2025-09-18
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ මූල්‍ය ස්ථාවරත්වය, තිරසාරභාවය සහ පාරිභෝගික ආරක්ෂාව සමඟ පෙළගැස්වීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු කරමින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ විශේෂඥයින් විනිවිද බවින් යුක්ත විදුලි ක්ෂේත්රයක් සඳහා පිරිවැය ආපසු ලබාගැනීම සහ පිරිවැය ගාස්තු සමබර කිරීම ප්‍රතිපත්තිමය ලෙස අත්‍යවශ්‍ය වන කාරනා බව පෙන්වා දුන්හ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EEF) වැඩසටහනට සමගාමීව විදුලි ගාස්තු ක්‍රමය සමාලෝචනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකදී මෙම අදහස් පළවිය. 2025 නොවැම්බර් මස අවසානය වන විට සම්පූර්ණ කළ යුතු පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස නිර්දේශ කරන ලද පරිදි, ඩෙල්ෆින් බ්‍රැඩි (ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ, FAD) මහත්මියගේ නායකත්වයෙන් යුත් කමිටුව, රාජ්‍ය මූල්‍ය කමිටුව, රාජ්‍ය අංශයේ ව්‍යාපාර කමිටුව, යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව, අනෙකුත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අදාළ අමාත්‍යාංශවල නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ මෙම ඒකාබද්ධ රැස්වීම පවත්වන ලදී.
මෙම තාක්ෂණික සාකච්ඡාව 2025 සැප්තැම්බර් මස 12 වන දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති (ආචාර්ය) හර්ෂ ද සිල්වා, රාජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) ගරු සභාපති කබීර් හෂීම්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) රවුෆ් හකීම්, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, (ආචාර්ය) කෞෂල්‍ය ආරියරත්න, නිමල් පලිහේන, (නීතිඥ) චිත්‍රාල් ප්‍රනාන්දු, (නීතිඥ) අජිත් පී පෙරේරා, දිළිණ සමරකෝන් ,දිලිත් ජයවීර, චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් මෙන්ම බලශක්ති අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය (CEB), ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සහ අනෙකුත් අදාළ පාර්ශවකරුවන් නියෝජනය කරමින් නිලධාරීන් ද සහභාගී වූහ.
පිරිවැය අයකර ගැනීම මඟින් සමස්ත ක්ෂේත්රයක්ම එහි සම්පූර්ණ වියදම් ආවරණය කරන බවත්, එමඟින් අකාර්යක්ෂමතා වළක්වා ක්ෂේත්රය නවීකරණය කිරීමට අවශ්‍ය ආයෝජන සහ ණය ආකර්ෂණය කර ගත හැකි බවට මෙම සාකච්ඡාවේදී අදහස් පළවිය. මේ අතර, පිරිවැය ගාස්තු සමබර කිරීම මගින් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ඉල්ලුම සපුරාලීමේ සැබෑ පිරිවැය මත පදනම්ව ගෙවීම සහතික කිරීම සහ අසාධාරණව සිදුකරන ආධාර ගෙවීම් අඩු වන බවද මෙහිදී ප්‍රකාශ විය. තවද පිරිවැය අයකර නොගතහොත් අකාර්යක්ෂමතා වැඩි වන අතර නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ක්‍රමයක් නොමැති බව සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
2030 වන විට 70% පුනර්ජණනීය බලශක්ති ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව නිවැරදි යටිතල පහසුකම්, මූල්‍යකරණය සහ දිරිගැන්වීමේ ව්‍යුහයන් ස්ථාපිත කළ යුතු බව විශේෂඥයින් අවධාරණය කළහ. සූර්ය ශක්තිය, ජල විදුලිය සහ සුළං බලයෙන් විදුලිය ජනනය කිරීම පුළුල් කිරීම, ගබඩා කිරීම සහ හරිත හයිඩ්රජන් වැනි නැගී එන තාක්ෂණයන්හි ආයෝජන අත්‍යවශ්‍ය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. තාප විදුලි බලය අඛණ්ඩ කාර්යභාරයක් ඉටු කරන අතර, එය අතිශයින් මිල අධික සහ ස්ථිරතාවයක් නොමැති දෙයක් ලෙස මෙහිදී කරුණු අනාවරණය විය. කෙසේ වෙතත්, පුනර්ජණනීය බලශක්තිය ඉතා තරඟකාරී වන නමුත් කල්තියා ආයෝජනය කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කෙරිණි.
තවද අස්ථාවර නිෂ්පාදන පිරිවැය මූල්‍ය ස්ථාවරත්වයට සහ පාරිභෝගිකයින්ට අවදානම් ඇති කරන බවට අනතුරු අඟවන ලදී. නිවාස හා ව්‍යාපාර මත හදිසි පිරිවැය වැඩිවීම වැළැක්වීම සඳහා නිවැරදි පුරෝකථනය කිරීමේ සහ ප්‍රවේශමෙන් සැලසුම් කිරීමේ අවශ්‍යතාවය ඔවුහු අවධාරණය කළහ. තීරුබදු ක්‍රමය පිරිවැය අයකර ගැනීම පමණක් නොව පුරෝකථනය කිරීමේ හැකියාව ද ලබා දිය යුතු අතර පිරිවැය-ඵලදායී සහ පරිසර හිතකාමී නිෂ්පාදනයක් සඳහා ආයෝජනය කිරීමට හැකි විය යුතු බවට ද මෙම සාකච්ඡා අදහස් පලවිය.
මේ අතර, අවධානමට ලක්විය හැකි නිවාස ආරක්ෂා කිරීමේ වැදගත්කම, ප්‍රතිව්‍යුහගත කිරීම හේතුවෙන් බලපෑමට ලක් වන සේවකයින් ආරක්ෂා කිරීම සහ ඵලදායී ආදායම් අවසානයේ පාරිභෝගිකයින්ට සාධාරණ ලෙස ප්‍රතිඵල ලැබෙන බවට වග බලා ගැනීමේ වැදගත්කම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහිදී සිහිපත්කර සිටියහ.
බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් (PPA) වල හිඩැස්, අසම්පූර්ණ පිරිවැය බිඳවැටීම් සහ දුර්වල තොරතුරු පද්ධති සමඟ දත්ත අඛණ්ඩතාව සහ විනිවිදභාවය පිළිබඳව ද මෙහිදී අදහස් පල විය. ශක්තිමත් පාලනයක් සහ ස්වාධීන නියාමනයකින් තොරව නවීන හා කාර්යක්ෂම තීරුබදු ක්‍රමයක් සාර්ථකව හඳුන්වා දිය නොහැකි බව සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.
තීරුබදු ප්‍රතිසංස්කරණය හුදෙක් තාක්ෂණික අභ්‍යාසයක් ලෙසම සැලකිය නොහැකි බවත්, මූල්‍යමය වශයෙන් ස්ථාවර විදුලිබල අංශයක් ස්ථාපිත කිරීම, 2030 වන විට 70% පුනර්ජනනීය බලශක්තියට තිරසාර සංක්‍රාන්තියක් සහතික කිරීම, අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් ආරක්ෂා කිරීම සහ කර්මාන්තය පුරා විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීම යන ප්‍රතිපත්තිමය අරමුණු මත පදනම් විය යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.
2026-11-14
දුම්රියේ ගැටී අලි ඇතුන් මිය යාම වැළැක්වීම සඳහා තිරසර විසඳුමක් ලබා දීමේ අරමුණින් ගනු ලැබූ ක්‍රියාමාර්ග රැසක් සභාගත කෙරෙයි. මෙම ක්‍රියාමාර්ග මඟින් දුම්රිය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, දුම්රිය සේවකයන් දැනුවත් කිරීම, වන අලි වාසස්ථාන කළමනාකරණය කිරීම සහ නවීන නිරීක්ෂණ හා හඳුනාගැනීමේ තාක්ෂණයන් හඳුන්වා දීම තුළින් දුම්රියේ ගැටී වන අලි මිය යාම අවම කිරීම අරමුණු කර ඇත.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාගත කළ පිළිතුරෙන් ඉහත කරුණු අනාවරණය විය. පාර්ලිමේන්තුවේ දී සභාගත කරන ලද පිළිතුරට අනුව ,දුම්රිය දෙපාර්තමේන්තුවේ නැගෙනහිර දුම්රිය මාර්ගයේ දෙපස හොඳින් දර්ශනය වන හා වඩා හොඳින් වේගය පාලනය කළ හැකි දියුණු දුම්රිය කට්ටල හඳුන්වා දීම මෙන්ම ගල්ඔය හන්දියේ සිට හිඟුරක්ගොඩ හා ගල්ඔය හන්දියේ සිට කන්තලේ දෙසට සම්පූර්ණයෙන් අලි මාරුවන දුම්රිය මාර්ගය කි.මී. 27 ක් හඳුනාගෙන ඇති අතර එම ස්ථානවල ගල්අතුරා වන අලින්ට පහසුවෙන් ගමන් කිරීමට හැකිවන පරිදි දුම්රිය මාර්ගයේ සිල්පර අතර හිස්තැන් පිරීයන පරිදි කොන්ක්‍රීට් ගල් කියුබ් 800 ක් අතුරා අවසන් කොට ඇත.දුම්රිය මාර්ගයේ සමහර ස්ථානවල හා වංගු සහිත ස්ථානවල ගැවසෙන වන අලින් දුම්රිය රියදුරන්ට නොපෙනෙන බැවින් එම ස්ථානවල මීටර් 10 සිට 20 දක්වා යටි පඳුරු ඉවත් කිරීමට කටයුතු කරන අතර මේ යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කි.මී. 20 ක් සුද්ද පවිත්‍ර කොට තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුවේ රියදුරන්, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය මාර්ග භාරව කටයුතු කරන ඉංජිනේරුවරුන් හා දුම්රියේ රියදුරු සහායක නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් 2025.05.16 හා 17 යන දිනයන්හි සිදු කෙරිණි.හබරණ දුම්රිය ස්ථානය පසුකර කන්තලේ දෙසට ගමන් කිරීමේදී හමුවන වනසංරක්ෂණ රක්ෂිතය තුළ දුම්රිය මාර්ගයෙන් සැලකිය යුතු දුරින් ඔබ්බට ජලය සපයා ගැනීමට හැකියාවක් ඇති වැව් දෙකක් ඉදි කිරීම හා සුපෝෂණ කටයුතු සඳහා රු. මිලියන 25.4 ක ප්‍රතිපාදන වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත. ගල්ඔය හා මින්නේරිය අතර 141 ස්ථානයේ කාසිකොටේ දුම්රිය මාර්ගය හරහා අලි ගමන් කරන ස්ථානය නිරීක්ෂණය සඳහා CCTV Camera සවි කර ඇති අතර එය, අනුරාධපුර මෙහෙයුම් මැදිරිය මඟින් නිරීක්ෂණ කටයුතු කෙරෙන අතර වන අලි හඳුනා ගැනීම සඳහා Thermal Detector Camera දුම්රිය මත සවි කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරමින් අඛණ්ඩව පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ආතර් සී ක්ලාක් පර්යේෂණ ආයතනය මගින් සිදු කෙරෙයි. දුම්රියේ ගැටීමෙන් 2020 වර්ෂයේ සිට 2026.10.12 දක්වා කාලය තුළ අලි ඇතුන් 81 දෙනෙකු මියගොස් ඇති බව සභාගත කළ වාර්තාවේ සඳහන් වෙයි.
2026-11-12
දෙවැනිවර කියවීමේ විවාදය හෙට (නොවැ. 13) සිට නොවැම්බර් 20 දක්වාකාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.අද ප.ව. 1.30 ට පමණ අයවැය යෝජනා සමඟ ගරු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපතිවරයාගේ කාර්යාලයේ සිට සභාගර්භයට පැමිණි අතර ප.ව. 6.30 දක්වා අය වැය යෝජනා ඉදිරිපත් කරන ලදී.විදෙස් තානාපතිවරුන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, විනිසුරුවරුන් ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) නොවැම්බර් 13 සිට දෙසැම්බර් 14 දක්වා දින 26 ක් පැවැත්වීමට නියමිතව තිබේ.2026 ඔක්තෝබර් 07 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය හෙට (13) සිට නොවැම්බර් 20 දක්වා දින 07 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව නොවැම්බර් 20 වැනිදා ප.ව. 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා සෙනසුරාදා දින 04 ක්ද ඇතුළුව දින 19 ක් පැවැත්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.
2026-11-12
“ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයආණ්ඩුක්රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (නොවැ. 12) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.එම නිවේදනයට අනුව, පනත් කෙටුම්පතේ 29 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඇ) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ දක්වා ඇති විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සංශෝධනය කාරක සභා අවස්ථාවේ දී සිදු කිරීමෙන් පසු එම අනනුකූලතාවය ඉවත් වන අතර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි ය.තවද, පනත් කෙටුම්පතේ 7(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ දක්වා ඇති විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සංශෝධනය කාරක සභා අවස්ථාවේ දී සිදු කිරීමෙන් පසු එම අනනුකූලතාවය ඉවත් වන අතර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි ය.තවද, ඉහත කරුණුවලට යටත්ව පනත් කෙටුම්පතේ අනෙකුත් කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇත.“ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයආණ්ඩුක්රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.එම නිවේදනය අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත්තේ පහත සඳහන් සංශෝධන කාරක සභා අවස්ථාවේ දී සිදු කිරීමෙන් අනතුරුව (ඉන් සංශෝධන තුනක් දැනටමත් අතිරේක සොලිසිටර් ජනරාල්තුමා විසින් සිදු කිිරීමට එකඟ වී ඇත.) මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවයි:-• “එම පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත” යන වචන ඇතුළත් කිරීම මගින් 26(2) වගන්තිය සංශෝධනය කළ යුතු අතර, එම ඇතුළත් කිරීමෙන් අනතුරුව 26(2) වගන්තිය පහත පරිදි විය යුතු ය:-“(1) උපවගන්තිය යටතේ යම් සැකකරුවකු මහෙස්ත්රාත්වරයකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, වැඩිදුර විමර්ශන සිදු කිරීමේ අරමුණින් සැකකරු වැඩිදුරටත් දීර්ඝ කරන ලද කාලයක් සඳහා රඳවා තබා ගැනීමට අවශ්‍ය බවට විශ්වාස කිරීමට එම විමර්ශනය සිදු කරනු ලබන පොලිස් නිලධාරියාට සාධාරණ හේතු ඇති අවස්ථාවක දී, එම පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත, මහෙස්ත්‍රාත්වරයා විසින් ලිඛිතව හේතු වාර්තා කරමින්, පැය විසිහතරක් නොඉක්මවන වැඩිදුර කාලසීමාවක් සඳහා එම සැකකරු අත්අඩංගුවේ තබා ගැනීම සඳහා බලය දෙනු ලැබිය හැකි ය”;• ඵලදායී අධිකරණ අධීක්ෂණයක් සහතික කිරීම සඳහා, 59(5)(ආ) වගන්තියේ සඳහන් “අභියාචනාධිකරණය” යන වචන වෙනුවට “ශ්‍රේෂ්ඨාධිකරණය” යන වචන ආදේශ කිරීමෙන් සංශෝධනය කළ යුතු ය;• අනවශ්‍ය ප්රතිපාදනයක් වන බැවින්, පනත් කෙටුම්පතේ 60(7) වගන්තිය ඉවත් කළ යුතු ය; සහ• 66(1) වගන්තිය පහත පරිදි නැවත සකස් කළ යුතු ය:-“මෙම පනත යටතේ නිකුත් කරන ලද හෝ කරන ලද විධායක නියෝගයක්, මෙහෙයුම් විධානයක් හෝ නියමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126, 140 හෝ 141 ව්‍යවස්ථා යටතේ වූ නඩු කටයුතුවලදී ප්‍රශ්න කරනු ලැබිය හැකි ය.”“ආගමන” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයකථානායකවරයා විසින් නිවේදනය කරන ලද “ආගමන” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පහත පරිදි වේ.• 43(3) වගන්තිය, එහි වර්තමාන ස්වරූපයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(එ) ව්‍යවස්ථා සමඟ අනනුකූල වේ. කෙසේ වුවද, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් කර ඇති පරිදි 43(3) වගන්තිය ප්රතියෝජනය කර නව 43(4) වගන්තිය ඇතුළත් කිරීමෙන් මෙම අනනුකූලතාවය ඉවත් වනු ඇත.• 169 වගන්තිය, එහි වර්තමාන ස්වරූපයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාව ද සැලකිල්ලට ගත් කළ, 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වේ. කෙසේ වුවද, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් කර ඇති ආකාරයට 169(1) සහ 169(3) වගන්ති සංශෝධනය කිරීමෙන් මෙම අනනුකූලතාවය ඉවත් වනු ඇත.• 45 සහ 65 වගන්ති, එහි වර්තමාන ස්වරූපයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වේ. කෙසේ වුවද, 45(1) වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් කර ඇති පරිදි සංශෝධනය කිරීමෙන් සහ ආගමන පහසුකම් සඳහා වන පිරිවැය සම්බන්ධයෙන් යෝජිත විධිවිධානයක් සුදුසු අංකනයක් යටතේ ඇතුළත් කිරීමෙන්, මෙම අනනුකූලතාවයන් ඉවත් වනු ඇත.• සලකා බලන ලද කරුණු පදනම් කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ වෙනත් කිසිදු අනනුකූලතාවයක් නොමැත. එසේම, “ලිඛිත” යන වචනය ඉවත් කිරීමෙන් 174 වගන්තිය සංශෝධනය කරන බවට ලබා දී ඇති එකඟතාවය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සටහන් කර ඇත.• හඳුනාගත් අනනුකූලතාවයන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සිදු නොකරන්නේ නම්, අදාළ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව මඟින් නියම කර ඇති විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කළ යුතු ය,යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.ශ්‍රේෂ්ඨාධිකරණයේ උක්ත තීරණ අද දින පාර්ලිමේන්තුවේ කටයුතු දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු බවට කථානායකවරයා නියෝග කළේය.
2026-11-11
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති / නියෝජ්‍ය ප්‍රධාන දූත මණ්ඩල නිලධාරී ඩේවිස් මයර්ස් (Davis Myers) මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා හමු වී සුහද සාකච්ඡාවක නිරත විය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.නියෝජ්‍ය කථානායකවරයා විසින් මයර්ස් මහතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන සබඳතා එහිදී යළිත් සිහිපත් කළ අතර විශේෂයෙන්ම අභියෝගාත්මක අවස්ථාවන්හිදී ඇමෙරිකානු රජය ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. එසේම පාර්ලිමේන්තු කටයුතු ශක්තිමත් කිරීම සහ ආයතනික ධාරිතාව වර්ධනය කිරීම සඳහා අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මඟින් ලබා දුන් සහාය ද අගය කළේය.මෙහිදී පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ ඇමෙරිකානු කොංග්රස් අයවැය කාර්යාලය (U.S. Congressional Budget Office - CBO) එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇමෙරිකානු කොංග්රස් මණ්ඩලයේ සංචාරය පිළිබඳව අදහස් දැක්වූවාය. එමෙන්ම USAID ආයතනය මඟින් පාර්ලිමේන්තුවේ මහජන සම්බන්ධතා වැඩසටහන් ශක්තිමත් කිරීම ඇතුළු විවිධ ක්ෂේත්රයන්හි ලබා දුන් සහාය පිළිබඳව ද ඇය සිහිපත් කළාය.ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, එය තවදුරටත් ශක්තිමත් කිරීමටත් තම කැපවීම මයර්ස් මහතා යළිත් අවධාරණය කළේය. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අලංකාරය සහ එහි ගෘහ නිර්මාණ ශිල්පීය වැදගත්කම මෙන්ම ශ්‍රී ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය ද ඔහු අගය කළේය.දෙපාර්ශ්වය අතර සමුද්‍රීය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළු දෙරටටම වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡා පැවැත්විණි.මයර්ස් මහතා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර, එහිදී ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ලක්ෂණ සහ පාර්ලිමේන්තුවේ පහසුකම් පිළිබඳව නිලධාරින් විසින් ඔහුට කරුණු පැහැදිලි කරන ලදී.ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී රේචල් හගින්ස් මහත්මිය සහ දේශපාලන විශේෂඥ නස්රීන් මරික්කාර් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.