01

E   |     |  

2025-10-03

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

‘කෝප්’ කමිටුව යටතේ අධීක්ෂණයට ලක්වන රාජ්‍ය ආයතන 457 ක ප්‍රධානීන්ට පාර්ලිමේන්තුවේදී වැඩමුළුවක්

  • රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ මෙන්ම කෝප් කමිටුව පිළිබඳ පොදු මතය වෙනස් කිරීමේ වගකීම ආයතන ප්‍රධානීන්ට මෙන්ම කෝප් කමිටුවට තිබෙනවා - කෝප් සභාපතිවරයා පවසයි
  • කෝප් කමිටුවේ විමර්ශනයට ලක්වන සියලු ආයතන ප්‍රධානීන් කැඳවා දැනුවත් කිරීමක් සංවිධානය කළේ පළමුවරට 
  • සෑම ආයතනයකම ක්‍රියාකාරීත්වය වසරක කාලයක් තුළ අධීක්ෂණය වන පරිදි නව වැඩපිළිවෙලක්

 

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ විමර්ශනයට ලක්වන රාජ්‍ය ආයතන 457 ක ප්‍රධානීන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (ඔක්. 02) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.  කෝප් කමිටුවේ විමර්ශනයට ලක්වන ආයතන 457ක සභාපති, අධ්‍යක්ෂ ජනරාල්/ ප්‍රධාන විධායක නිලධාරී හෝ ‍වෙනත් ප්‍රධාන තනතුරු දරන 700කට ආසන්න පිරිසක් කණ්ඩායම් තුනක් ලෙස කැඳවා මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.   

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවේ සම්පත් දායකයන් ලෙස  වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.වී.සී දිල්රුක්ෂි, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. එස්. එම්. ද සිල්වා, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.ඒ. කරුණාරත්න සහ ආර්.කේ ජයලත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.  

මෙහිදී අදහස් දැක්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ  සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේ රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ මෙන්ම කෝප් කමිටුව පිළිබඳ පොදු මතය වෙනස් කිරීමේ වගකීම ආයතන  ප්‍රධානීන්ට මෙන්ම කෝප් කමිටුවට ඇති බවයි. ඒ අනුව මෙම වැඩමුළුව ඔස්සේ ලබන දැනුවත්බව හා සාකච්ඡාව නව ආරම්භයක් බවත් පැවති  අඩුපාඩු මඟහරවා නිවැරදි දිශානතිය වෙත මෙම ආයතන ගෙනයාම සියලු දෙනාගේම අපේක්ෂාව බවත් කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය. 

එසේම කෝප් කමිටුව යටතට ගැනෙන සියලු ආයතන ප්‍රධානීන් එකවර කැඳවා මෙවැනි දැනුවත් කිරීමක් සංවිධානය කළේ ඉතිහාසයේ පළමුවරට බවත් කෝප් සභාපතිවරයා සඳහන් කළේය. 
 
පවතින පනතට අනුගත නොවන අවස්ථා, පවතින නෛතික ප්‍රතිපාදන වැරදි ලෙස අර්ථකථනය කොට කටයුතු කරන අවස්ථා, පවතින වගන්ති වර්තමානයට අනුකූල නොවීම නිසා ඒවා සංශෝධනය නොකර රිසි සේ කටයුතු කරන අවස්ථා වැනි මූලික දූර්වලතා මගහරවා ගත යුතු බවත් සමරවීර මහතා පෙන්වා දුන්නේය. පනතේ යල්පැනගිය වගන්ති පවතීනම් ඒවා කඩිනමින් වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය ද ඒ මහතා අවධාරණය කළේය.  

කාරක සභාව හමුවට නිලධාරීන්  කැඳවීම, ප්‍රශ්න කිරීම හෝ ඔවුන් වැරදිකරුවන් ලෙස හුවා දැක්වීම සිය කාරක සභාවේ අපේක්ෂාව නොවන බවත් කාරක සභා සභාපතිවරයා පැවසීය.   සිය සීමාවන් තුළ කිසිදු බියකින් තොරව නිර්මාණශීලිව කටයුතු කිරීමට කිසිදු බාධාවක් නැති බවත් තීරණ ගැනීමට නොහැකි බවට ඇතැමුන් ව්‍යාජ මත නිර්මාණය කිරීමට උත්සහ කරන බවත් ඒ මහතා පැවසීය. එසේම අභ්‍යන්තර විගණනය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද ඒ මහතා අවධාරණය කළේය.

කෝප් කමිටුව තුළ අනාවරණය වන දූෂණ සහ වංචා පිළිබඳ නීතිමය පියවර ගැනීමට යොමු කිරීම සඳහා ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ අනුව ඉදිරියේදී කටයුතු කරන බවත් කෝප් සභාපතිවරයා සඳහන් කළේය. වසරක කාලසීමාවක් තුළ සෑම ආයතනයක්ම කැඳවිය නොහැකි බැවින් මෙම  ආයතන 457හිම ක්‍රියාකාරීත්වය සෑම  වසරක කාලයක් තුළ අධීක්ෂණය වන පරිදි නව වැඩපිළිවෙලක් හදුන්වා දෙන බවත් කෝප් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.   එසේම ඉදිරියේදී කෝප් කමිටුවට කැඳවන ආයතන අනුපිළිවෙල තීරණය කිරීම විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදුකරන බවත් ඒ මහතා සඳහන් කළේය.

විනිවිද බව සහ වගවීමේ ක්‍රියාවලිය තහවුරු කිරීම සඳහා ජාතික විගණන කාර්යාලයේ කාර්ය භාර්ය පිළිබඳව මෙහිදී වැඩබලන විගණකාධිපතිවරයා කරුණු පැහැදිළි කළේය. එසේම ආයතනවල සංයුක්ත සැලැස්ම, ක්‍රියාකාරී සැලස්ම, ආයතනික ව්‍යුහයන්, වාර්ෂික වාර්තා, අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රියාකාරීත්වය, අයවැය කළමනාකරණය, සේවකයන් බඳවා ගැනීම් හා පුරප්පාඩු පිරවීම් ආදි කරුණු නිවැරදිව සිදුවිය යුතු ආකාරය සහ ප්‍රායෝගික තත්ත්වයන් පිළිබඳව මෙහිදී ආයතන ප්‍රධානීන් දැනුම්වත් කිරීම සිදුවිය. එසේම ආයතන ප්‍රධානීන්ට ද ප්‍රායෝගික ගැටලු  සහ යෝජනා කාරක සභාවේ අවධානය පිණිස ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවූ අතර ආයතන ප්‍රධානීන්ගේ යෝජනා හා අදහස් කාරක සභාව වෙත දන්වා එවන මෙන් කෝප් සභාපතිවරයා දැනුම් දුන්නේය.

තවද මෙම ආයතනවල නීති නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන් දැනුවත් කිරීම සඳහා තවත් වැඩමුළු ඉදිරියේදී සංවිධානය කිරීමට අපේක්ෂා කරන බවත් මෙහිදී අනාවරණය විය. 

කෝප් කමිටු සාමාජික ගරු මන්ත්‍රීවරුන් වන නීතීඥ දයාසිරි ජයසේකර, අසිත නිරෝෂණ එගොඩ විතාන යන මහත්වරුද පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ  සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) එම්. ජයලත් පෙරේරා, හිටපු විගණකාධිපති හා කෝප් සහ කෝපා කමිටු උපදේශක එස්.සී. මායාදුන්නේ සහ හිටපු මහාධිකරණ විනිසුරු හා කෝප් කමිටු උපදේශක පියසේන රණසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 




සම්බන්ධිත පුවත්

2026-01-09

පුරාවස්තු සහ පුරාවිද්‍යා කැණීම් කටයුතු පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් මධ්‍යගත දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳ කෝපා කමිටුව අවධාරණය කරයි

තොරතුරු තාක්ෂණ නිලධාරීන් (IT officers) බඳවාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ කාරක සභාවේ අවධානයපුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන නොවීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානයපුරාවස්තු සහ පුරාවිද්‍යා කැණීම් කටයුතු පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් මධ්‍යගත දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අවධානය යොමු විය.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021, 2022 හා 2023 යන වර්ෂයන්වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) 2026.01.06 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ මෙම කාරක සභාව 2023 ඔක්තෝම්බර් 03 දින රැස් වූ අවස්ථාවේදී, රටතුළ සියලු පුරාවිද්‍යා කැණීම් සිදු කරන ලද  ස්ථාන, එම කැණීම් මගින් සිදු කරන ලද සොයාගැනීම් සහ ඒවායේ සාර්ථක අසාර්ථක බව, එම කැණීම් තවදුරටත් ඉදිරියට කරගෙන යා යුතුද, නැද්ද යන්න, කැණීම් සිදු කළ යුතු වෙනත් ස්ථාන මොනවාද යන‍ාදී තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළත් කර පවත්වාගෙන යන ලෙස නිර්දේශ කර ඇති බවයි. කාරක සභාවේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් වර්තමාන ප්‍රගතිය විමසීමේදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විටත් සියලු තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් නොමැති බවත් කැණීම් බලපත්‍රවලට පමණක් අදාළව දත්ත පද්ධතිය පවත්වාගෙන යන බවත්ය.මේ අනුව, කාරක සභාව පෙන්වා දුන්නේ මෙම දත්ත පද්ධතිය සකස්කර යාවත්කාලීනව පවත්වාගෙන යාම ඉතා වැදගත් බවත් මේ වෙනුවෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙන් සහයක් අවශ්‍ය නම් එය ලබාදීමට කාරක සභාව සූදානම් බවත්ය. එසේම තොරතුරු තාක්ෂණ නිලධාරීන් (IT officers) වැඩි ප්‍රමාණයක් මෙම දෙපාර්තමේන්තුවට අනුයුක්තව කටයුතු කිරීමේ වැදගත්කමද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දෙන ලදි. මේ සම්බන්ධයෙන් පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ තොරතුරු තාක්ෂණ නිලධාරීන් (IT officers) 12 දෙනෙකු බඳවාගැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබී තිබුණද දැනට සිටින්නේ එක් නිලධාරියෙකු පමණක් බවත්, ඔහුද ප්‍රධාන කාර්යාලයට අනුයුක්තව සේවය නොකරන බවයි. මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ පවතින පුරප්පාඩු සඳහා නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු ඉක්මනින් කරන ලෙසයි.එසේම පුරාවිද්‍යා කැණීම් කටයුතු පිළිබඳ සියලු යාවත්කාලීන තොරතුරු ඇතුළත් මධ්‍යගත දත්ත පද්ධතිය සම්බන්ධ යෝජනාවලියක් මාස 3ක් ඇතුළත කාරක සභාව වෙත ලබාදෙන ලෙසද මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන නොවීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු විය. විශේෂයෙන්ම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ සංචාරක ආකර්ෂණය දිනාගැනීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම ඉතාම වැදගත් බවයි. මේ නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඉක්මනින් වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදි.එසේම දෙපාර්තමේන්තුව විසින් 2023 දෙසැම්බර් 31 දිනට හඳුනාගත් සමස්ත පුරාවිද්‍යා ස්ථාන වලින් 48% ගැසට් නොකිරීම පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය. මේ අනුව ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලද සහ නොකරන ලද සියලු දත්ත පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.මීට අමතරව ලෝක උරුමයන් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානයට යෝජනා කිරීමට තීරණය කරන ලද ස්ථාන සහ අදාළ කෙටුම්පත පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි. මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් සුගත් තිලකරත්න, අරවින්ද සෙනරත්, නලීන් හේවගේ කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, (වෛද්‍ය) ජනක සේනාරත්න, ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, (නීතීඥ) සාගරිකා අතාවුද, (නීතීඥ) තුෂාරි ජයසිංහ, ඔෂානි උමංගා,  ලාල් ප්‍රේමනාත්, මංජුල සුරවීර ආරච්චි, රුවන්තිලක ජයකොඩි සහ  සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. 


2026-01-08

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කිරීමට නියමිත මෝටර් වාහන පනත යටතේ නියෝග සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

2025.01.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කිරීමට නියමිත (203 අධිකාරය වූ) මෝටර් වාහන පනත යටතේ නියෝග සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජන. 06) පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව  (203 අධිකාරය වූ ) මෝටර් වාහන පනත යටතේ  අංක  2452/40 දරන අති  විශේෂ  ගැසට්   පත්‍රයේ පල කරන ලද  නියෝග මගින්  කිසියම් මාර්ගයක මෝටර් වාහනයක්, පදවනු ලබන, ක්‍රියාත්මක කරනු ලබන හෝ සත්‍ය වශයෙන් යම් මෝටර් වාහනයක් කායිකව පාලනය කරනු ලබන යම් තැනැත්තකු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට පොලිස් නිලධරයකු විසින් සාධාරණව සැක කරනු ලබන අවස්ථාවක දී ඒ පොලිස් නිලධරයා විසින් ඒ තැනැත්තා රජයේ වෛද්‍ය නිලධරයකු හෝ රෝහල විසින් තත්කාර්ය සඳහා බලය දෙන ලද යම් නිලධරයකු වෙත වැඩිදුර පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කළ යුතු බව දක්වා ඇත. එමෙන්ම  (203 අධිකාරය වූ ) මෝටර් වාහන පනත යටතේ   අංක  2455/29 දරන අති විශේෂ  ගැසට්  පත්‍රයේ පල කරන ලද  නියෝගය මගින් අධිවේගී මහා මාර්ගයක  රථවාහන වල ගමන් කිරීමේදී සෑම පුද්ගලයෙකුම ,පුද්ගල ආරක්ෂක ආසන පටියක් පැළඳ සිටිනු ලැබිය යුතු  බව දක්වා ඇත. ඒ අනුව මෙම නියෝග සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය. තවද මෙම රැස්වීමේදී දිවයින තුළ ඇතිවූ හදිසි ආපදා තත්ත්වය  හේතුවෙන්  සිදුවූ හානිය  සහ ඒවා  යථා තත්ත්වයට පත්කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු  කාරක සභාව දැනුවත් කළහ.  ඒ අනුව කිලෝමීටර 1481 පමණ දුරකින් යුත්, මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග කොටස්  287ක් කැඩී ගොස් ඇති බව එම අධිකාරියේ නිලධාරීහු පැවසූහ. ඒවා  නැවත ඉදිකිරීම් සඳහා ඇස්තමේන්තු ගතමුදල  රුපියල් බිලියන 86ක් පමණ වන  බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 300ක පමණ අලාභයක් සිදුව ඇති බවද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ. තවද ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් රුපියල් මිලියන 63ක පමණ පාඩුවක්  ලංකා ගමනාගමන මණ්ඩලයට සිදුව තිබෙන බවත් එම නිලධාරීහු පැවසූහ. එමෙන්ම ලංකාවේ මාර්ග පද්ධතියට ඒ ඒ ප්‍රදේශවල සිදුව ඇති හානි පිළිබඳව, මහජනතාවට  අදාළ බලධාරීන් දැනුවත් කිරීම උදෙසා වෙබ් පිටුවක් සකස් කර ඇති බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය. ඒ අනුව https://road-lk.org/ යන වෙබ් පිටුවට පිවිස අදාළ හානි පිළිබඳව දැනුවත් කිරීමේ අවස්ථාව මහජනතාවට පවතින බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ප්‍රවාහන සහ මහාමාර්ග  ගරු නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, අනෙකුත් ගරු  නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.


2026-01-08

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි...

දිත්වා හේතුවෙන් ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන් සඳහා රුපියල් මිලියන 25ක කාරක ප්‍රාග්ධන ණය සහ ආයෝජන යෝජනා ක්‍රමයක් මෙන්ම  5% පොළියට රුපියල් මිලියන 25ක ණය ක්‍රමවේදයක් - මුදල් අමාත්‍යාංශයේ ලේකම්මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ඊයේ (ජන. 07) ගරු. ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විය. කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ  මුදල් අමාත්‍යාංශයේ ලේකම්  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් ද මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී විය.දිත්වා සුළි කුණාටුව හේතුවෙන්  ආපදාවට ලක්වූ කර්මාන්ත සඳහා මුදල් යෙදවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන් සඳහා විවිධ ණය ක්‍රම හඳුන්වා දී තිබෙන බවටද මෙහිදී සඳහන් විය. ඒ අනුව රුපියල් මිලියන  25ක කාරක ප්‍රාග්ධන ණය සහ ආයෝජන යෝජනා ක්‍රමයක්, 5% පොළියට රුපියල් මිලියන 25ක ණය ක්‍රමවේදයක් මේ වන විටත් සකසා තිබෙන බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසී ය.තවද, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙත මේ වන විටත් රුපියල් බිලියනක මුදලක් ලබා දී ඇති  බවත්, එකී මුදල්  නිසි ලෙස තවමත් යොදා නොගැනීම පිළිබඳව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. අමතර මුදල් ලබා දීම සලකා බැලීමට  ප්‍රථමයෙන්  දැනට වෙන් කොට, ලබා දී තිබෙන මුදල් නිසි ලෙස යෙදවීමට ක්‍රමවත් යාන්ත්‍රණයක් සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස මුදල් , ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා මාත්‍යාංශයට  උපදෙස් ලබා දෙන ලදී.තවද, රටේ ආර්ථිකයට දායක වන සෑම ව්‍යාපාරයක්ම ලියාපදිංචි කිරීම සඳහා වූ යාන්ත්‍රණයක අවශ්‍යතාව සහ එහි ප්‍රතිලාභ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැදගත්කමඅමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට බඳුන් විය.ඒ අනුව, පසුගිය ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ලියාපදිංචි නොකළ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්හට සහන සැලසීම පිළිබඳව ද රජය අවධානය යොමු කර ඇති බවත්, ඒ පිළිබඳ වාර්තා ලබා දීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙන බවත් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා  සඳහන් කළේය.එමෙන්ම, ආපදාවෙන් පූර්ණ වශයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ ජනවාරි 09 වන දා අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කරන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා පැවසීය.නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමිය හේමාලි වීරසේකර මහත්මිය, අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්  ඇතුළු  එම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහු පිරිසක්ද, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා)  සහ  (වැඩ බලන) අධ්‍යක්ෂ සන්නිවේදන  එම්. ජයලත් පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


2026-01-08

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ රැස්වීමක් ගරු ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජන. 07) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.පෙර පැවති කාරක සභා රැස්වීම්වලදී එළැඹි තීරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීම මෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් නිදහස් කිරීම, මාර්ග විවෘත කිරීම සහ පාසල් පවත්වා ගෙන යාම ආදිය පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් බොහෝ ගැටලු කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ඒවාට  සාධනීය විසදුම් ලබා දීමට ගරු ජනාධිපතිවරයා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදුවූ අතර මෙම කටයුතු සිදු කරගෙන යාමේදී තවදුරටත් පවතින බාධා සහ ඊට ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡා විය.එසේම ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු, එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සඳහා වැඩිපුර පිරිස් යොමු කිරීම ආදී කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.ගරු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා ද අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. එසේම  ආරක්ෂක ආමාත්‍යාංශයේ ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ ආරක්ෂක අංශ සාමාජිකයෝ පිරිසක් ද පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද  අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks