02

E   |   த   |  

2025-10-30

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධ පරීක්ෂණයට අදාළව LTL සමාගම ‘කෝප්’ කමිටුවට කැඳවයි

  • LTL ආයතනයේ විදුලිබල මණ්ඩලය සතු කොටස් 70% සිට 35% දක්වා අඩුවෙලා 
  • රජයේ විගණනයට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටත් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ විගණකාධිපතිවරයාට දැනුම් දෙයි
  • 2015 වසරේ සිට රජයේ විගණනය සිදුකිරීමට උත්සහ කළද ඒ සියලු අවස්ථා මඟහැරීමට කටයුතු කර ඇති බවත් කමිටුව පෙන්වා දෙයි
  • නිශ්චිත පිළිතුරු ලබාදීමට අපොහොසත් වීම පිළිබඳවත් කමිටුවේ අප්‍රසාදය

 

ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධ විමර්ශනයේ දිගුවක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ කොටස් හිමි ආයතනයක් වන LTL හෝල්ඩිග්ස් ඇතුළු එහි පරිපාලිත සමාගම් පසුගියදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුවට) කැඳවන ලදී. 

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතීත්වයෙන් 2025.10.24 දින රැස්වූ අවස්ථාවේදී ය. 

මෙරට විදුලිබල ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා අවශ්‍ය ට්‍රාන්ස්ෆෝමර් දේශීයව නිෂ්පාදනය සහ නඩත්තුව සඳහා 1980 වසරේදී ලංකා ට්‍රාන්ස්ෆෝමස් සමාගම ලෙස විදුලිබල මණ්ඩලයේ 70%ක කොටස් සහ ස්කොට්ලන්ත සමාගමක 30% ක කොටස් ප්‍රාග්ධනයක් සහිතව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරී ආයතනයක් ලෙස ස්ථාපිත කළ බව එම සමාගමේ නිලධාරීහු පැවසූහ. ඉන් අනතුරුව 1986 වසරේදී 30% කොටස් ස්කොට්ලන්ත සමාගම විසින් නෝර්වේ සමාගමකට විකුණා ඇති බවත් මෙහිදී අනාවරණය විය. අවස්ථා කිහිපයකදී මෙම සමාගමෙන් පරිපාලිත ආයතන ලෙස LTL ගැල්වනයිසින්, LTL ස්ටීල් ෆැබ්‍රිකේෂන් නම් වලින් තවත් පරිපාලිත සමාගම් පිහිටුවන ලද අතර පෞද්ගලික අංශයෙන් විදුලිය සපයන ලක්දනවි සමාගම 1996 වසරේදී ස්ථාපිත කර ඇත. අනතුරුව 2008 වසරේදී LTL හෝල්ඩිංග් සමාගම ලෙස ප්‍රධාන සමාගමේ නාමය වෙනස් කරන අතර අනෙකුත් පරිපාලිත සමාගම් වෙනම සමාගම් බවට පත් කර තිබේ. 

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කළ LTL හොල්ඩිංග් සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරීවරයාගෙන් ඔහු විදුලිබල මණ්ඩලයෙන් ඉවත්වූ වසර සහ LTLආයතනය සමග සම්බන්ධවූ වසර කමිටුව විසින් විමසූ අතර එය නිශ්චිතව පැවසීමට අපොහොසත් වූ බැවින් ඒ පිළිබඳව කාරක සභාවේ බලවත් අප්‍රසාදය පළ විය. ඒ අනුව එම නිශ්චිත තොරතුරු කඩිනමින් දැනුම්දෙන ලෙස කාරක සභාව දැනුම් දුන්නේය. LTL සමාගමේ නිර්මාතෘවරයා සහ වත්මන් ප්‍රධාන විධායක නිලධාරීවරයා විදුලිබල මණ්ඩලයේ සේවය කළ නිලධාරීන් වීම හරහා ලබැඳියාවන් අතර ගැටුම (Conflict of interest) ඇතිවීම වැළැක්විය නොහැකි බවත්, විදුලිය මිලදී ගැනීම, පුනර්ජනනීය බලශක්ති හදුන්වාදීම ඇතුළු තීරණ සඳහා ඒ හරහා අහිතකර බලපෑම් සිදුවන බවට චෝදනා එල්ල වන බවත් කාරක සභාවේදී සාකච්ඡා විය.

2001 වසරේදී විදුලිබල මණ්ඩලය ඇතුළු සේවකයන් වෙනුවෙන් 10% ක භාරයක් සඳහා කොටස් වෙන්කර ඇති බවත් ඒ අනුව විදුලිබල මණ්ඩලයේ කොටස් 63% දක්වා අඩුවී ඇති බවත් එහිදී අනාවරණය විය. එසේම මෙම භාරය ‍2017 වසරේදී ටෙක්ප්‍රො ඉන්වෙස්මන්ට් ලිමිටඩ් නමින් වෙනම සමාගමක් බවට පත්කොට ඇති බවත් ඇතැම් හවුල්කරුවෙකුට මිලියන නවයකට ආසන්න ලාභාංශ ලබා දුන්නද ඒ වන තෙක් සේවකයන්ට අදාළ ලාභාංශ නිසි පරිදි ගෙවා නොමැති බවට පළ වන වාර්තා පිළිබඳවත් කාරක සභාව විමසා සිටියේය . එය එසේ නොවන බවත් නීතිමය තත්ත්වය අනුව නිසිපරිදි කටයුතු කර ඇති බවත් එහිදි සමාගමේ නිලධාරීන් පැවසූහ. කෙසේ වෙතත් ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු සහිත වාර්තාවක් කෝප් කමිටුවට ලබා දෙන ලෙසත් කමිටුව විසින් LTL සමාගමට දැනුම් දෙන ලදී. 

එසේම 2005 වසරේදී නෝර්වේ සමාගමේ කොටස් එම සමාගම විසින් අලෙවි කොට ඇති අතර ලංකා විදුලිබල මණ්ඩලය එය මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළ බවත් ඒ අනුව එම කොටස් මිලදී ගැනීම සඳහා LTL ESOT නමින් තවත් සමාගමක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා LTL ආයතනයෙන් ණයක් ද ගෙන ඇති බවත් හෙළිවිය. 2018 වසරේදී නැවත එම සමාගම පෙරදිව් නමින් සමාගමක් බවට පත් කළ බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ.

2006 වසරේදී LTL මගින් යුගදනවි බලාගාරය ආරම්භ කිරීම සදහා වෙස්ට් කෝස්ට් නමින් තවත් සමාගමක් පිහිටුවා ඇති අතර විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලය එම සමාගමට රු. බිලියන 79.4 ක් ණයවී ඇති බවත් හෙළි විය. ඉන් රු. බිලියන 26ක වටිනාකමක් ආවරණය කිරීම සදහා LTL සමාගමේ එවකට ලංකා විදුලිබල මණ්ඩලය සතු 63% ක කොටස්වලින් 28%ක කොටස් වෙස්ට් කෝස්ට් සමාගමට ලබා දීමට කැබිනට් අනුමතියක් යටතේ කටයුතු කර ඇති බවත් ඒ අනුව LTL සමාගම සතු ලංකා විදුලි බල මණ්ඩලයේ කොටස් ප්‍රමාණය 35% දක්වා අඩුවීම සිදු ව ඇති බවත් මෙහිදී හෙළි විය. 

මේ අනුව LTL සමා‍ගමේ කොටස් බෙදී යාම; 35% විදුලි බල මණ්ඩලය, 28%ක් වෙස්ට් කෝස්ට්, 27%ක් පෙරදිව් සහ 10%ක් ටෙක්ප්‍රෝ ලෙස පවතින බව මෙහිදී අනාවරණය විය. මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ ලංකා විදුලි මණ්ඩල මණ්ඩලයට හිමිව තිබූ 70% ක අයිතිය, 35% දක්වා අඩුවීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියකින් සිදුව ඇති බව පෙනීයන බවයි.

එසේම විගණනයට ඉඩ ලබා නොදීම පිළිබඳව ද කමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. රජයේ විගණනය සිදුකිරීමට 2015 වසරේ සිට විගණකාධිපති දෙපාර්තමේන්තුව අවස්ථා ගණනාවකදී උත්සහ කළද ඒ සියලු අවස්ථා මඟහැරීමට වසර ගණනක් තිස්සේ මෙම සමාගම කටයුතු කර ඇති බවත් මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. මහජන මුදලින් ආරම්භ කළ මෙම සමාගමට රජයේ විගණනයෙන් ඉවත්විය නොහැකි බවත් ඒ අනුව රජයේ විගණනයට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට සහ විගණකාධිපතිවරයාට කාරක සභාව විසින් දැනුම් දෙන ලදී.

කාරක සභා සාමාජිකයන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මනෝ ගනේෂන්, නීතිඥ සුජීව සේනසිංහ, නලින් බණ්ඩාර ජයමහ, එස්. එම්. මරික්කාර්, මුජිබුර් රහුමාන්, චමින්ද වි‍ජේසිරි, ඩී.වී චානක, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, අසිත නිරෝෂණ එගොඩ විතාන, වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම්, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි සහ දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. එසේම බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය උදයංග හේමපාල මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම රැස්වීමට එක්ව සිටියහ.




සම්බන්ධිත පුවත්

2026-10-02

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2027 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලේ

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) 2027 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අදාළ අනුමතිය ලබා දීම සිදු විය.රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (සැප්. 29) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ සඳහා අනුමතිය හිමි විය.අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා  ඇතුළු නිලධාරීහු ද, මුදල් අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද  මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වාර්ෂික අයවැය ඇස්තමේන්තු සම්මත කිරීම, මූල්‍ය හා මෙහෙයුම් ස්වාධීනත්වය, අරමුදල් ව්‍යුහය සහ පරිපාලනමය ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය ‍යොමු විය.2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 31 වගන්තියට අනුව කොමිෂන් සභාවේ අයවැය ඇස්තමේන්තු, මුදල් අමාත්‍යාංශය හරහා නොව ඍජුවම කථානායකවරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ. කථානායකවරයා විසින් මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ ලබා ගෙන, දින 10ක් ඇතුළත පාර්ලිමේන්තුවට (රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත) ඉදිරිපත් කළ යුතුය. අනතුරුව පාර්ලිමේන්තුව මගින් සමාලෝචනය කර තීරණය කරනු ලබන සංශෝධන සහිතව එය ජාතික අයවැය ලේඛනයට/විසර්ජන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට මුදල් අමාත්‍යවරයා වෙත යවනු ලැබේ. 2027 වසර සඳහා අයවැය ඇස්තමේන්තුව මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සහිතව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත පැමිණීම‍ට සැප්තැම්බර් දක්වා කාලය ගත වීම පිළිබඳව ද සාකච්ඡා විය. මෙමගින් අයවැය සකස් කිරීමේ කාලසටහනට බාධා පැමිණෙන බැවින් ඉදිරි වසරවලදී අයවැය ක්‍රියාවලිය නියමිත වේලාවට සිදු කිරීම සඳහා, මැයි 30 වන විට කොමිෂන් සභාවේ ඇස්තමේන්තු කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට එකඟතාව පළ විය.සාමාන්‍ය රේඛීය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු පාලනය වන 2024 භාණ්ඩාගාර චක්‍රලේඛයක් මගින් ස්වාධීන කොමිෂන් සභාවල කාර්යභාරයට බාධා පැමිණීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. වාහන මිළදී ගැනීම/ලීසිං කිරීම, ප්‍රාදේශීය කාර්යාල සඳහා ගොඩනැගිලි කුලියට ගැනීම සහ රාජකාරි අවශ්‍යතා මත විදේශ සංචාර සිදු කිරීම සීමා වීම මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතුවලට බාධා වීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු විය. අදාළ කටයුතු සඳහා මුදල් අමාත්‍යාංශයෙන් පූර්ව අනුමැතිය ඉල්ලා සිටීමට සිදු වීම මගින් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය හානි සිදු විය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.කොමිෂන් සභා අරමුදලේ ස්වභාවය සහ භාවිතය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. දූෂණ විරෝධී පනතේ 31 වගන්තිය යටතේ කොමිෂන් සභාව සඳහා වෙනම අරමුදලක්  ස්ථාපිත කර ඇති බවත් ඒකාබද්ධ අරමුදල සහ  සහ කොමිෂන් සභා පොදු අරමුදල    මගින් ගෙවීම් සිදු කරන ආකාරය පිළිබඳවත් සාකච්ඡා විය.පනත ප්‍රකාරව  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු ස්වාධීනව සිදු කිරීමට අවශ්‍ය සියලු ප්‍රතිපාදන හිමි විය යුතු බව කාරක සභා සභාපතිවරයා මෙම කාරක සභා රැස්වීමේදී අවධාරණය කළේය.කොමිෂන් සභාවේ මෙහෙයුම් කටයුතු පිළිබඳව ද කාරක සභාව විසින් විමසන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බැඳීම් සහ රටේ දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම අනුව කොමිෂන් සභාවේ මෙහෙයුම් පුළුල් කිරීම ආරම්භ කර ඇති බව මෙහිදී අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. මේ අනුව, කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය  971 ක් බදවා ගැනීමට කටයුතු කරන බවත්, 2026 දෙසැම්බර් 31 දිනට පෙර ප්‍රාදේශීය කාර්යාල 23ක් පිහිටුවීමේ ඉලක්කය සපිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා දැනට පවතින රජයේ ගොඩනැගිලි  පරීක්ෂා කර ඇති බවත් අනාවරණය විය. ඇතැම් ඒවා අලුත්වැඩියා කර භාවිතයට ගැනීමටත්, ඉතිරිය කුලී පදනම මත ලබා ගැනීමටත් සැලසුම් කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. එසේම, ජපාන රජය මගින් UNDP හරහා ලබා දී ඇති ඩොලර් මිලියන 2.5ක ප්‍රදානය යටතේ, ප්‍රාදේශීය කාර්යාල සඳහා අවශ්‍ය පරිගණක සහ ඡායා පිටපත් යන්ත්‍ර ඇතුළු රුපියල් මිලියන 109ක තාක්ෂණික උපකරණ ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවත් දිසානායක මහතා පැවසීය.තවද, නව පනත යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතු පුද්ගලයන් අතුරින් 34,000කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාද ගාස්තු අයකර ගැනීම සඳහා හඳුනාගෙන ඇති අතර, එම ක්‍රියාවලියෙන් ලැබෙන දඩ මුදල් කොමිසමේ අරමුදලට බැර වනු ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.කොමිෂන් සභාපති, සාමාජිකයන් සහ අධ්‍යක්ෂ ජනරාල්ගේ වැටුප් ව්‍යුහය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර මීට පෙර කාරක සභාවේදී ලබා දුන් නිර්දේශය පරිදි කොමිෂන් සභාවේ  සභාපතිවරයාගේ වැටුප අභියාචනාධිකරණ සභාපතිවරයාගේ (President of the Court of Appeal) වැටුපට හා දීමනාවලට සමාන විය යුතු බවත් අවධාරණය කළේය.කාරක සභා සාමාජික  ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු  නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්ම මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූ අතර ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, නිමල් පලිහේන, විජේසිරි බස්නායක සහ නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරු මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීමට සම්බන්ධ වූහ.  


2026-10-02

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය

සාකච්ඡා කිරීමෙන් අනතුරුව දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය.ඒ, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (සැප්. 30) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී 2003 අංක 09 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටළු, පනතේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් අතර පවතින විෂමතා, වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය සහ ඒ සඳහා මහජන ප්‍රවේශය පිළිබඳව සාකච්ඡා විය.තවද, පනත කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා පවතින තාක්ෂණික හා පරිපාලන ගැටළු විසඳීම ඇතුළු කරුණු පිළිබඳවද සාකච්ඡා කිරීමෙන් අනතුරුව දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කාරක සභාවේ අනුමතිය ලැබිණි.


2026-10-02

විභාග දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය “කෝපා” කමිටුවේ අවධානයට

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මීට පෙර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) විසින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළේය.ඒ, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, ප්‍රශ්නපත්‍ර ඇගයීම් ක්‍රියාවලිය, අභ්‍යන්තර හා බාහිර පරීක්ෂකවරුන් යොදා ගැනීම සහ විභාග කටයුතුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.එමෙන්ම, විභාග කටයුතු සඳහා පවතින ස්ථාන පහසුකම්, තාක්ෂණික උපකරණ සහ මුද්‍රණ පහසුකම්, විභාග හා ඇගයීම් කටයුතුවලට අදාළ දීමනා හා ගාස්තු සංශෝධනය කිරීම සහ නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වාදීම පිළිබඳවද අවධානය යොමු විය.තවද, ප්‍රතිඵල නිකුත් කිරීම කඩිනම් කිරීම සඳහා නව OMR/OCR පද්ධතියක් හඳුන්වාදීම, වෙනම ඇගයීම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සහ ආයතනික විභාග කාර්යක්ෂමව පැවැත්වීම සම්බන්ධයෙන් ගෙන ඇති හා ඉදිරියේදී ගැනීමට නියමිත පියවර පිළිබඳව නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.මීට අමතරව, විභාග ප්‍රතිඵල විශ්ලේෂණය මත පදනම්ව ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විෂය දැනුම හා ඉගැන්වීමේ ක්‍රමවේද වැඩිදියුණු කිරීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ගුරු පුහුණුව පිළිබඳවද සාකච්ඡා කෙරිණි.විභාග දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය තවදුරටත් ඉහළ නැංවීම සඳහා මීට පෙර ලබාදුන් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය.මෙම රැස්වීම සඳහා ගරු රාජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක, ගරු මන්ත්‍රීවරයන්වන නීතීඥ සාගරිකා අතාවුද, ‍ටී. කේ. ජයසුන්දර, ලාල් ප්‍රේමනාත්, සුසන්ත කුමාර නවරත්න, ඔෂානි උමංගා, රුවන්තිලක ජයකොඩි සහ සුනිල් රත්නායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-10-02

අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳ විමර්ශනයක් සිදුකර සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් උපදෙස්






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks