02

E   |     |  

2025-11-25

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ආබාධ සහිත තැනැත්තන්ට අනුකම්පා කිරීම අවශ්‍ය වන්නේ නැහැ, අවශ්‍ය වන්නේ එම තැනැත්තන්ට ස්වාධීනව කටයුතු කළ හැකි වාතාවරණයක් නිර්මාණය කිරීමයි - කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා

  • රැකියා ස්ථාන ආබාධ සහිත තැනැත්තන්ට වැඩකිරීමට  හැකිවන පරිදි නිර්මාණය කළ යුතුයි  -  ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා

 

ආබාධ සහිත තැනැත්තන්ට අනුකම්පා කිරීම අවශ්‍ය නොවන බවත් අනුකම්පා කිරීම ඔවුනට සිදු කරන  එක්තරා අකාරයක අගෞරවයක් බවත් කම්කරු ගරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රමසම්පාදන ගරු නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. සිදු කළ යුත්තේ ආබාධ සහිත තැනැත්තන්ට ඔවුන් වෙනුවෙන් තම කටයුතු ස්වාධීනව සිදු කර ගැනීමට හැකි වාතාවරණයක් නිර්මාණය කිරීම බවද ගරු අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය."

ගරු අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 2025.11.20 දින ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ක්‍රියාකාරී සැලැස්මේ අංගයක් ලෙස අමාත්‍යාංශවල පැවැත්වීමට සැලසුම් කර ඇති සංවේදීකරණ වැඩසටන් මාලාවේ කම්කරු අමාත්‍යාංශයේ පැවති පළමු වැඩසටහනට සහභාගී වෙමිනි..

ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගයෙන්, මැතිවරණ ක්‍රමවේදයන් සඳහා වන ජාත්‍යන්තර පදනමේ (IFES) අනුග්‍රහයෙන් කම්කරු අමාත්‍යාංශයේ සහ ඊට අයත් ආයතනවල මහජන සබඳතාව සහිතව සේවය කරන මාණ්ඩලික නිලධාරීන් ඉලක්ක කර ගෙන මෙම වැඩමුළුව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරන ලදී.

ඒ අනුව ගරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රමසම්පාදන ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ ආබාධ සහිත තැනැත්තන් ගැන සංවේදීකරණය පිළිබඳ අදහස් සමාජගත වන තුරු නීති රීති මගින් අන්තර්කකරණය ළඟා කර ගැනීමට කටයුතු කිරීමට සිදු ව ඇති බවයි. නීති රීති මගින් පමණක් මෙම පිරිසට අවශ්‍ය වන සහයෝගය ලබා දීම ප්‍රමාණවත් නොවන බවත්, ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කර ගනිමින් ආබාධ සහිත තැනැත්තන් සමඟ කටයුතු කිරීමේ වැදගත්කම ගරු අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය. එමෙන්ම ආබාධ සහිත තැනැත්තන්ට අවශ්‍ය පෞද්ගලික අංශයේ රැකියා සිදු කිරීමටද අවස්ථාව ලබා දීම පිළිබඳව එම අංශයෙන් තමා ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසුවේය.

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා අදහස් දක්වමින් මෙරට රැකියා ස්ථාන ආබාධ සහිත තැනැත්තන්ට වැඩ කිරීමට හැකි වන පරිදි නිර්මාණය කළ යුතු බව පැවසුවේය. එය ක්‍රියාත්මක කිරීමට නම් ඒ සඳහා වන සංවේදීකරණය ප්‍රථමයෙන් ඇති කර ගත යුතු බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය. එමෙන්ම ආබාධ සහිත තැනැත්තන්ට මෙරට ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වීමට පවතින සියලු බාධා ඉවත් කළ යුතු බවත්, ඒ ඔස්සේ ආබාධ සහිත තැනැත්තන්ගේද ආර්ථිකය ශක්තිමත් කිරීමට අවස්ථාව උදා වන බවත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා අවධාරණය කළේය. තවද ආබාධ සහිත තැනැත්තන් තව දුරටත් යැපෙන්නන් ලෙස නොව ආර්ථික ක්‍රියාවලියට දායක වන්නන් වීම තෙක් එම පුද්ගලයින් රැගෙන ඒමට කටයුතු කළ යුතු බවත් පැවසුවේය.
ආබාධ සහිත සම්පත් දායකයින් විසින් මෙහිදී එම ප්‍රජාවගේ ගැටලු හා ඒ ආශ්‍රිත අනෙකුත් කරුණු පිළිබඳව පැමිණි පිරිස දැනුවත් කළහ. තවද වැඩමුළුව සඳහා සම්පත් දායකයින් ලෙස සහභාගී වී සිටි ආබාධ සහිත තැනැත්තන් තමන්ට රැකියාගත ස්ථානවලදී මුහුණ දීමට සිදු වූ ගැටලු, අත්දැකීම් සහ රැකියා අවස්ථා ලබා ගැනීමේ දී මුහුණ දීමට සිදු වන ගැටලු පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.

මෙම වැඩමුළුව ඉදිරියේ දී සියලු අමාත්‍යාංශ ඉලක්ක කර ගෙන පැවැත්වීමට ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සැලසුම් කර ඇත.

මෙම වැඩසටහන සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නිලධාරීන්, මැතිවරණ ක්‍රමවේදයන් සඳහා වන ජාත්‍යන්තර පදනමේ (IFES) මෙරට නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රක උබේසේකර, එහි වැඩසටහන් නිලධාරිනී අනෝජිතා සිවාස්කරන් මෙනවිය ඇතුළු එම ආයතනයේ නිලධාරීන් සහ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ආයතන හා සංවිධානවල නියෝජිතයින් පිරිසක් එක් ව සිටියහ.




සම්බන්ධිත පුවත්

2025-12-16

හදිසි ආපදා තත්ත්වයෙන් විනාශ වූ මාර්ග හා පාලම් හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 75 ක පමණ අලාභයක්

•    ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල්  බිලියන 20 ක පමණ අලාභයක්.දිවයිනට බල පෑ හදිසි ආපදා තත්ත්වයෙන් මාර්ග හා පාලම් විනාශ වීම නිසා මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 75 ක පමණ අලාභයක් සිදුව ඇති බවට දැනට දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු පැවසුහ.එමෙන්ම එම විනාශ වූ මාර්ග හා පාලම් සම්පුර්ණයෙන් යථාතත්ත්වයට පත්කිරීමේ දී සිදුකළයුතු අනෙකුත් ප්‍රතිසංස්කරණයන් සමග ඒ සඳහා රුපියල් බිලියන 190 ක පමණ මුදලක් අවශ්‍යවන බවට ඇස්තමේන්තු ගත කර ඇති බව එම නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුහ.මේ පිළිබඳව කරුණු අනාවරණය වූයේ රට තුළ පවතින ආපදාවේ ස්වභාවය විශ්ලේෂණය කිරීම සහ එයින් සිදුවන සමාජීය, ආර්ථික හා පාරිසරික හානිය තක්සේරු කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා  (දෙසැ.  11) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දීය.මෙහිදී අදහස් දක්වමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම ආපදා තත්ත්වය හමුවේ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතින මාර්ග 316 ක් සහ පාලම් 40කට හානි සිදුවී ඇති බව පෙන්වා දුන්හ. කෙසේ වෙතත් මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ දුම්රිය මාර්ග වලට සිදුවූ හානිය සහ දිවයිනපුරා ප්‍රාදේශීය මාර්ගවලට සිදුවූ හානිය පිළිබඳව තවමත් තක්සේරු කිරීමක් සිදුව නොමැති බවයි. ප්‍රාදේශීය මාර්ග නැවත පිළිසකර කිරීමේ දී ඒ සඳහා වන මුදල් ප්‍රතිපාදන ලබාදීම සඳහා අමාත්‍යාංශය මූලිකත්වයෙන් වැඩපිළිවෙලක් සකස් කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ අනුව දැනට ලෝක බැංකුව මගින් රුපියල් බිලියන 2ක මුදලක් ණයක් ලෙස ලබාගැනීමට අපේක්ෂා කරන බවත් තවත් ආයතන කිහිපයක් මගින් මෙම ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අවශ්‍ය මුදල් ලබාගැනීමට අපේක්ෂා කරන බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ."මේ අතර මෙම ආපදා තත්ත්වයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 20 ක පමණ අලාභයක් සිදුව ඇති බව එම මණ්ඩලයේ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ලෝක බැංකුවෙන් මේ සඳහා යම් ණය මුදලක් ලබාගැනීමට සාකච්ඡා සිදුවන බවත් එම නිලධාරීන් පැවසූහ. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා එම මුදල ණය මුදල් ලෙස ලබා නොගෙන ප්‍රදානයක් ලෙස ලබාගැනීමට උත්සාහ කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ණය මුදලක් ලෙස එම ප්‍රතිපාදන ලබා ගැනීම ඔස්සේ පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පතේ යම් වැඩිවීමක් සිදුවිය හැකි බැවින් එම මුදල ප්‍රදානයක් ලෙස ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.තවද සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමට මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දැනට ඇස්තමේන්තුගත කර ඇති ආකාරයට රුපියල් මිලියන 252 ක පමණ අලාභයක් සිදුව ඇති බව එම නිලධාරීන් කාරක සභාවට දැන්වූහ. එම එම අළුත්වැඩියා කටයුතු සඳහා වැයවන මුදල ඔවුනට අයවැය මගින් වෙන් කර තිබෙන ප්‍රතිපාදන මගින් ප්‍රතිපුර්ණය කරගත  හැකි බැවින් අමතර ණය හෝ ප්‍රදානයක් අවශ්‍ය නොවන බව සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ නිලධාරීහු වැඩිදුරටත් කරුණු දක්වමින් කාරක සභාවට දැන්වූහ.ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයට මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දැනට ඇස්තමේන්තුගත කර ඇති ආකාරයට රුපියල් බිලියන 5.6 ක පමණ අලාභයක් සිදුව ඇති බව එම නිලධාරීහු කාරක සභාව දැන්වූහ. ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ ජල සැපයුම් යෝජනාක්‍රම 156 කට හානි සිදුව ඇති බවත් ඒ සියල්ලම නඩත්තු කටයුතු සිදු කර මේ වනවිට  යථා තත්ත්වයට පත් කර ඇති බවත් නිවාස ,ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ  ලේකම්වරයා  කාරක සභාවට පැවසීය.එමෙන්ම  ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය මුදල් ආසියානු සංවර්ධන බැංකුව මගින් ප්‍රදානයක් ලෙස ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවද ලේකම්වරයා කාරක සභාවට දන්වන ලදී.ඒ අනුව මෙහිදී අදහස් දක්වමින් ඉදිරියේදී සිදුවිය හැකි ආපදාවන්ට මුහුණ දීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාවේ සභාපතිවරයා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් ඒ සඳහා අවශ්‍ය සහාය අදාළ අමාත්‍යාංශ සහ නිලධාරීන් වෙත ලබාදීමට සුදානම් බවද පැවසුවේය.මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර ජයමහ, අජිත් පී. පෙරේරා, අසිත නිරෝෂණ එගොඩ විතාන යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.


2025-12-09

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක වාර්ෂික සහ ගිණුම් වාර්තා අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සළකා බැලේ

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින විශ්වවිද්‍යාල සහ අධ්‍යයන ආයතන කිහිපයක වාර්ෂික වාර්තා සහ ගිණුම් වාර්තා  අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සළකා   බලන ලදී.ඒ, එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 26) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව මෙදින කාරක සභාවේදී  2022 සහ 2023 වසර සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා, 2022 සහ 2023 වසර සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තා, 2022 සහ 2023 වසර සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා, 2022 සහ 2023 වසර සඳහා සෞන්දර්ය කලා  විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා සහ  2023 වසර සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් වාර්තාව  සළකාබලා අනුමත කරන ලදී .තවද, පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම පිළිබඳව සහ විදුහල්පතිවරුන් බඳවා ගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා කරන ලදී.මේ අවස්ථාව සඳහා  ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන්, රෝහිණි කුමාරි විජේරත්න, අබූබකර් අතම්බාවා, තුරෛරාසා රවිකරන්,  සුනිල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන්  මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.


2025-12-09

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි, 2026 වර්ෂය සඳහා ජාතික විගණන කාර්යාල වැඩසටහන සහ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසන් වාර්තාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 71 වන වගන්තිය යටතේ රෙගුලාසි සලකා බැලීම සඳහා විශේෂ කාරක සභා රැස්වීමක්.2025 සැප්තැම්බර් 04 දිනැති අංක 2452/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි, ජාතික විගණන කාර්යාලයේ 2026 සඳහා වාර්ෂික වැඩ වැඩසටහන සහ 2026 මූල්‍ය වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පතේ ස්ථාවර නියෝග 121(5)(ii) යටතේ සකස් කරන ලද අවසන් වාර්තාව ඇතුළු කරුණු කිහිපයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලන ලදී. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගිය 03 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි (NMRA) පිළිබඳ සාකච්ඡාවේදී, ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී එම පද්ධතියේ පවතින විනිවිදභාවය සහ පාරදෘශ්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා කාරක සභාව නිර්දේශ කළේය. ඒ අනුව, 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 2452/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව  අනුමත කරන ලදී.අනතුරුව ජාතික විගණන කාර්යාලයේ 2026 වාර්ෂික වැඩ වැඩසටහන ද කාරක සභාව විසින් සලකා බලන ලදී. එම වැඩසටහනට අනුව 2026 වසරේදී විගණන 3,508 ක් සිදු කිරීමට නියමිතය. ඒ යටතට මූල්‍ය විගණන 3,484 ක්, කාර්ය සාධන විගණන 11 ක්, පාරිසරික විගණන 1 ක්, විශේෂ විගණන 12 ක් ඇතුළත් වේ.තවද සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සහ සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සංගම්වල විගණන කටයුතු ද 2026 වසරේ සිට විගණකාධිපතිවරයා වෙත අලුතින් පවරා ඇත.මෙහිදී සමෘද්ධි විගණන සිදු කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල ධාරිතාව පිළිබඳව කාරක සභාව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන්ගෙන් කරුණු විමසන ලදී. ඊට පිළිතුරු ලබාදෙමින් වැඩබලන විගණකාධිපතිවරයා වත්මන් කාර්ය මණ්ඩලයට අමතරව 10% ත් අතර 15% ක අමතර කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වනු ඇති බව ප්‍රකාශ කළේය. කාරක සභාවට වැඩි දුරටත් කරුණු දක්වමින් වැඩබලන විගණකාධිපතිවරයා මේ වනවිට ප්‍රාදේශීය කාර්යාල හරහා නියමු විගණන පරීක්ෂණ සිදු කරන අතර එම ක්‍රියාවලිය ලබන පෙබරවාරි මස අග දක්වා ක්‍රියාත්මක බවත් ඉන් අනතුරුව අලුතින් පිරිස් බඳවා ගන්නවාද නැත්නම් බාහිරින් සේවාවන් ලබාගෙන එම විගණනය  සිදු කරන්නේ ද යන්න තීරණය කරන බව පැවසීය.ඒ අනුව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව, විගණකාධිපතිවරයාගේ ඇගයීමට යටත්ව සමෘද්ධි සම්බන්ධ අතිරේක විගණන කටයුතු බාහිරකරණය කිරීමට කාරක සභාව සහාය දක්වන බවට කථානායවරයාට නිරීක්ෂණයක් ඉදිරිපත් කිරීමට කාරක සභාව එකඟ විය. ඒ අනුව, ජාතික විගණන කාර්යාලය පරීක්ෂණ ව්‍යාපෘතියක් සිදු කර 2026 පෙබරවාරි මස අවසානයේදී ඒ සම්බන්ධ වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසට උපදෙස් ලබාදෙන ලදී.තවද 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධ ස්ථාවර නියෝග 121(5)(ii) යටතේ සකස් කළ අවසන් වාර්තාව කාරක සභාවේදී සලකා බලන ලදී. එළඹෙන වර්ෂය සඳහා වන අමාත්‍යාංශ අයවැය යෝජනා සහ මූල්‍ය වෙන් කිරීම් පිළිබඳ කාරක සභාවේ සමාලෝචනයෙන් පසු එහි නිරීක්ෂණ සහ නිර්දේශ මෙම වාර්තාවේ දක්වා ඇත.ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් හරහා ප්‍රතිපාදන ලබා දීම සඳහා වන යෝජනාව සලකා බැලීම සඳහා විශේෂ රැස්වීමක් ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 වන දා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.ඒ අනුව  2025 ජනවාරි 1 දිනෙන් ආරම්භ වන හා 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන මුදල් වර්ෂයේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් අනිකුත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිමතය පරිදි රජය විසින් ලබා ගන්නා ලද ඕනෑම ණය මුදලකින් රුපියල් මිලියන පනස් දහසක් (රු. 50,000,000,000) නොඉක්මවන අතිරේක මුදලක් ගෙවිය යුතු බවටත් එවැනි මුදලක් වියදම් කළ යුතු බවත් අදාළ යෝජනාවේ සඳහන් වී ඇත.2460/44 අංක අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 71 වන වගන්තිය යටතේ පනවන ලද රෙගුලාසි කාරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී.මෙම රැස්වීම් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ.


2025-12-05

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව මෙරට අපනයන අංශයේ ප්‍රගතිය පිළිබඳව අපනයන සංවර්ධන මණ්ඩලයෙන් විමසයි

ශ්‍රී ලංකාවේ අපනයන අංශය නව ප්‍රගතියක් පෙන්නුම් කරන බවත්, සියලුම දිස්ත්‍රික්කවල අපනයනකරුවන් සමඟ කටයුතු කරමින්, නිෂ්පාදන සංවර්ධනය, වෙළඳපොළ ප්‍රවේශය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා සහාය ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පසුගියදා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට දැනුම් දුන්නේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් 2025.11.26 දින පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී  අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීහු මේ බව පැවසූහ. ශ්‍රී ලංකාවේ අපනයන දශකයකට ආසන්න කාලයක් ඇමරිකානු ඩොලර් බිලියන 13-15 අතර පවතින නමුත් මෑත කාලීන ප්‍රතිසංස්කරණ සහ ඉලක්කගත වැඩසටහන් මගින් ඉහළ වර්ධනයක් කරා ගමන් කිරීමට හැකිවූ  බව අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීහු ප්‍රකාශ කළහ. අපනයන සංවර්ධන මණ්ඩලයේ නව ජාතික උපාය මාර්ගික සැලැස්ම අනුව ප්‍රධාන උපදේශක ආයතන නැවත සක්‍රීය කර, කර්මාන්ත සහ විදේශීය දූත මණ්ඩල යන දෙකටම පැහැදිලි කාර්ය සාධන ඉලක්ක ලබාදී ඇති බව ඔවුහු තවදුරටත් පැවසූහ.කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, අපනයනකරුවන්ගෙන් 78% ක් වන  නමුත් මුළු අපනයන ආදායමට සුළු කොටසක් පමණක් දායක වීම පිළිබඳවත් එබැවින් ඔවුන්ගේ සහභාගීත්වය වැඩි කිරීමට ප්‍රමුඛතාවයක් ලබා දියයුතු බවත් මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ අනුව, ප්‍රාදේශිය සංවර්ධන වැඩසටහන් සහ වැඩිදියුණු කළ සහාය සේවා හරහා මෙම දායකත්වය සැලකිය යුතු ලෙස පුළුල් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කරන්නේ කෙසේද යන්න මෙහිදී සාකච්ඡා කෙරිණි. විශාල ගැනුම්කරුවන් සහ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන ප්‍රධාන ජාත්‍යන්තර කාර්මික ප්‍රදර්ශනයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව සූදානම් වන බව ද මෙහිදී අනාවරණය විය.ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාව මෑත වසරවල ශක්තිමත් කාර්ය සාධනයක් සනිටුහන් කරමින් අපනයන ආදායම ඩොලර් බිලියන 16-17 ඉක්මවන තත්ත්වයකට ශක්තිමත් වෙමින් සිටින බව නිලධාරීහු සඳහන් කළහ. ඩොලර් බිලියන 20 ක අපනයන ඉලක්කයක් කරා යන ගමනේදී අඛණ්ඩ ප්‍රතිසංස්කරණ, වැඩිදියුණු කළ වෙළඳපල ප්‍රවේශය සහ ශක්තිමත් කර්මාන්ත සහයෝගීතාව අත්‍යවශ්‍ය වනු ඇතැයි ද ඔවුහු ප්‍රකාශ කළහ.ගරු. නියෝජ්‍ය අමාත්‍ය (මහාචාර්ය) රුවන් රණසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ සුජීව සේනසිංහ, කේ. සුජිත් සංජය පෙරේරා, , චතුර ගලප්පත්ති, (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන්, චමින්ද හෙට්ටිආරච්චි, නිශාන්ත ජයවීර, චන්දන සූරියආරච්චි  සහ තිළිණ සමරකෝන් යන මහත්වරු ද  අපනයන සංවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරීහු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.  






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks