ (ජූලි 07) පැවති ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා ලෙස අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව 177, 170 සහ 190 යන මාර්ග අංකයන්හි ධාවනය වන බස් රථවලට අදාළව,  නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, සුඛෝපභෝගී සේවා හා අධි සුඛෝපභෝගී සේවා ලෙස පෙර පැවති කාණ්ඩ හතරෙන්  ‍ අර්ධ සුඛෝපභෝගී සේවා හා අධි සුඛෝපභෝගී සේවා කාණ්ඩ දෙක ඉවත්  කිරීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.  අර්ධ සුඛෝපභෝගී සේවා සම්බන්ධයෙන් අධිකරණමය කටයුත්තක් පවතින බවත් ඊට අදාළ කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය. දුර ගමන් සේවා සහ කෙටි දුර ගමන් සේවා සඳහා බස් ගාස්තු තීරණය කිරීමට එකම සූත්‍රයක් භාවිතා කිරීම සාධාරණ නොවන බැවින් දුර ගමන් සේවා සඳහා දැරීමට සිදුවන වැඩි පිරිවැය සැලකිල්ලට ගෙන දුර ගමන් බස් ගාස්තු තීරණය කිරීම සඳහා වෙනම ක්‍රමවේදයක් හදුන්වා දෙන බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. බස් කර්මාන්තය රැක ගැනීමටත් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමටත් කටයුතු කරන බව ද ඒ මහතා අවධාරණය කළේය. ඉන්ධන මිල අඩුවීමේදී බස් ගාස්තු අඩු කිරීමට ඇති හැකියාව පිළිබඳව කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ගෙන් කරුණු විමසා සිටියේය. තෙල් මිල අඩුවන ප්‍රමාණයට සාපේක්ෂව අනෙකුත් පිරිවැය තවදුරටත් ඉහළ මට්ටමක පැවතීම ගැටලුවක් බව නිලධාරීහු එහිදී පෙන්වා දුන්හ. මාර්ග අනතුරු අවම කිරීම, පාපැදි සහ යතුරු පැදි සඳහා වෙනම මං තීරුවක් සකස් කිරීම, මාර්ග සංවර්ධන කටයුතු, මගී ජනතාවට ඉතිරි මුදල් නොලැබීම සම්බන්ධ පැමිණිලි ඇතුළු කරුණු රැසක් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර අදාළ පියවර ගැනීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දීම ද සිදුවිය.  එසේම ප්‍රවාහන හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රවලට අදාළව ගරු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට මැදිහත් වන ලෙස ද කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.තවද, (203 අධිකාරිය වූ ) මෝටර් වාහන පනත යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 මාර්තු 19 දිනැති අංක 2480/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සලකා බැලීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ද මෙහිදී කාරක සභාවේ එකඟත්වය පළවිය. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවිකර නොමැති ආසන සඳහා ආසන පටි සවිකිරීමට ලබා දුන් සහන කාලය ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වූ බැවින් එම සහන කාලය 2026.03.20 වැනි දිනයෙන් ආරම්භ වී 2026.06.19 වැනි දිනයෙන් අවසාන වන දින දක්වා දීර්ඝ කිරීම සඳහා මෙම නියෝග ප්‍රකාශයට පත්කර ඇත.නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී විය.


2026-07-07

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අවධානයට

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සහ සංචාරක ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය  කිරීම සඳහා ලබන වසරේ අයවැයෙන් වෙන් කිරීමට යෝජිත ප්‍රතිපාදන පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.ඒ, එම උපදේශක කාරක සභාව එහි සභාපති, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී, ශ්‍රී ලංකාව විදේශ රටවල් සමඟ එළඹ ඇති වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. විදේශ වෙළෙඳ ගිවිසුම් සමාලෝචනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවත්, එම කමිටුවේ වාර්තාව ලැබීමෙන් අනතුරුව අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන බවත් කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.එමෙන්ම, සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කළ හැකි නව ව්‍යාපෘති හා වැඩසටහන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් යෝජනා රැසක්   කාරක සභාවේ අවධානයට යොමු කරන ලදී.මෙම රැස්වීමට විදේශ කටයුතු හා විදේශ රැකියා ගරු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර , සංචාරක ගරු නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ යන මහත්වරු සහ කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks