පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-11-25
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ආබාධ සහිත තැනැත්තන්ට අනුකම්පා කිරීම අවශ්‍ය නොවන බවත් අනුකම්පා කිරීම ඔවුනට සිදු කරන එක්තරා අකාරයක අගෞරවයක් බවත් කම්කරු ගරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රමසම්පාදන ගරු නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. සිදු කළ යුත්තේ ආබාධ සහිත තැනැත්තන්ට ඔවුන් වෙනුවෙන් තම කටයුතු ස්වාධීනව සිදු කර ගැනීමට හැකි වාතාවරණයක් නිර්මාණය කිරීම බවද ගරු අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය."
ගරු අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 2025.11.20 දින ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ක්‍රියාකාරී සැලැස්මේ අංගයක් ලෙස අමාත්‍යාංශවල පැවැත්වීමට සැලසුම් කර ඇති සංවේදීකරණ වැඩසටන් මාලාවේ කම්කරු අමාත්‍යාංශයේ පැවති පළමු වැඩසටහනට සහභාගී වෙමිනි..
ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගයෙන්, මැතිවරණ ක්‍රමවේදයන් සඳහා වන ජාත්‍යන්තර පදනමේ (IFES) අනුග්‍රහයෙන් කම්කරු අමාත්‍යාංශයේ සහ ඊට අයත් ආයතනවල මහජන සබඳතාව සහිතව සේවය කරන මාණ්ඩලික නිලධාරීන් ඉලක්ක කර ගෙන මෙම වැඩමුළුව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරන ලදී.
ඒ අනුව ගරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රමසම්පාදන ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ ආබාධ සහිත තැනැත්තන් ගැන සංවේදීකරණය පිළිබඳ අදහස් සමාජගත වන තුරු නීති රීති මගින් අන්තර්කකරණය ළඟා කර ගැනීමට කටයුතු කිරීමට සිදු ව ඇති බවයි. නීති රීති මගින් පමණක් මෙම පිරිසට අවශ්‍ය වන සහයෝගය ලබා දීම ප්‍රමාණවත් නොවන බවත්, ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කර ගනිමින් ආබාධ සහිත තැනැත්තන් සමඟ කටයුතු කිරීමේ වැදගත්කම ගරු අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය. එමෙන්ම ආබාධ සහිත තැනැත්තන්ට අවශ්‍ය පෞද්ගලික අංශයේ රැකියා සිදු කිරීමටද අවස්ථාව ලබා දීම පිළිබඳව එම අංශයෙන් තමා ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසුවේය.
ආබාධ
සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු
මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා අදහස් දක්වමින් මෙරට රැකියා ස්ථාන ආබාධ
සහිත තැනැත්තන්ට වැඩ කිරීමට හැකි වන පරිදි නිර්මාණය කළ යුතු බව පැවසුවේය.
එය ක්‍රියාත්මක කිරීමට නම් ඒ සඳහා වන සංවේදීකරණය ප්‍රථමයෙන් ඇති කර ගත යුතු
බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය. එමෙන්ම ආබාධ සහිත
තැනැත්තන්ට මෙරට ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වීමට පවතින සියලු බාධා ඉවත්
කළ යුතු බවත්, ඒ ඔස්සේ ආබාධ සහිත තැනැත්තන්ගේද ආර්ථිකය ශක්තිමත් කිරීමට
අවස්ථාව උදා වන බවත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා
අවධාරණය කළේය. තවද ආබාධ සහිත තැනැත්තන් තව දුරටත් යැපෙන්නන් ලෙස නොව ආර්ථික
ක්‍රියාවලියට දායක වන්නන් වීම තෙක් එම පුද්ගලයින් රැගෙන ඒමට කටයුතු කළ
යුතු බවත් පැවසුවේය.
ආබාධ සහිත සම්පත් දායකයින් විසින් මෙහිදී එම
ප්‍රජාවගේ ගැටලු හා ඒ ආශ්‍රිත අනෙකුත් කරුණු පිළිබඳව පැමිණි පිරිස දැනුවත්
කළහ. තවද වැඩමුළුව සඳහා සම්පත් දායකයින් ලෙස සහභාගී වී සිටි ආබාධ සහිත
තැනැත්තන් තමන්ට රැකියාගත ස්ථානවලදී මුහුණ දීමට සිදු වූ ගැටලු, අත්දැකීම්
සහ රැකියා අවස්ථා ලබා ගැනීමේ දී මුහුණ දීමට සිදු වන ගැටලු පිළිබඳව අදහස්
හුවමාරු කර ගත්හ.
මෙම වැඩමුළුව ඉදිරියේ දී සියලු අමාත්‍යාංශ ඉලක්ක
කර ගෙන පැවැත්වීමට ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින්
සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්
එස්.එම්. පියතිස්ස, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ
නිලධාරීන්, මැතිවරණ ක්‍රමවේදයන් සඳහා වන ජාත්‍යන්තර පදනමේ (IFES) මෙරට
නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රක උබේසේකර, එහි වැඩසටහන් නිලධාරිනී අනෝජිතා
සිවාස්කරන් මෙනවිය ඇතුළු එම ආයතනයේ නිලධාරීන් සහ ආබාධ සහිත තැනැත්තන් සඳහා
වූ ආයතන හා සංවිධානවල නියෝජිතයින් පිරිසක් එක් ව සිටියහ.
2026-06-03
දසවැනි පාර්ලිමේන්තුව සඳහා වූ, මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවීම ආරම්භ කොට තිබේ.මෙම විශේෂ කාරක සභාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් සහ සාමාජික මන්ත්‍රීවරයන් 11 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එහි අරමුණ වන්නේ , මැතිවරණ සම්බන්ධයෙන් වන නීති, විශේෂයෙන්ම ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනත සහ එම පනත්වලට වසර ගණනාවක් තුළ සිදු කරන ලද සංශෝධන සහ එම පනත්වල විධිවිධානයන්ට අදාළ වන විශේෂ විධිවිධාන පනත් සමාලෝචනය කිරීම, මෙම පනත් ප්‍රතිශෝධනය කිරීමේ, සංශෝධනය කිරීමේ සහ ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය ඇගයීම සහ මැතිවරණ සම්බන්ධයෙන් වන වර්තමාන නීති (පළාත් සභා ඡන්ද විමසීම හැර) සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ සංශෝධන නිර්දේශ කිරීම යි.එම කාරක සභාවේ දී සලකා බැලීම සඳහා අදාළ විෂයපථය යටතේ අදහස්/ යෝජනා ඉදිරිපත් කිරීමට මහජනතාවට / ඒ පිළිබඳ උනන්දුවක් දක්වන වෙනත් පාර්ශ්වයන්ට සහ සංවිධානවලට අවස්ථාව ලැබෙන අතර, එම අදහස්/ යෝජනා 2026 ජූලි මස 15 දිනට ප්‍රථම පහත ලිපිනයට හෝ legis_com@parliament.lk විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකිය. ලිපිනය: කාරක සභාවේ ලේකම්මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
2026-06-03
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. පොලිස් ස්ථාන ශක්තිමත් කිරීම, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සඳහා පොලිස් නිලධාරීන්ගේ නියෝජනය සහ කිලිනොච්චිය ආශ්‍රිත වැලි ජාවාරම මැඩලීම ඇතුළු පොලිස් සේවාව හා සම්බන්ධව ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-02
වී වේලීම, ගබඩා කිරීම ඇතුළු පහසුකම් රැසක් වැඩිදියුණු කිරීමට සමුපකාර තොග වෙළඳ සංස්ථාව හරහා මේ වසරේදී රු. මිලියන 1000ක් වෙන් කර ඇති බවත් අදාළ යන්ත්‍රෝපකරණ දකුණු සහ උතුරු පළාත්වල ස්ථාපිත කිරීමට නියමිත බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති එම කාරක සභා රැස්වීමකදී අදහස් දක්වමින් ගරු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.සමුපකාර සමිතිවලට වී වේලන යන්ත්‍ර ලබා දීම සඳහා රුපියල් මිලියන 500ක ව්‍යාපෘතියක් සහ නිෂ්පාදන සමුපකාර සඳහා නිෂ්පාදන සහ ඇසුරුම් යන්ත්‍රෝපකරණ මිල දී ගැනීමට රු. මිලියන 100ක ව්‍යාපෘතියක් මේ වසරේ ක්‍රියාත්මක බවත් කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේය. එසේම, වී, සහල් බවට පත් කිරීම සහ අල මිල දී ගැනීමේ ක්‍රියාවලියට සමූපකාර තොග වෙළඳ සංස්ථාව මැදිහත් වී ඇති බවත්, අල කිලෝ ග්‍රෑම් 1 ක් රු. 220 ක මුදලකට මිල දී ගෙන සීමාසහිත ලංකා සතොස ආයතනය හරහා ඒවා විකිණීම සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.එසේම, සම්බා සහ කීරි සම්බා සහල්වලට ආදේශක සහල් ආනයනය කළ අප්‍රේල් මාසය තුළ සහල් මෙට්‍රික් ටොන් 120,000 ක් ආනයනය කර ඇති බවත්, අවශ්‍ය වුවහොත් පමණක් නැවත සහල් ආනයනය පිළිබඳව සලකා බලන බවත් ඔහු ප්‍රකාශ කළේය.ඇතැම් සමූපකාර සමිතිවල සිදුවන වංචා සහ දූෂණ පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. අදාළ චංචනික ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් කිසිදු දඩුවමකින් තොරව නැවතත් එම සමිතිවල තනතුරුවලට පත් වීම ඇතුළු ගැටලු පිළිබඳව මන්ත්‍රීවරු මෙහිදී කරුණු ඉදිරිපත් කළහ. පවතින නෛතික දුර්වලතා ඇතුළු අනෙකුත් අඩුපාඩු කඩිනමින් විසඳීම පිළිබඳව අමාත්‍යවරයා කරුණු විමසීම් සිදුකරමින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය . මහපොළ ශිෂ්‍යාධාර ලබා ගත් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංගමයක් අභිනවයෙන් පිහිටුවා ඇති බවත්, ඒ සඳහා දායකත්වය ලබා දෙමින් සියලු ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එක් වන ලෙසත් අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව අනාගත ශිෂ්‍ය ප්‍රජාවේ උන්නතිය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙම සංගමයට හැකි වනු ඇති බවත් වැඩිදුරටත් ඔහු සඳහන් කළේය. සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතිය නවීකරණය කිරීම සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීම, නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව වන කරුණු ඇතුළු මෙම විෂය ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු විය.වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා ගරු නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන සහ සමූපකාර සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ යන මහත්වරුන් ඇතුළු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-05-29
වර්තමාන රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව “නිර්බාධිත පරිසරයක් - අන්තර්කරණය වූ සමාජයක්” නිර්මාණය කිරීම උදෙසා, ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය, සේවා සහ පහසුකම් සැලසීම වෙනුවෙන් 2027 වර්ෂයේ දී ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් සඳහා අයවැය යෝජනා ලබා ගැනීමේ වැඩසටහනක් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් පවත්වන ලදි. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් එම සංසදය පාර්ලිමේන්තුවේදී මේ මස 25 සහ 27 දිනයන්වලදී රැස්වූ අවස්ථාවේදීය. ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය මෙන්ම ඔවුන්ට සේවා සහ පහසුකම් සැලසීම සඳහා පවතින බාධක හඳුනාගනිමින්, ඊට තිරසර විසඳුම් ලබාදීම උදෙසා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය බහුවිධ ප්‍රවේශයකින් ක්‍රියාත්මක වෙමින් පවතී. එහි දිගුවක් ලෙස 2027 වර්ෂයට අදාළ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම තුළින් ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමත්, ඔවුන්ගේ පූර්ණ හා ඵලදායි සමාජ සහභාගීත්වය වඩාත් සංවිධිත ආකාරයට තහවුරු කිරීමත්, අපේක්ෂා කෙරේ.ඒ අනුව, දැනට ක්‍රියාත්මක කරමින් පවතින වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, නව යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහාත්, ආබාධ සහිත තැනැත්තන්ගේ සංවිධාන නියෝජිතයින්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන නියෝජිතයින් සහ ආබාධ සහිත ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් මෙම යෝජනා ලබාගැනීම සිදු විය. මෙම අවස්ථාව, ආබාධ සහිත තැනැත්තන් ජාතික අයවැය ලේඛනයේ අන්තර්ගතය සම්බන්ධයෙන් සෘජු සහ ජාතික මට්ටමේ උපදේශන ක්‍රියාවලියකට දායක කරගත් පළමු අවස්ථාව බව ගරු සභාපතිවරයා වැඩසටහන අතරතුර අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. දින දෙකක් පුරාවට, වාචික ඉදිරිපත් කිරීම් සමඟ ලිඛිත යෝජනා කට්ටල 50 ක් පමණ මෙහිදී විවිධ ආබාධිත කණ්ඩායම් නියෝජනය කරන සංවිධානය මගින් සංසදය වෙත ඉදිරිපත් කරන ලදි. මූල්‍ය දීමනා සහ සමාජ ආරක්ෂණය, අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව, ප්‍රවේශ්‍යතාව සහ යටිතල පහසුකම්, සෞඛ්‍ය සහ සහායක තාක්ෂණික උපකරණ, රැකියා සහ ජීවනෝපායන්, නීති ආධාර, දත්ත කළමනාකරණය සහ ආබාධිතභාවයන්ට අදාළ අනෙකුත් නිශ්චිතව හඳුනාගත් ප්‍රමුඛතා ඇතුළුව ආබාධ සහිත තැනැත්තන්ට බලපාන ප්‍රධාන ක්ෂේත්‍ර මෙම යෝජනා මගින් ආවරණය විය.ඉදිරිපත් වූ සියලු යෝජනා පරීක්ෂා කර, ප්‍රමුඛතාව අනුව ගොනුකර, ජනාධිපති ලේකම් කාර්යාලයට සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට සංසදය ඔස්සේ සෘජුවම ඉදිරිපත් කරන බවට ද ගරු සභාපතිවරයා රැස්වීම අවසානයේ සහතික විය. මෙම පාර්ලිමේන්තු සංසදයේ රැස්වීම සඳහා එහි සාමාජික මන්ත්‍රීවරු පිරිසක්ද සහභාගී වූහ. ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය ලබන මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්‍යන්තර පදනම (IFES) විසින් මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය සහ මූල්‍ය සහාය දක්වන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි. | පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks