පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-10-17
2014 සහ 2015 වර්ෂවලදී විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීම හේතුවෙන් ලංකා සතොසට රු. 15,157,031,018 ක පාඩුවක් සිදුව ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.
මේ පිළිබඳ අනාවරණය වූයේ ලංකා සතොස ලිමිටඩ් ආයතනය 2021 සහ 2022 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (10) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී කෝප් කාරක සභාව පෙන්වා දුන්නේ 2014 සහ 2015 වර්ෂවලදී සිදු කර තිබුණු ආනයනික සහල් සඳහා රු. 27,011,980,142ක පිරිවැයක් දරා තිබුණත් එම සහල් තොගය අලෙවියෙන් ලැබී ඇත්තේ රු. 11,854,949,124 ක ආදායමක් බවයි. ඒ අනුව දේශීය සහල් වෙළඳපොළ තත්ත්වය, වී අස්වැන්න ලැබීම සහ සහල් ගබඩා කිරීමේ පහසුකම් පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු නොකර විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීමට කටයුතු කර තිබී ඇති බවත් මේ නිසා රු. 15,157,031,018 ක පමණ මෙම පාඩුව සතොස ආයතනයට සිදුවී ඇති බවත් කාරක සභාව පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කොට ඇත්දැයි කාරක සභාව පැමිණි නිලධාරීන්ගෙන් විමසූ අතර මෙහිදී නිලධාරීන් පෙන්වාදුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා ගොනුකරීමට භාරදී ඇති බවයි.
එසේම සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුගෙන් සමාගමට අය විය යුතු මුදල් තවම අයකරගෙන නොමැති බවද කෝප් කමිටුව විසින් පෙන්වා දෙන ලදි. සමාගමේ ගොඩනැගිලි කුලියට ගැනීමේ මාර්ගෝපදේශ අනුව ගොඩනැගිලි නොමැති හිස් ඉඩම් සඳහා අනාගතයේ වෙළඳසැල් පටන් ගැනීමේ උපකල්පනය මත අත්තිකාරම් නොගෙවිය යුතු වුවත්, 2020 දෙසැම්බර් 31 දින වන විට ගිවිසුම් 29 ක් අනුව ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා අත්තිකාරම් මුදල් ලෙස රු. 34,234,996ක් ඇස්තමේන්තුවක් ලබාගැනීමකින් තොරව ගෙවා තිබුණු බව මෙහිදී කාරක සභාව පෙන්වා දෙන ලදි. මේ අනුව එසේ ඉදි කරන ලද ගොඩනැගිලිවලින් භාවිතයට සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ආයතන හිමිකරුවන් 18 දෙනෙකුට එරෙහිව රු. 27,435,000 ක් අයකර ගැනීමට සමාගම විසින් නඩු පවරා ඇති බව මෙහිදි අනාවරණය විය.
තවද කොන්ත්‍රාත් පදනම මත අත්‍යාවශ්‍ය තනතුරු සඳහාද නිලධාරීන් පත් කරගැනීම සිදු කර ඇති බව පෙන්වාදුන් කාරක සභාව මෙම තාවකාලික බඳවා ගැනීම හේතුවෙන් නිලධාරීන් නිතර වෙනස්වීම මත ආයතනයේ වගවීම සම්බන්ධ ගැටලු ඇතිවිය හැකි බව පෙන්වා දුන්නේය. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම තත්ත්වය මේ වන විටත් වටහාගෙන ඇති බැවින් ඉදිරියේදී මෙම පත්වීම් වසර 5ක කාලසීමාවක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවයි.
එසේම තාවකාලික පත්වීම් ඇතුළුව තවත් පත්කිරීම් කිහිපයක් සඳහා භාණ්ඩාගාර අනුමතියකින් තොරව සිදු කළ දීමනා සම්බන්ධයෙන්ද මෙහිදී කාරක සභාව පෙන්වා දුන් අතර මෙම තත්ත්වයන් විධිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
මීට අමතරව සමාගමේ ඒකාබද්ධ ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධතිය (ERP system) සම්බන්ධ ගැටලු පිළිබඳ අවධානය යොමු වූ අතර විශාල වැය බරක් දරා මෙම පද්ධතිය පුළුල් කිරීම සිදු කළද එමගින් ඇතැම් අවශ්‍යතාවන් සපුරාගැනීමට නොහැකි බවද මෙහිදී අනාවරණය විය.
මෙම සියලු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභාපතිවරයා අවධාරණය කළේ ඉදිරියේදී වගකීමක් සහිත ආයතනයක් ලෙස සතොස ගොඩනැගීම සිදු විය යුතු බවයි. ඒ වෙනුවෙන් නිලධාරීන්ගේ කැපවීම බලාපොරොත්තුවන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, සුදත් බලගල්ල, චන්දිම හෙට්ටිආරච්චි, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, තිලිණ සමරකෝන්, එම්.කේ.එම්. අස්ලම් සහ නීතීඥ නිලන්ති කොට්ටහච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-11-14
ශ්‍රී ලංකාවේ ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.මෙහිදී, ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව මහතා මේ සම්බන්ධයෙන් කාරක සභාවට සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කළේය. ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සහ ඒවා ඉදිරියට පවත්වාගෙන යාම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.සාකච්ඡා මට්ටමේ පවතින වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන සිදු කරමින් ඒවා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභාව අවධාරණය කළේය.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ එරංග වීරරත්න යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක සපුමල් රන්වල, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ චතුර ගලප්පත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-11-13
විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත සඳහා ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය.එම ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමත කෙරිණි.විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ගෙන් එල්ල වන තර්ජනය වැළැක්වීම සහ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් 2014 සැප්තැම්බර් මස 24 වැනි දින සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2178 දරන යෝජනාව බලාත්මක කිරීම සඳහාත්, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලසීම සඳහාත් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් මස 20 වැනි දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.ශ්‍රී ලාංකික පුරවැසියකු හෝ ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන වෙනත් රටක පුරවැසියකු හෝ ශ්‍රී ලංකාව තුළ සිටියදී හෝ ශ්‍රී ලංකාවෙන් පිටතදී වරදක් සිදුකර ඇති අවස්ථාවක හෝ, එම ක්‍රියාව අදාළ රටේ නීතිය යටතේ ද වරදක් වන අවස්ථාවකදී මෙම පනත යටතේ ශ්‍රී ලංකාව තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව නිලධාරීහු කාරක සභාව හමුවේ පැහැදිලි කළහ.ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නිරත වීම, ඒවා සැලසුම් කිරීම, සූදානම් කිරීම හෝ ඒවාට සහභාගී වීම මෙන්ම ත්‍රස්තවාදී පුහුණුව ලබා දීම හෝ ලබා ගැනීම ද මෙම පනත යටතේ වැරදි ලෙස අර්ථ දක්වා ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.විදේශ රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් වාර්ගික පදනම මත මෙම නීතිමය විධිවිධාන හඳුන්වා දී නොමැති බව ද නිලධාරීන් විසින් කාරක සභාවට අවධාරණය කරන ලදී.දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාව විසින් අදාළ පනත් කෙටුම්පත අනුමත කරන ලදී. කෙසේ වෙතත්, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා මෙම පනත් කෙටුම්පතට සිය විරෝධය පළ කළේය.මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරංග රත්නායක, තිලිණ සමරකෝන්, විජේසිරි බස්නායක සහ සිවඥානම් ශ්‍රීතරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2026-11-13
ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මේ සඳහා විදුහල්පති සේවයේ වෘත්තීය සමිති නියෝජිතයින්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම උසස්වීමක් ලෙස නොව “නව පත්වීමක්” ලෙස සැලකීම මෙම වැටුප් විෂමතාවට හේතු වී ඇති බව වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දුන්හ.ගුරු සේවයේ I ශ්‍රේණියේ සිට විදුහල්පති සේවයේ III ශ්‍රේණියට පත්වීමේදී වැටුප් වර්ධක අතර පවතින සැලකිය යුතු වෙනස හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වන බව ද ඔවුහු සඳහන් කළහ.එසේම, විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් වෙනස පියවීම සඳහා ගැලපුම් දීමනාවක් ලබා දී තිබුණ ද, සේවා කාලය ඉදිරියට යාමේදී ගුරු සේවයේ තවදුරටත් රැඳී සිටියේ නම් හිමි වන ඉහළ වැටුප් වර්ධක නොලැබීම හේතුවෙන් යළිත් වැටුප් පරතරයක් ඇති වන බව ද ඔවුහු පෙන්වා දුන්හ.මේ හේතුවෙන් ගුරු සේවයේ I සහ II -I ශ්‍රේණිවල සේවය කරන ජ්‍යෙෂ්ඨ හා පළපුරුදු ගුරුවරුන් විදුහල්පති විභාගයට පෙනී සිටීමට සහ විදුහල්පති සේවයට පිවිසීමට අධෛර්යමත් වන තත්ත්වයක් මතුව ඇති බව ද මෙහිදී අවධාරණය කෙරිණි.කාරක සභාවට ඉදිරිපත් වූ කරුණු සලකා බලා මේ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව වෙත අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අනුකමිටුවේ සභාපතිවරයා පැවසීය.මීට අමතරව, විදුහල්පති සේවයේ නියුතු නිලධාරීන් මුහුණ දෙන අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ආයතන අධ්යක්ෂ ජනරාල් සමග සාකච්ඡා කිරීමට ද අනුකමිටුව විසින් තීරණය කරන ලදී.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.
2026-11-12
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්රයට අදාළ රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය, සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, පවතින අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (නොවැ. 06) රැස් වූ අතර, 2026 වර්ෂය සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අයවැය ප්‍රතිපාදනවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය එහිදී සමාලෝචනයට ලක් විය.මෙහිදී පාසල් ගොඩනැගිලි හා යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පෙළපොත් මුද්‍රණය හා බෙදා හැරීම, පාසල් සිසුන්ගේ සුබසාධන කටයුතු සහ ගුරු අධ්‍යාපනයේ ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු විය. එමෙන්ම අදාළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාදයන් සහ තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය, විභාග පැවැත්වීමේ කටයුතු, පෙළපොත් නිෂ්පාදනය සහ බෙදා හැරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කරන ලදී. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා අවශ්‍ය අධ්‍යාපනික පහසුකම් සැලසීමේ වැදගත්කම ද අවධාරණය විය.තවද, පාසල් සිසුන්ගේ සුබසාධන වැඩසටහන් යටතේ නිල ඇඳුම් බෙදා හැරීම සහ ශිෂ්‍යාධාර ගෙවීමේ කටයුතු පිළිබඳව සාකච්ඡා වූ අතර, ශිෂ්‍යාධාර ගෙවීම් කඩිනම් කිරීම සඳහා නව පරිගණක පද්ධතියක් හඳුන්වාදීම සහ එමගින් සිසුන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් බැර කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ක්ෂේත්රයට අදාළ විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම අධිකාරිය සහ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ඇතුළු ආයතනවල ක්‍රියාකාරීත්වය හා සංවර්ධන සැලසුම් ද සමාලෝචනයට ලක් විය.මෙහිදී කාරක සභා සභාපතිවරයා විසින් සියලුම අදාළ ආයතන තම මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳ සම්පූර්ණ වාර්තා කාරක සභාව වෙත ඉදිරිපත් කළ යුතු බවට උපදෙස් ලබා දෙන ලදී. එම වාර්තා නියමිත පරිදි ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.තවද, වසර අවසානයේ පමණක් නොව වසර මැදදී ද අදාළ ආයතන කැඳවා සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට කාරක සභාව තීරණය කළේය.ඊට අමතරව, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සඳහා 2026 වර්ෂයේදී වෙන් කරන ලද අයවැය ප්‍රතිපාදනවල භෞතික හා මූල්‍ය ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක් විය.මෙම අවස්ථාවට කාරක සභාවේ සාමාජික ගරු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks