පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-11-15
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් සහ සමස්ත ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතුවෙන් ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය.
මේ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් 13 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය සැප්තැම්බර් 10 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවා 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදු වූ අතර එදින සාකච්ඡා කිරීමට නොහැකි වූ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම මෙදින කාරක සභාවේදී සිදු විය.
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා 2021 නොවැම්බර් මස ආයතනයක් සමග රුපියල් මිලියන 40,273 ක වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්තුවක් ලබාදීමට අමාත්‍යමණ්ඩල අනුමතිය හිමිවී තිබූ බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේය. 2021 දෙසැම්බර් මස මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් කර තිබූ අතර 2025 ජනවාරි 03 වැනි දින මෙම ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණි. නමුත් කරුණු කිහිපයක් හේතුවෙන් ඉදිකිරීම් ප්‍රමාදවීම සිදු වූ අතර එම කාලසීමාව දීර්ඝ කිරීමෙන් අනතුරුව 2026 ජූලි මස මෙම කටයුතු නිමකිරීමට නියමිත බව මෙහිදී අනාවරණය විය. මේ හේතුවෙන් දින 548 ක් ප්‍රමාදවීම සිදු වීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුළත් කර වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.
මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට මෙම සංවර්ධන කටයුතු ඉතා කඩිනමින් සිදු කිරීමට කටයුතු කොට ඇති බවත් ඉක්මනින් මෙම කටයුතු අවසන් වනු ඇති බවත්ය.
එසේම අධිකාරියේ සේවකයින්ගේ ආහාර වියදම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර මේ සම්බන්ධයෙන් 2023 වර්ෂයේදී කෝප් කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක නොවී ඇති බව කාරක සභාව පෙන්වා දුන්නේය. මේ අනුව පැමිණි නිලධාරීන් පැවසුවේ මේ වන විට වියදම් අඩු කිරීමට කටයුතු කොට ඇති බවත් මිල අවම කර ගැනීම සඳහා තරඟකාරී ඩෙන්ඩර් ක්‍රමය හඳුන්වාදී ඇති බවත්ය.
වරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ අධිකරණය විසින් බැහැර කිරීමට සහ අත්පත් කර ගැනීමට නිර්දේශ ලබා දී ඇති ඉඩම් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බවයි. මේ අනුව නිලධාරීන් පැවසුවේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
එසේම සීදූව රද්දොලුව ක්‍රීඩා සමාජයේ නම ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ද, එම ක්‍රීඩා සමාජයට සම්බන්ධ වූ ක්‍රීඩකයන් සේවකයන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය.
මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතීඥ දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර්, නීතිඥ සුජීව සේනසිංහ, එම්.කේ.එම්. අස්ලම්, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, තිලිණ සමරකෝන්, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්‍ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.
2025-11-27
රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කර ගියේදැයි යන්න පරීක්ෂා කිරීම සඳහා ඇති උපකරණ මෙරටට ගෙන්වීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා පවතින නීතිමය බාධක ලිහිල් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මුලීක වෙමින් ගත යුතු බව රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා පැවසීය. ඒ එම කාරක සභාව 20.11.2025 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙදින කාරක සභාවේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා වූ 2025 අයවැය යෝජනාවල ප්‍රගතිය සහ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කිරීම සිදු විය.මෙම රැස්වීම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිලධාරීහු අදහස් දක්වමින් අදාළ උපකරණ නොමැතිව එම පරීක්ෂා කිරීම සිදු කිරීමේ අපහසුතාව කාරක සභාවේ අවධානයට යොමු කළහ.මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා රජය මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා දැඩි අවධානයක් යොමු කර ඇති අතරම, මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය කරන රියදුරන් පාලනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව අවධාරණය කළේය.තවද මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හඳුනා ගැනීම සඳහා පවතින මෙවලම් විශේෂ අවශ්‍යතාවයක් පවතින ඒවා බැවින්, එම උපකරණ ප්‍රසම්පාදනය සඳහා ඇති නීතිමය බාධක ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව ද කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය. මෙහිදී මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සඳහා අයවැයගත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රගතියක් ලබා ඇති බව පොලිස් නිලධාරීන් කාරක සභාවට පැවසූහ. තවද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීහු ද තම මණ්ඩලයේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාවට දැනුම් දුන්හ.මේ අතර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අයවැය යෝජනාවල ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. 2025 වසරේ යෝජනාවල සැළකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවත්, අත්හිටුවා තිබූ බොහෝ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කර ක්‍රියාත්මක කරමින් පවතින බවත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, ජී.ජී. පොන්නම්බලම්, මුජිබුර් රහුමාන්, නීතිඥ තුෂාරි ජයසිංහ, ධර්මප්‍රිය විජේසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
2025-11-27
රාජ්‍ය ආයතන සභාපතිවරුන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ඊයේ (නොවැ. 26) හිමිවිය.ඒ අනුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස ආචාර්ය ඩි.බි.පි.එච්. දිසාබණ්ඩාර, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස එම්.ඩි.සි.ඒ. පෙරේරා සහ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්හි සභාපති ලෙස ඉංජිනේරු පි.වි.ඒ. හේමලාල් යන මහත්වරුන්ගේ පත්වීම් මෙලෙස උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරන ලදී.ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් පැවැති මෙම කාරක සභා රැස්වීම සඳහා සාමාජික මන්ත්‍රීවරයන් පිරිසක් සහභාගී වූහ.
2025-11-26
ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ආකාරය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඒවා අනුමත පෞද්ගලික විශ්වවිද්‍යාල ලෙස පිළිගැනීම පිළිබඳව පවතින ගැටලු සම්බන්ධව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ජා කරන ලදී.ඒ එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් 21.11.2025 වන දින පාර්ලිමේතුවේ දී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙරට ගුණාත්මකභාවයෙන් පහළ උපාධි ලබාදීම සඳහා ආයතන බිහිවීම, ඒ ඔස්සේ සිදුවන හානිය පිළිබඳව කරුණු දක්වමින් පැහැදිලි කළේය. එම ආයතන හුදෙක් අධ්‍යාපනය ලබාදීමට නොව ලාභ ලබාගැනීමේ මූලික අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන බව වැඩි දුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේය. ඒ අනුව උපාධි අපේක්ෂකයෙකු අදාළ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ සිට උපාධිය ලබාගැනීම දක්වා ක්‍රියාවලිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා අවධාරණය කර සිටියේය.මෙහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපතිවරයා මෙලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතුළු එම උපාධි ලබාදෙන ආයතන අධීක්ෂණය හා නියාමන කාර්ය සිදු කිරීම සඳහා උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී. ඒ ඔස්සේ අවශ්‍ය දත්ත පද්ධති සකස් කර ලොව අනෙකුත් විශ්වවිද්‍යාල හා සම්බන්ධ වෙමින් ඒවා අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරගැනීම මගින් එම විශ්වවිද්‍යාලවල ස්වභාවය, පාඨමාලාවන්ගේ ගුණාත්මක බව යනාදී කරුණු ගැන සියලු තොරතුරු දැනගැනීමට අවස්ථාව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපතිවරයා විසින් දැනුම් දෙන ලදී. ඒ මගින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අපේක්ෂිත පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා අනුමැතිය ලබදෙන්නේ ද නැද්ද යන්න නිවැරදිව තීරණය කළ හැකි බවද අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අඅමාත්‍යාංශයේ අතිරේක ලේකම් (රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ) සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහතවද දේශීය විශ්වවිද්‍යාල වල ගැටලු, විදෙස් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව ආදී කරුණු සම්බන්ධයෙන්ද මෙම සාකච්ජාවේදී අවධානය යොමු විය.මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනෙවිය, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ, චානක මාදුගොඩ, තුරෛරාසා රවිකරන්, සුනිල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2025-11-26
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට අදාළ කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික වාර්තා 12ක් , රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා (18) සළකා බැලිණි.ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ගේ සභාපතීත්වයෙන් පසුගියදා (නොවැ. 18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ 2022, 2023 සහ 2024 කාර්ය සාධන වාර්තා, උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ 2023 සහ 2024 කාර්ය සාධන වාර්තා, උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ 2022 වසරට අදාළ වාර්ෂික වාර්තාව, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ 2022 සහ 2023 වසරවලට අදාළ වාර්ෂික වාර්තා සහ ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා මෙහිදී සළකා බැලිණි.තවද ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ 2022 සහ 2023 වාර්ෂික වාර්තා, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ 2023 හා 2024 වසරවල වාර්ෂික වාර්තා, රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ 2020,2021, 2022, 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ 2022 සහ 2023 වසර සඳහා වාර්ෂික වාර්තා, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසර සඳහා වාර්ෂික වාර්තා, සිරකරු සුබසාධක අරමුදලේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා සහ ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා මෙසේ සළකා බැලීම සිදුවිය. එම ආයතනවලට අදාළ විගණන විමසුම් පිළිබඳව ද මෙහිදී කාරක සභාව විමසීම් සිදුකළ අතර ඊට අදාළ නිලධාරීහු කරුණු ඉදිරිපත් කළහ. එසේම මෙම ආයතනවල වත්මන් කාර්යයන්, පවතින ගැටලු සහ අඩුපාඩු කෙරෙහිද මෙහිදී අවධානය යොමුවිය. වඩාත් කාර්යක්ෂම සේවාවක් වෙනුවෙන් ඉහත ආයතනවල නෛතික රාමුවේ යම් සංශෝධන සිදු කිරීමට අවශ්‍යනම් කාරක සභාව දැනුවත් කරන ලෙසත් ඊට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීමට අපේක්ෂා කරන බවත් කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. මෙහිදී ප්‍රජා පාදක විශෝධක දෙපාර්තමේන්තුවේ 2024 වසරේ වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අදාළව විගණකාධිපති වාර්තාවේ සඳහන් පුත්තලම අධිකරණයේ නීති ආධාර හා ප්‍රජා විශෝධක කාර්යාලය සඳහා ඉදිකරන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කර නොතිබීම සම්බන්ධයෙන් වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස දැනුම් දෙන ලදී. මේ අනුව 2023 සහ 2024 වසර සදහා ප්‍රජා පාදක විශෝධක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා හැර අනෙකුත් කාර්ය සාධන හා වාර්ෂික වාර්තා සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය. කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මුජිබුර් රහුමාන්, නීතීඥ තුෂාරි ජයසිංහ, මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීහු ද රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks