logo

02

E   |     |  

2025-11-26

පුවත් කාණ්ඩ : පුවත් 

ධීවර, ජලජ සහ සාගර සම්පත්, විද්‍යා සහ තාක්ෂණ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයන්හී වැය ශීර්ෂ සම්මතයි

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 10 වන  දිනය වන අද (නොවැ. 26) විවාදයට ගන්නා ලද ධීවර, ජලජ සහ සාගර සම්පත්, විද්‍යා සහ තාක්ෂණ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයන්හී  වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතව සම්මත විය.



සම්බන්ධිත පුවත්

2026-08-11

මීළඟ පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කෙරේ

පාර්ලිමේන්තුව මීළගට රැස්වීමට නියමිත අගෝස්තු 18 සිට 21 දක්වා දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය විය. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (අගෝස්තු 7) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී තිබේ. මේ අනුව පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 2026 අගෝස්තු 18 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2496/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇත. අනතුරුව, ප.ව. 5.00 ට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය (සංස්ථාගත කිරිමේ) පනත් කෙටුම්පත  දෙවැනිවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතය. ඉන්පසු, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමය නියමිතව තිබේ. 2026 අගෝස්තු 19 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා මුදල් පනත යටතේ යෝජනා සම්මතය (මෙම යෝජනාව 2026.08.07 දින නිකුත් කරන ලද පාර්ලිමේන්තුවේ අංක 4 දරන න්‍යාය පුස්තක‍ය හා සම්බන්ධ අංක 4 දරන පරිපූරකයේ ඇතුළත් කර ඇත) විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබේ.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන් කර ඇත. 2026 අගෝස්තු 20 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව.  5.00 දක්වා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත  දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය වී ඇත.අනතුරුව ප.ව. 5.00 සිට ප.ව.  5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.2026 අගෝස්තු 21 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව.   5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී තිබේ.   


2026-08-11

එන්න... දකින්න... දැනගන්න... මේ ඔබේ පාර්ලිමේන්තුවයි !

හෙට දින නායකයන් බවට පත්වන පුංචි මල් කැකුළු පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී නිරතුරුව දැකිය හැකි තවත් සොඳුරු දසුනක් ! දියවන්නාවේ සුන්දරත්වය විදිමින් පාර්ලිමේන්තුව සියැසින් දැක, නැවුම් අත්දැකීමක් ලබන්නට ඔවුනට එමගින් අවකාශය සැලසෙනවා.     රටේ විවිධ ප්‍රදේශ නියෝජනය කරන පෙර පාසල් සහ පාසල් දරුවන්, විශ්වවිද්‍යාල සිසුන් සහ විවිධ අධ්‍යාපන ආයතන නියෝජනය කරන විශාල පිරිසක් දිනපතා පාර්ලිමේන්තු පරිශ්‍රය සියැසින් දැක ගැනීමට පැමිණෙනවා.පොතපතෙන් ලබා ගන්නා පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ දැනුම, පාර්ලිමේන්තුව තුළදී ම  සියැසින් දැකගන්නට මෙන්ම දැනගන්නට හැකිවීම විශේෂයි.පාර්ලිමේන්තුවේ සභාගර්භය සහ අවට පරිශ්‍රය නැරඹීමෙන් ඔබ්බට ගොස් ඒ ඒ වයස් කාණ්ඩවලට මෙන්ම අධ්‍යයනය කරනු ලබන විෂයන්ට ගැළපෙන පරිදි පාර්ලිමේන්තුවේ නීති සම්පාදන ක්‍රියාවලිය ඇතුළු කාර්යයන් පිළිබඳ අවබෝධය ලබා දීමට පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශයේ  නිලධාරීහු ඇතුළු කාර්ය මණ්ඩලය කැපවී සිටිනවා. එපමණක් නොව, පාර්ලිමේන්තුව අවට සොබා සෞන්දර්ය මෙන්ම අපගේ පාර්ලිමේන්තුවේ විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පීය සහ කලාත්මක වටිනාකම් පිළිබඳව ද  අවබෝධයක් ඔබට ලබා ගත හැකියි. එන්න... දකින්න... දැනගන්න... මේ ඔබේ පාර්ලිමේන්තුවයි !ඡයාරූප- කිඩී කෝව් (Kiddie Cove) පෙර පාසලේ හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ දරු දැරියන් සහ ගුරුවරුන් පිරිසක් ඊයේ  (අගෝ. 10) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූ අවස්ථාව.


2026-08-07

පාර්ලිමේන්තු පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය පිහිටුවීමට මැක්ස් ප්ලැන්ක් පදනමේ සහයෝගය

කථානායකවරයා සහ මැක්ස් ප්ලැන්ක් පදනමේ නියෝජිතයන් අතර පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක්කථානායක නිල නිවස පාර්ලිමේන්තුවේ දසවැනි දෙපාර්තමේන්තුව ලෙස පරිවර්තනය කිරීමට සැලසුම්ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යෝජිත පාර්ලිමේන්තු පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ මැක්ස් ප්ලැන්ක් පදනම (Max Planck Foundation for International Peace and the Rule of Law) අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (අගෝ. 06) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංවර්ධන සම්බන්ධීකාරක ලෙස සහයෝගය ලබා දෙන මැක්ස් ප්ලැන්ක් පදනම නියෝජනය කරමින් එහි කළමනාකරණ අධ්‍යක්ෂ ජොහෑන්ස් කෘස්මාර්ක් (Johannes Krusemark) මහතා, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී හේලී නිකෝල් එවන්ස් (Hayley Nicole Evans) මහත්මිය සහ නීති උපදේශක රුවිනි පෙරේරා මහත්මිය මෙම සාකච්ඡාවට සහභාගී වූහ.එහිදී යෝජිත පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහා මැක්ස් ප්ලැන්ක් පදනම විසින් සකස් කර ඇති ව්‍යාපෘති යෝජනාවලිය ගරු කථානායකවරයා වෙත නිල වශයෙන් ඉදිරිපත් කරන ලදී. කථානායක නිල නිවස යෝජිත පාර්ලිමේන්තු පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය බවට පරිවර්තනය කර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දසවැනි දෙපාර්තමේන්තුව ලෙස ස්ථාපිත කිරීමට කටයුතු කරන බව සාකච්ඡාවේදී අදහස් දැක් වූ  කථානායකවරයා සඳහන් කළේය.මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණු ලෙස,•    පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයන් ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස පුහුණු කිරීම,•    ප්‍රතිපත්ති පර්යේෂණය සහ විශ්ලේෂණ සඳහා අධ්‍යයන අවස්ථා ලබා දීම,•    පාර්ලිමේන්තුව මඟින් සම්පාදනය කරන නීති සහ පෙර සම්මත කරන ලද පනත් පිළිබඳ මහජන අදහස් ලබාගෙන ඒවායේ ප්‍රයෝජනවත්භාවය නැවත ඇගයීම (Post-Legislative Scrutiny),•    ඒ සම්බන්ධයෙන් පර්යේෂකයන්ට සහ විද්වත් පාර්ශ්වයන්ට දායක වීමට අවස්ථාව සැලසීම යන කරුණු කථානායකවරයා අවධාරණය කළේය.මෙම යෝජනාවලිය සකස් කිරීමේදී ඉන්දියාවේ ලෝක් සභාවේ සහ එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු පර්යේෂණ ආයතන පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව ද කථානායකවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම, යෝජිත ආයතනය ස්ථාපිත කිරීම සඳහා සම්පත් දායකයෙකු ලෙස මැක්ස් ප්ලැන්ක් පදනම ලබා දෙන සහයෝගය පිළිබඳව ද ඒ මහතා සිය ස්තුතිය පළ කළේය.යෝජිත පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට තම ආයතනය සූදානම් බව  මැක්ස් ප්ලැන්ක් පදනමේ නියෝජිතයන් එහිදී ප්‍රකාශ කළේය.මෙම ව්‍යාපෘතිය සඳහා පත් කර ඇති කමිටුවේ සභාපති වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා සඳහන් කළේ, කමිටුව විසින් සකස් කරමින් පවතින ව්‍යාපෘති යෝජනාව ඉදිරි සති දෙක ඇතුළත අවසන් කර භාර දීමට අපේක්ෂා කරන බවයි.  මැක්ස් ප්ලැන්ක් පදනම විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සහ නිර්දේශ ද එම ක්‍රියාවලියේදී සලකා බලන බවත්, ඒ සඳහා පදනම වෙත ස්තුතිය පළ කරන බවත් ඔහු පැවසීය. එම කමිටුවේ අනෙකුත් කමිටු සමාජීකයින් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂක කාන්ති පිරීස් මහත්මිය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂ සරත් කුමාර මහතායි. මෙම සාකච්ඡාවට ගරු කථානායකවරයාගේ පුද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතා සහ සම්බන්ධීකරණ ලේකම් ජනක මහේෂ් අතපත්තු මහතා ද සහභාගී වූහ.


2026-08-06

සත්ව (සංශෝධන) සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී  අද (ජූලි 06) සම්මත විය.මෙම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදය අද පෙරවරු 11.45 සිට පස්වරු 5.40 දක්වා පැවැත්විණි.සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් 2026.07. 21 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරන ලදී.මෙම පනත් කෙටුම්පත මගින් මීට පෙර ගවයන් සහ මී ගවයන් ප්‍රවාහනය සඳහා පමණක් අදාළ වූ නීතිමය විධිවිධාන තවත් සත්ව වර්ග කිහිපයක් සඳහා ද පුළුල් කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව, ඉදිරියේදී ඌරන්, බැටළුවන් සහ එළුවන් ප්‍රවාහනය කිරීමේදී අදාළ නිල බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය වන අතර, සතුන්ගෙන් මිනිසුන්ට බෝවිය හැකි රෝග ව්‍යාප්තිය පාලනය කිරීම එහි ප්‍රධාන අරමුණ වේ.ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා විසින් 2026.0. 21 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරන ලදී.මෙම පනත් කෙටුම්පත මගින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ජල සම්පාදන සේවා කළමනාකරණය වඩාත් විධිමත් කිරීම සහ මණ්ඩලයේ වගකීම් පුළුල් කිරීම අරමුණු කර ඇත.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks