පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-10-14
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
කොළඹ නගරයේ හිඟ වරිපනම් ආදායම් අයකර ගැනීමට විධිමත් ක්‍රමයක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) කොළඹ මහ නගර සභාවට උපදෙස් ලබාදෙන ලදී.
වරිපනම් අදායම් පවත්වාගෙන යාම ඇතුළු තවත් කාර්යයන් කිහිපයක් සඳහා KOICA ව්‍යාපෘතිය මගින් දත්ත පද්ධතියක් සකස් කිරීමට අපේක්ෂා කරන බව කොළඹ මහ නගර සභා නිලධාරීහු කෝපා කමිටුවට දැන්වූහ.
ඒ අනුව KOICA ව්‍යාපෘතිය සමග සාකච්ජා කර වරිපනම් එකතු කිරීමේ කාර්ය සාධනය වැඩි කිරීම උදෙසා එම වරිපනම් ආදායම් ක්‍රමවත්ව රැස්කිරීම සඳහා සකස් කරන නව දත්ත පද්ධතිය උපයෝගි කරගැනීමේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලෙස කොළඹ මහ නගර සභාවට කාරක සභාව විසින් උපදෙස් ලබාදෙන ලදී.
මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ කොළඹ මහ නගර සභාවේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) 2025.10.08 වන දින කැඳවූ අවස්ථාවේදීය.
මෙහිදී විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට දේපළ හඳුනාගැනීම සිදුකර ඇති බවට සඳහන් කළ කොළඹ කොටුව ප්‍රදේශයේ හිඟ අදායම් අයකරගැනීමේ කටයුතු මාස 6ක් ඇතුළත අවසන් කරනලෙස ලබාදුන් නිර්දේශය ක්‍රියාත්මක නොකර තිබීම පිළිබඳව කෝපා කමිටුව අදාළ නිලධාරීන්ගෙන් විමසනු ලැබීය.
ඊට පිළිතුරු ලබාදුන් නිලධාරීහු රුපියල් මිලියන 610.96ක් වන හිඟ අදායම් වලින් මේ වනවිට රුපියල් මිලියන 148ක මුදලක් අයකර ගැනීමට හැකිවූ බව පැවසුහ. ඉතිරි මුදල් අයකරගැනීමට අවශ්‍ය කටුයුතු සිදුවෙමින් පවතින බවත් ඔව්හු පැවැසුහ. කෙසේ වෙතත් මෙම එකතු කර ගැනීමට පවතින හිඟ ආදායම් විධිමත්ව අයකර ගැනීමේ සැළස්ම පිළිබඳව සම්පුර්ණ වාර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙසට සභාපතිවරයා උපදෙස් ලබාදුන්නේය.
තවද කොළඹ මහ නගර සභාවට ලැබෙන අනෙකුත් අදායම් මාර්ගග එකතු කරගැනීම සඳහා විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීමේ වැඩපිළිවෙළ හා හඳුනාගත නොහැකි දේපළ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග වල ප්‍රගතිය පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලෙස ද සභාපතිවරයා විසින් කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
මේ අතර අනවසරයෙන් භුක්තිවිඳින මෝදර එලිහවුස් (Elie House) ඉඩම සම්බන්ධයෙන් කෝපා කමිටුව පෙර ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳවද කමිටුවේදී සාකච්ජා කෙරිණි. එහිදී කෝපා කමිටුව විසින් ඒ වනවිට එම ඉඩම තුළ අනවසරයෙන් භුක්ති විඳින දේපොළ සම්බන්ධව එම දේපළ භුක්ති විඳින පිරිස් විසින් ඉදිරිපත් කර ඇති අභියාචනය පිළිබඳව ගරු ආණ්ඩුකාරවරයා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ජාවෙන් අනතුරුව, එම දේපළ කොළඹ මහනගර සභාව වෙත පවරාගැනීමේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලෙස ද නිර්දේශ කරන ලදී. කෙසේ වෙතත් ආණ්ඩුකාරවරයා සමග සාකච්ජා කර අනවසර භුක්තියට අදාළ හිඟ කුලිය හා දඩ මුදල් ගෙවීමට එකඟ වී ඇතත් ඉදිරි කටයුතු සිදුකර නොමැති බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.එහිදී එම ඉඩමේ මුළු ප්‍රමාණය පර්චර්ස් 140 වුවද ඉන් 1992 සිට ගිවිසුම් ගතව ඇත්තේ පර්චර්ස් 40ක ප්‍රමාණයකට පමණක් බව අනාවරණය විය. එම ගිවිසුමද 2022 වසරේදී කල් ඉකුත්වී ඇති බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. එහිදී අදහස් දැක්වූ කොළඹ මහ නගරසභාවේ නිලධාරීහු එම ඉඩමේ පුණ්‍ය ආයතනයක් පවත්වාගෙන යාම හේතුවෙන් ඔවුන් හා එකඟතාවෙන් අදාළ හිඟ කුලිය හා දඩ මුදල් ලබාගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බව පැවසුහ. එමෙන්ම ගිවිසුම්ගත නොවී භාවිතා කරන ඉතිරි පර්චර්ස් 50 නැවත පවරා ගැනීමට කටයුතු කරන බවද නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
කෙසේ වෙතත් මෙලෙස කටයුතු කිරීම තුළින් ගැටලු රැසක් මතුවන බව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා මූල්‍ය සහ රාජ්‍ය පරිපාලන නීති රීති අනුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. ඒ අනුව භාවිතා කරන ඉතුරු පර්චස් ප්‍රමාණය සඳහා අයකරන හිඟ දඩ මුදල් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙස උපදෙස් ලබාදුන් අතර එම වාර්තාව දෙසැම්බර් මස අග වනවිට ලබාදීමට හැකි බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
මේ අතර බොරැල්ල සුසාන භූමි පාලකගේ නිල නිවාසය හා ඉඩම අවභාවිතා කරමින් අනවසරයෙන් ඉදිකර ඇති මල්ශාලාව පිළිබඳව කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය. ඒ සම්බන්ධව පුර්ණ පරීක්ෂණයක් සිදු කර කාරක සභවට වාර්තාවක් ලබාදෙන ලෙස නිර්දේශ කර තිබුනද එම වාර්තාව එතෙක් කාරක සභාවට ලබානොදීම පිළිබඳව කාරක සභාව සිය නොසතුට පළකළේය.
කෙසේ වෙතත් සිදුවීමට අදාළව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගෙන ඉදිරි කටයුතු සිදුකරගෙන යමින් පවතින බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
මෙම රැස්වීම් සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරවින්ද සෙනරත්, දිනිඳු සමන් හෙන්නායක, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන (ආචාර්ය) එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාහ්, රෝහිත අබේගුණවර්ධන, ජේ.සී. අලවතුවල, චාමර සම්පත් දසනායක, (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ, සුනිල් රත්නසිරි, චන්දන සූරියආරච්චි සහ කොළඹ මහ නගර සභාවේ නගාරාධිපති ව්‍රායි කැලී බල්තසාර් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
2026-09-01
විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් මඩකලපුව දිස්ත්‍රික් තරුණ ප්‍රජාව සඳහා සංවිධානය කළ “Voice to Policy” සංවාද වැඩසටහන පසුගියදා (අගෝ. 29) මඩකලපුව ඊස්ට් ලැගූන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර මෙහිදී මඩකලපුව දිස්ත්‍රික් තරුණ ප්‍රජාවගේ ප්‍රතිපත්තිමය අදහස් හා යෝජනා සෘජුවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි විය.විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කෙරෙන වැඩමුළු මාලාවේ පළමු වැඩසටහන ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාව වෙනුවෙන් පැවති අතර මෙම වැඩසටහන එහි දෙවැන්නයි. මෙහිදී තරුණ ප්‍රජාවට සිය අදහස්, ගැටලු සහ ප්‍රතිපත්තිමය යෝජනා සෘජුවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර, වැඩමුළුව සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරුණ තරුණියෝ සහභාගී වූහ.මෙම අවස්ථාව සඳහා විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, නීතිඥ සුසන්ත දොඩාවත්ත, ලාල් ප්‍රේම්නාත්, සුනිල් රාජපක්ෂ, එම්.කේ.එම්. අස්ලම්, වෛද්‍ය ඉලෙයියතම්බි සිරිනාත්, අබූබකර් අතම්බාවා , ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර, මුහම්මද් ෆයිසාල්, ඥානමුත්තු ශ්‍රීනේසන් යන මත්වරු සහභාගී වූහ. මෙහිදී තරුණ ප්‍රජාව විසින් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය පිළිබඳ ගැටළු, ප්‍රාථමික අධ්‍යපනය නියාමනය, තරුණයන්ගේ දේශපාලන සහභාගීත්වය පුළුල් කිරීම, වෘත්තීය පුහුණුව, රැකියා අවස්ථා, තාක්ෂණය, ව්‍යවසායකත්වය පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීම, මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම හා තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අවස්ථා බහුල කිරීම, ප්‍රශස්ථ මට්ටමේ ක්‍රීඩාංගන පහසුකම් නොමැතිකම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා සංසදය වෙත ඉදිරිපත් කරන ලදී.විශේෂයෙන් උසස් අධ්‍යාපන පාඨමාලා සහ උපාධි සම්පූර්ණ කිරීමට ගතවන කාලය අවම කිරීම, දේශපාලනයට සම්බන්ධ වීමට අපේක්ෂා කරන තරුණයන් සඳහා වැඩි අවස්ථා නිර්මාණය කිරීම සහ තරුණ ව්‍යවසායකත්වය පුළුල් කිරීම ඇතුළු කරුණු කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.තරුණ ප්‍රජාව විසින්ම සිය ප්‍රමුඛ ගැටලු හඳුනාගෙන, ඒවා සාකච්ඡා කර, පොදු කරුණු ලෙස වර්ගීකරණය කර ප්‍රතිපත්තිමය අවධානය යොමු විය යුතු ක්ෂේත්‍ර තෝරා ගැනීමෙන් අනතුරුව ඒවා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සමඟ සෘජු සංවාදයක් පැවැත්වීම මෙම වැඩසටහනේ විශේෂත්වයක් විය.වැඩසටහනේදී ඉදිරිපත් වූ තරුණ යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරි සලකා බැලීම සඳහා යොමු කිරීමට පාර්ලිමේන්තු සංසදය සිය අවධානය යොමු කළේය. එමෙන්ම, අදාළ කරුණු සම්බන්ධයෙන් තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා සමඟ ඉදිරියේදී සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. තරුණ ප්‍රජාව විසින් ඉදිරිපත් කරන ලද ගැටළු සම්බන්ධයෙන් මේ වන විටත් රජය විසින් ගෙන ඇති පියවරයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී මන්ත්‍රීවරු විසින් කරුණු පැහැදිලි කරන ලදී.මෙම වැඩමුළුව සඳහා CII (Coalition for Inclusive Impact) ආයතනය අනුග්‍රාහකත්වය සපයනු ලැබීය.
2026-09-01
විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරනු ලබන “Voice to Policy” සංවාදමය ප්‍රාදේශීය වැඩසටහන් මාලාවේ තෙවැන්න මහනුවර දිස්ත්‍රික් තරුණ ප්‍රජාව සඳහා මේ මස 05 වැනිදා මහනුවර ‘ගෝල්ඩන් ක්‍රවුන්’ හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.තරුණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන මෙම වැඩසටහන, විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එසේම සංසදයේ සාමාජික මන්ත්‍රීවරු මෙන්ම මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.මෙම වැඩමුළු මගීන් විශේෂයෙන් තරුණ ප්‍රජාව පාර්ලිමේන්තු කටයුතු, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ විවෘත පාර්ලිමේන්තු මූලධර්ම පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම, පාර්ලිමේන්තුව සහ පුරවැසියන් අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.මෙම වැඩමුළුව සඳහා සහභාගීවීමට අපේක්ෂා කරන මහනුවර දිස්ත්‍රික්කයේ වයස අවු 18 – 35 අතර තරුණ තරුණියන් https://forms.gle/aVp5UzhLbtPSmVap8 සබැඳිය ඔස්සේ අදාළ පෝරමය සම්පූර්ණ කොට සැප්තැම්බර් 03 මධ්‍යහ්න 12.00ට පෙර ලියාපදිංචි විය විය යුතුය. එසේම සහභාගී වන්නන් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කරන සංකේතවලින් තොර ඇඳුමින් සැරසී සිටිය යුතු වේ. CII (Coalition for Inclusive Impact) ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් මෙම වැඩමුළු මාලාව සංවිධානය කෙරේ.
2026-08-25
මෙරට මැතිවරණ පද්ධතිය (පළාත් සභා හැර) වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු සහ ජනතා අපේක්ෂාවන්ට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පත් කළ විශේෂඥ මණ්ඩලයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැත්විණි.මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සහ ඒ සම්බන්ධයෙන් යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. එහිදී විශේෂඥ මණ්ඩලයේ කාර්යභාරය, සමාලෝචනයට ලක් කළ යුතු කරුණු මෙන්ම ඉදිරි කටයුතු ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.මෙහිදී, මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාව සහ විවිධ සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති යෝජනා 31ක් ගැඹුරින් සමාලෝචනය කර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂඥ මණ්ඩලය කටයුතු කිරීමට නියමිතය. එම සමාලෝචන ක්‍රියාවලියේදී විශ්වවිද්‍යාල ප්‍රජාව සහ පර්යේෂණ ආයතන විසින් සිදු කර ඇති අදාළ අධ්‍යයන හා පර්යේෂණ ද සැලකිල්ලට ගැනීමට නියමිතය.මෙම සමාලෝචන ක්‍රියාවලිය සඳහා මාස දෙකක කාලයක් ලබා දී ඇති අතර, එහිදී පවතින මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු හඳුනා ගැනීම මෙන්ම, අවශ්‍යතාව පවතින්නේ නම් වඩාත් සාධනීය ලක්ෂණ සහිත නව මැතිවරණ ක්‍රමවේදයක් හා මැතිවරණ සංස්කෘතියක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතය.ඒ අනුව, කාරක සභාවේ අවසන් අරමුණ වන්නේ පවතින ක්‍රමවේදයට සංශෝධන කිහිපයක් එක් කිරීම පමණක් නොව, වර්තමාන අවශ්‍යතා සහ ජනතා අපේක්ෂාවන්ට ගැළපෙන වඩාත් විශ්වාසනීය, ප්‍රජාතන්ත්‍රවාදී සහ කාර්යක්ෂම මැතිවරණ පද්ධතියක් සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා නීතිමය නිර්දේශ සහිත වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි.මෙම රැස්වීමට කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-08-25
තැපැල් දෙපාර්තමේන්තුවේ 2004 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා සිදුව ඇති මූල්‍ය වංචා සහ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA විශේෂ අවධානය යොමු කෙරිණි. ඒ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) විසින් 2026 අප්‍රේල් 07 වැනිදා ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යසාධනය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.විමර්ශන කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා නව පරිගණකගත මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දී ඇති බවත්, ඒ මඟින් විමර්ශන ගොනු පිළිබඳ තොරතුරු යාවත්කාලීන කර ඒවායේ ප්‍රගතිය අධීක්ෂණය කිරීමට කටයුතු කර ඇති බවත් මෙහිදී අනාවරණය විය. සුළු ස්වභාවයේ සිදුවීම් වෙනුවෙන් දීර්ඝ විමර්ශන පවත්වා සම්පත් වැය කිරීම වෙනුවට, වැදගත් මූල්‍ය වංචා සහ බරපතළ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබා දී විමර්ශන කඩිනම් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය.තවද, ඇතැම් විමර්ශන වසර ගණනාවක් තිස්සේ අවසන් නොවීම, චෝදනා ලැබූ ඇතැම් පුද්ගලයන් අතුරුදන් වීම හෝ මියයාම හෝ, ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද වීම සහ විමර්ශන අංශයේ පවතින මානව සම්පත් හිඟය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ට එරෙහි විමර්ශන සහ විනය ක්‍රියාමාර්ග නියමිත කාලසීමාවක් තුළ අවසන් කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාව අවධාරණය කළේය. එමෙන්ම, විමර්ශන අවසන් කර අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් අලාභ අයකර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස ද උපදෙස් ලබා දෙන ලදී.තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සහ අභ්‍යන්තර පාලන ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.මේ අතර, තැපැල් දෙපාර්තමේන්තුවේ අතිකාල දීමනා කළමනාකරණය විධිමත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් පළාත් නවයම සහ මධ්‍යම තැපැල් හුවමාරුව ආවරණය වන පරිදි සිදු කළ වැඩ අධ්‍යයනය මත පදනම්ව ප්‍රශස්ත සේවක සංඛ්‍යාවක් (Optimum Cadre) හඳුන්වා දීමට කටයුතු කරන බව නිලධාරීහු පැවසූහ.අතිකාල දීමනා ගෙවීමේදී සේවක පැමිණීම නිවැරදිව තහවුරු කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයට ගෙන ඇති බවත්, ඉදිරියේදී එම දත්ත පදනම් කර ගනිමින් අතිකාල දීමනා ගෙවීම් වඩාත් විධිමත් කිරීමට කටයුතු කරන බවත් මෙහිදී සඳහන් විය.තැපැල් සේවාව නවීකරණය කිරීම සහ ඩිජිටල්කරණය කිරීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර, Speed Post, Cash on Delivery සහ International Courier වැනි අගය එකතු කළ සේවාවන් තවදුරටත් පුළුල් කිරීම, තැපැල් බැංකු සේවා ඩිජිටල්කරණය කිරීම සහ නව තාක්ෂණය ඔස්සේ තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් වර්ධනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කෙරිණි.එමෙන්ම, තැපැල් දෙපාර්තමේන්තුව සතු උපතැපැල් කාර්යාල ජාලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් සැපයෙන දුෂ්කර ප්‍රදේශවල උපතැපැල් කාර්යාල වසා දැමීමකින් තොරව පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන චානක මාදුගොඩ, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, මංජුල සුරවීරආරච්චි, චන්දන සූරියආරච්චි, අජන්ත ගම්මැද්දගේ, ලාල් ප්‍රේමනාත්, රුවන්තිලක ජයකොඩි සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks