පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-10-30
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධ විමර්ශනයේ දිගුවක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ කොටස් හිමි ආයතනයක් වන LTL හෝල්ඩිග්ස් ඇතුළු එහි පරිපාලිත සමාගම් පසුගියදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුවට) කැඳවන ලදී.
ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතීත්වයෙන් 2025.10.24 දින රැස්වූ අවස්ථාවේදී ය.
මෙරට විදුලිබල ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා අවශ්‍ය ට්‍රාන්ස්ෆෝමර් දේශීයව නිෂ්පාදනය සහ නඩත්තුව සඳහා 1980 වසරේදී ලංකා ට්‍රාන්ස්ෆෝමස් සමාගම ලෙස විදුලිබල මණ්ඩලයේ 70%ක කොටස් සහ ස්කොට්ලන්ත සමාගමක 30% ක කොටස් ප්‍රාග්ධනයක් සහිතව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරී ආයතනයක් ලෙස ස්ථාපිත කළ බව එම සමාගමේ නිලධාරීහු පැවසූහ. ඉන් අනතුරුව 1986 වසරේදී 30% කොටස් ස්කොට්ලන්ත සමාගම විසින් නෝර්වේ සමාගමකට විකුණා ඇති බවත් මෙහිදී අනාවරණය විය. අවස්ථා කිහිපයකදී මෙම සමාගමෙන් පරිපාලිත ආයතන ලෙස LTL ගැල්වනයිසින්, LTL ස්ටීල් ෆැබ්‍රිකේෂන් නම් වලින් තවත් පරිපාලිත සමාගම් පිහිටුවන ලද අතර පෞද්ගලික අංශයෙන් විදුලිය සපයන ලක්දනවි සමාගම 1996 වසරේදී ස්ථාපිත කර ඇත. අනතුරුව 2008 වසරේදී LTL හෝල්ඩිංග් සමාගම ලෙස ප්‍රධාන සමාගමේ නාමය වෙනස් කරන අතර අනෙකුත් පරිපාලිත සමාගම් වෙනම සමාගම් බවට පත් කර තිබේ.
විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කළ LTL හොල්ඩිංග් සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරීවරයාගෙන් ඔහු විදුලිබල මණ්ඩලයෙන් ඉවත්වූ වසර සහ LTLආයතනය සමග සම්බන්ධවූ වසර කමිටුව විසින් විමසූ අතර එය නිශ්චිතව පැවසීමට අපොහොසත් වූ බැවින් ඒ පිළිබඳව කාරක සභාවේ බලවත් අප්‍රසාදය පළ විය. ඒ අනුව එම නිශ්චිත තොරතුරු කඩිනමින් දැනුම්දෙන ලෙස කාරක සභාව දැනුම් දුන්නේය. LTL සමාගමේ නිර්මාතෘවරයා සහ වත්මන් ප්‍රධාන විධායක නිලධාරීවරයා විදුලිබල මණ්ඩලයේ සේවය කළ නිලධාරීන් වීම හරහා ලබැඳියාවන් අතර ගැටුම (Conflict of interest) ඇතිවීම වැළැක්විය නොහැකි බවත්, විදුලිය මිලදී ගැනීම, පුනර්ජනනීය බලශක්ති හදුන්වාදීම ඇතුළු තීරණ සඳහා ඒ හරහා අහිතකර බලපෑම් සිදුවන බවට චෝදනා එල්ල වන බවත් කාරක සභාවේදී සාකච්ඡා විය.
2001 වසරේදී විදුලිබල මණ්ඩලය ඇතුළු සේවකයන් වෙනුවෙන් 10% ක භාරයක් සඳහා කොටස් වෙන්කර ඇති බවත් ඒ අනුව විදුලිබල මණ්ඩලයේ කොටස් 63% දක්වා අඩුවී ඇති බවත් එහිදී අනාවරණය විය. එසේම මෙම භාරය 2017 වසරේදී ටෙක්ප්‍රො ඉන්වෙස්මන්ට් ලිමිටඩ් නමින් වෙනම සමාගමක් බවට පත්කොට ඇති බවත් ඇතැම් හවුල්කරුවෙකුට මිලියන නවයකට ආසන්න ලාභාංශ ලබා දුන්නද ඒ වන තෙක් සේවකයන්ට අදාළ ලාභාංශ නිසි පරිදි ගෙවා නොමැති බවට පළ වන වාර්තා පිළිබඳවත් කාරක සභාව විමසා සිටියේය . එය එසේ නොවන බවත් නීතිමය තත්ත්වය අනුව නිසිපරිදි කටයුතු කර ඇති බවත් එහිදි සමාගමේ නිලධාරීන් පැවසූහ. කෙසේ වෙතත් ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු සහිත වාර්තාවක් කෝප් කමිටුවට ලබා දෙන ලෙසත් කමිටුව විසින් LTL සමාගමට දැනුම් දෙන ලදී.
එසේම 2005 වසරේදී නෝර්වේ සමාගමේ කොටස් එම සමාගම විසින් අලෙවි කොට ඇති අතර ලංකා විදුලිබල මණ්ඩලය එය මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළ බවත් ඒ අනුව එම කොටස් මිලදී ගැනීම සඳහා LTL ESOT නමින් තවත් සමාගමක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා LTL ආයතනයෙන් ණයක් ද ගෙන ඇති බවත් හෙළිවිය. 2018 වසරේදී නැවත එම සමාගම පෙරදිව් නමින් සමාගමක් බවට පත් කළ බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ.
2006 වසරේදී LTL මගින් යුගදනවි බලාගාරය ආරම්භ කිරීම සදහා වෙස්ට් කෝස්ට් නමින් තවත් සමාගමක් පිහිටුවා ඇති අතර විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලය එම සමාගමට රු. බිලියන 79.4 ක් ණයවී ඇති බවත් හෙළි විය. ඉන් රු. බිලියන 26ක වටිනාකමක් ආවරණය කිරීම සදහා LTL සමාගමේ එවකට ලංකා විදුලිබල මණ්ඩලය සතු 63% ක කොටස්වලින් 28%ක කොටස් වෙස්ට් කෝස්ට් සමාගමට ලබා දීමට කැබිනට් අනුමතියක් යටතේ කටයුතු කර ඇති බවත් ඒ අනුව LTL සමාගම සතු ලංකා විදුලි බල මණ්ඩලයේ කොටස් ප්‍රමාණය 35% දක්වා අඩුවීම සිදු ව ඇති බවත් මෙහිදී හෙළි විය.
මේ අනුව LTL සමාගමේ කොටස් බෙදී යාම; 35% විදුලි බල මණ්ඩලය, 28%ක් වෙස්ට් කෝස්ට්, 27%ක් පෙරදිව් සහ 10%ක් ටෙක්ප්‍රෝ ලෙස පවතින බව මෙහිදී අනාවරණය විය. මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ ලංකා විදුලි මණ්ඩල මණ්ඩලයට හිමිව තිබූ 70% ක අයිතිය, 35% දක්වා අඩුවීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියකින් සිදුව ඇති බව පෙනීයන බවයි.
එසේම විගණනයට ඉඩ ලබා නොදීම පිළිබඳව ද කමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. රජයේ විගණනය සිදුකිරීමට 2015 වසරේ සිට විගණකාධිපති දෙපාර්තමේන්තුව අවස්ථා ගණනාවකදී උත්සහ කළද ඒ සියලු අවස්ථා මඟහැරීමට වසර ගණනක් තිස්සේ මෙම සමාගම කටයුතු කර ඇති බවත් මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. මහජන මුදලින් ආරම්භ කළ මෙම සමාගමට රජයේ විගණනයෙන් ඉවත්විය නොහැකි බවත් ඒ අනුව රජයේ විගණනයට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට සහ විගණකාධිපතිවරයාට කාරක සභාව විසින් දැනුම් දෙන ලදී.
කාරක සභා සාමාජිකයන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මනෝ ගනේෂන්, නීතිඥ සුජීව සේනසිංහ, නලින් බණ්ඩාර ජයමහ, එස්. එම්. මරික්කාර්, මුජිබුර් රහුමාන්, චමින්ද විජේසිරි, ඩී.වී චානක, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, අසිත නිරෝෂණ එගොඩ විතාන, වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම්, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි සහ දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. එසේම බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය උදයංග හේමපාල මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම රැස්වීමට එක්ව සිටියහ.
2026-01-09
තොරතුරු තාක්ෂණ නිලධාරීන් (IT officers) බඳවාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ කාරක සභාවේ අවධානයපුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන නොවීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානයපුරාවස්තු සහ පුරාවිද්‍යා කැණීම් කටයුතු පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් මධ්‍යගත දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අවධානය යොමු විය.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021, 2022 හා 2023 යන වර්ෂයන්වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) 2026.01.06 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ මෙම කාරක සභාව 2023 ඔක්තෝම්බර් 03 දින රැස් වූ අවස්ථාවේදී, රටතුළ සියලු පුරාවිද්‍යා කැණීම් සිදු කරන ලද ස්ථාන, එම කැණීම් මගින් සිදු කරන ලද සොයාගැනීම් සහ ඒවායේ සාර්ථක අසාර්ථක බව, එම කැණීම් තවදුරටත් ඉදිරියට කරගෙන යා යුතුද, නැද්ද යන්න, කැණීම් සිදු කළ යුතු වෙනත් ස්ථාන මොනවාද යනාදී තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළත් කර පවත්වාගෙන යන ලෙස නිර්දේශ කර ඇති බවයි. කාරක සභාවේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් වර්තමාන ප්‍රගතිය විමසීමේදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විටත් සියලු තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් නොමැති බවත් කැණීම් බලපත්‍රවලට පමණක් අදාළව දත්ත පද්ධතිය පවත්වාගෙන යන බවත්ය.මේ අනුව, කාරක සභාව පෙන්වා දුන්නේ මෙම දත්ත පද්ධතිය සකස්කර යාවත්කාලීනව පවත්වාගෙන යාම ඉතා වැදගත් බවත් මේ වෙනුවෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙන් සහයක් අවශ්‍ය නම් එය ලබාදීමට කාරක සභාව සූදානම් බවත්ය. එසේම තොරතුරු තාක්ෂණ නිලධාරීන් (IT officers) වැඩි ප්‍රමාණයක් මෙම දෙපාර්තමේන්තුවට අනුයුක්තව කටයුතු කිරීමේ වැදගත්කමද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දෙන ලදි. මේ සම්බන්ධයෙන් පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ තොරතුරු තාක්ෂණ නිලධාරීන් (IT officers) 12 දෙනෙකු බඳවාගැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබී තිබුණද දැනට සිටින්නේ එක් නිලධාරියෙකු පමණක් බවත්, ඔහුද ප්‍රධාන කාර්යාලයට අනුයුක්තව සේවය නොකරන බවයි. මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ පවතින පුරප්පාඩු සඳහා නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු ඉක්මනින් කරන ලෙසයි.එසේම පුරාවිද්‍යා කැණීම් කටයුතු පිළිබඳ සියලු යාවත්කාලීන තොරතුරු ඇතුළත් මධ්‍යගත දත්ත පද්ධතිය සම්බන්ධ යෝජනාවලියක් මාස 3ක් ඇතුළත කාරක සභාව වෙත ලබාදෙන ලෙසද මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන නොවීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු විය. විශේෂයෙන්ම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ සංචාරක ආකර්ෂණය දිනාගැනීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම ඉතාම වැදගත් බවයි. මේ නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඉක්මනින් වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදි.එසේම දෙපාර්තමේන්තුව විසින් 2023 දෙසැම්බර් 31 දිනට හඳුනාගත් සමස්ත පුරාවිද්‍යා ස්ථාන වලින් 48% ගැසට් නොකිරීම පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය. මේ අනුව ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලද සහ නොකරන ලද සියලු දත්ත පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.මීට අමතරව ලෝක උරුමයන් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානයට යෝජනා කිරීමට තීරණය කරන ලද ස්ථාන සහ අදාළ කෙටුම්පත පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි. මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් සුගත් තිලකරත්න, අරවින්ද සෙනරත්, නලීන් හේවගේ කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, (වෛද්‍ය) ජනක සේනාරත්න, ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, (නීතීඥ) සාගරිකා අතාවුද, (නීතීඥ) තුෂාරි ජයසිංහ, ඔෂානි උමංගා, ලාල් ප්‍රේමනාත්, මංජුල සුරවීර ආරච්චි, රුවන්තිලක ජයකොඩි සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
2026-01-08
පාර්ලිමේන්තුවේ හෙට (ජන. 9) විවාදයට ගැනීමට නියමිත (129 අධිකාරිය වූ) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීම) පනත යටතේ නියෝගයට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය. එම කාරක සභාව, කම්කරු අමාත්‍ය (ආචාර්ය) අනිල් ජයන්ත මහතාගේ සභාපතීත්වයෙන් සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ සහභාගීත්වයෙන් 2026.01.06 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය ලබාදීම සිදුවිය. කම්කරු අමාත්‍යවරයා විසින් 2025.12.12 දින සාදන ලද මෙම නියෝගය 2025.12.18 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. “කිසියම් නේවාසික හෝටලයක අමුත්තන් පිළිගන්නියක්, කාන්තා ඇඳුම් කාමර සේවිකාවක්, කාන්තා රෙදිපිළි ගබඩා සේවිකාවක් හෝ කාන්තා සනීපාරක්ෂක සේවිකාවක් වශයෙන් අවුරුදු දහඅටට එළඹ සිටින කවර ස්ත්‍රියක් වුව ද පෙ.ව 6.00 ට පෙර හෝ ප.ව 6.00න් පසුව සේවයේ යෙදවිය හැකිය” යනුවෙන් දැනට පවතින නෛතික ප්‍රතිපාදනය මෙම නියෝගය මගින් සංශෝධනය කෙරේ. ඒ අනුව එම නියෝගය මගින් අවසර ලබා දී ඇති නියමිත සේවාවන්ට අමතරව නේවාසික හෝටල්වල සේවයේ යෙදී සිටින ආහාර පාන පිළිගන්වන කාර්යයෙහි නියැලෙන වයස අවුරුදු 18ට වැඩි සේවිකාවන්ද (Food and Beverage Stewardess) පස්වරු 6.00ට පසු හෝ පසුදා පෙරවරු 6.00ට පෙර, සේවයේ යොදවා ගැනීමට හැකිවන පරිදි අවශ්‍ය නෛතික සංශෝධන මෙම නියෝගය මගින් හදුන්වා දී ඇත. එසේවුවද මෙම නියෝගය යටතේ සේවයේ නියුක්ත කරවන ලද යම් ස්ත්‍රියකගේ සේවා මුරය පස්වරු හයත් පසුදා පෙරවරු හයත් අතර වේලාවකදී අවසන් වන අවස්ථාවකදී , එකී සේවා මුරය අවසන් වූ අවස්ථාවේ සිට පෙරවරු හය දක්වා එම ස්ත්‍රීයට සුදුසු නවාතැනක් සැපයීම හෝ එම ස්ත්‍රීයගේ සුපුරුදු වාසස්ථානය වෙත ප්‍රවාහන පහසුකම් සැපයීම ඇතුළුව එම ස්ත්‍රීයගේ සෞඛ්‍යාරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් සේවා යෝජකයා වගකිව යුතු බවටත් නෛතික ප්‍රතිපාදන සහිත බව නිලධාරීහු මෙහිදී කාරක සභාවට දැනුම් දුන්හ. මෙරට වර්තමාන කාන්තා ජනගහන ප්‍රතිශතය 51%ක් පමණ වන නමුත් කාන්තා ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 34%ක් පමණ වේ. එසේම වර්තමානයේ ශීඝ්‍රයෙන් දියුණුවන සංචාරක ක්ෂේත්‍රයට පහසුකම් සැපයීම සඳහා කාන්තා ශ්‍රම දායකත්වයට වැඩි කිරීමට අවස්ථාවක් සලසා දීමේ අරමුණින් පවතින නීතිමය සීමාවන් ලිහිල් කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් මෙහිදී සාකච්ඡා විය. එසේම කාන්තා ශ්‍රමිකයන් ඇතුළු සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගතහැකි පියවර පිළිබඳ යෝජනා රැසක් මෙන්ම වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට අදාළ තත්ත්වයන් පිළිබඳ කරුණු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් කාරක සභාවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ඉදිරියේදී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමටත් අපේක්ෂා කරන බව ගරු කම්කරු අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක්ද කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු කම්කරු අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-01-08
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ රැස්වීමක් ගරු ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජන. 07) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.පෙර පැවති කාරක සභා රැස්වීම්වලදී එළැඹි තීරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීම මෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් නිදහස් කිරීම, මාර්ග විවෘත කිරීම සහ පාසල් පවත්වා ගෙන යාම ආදිය පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් බොහෝ ගැටලු කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ඒවාට සාධනීය විසදුම් ලබා දීමට ගරු ජනාධිපතිවරයා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදුවූ අතර මෙම කටයුතු සිදු කරගෙන යාමේදී තවදුරටත් පවතින බාධා සහ ඊට ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡා විය.එසේම ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු, එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සඳහා වැඩිපුර පිරිස් යොමු කිරීම ආදී කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.ගරු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා ද අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. එසේම ආරක්ෂක ආමාත්‍යාංශයේ ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ ආරක්ෂක අංශ සාමාජිකයෝ පිරිසක් ද පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.
2026-01-08
දිත්වා හේතුවෙන් ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන් සඳහා රුපියල් මිලියන 25ක කාරක ප්‍රාග්ධන ණය සහ ආයෝජන යෝජනා ක්‍රමයක් මෙන්ම 5% පොළියට රුපියල් මිලියන 25ක ණය ක්‍රමවේදයක් - මුදල් අමාත්‍යාංශයේ ලේකම්මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ඊයේ (ජන. 07) ගරු. ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විය. කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් ද මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී විය.දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ කර්මාන්ත සඳහා මුදල් යෙදවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන් සඳහා විවිධ ණය ක්‍රම හඳුන්වා දී තිබෙන බවටද මෙහිදී සඳහන් විය. ඒ අනුව රුපියල් මිලියන 25ක කාරක ප්‍රාග්ධන ණය සහ ආයෝජන යෝජනා ක්‍රමයක්, 5% පොළියට රුපියල් මිලියන 25ක ණය ක්‍රමවේදයක් මේ වන විටත් සකසා තිබෙන බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසී ය.තවද, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙත මේ වන විටත් රුපියල් බිලියනක මුදලක් ලබා දී ඇති බවත්, එකී මුදල් නිසි ලෙස තවමත් යොදා නොගැනීම පිළිබඳව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. අමතර මුදල් ලබා දීම සලකා බැලීමට ප්‍රථමයෙන් දැනට වෙන් කොට, ලබා දී තිබෙන මුදල් නිසි ලෙස යෙදවීමට ක්‍රමවත් යාන්ත්‍රණයක් සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස මුදල් , ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා මාත්‍යාංශයට උපදෙස් ලබා දෙන ලදී.තවද, රටේ ආර්ථිකයට දායක වන සෑම ව්‍යාපාරයක්ම ලියාපදිංචි කිරීම සඳහා වූ යාන්ත්‍රණයක අවශ්‍යතාව සහ එහි ප්‍රතිලාභ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැදගත්කමඅමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට බඳුන් විය.ඒ අනුව, පසුගිය ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ලියාපදිංචි නොකළ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්හට සහන සැලසීම පිළිබඳව ද රජය අවධානය යොමු කර ඇති බවත්, ඒ පිළිබඳ වාර්තා ලබා දීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙන බවත් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.එමෙන්ම, ආපදාවෙන් පූර්ණ වශයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ ජනවාරි 09 වන දා අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කරන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා පැවසීය.නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමිය හේමාලි වීරසේකර මහත්මිය, අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු එම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහු පිරිසක්ද, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ (වැඩ බලන) අධ්‍යක්ෂ සන්නිවේදන එම්. ජයලත් පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks