04

E   |     |  

2025-09-17

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය රාජ්‍ය භාගය නිසි පරිදි අයකර නොගැනීම නිසා රුපියල් කෝටි ගණනක් රජයට අහිමි වෙලා - නිසි යාන්ත්‍රණයක් සකස් කර පනත සංශෝධනය කිරීමට ‘කෝප්’ කමිටුව දැනුම් දෙයි

  • ගල් කොරි සඳහා නිකුත් කරන පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය අනුව රාජ්‍ය භාගය ගණනය කිරීම කොතරම් සාධාරණද - කමිටුව ප්‍රශ්න කරයි  
  • ගවේෂණ බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලු පිළිබඳවත් අවධානය
  • තිරිවානා සහ පළිඟු අපනයනයට අදාළ අක්‍රමිකතා පිළිබඳවත් අවධානය

 

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය රාජ්‍ය භාගය නිසි පරිදි අයකර නොගැනීම නිසා විශාල මුදලක්  රජයට අහිමි වී ඇති බව පසුගියදා පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. 

ඒ එම කාරක සභාව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතීත්වයෙන් 2025.09.12 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. 

හලාවත වැවිලි සමාගමට අයත් පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි මුක්කුතොඩුවාව වතුයායේ වැලි ඉවත් කිරීම සඳහා පෞද්ගලික සමාගමක් වෙත බදු දී 2023 වසරේ දෙසැම්බර් සිට 2024 සැප්තැම්බර් දක්වා කාර්යාංශය විසින් කැණීම් බලපත්‍ර නිකුත් කර ඇති බවත් කොන්ත්‍රාත්කරු විසින් වැලි කියුබ් 36531 සිට 45561ක පරාසයක වැලි තොගයක් ඉවත් කළද රාජ්‍ය භාගය ගෙවා ඇත්තේ වැලි කියුබ් 1594ක් සඳහා රු. 686,464 පමණක් බවත් මෙහිදී විගණකාධිපතිවරයා විසින් පෙන්වා දුන්නේය. ජී.එස්.එම්.බී ටෙක්නිකල් සර්විසර් (පුද්) සමාගම විසින් 2024 දෙසැම්බර් 19 දින නිකුත් කරන ලද කැණීම් කරන ලද වැලි පරිමාව ඇස්තමේන්තු ගත කිරීමේ වාර්තාව ප්‍රකාරව මෙම කරුණු අනාවරණය වී ඇත.  ඒ අනුව රු මිලියන 12කට අධික රාජ්‍ය භාගයක් අහිමිවී ඇති බවත් මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. 

එසේම කලු කල් කැඩීමේදී ගල් කොරි සඳහා රාජ්‍ය භාගය අයකිරීම එම ගල් කොරියට නිකුත් කරනු ලබන පුපුරණ ද්‍රව්‍ය මත පදනම්ව සිදු කිරීම පිළිබඳවත් සාකච්ඡා විය. අනීතික ලෙස යොදා ගනු ලබන පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් කඩා ඉවත් කරනු ලබන සත්‍ය කලුගල් ප්‍රමාණය ගණනය කිරීමට මෙමගින් නොහැකි වන බවත් ඒ හරහා විශාල ආදායමක් රජයට අහිමිවන බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. මෙරට විවිධ ප්‍රදේශවල පවතින කලුගල් කොරි මගින් අතිවිශාල වශයෙන් කලුගල් කැඩීම සිදුවුව ද සත්‍ය වශයෙන් රජයට හිමි වන්නේ සුළු අදායමක් පමණක් බව මෙහිදී කාරක සභා මන්ත්‍රීවරු නිදසුන් සහිතව පෙන්වා දුන්හ. 

මේ අනුව කැණීම් බලපත්‍ර නිකුත් කිරීමෙන් නොනැවතී වඩාත් ශක්තිමත් අධීක්ෂණ යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත් පවතින  නීතිමය අඩුපාඩු මගහරවා ගැනීම සඳහා පනත සංශෝධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් කාරක සභාව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන්ට නිර්දේශ කළේය.

ඛනිජ සම්පත් කැනීමට පෙර සිදු කරනු ලබන  ගවේෂණ බලපත්‍ර නිකුත් කිරීමේ යාන්ත්‍රණයේ පවතින බලවත් අඩුලුහුඩුකම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.  දැනට පවතින ක්‍රමවේදය යටතේ ගවේෂණ බලපත්‍ර ලබා ගන්නා බොහෝ ආයතන එම බලපත්‍ර වෙනත් පුද්ගලයන්ට වැඩි මිලට අලෙවි කිරීමක් සිදුවන බවත් සැබෑ ලෙසම ගවේෂණ කටයුතු සිදුකර කැනීම් කටයුතු සිදු නොකරන බවත් මෙහිදී අනාවරණය විය. එසේම ගවේෂණයෙන් අනතුරුව එම දත්ත කාර්යාංශයට ඉදිරිපත් කිරීම සිදුවුවද එහි නිරවද්‍යතාව පිළිබඳ බලවත් ගැටලුවක් පවතින බවත් මෙහිදී සාකච්ඡා විය. 1993 වසරේ සිට කාර්යාංශය ගවේෂණ බලපත්‍ර 450කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කර ඇති බවත් දැනට සක්‍රීය තත්ත්වයේ ඇත්තේ ඉන් 43 ක් බවත් මෙහිදී අනාවරණය විය. 

මේ අනුව පවතින ක්‍රමවේදය මගින් නිසි විද්‍යාත්මක ගවේෂණ ක්‍රියාවලියක් විනිවිදබවකින් යුතුව සිදු නොවන බවත් මෙරට ඛනිජ සම්පත්  ගවේෂණ බලපත්‍ර නිකුත් කිරීමෙන් අනතුරුව එම කටයුතු මනා ලෙස කාර්යාංශය විසින් අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක් නොමැති බවත් මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව පැලැස්තර විසදුම් වෙනුවට මෙරට සංවර්ධනයට තිරසාර ලෙස වැදගත් නව යාන්ත්‍රණයක් හා උපායමාර්ගික සැලැස්මක් සකස් කළ යුතු බවත් පෙන්වා දෙන ලදී.

මන්නාරම් දූපතෙහි ඛනිජ වැලි ගවේෂණය සඳහා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ සමාගම් 5ක් වෙත බලපත්‍ර 9ක් නිකුත් කර තිබුණද වසර 10-13ක් මුළුල්ලේ එම සමාගම් ඛනිජ වැලි ප්‍රදේශ සොයා ගෙන නොතිබීම පිළිබඳව කාරක සභාව විසින් අවධානය යොමු කරන ලදී. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ මෙම සමාගම් 5ම ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි එක් සමාගමක පරිපාලිත සමාගම් බවත් අනාවරණය විය.  මෙසේ ගවේෂණ බලපත්‍ර  ලබාගන්නා බලපත්‍රලාභීන් අදාළ ප්‍රදේශ කිසිදු ගවේෂණකින් තොරව දීර්ඝ කාලයක් මුළුල්ලේ වෙන් කරගෙන තිබීම හේතුවෙන් ඛනිජ ගවේෂණය කිරීමට අපේක්ෂා කරන අනෙකුත් දේශීය හා විදේශීය ආයෝජකයන්ට අවස්ථාව සීමිත වන බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. මේ හේතුවෙන් වර්ග කි.මි 195ක් ප්‍රමාණයක් සිරවී ඇති බවත් එය රටේ සංවර්ධනයට බාධාවක් බවත් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය. 

පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත ප්‍රකාරව කැනීම්වලින් අනතුරුව කැනීම් භූමි පුනරුත්තාපනය කරවීමට‍ කටයුතු කළ යුතු වුවද 2025 අගෝස්තු 11 වන විට බලපත්‍ර 3150 කට අදාළව පුනරුත්තාපන කටයුතු සිදුකර ගැනීමට කාර්යාංශය කටයුතු කර නොතිබීම පිළිබඳව ද අවධානය යොමු විය. මෙහිදී සාකච්ඡා වූයේ කැනීම් බලපත්‍රය ලබා ගැනීමේදී පුනරුත්තාපනය සඳහා බැඳුම්කරයක් (ඇපකරයක්) ලබා ගත්ත  ද පුනරුත්තාපනය සිදු කිරීම වෙනුවට  එම මුදල අතහැර දැමීම ලාභදායි ලෙස කැනීම්කරුවන් සළකන බව පෙනී යන බවයි. කෙසේ වෙතත් පුනරුත්තාපනය සිදු නොකළ කැනීම් බලපත්‍රලාභීන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බවත් නිලධාරීහු මෙහිදී පැවසූහ.  

තිරිවානා අපනයනය පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු විය. තිරිවානා සමග පළිගු (Clear Quartz) නිීති විරෝධි ලෙස අපනයනය කිරීමේ ජාවාරම් සිදුවන බවත් ඒ සඳහා කාර්යාංශයේ අභ්‍යන්තරයේ ඇතැමුන්ගේ සහය හිමිවන බව පෙනී යන බවත් මෙහිදී සාකච්ඡා විය. පළිගු අපනයනය සිදු කිරීම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරය යටතට ලබා දී අනෙකුත් තිරිවානා නීත්‍යනුකූල ලෙස අපනයනය කිරීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නේය. 

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පසුගිය ඉතිහාසය තුළ  පනතේ නෛතික ප්‍රතිපාදන අනුව නිසි සැලැස්මකට කටයුතු නොකළ ආයතනයක් බව විමර්ෂණවලින් පැහැදිළිව පෙනීයන බව කාරක සභාව පෙන්වා දුන්නේය. දැනට වඩා විශාල ආදායමක් ඉපයිය හැකි දැවැන්ත ජාතික කාර්යක් ඉටු කළ හැකි ආයතනයක් ලෙස මෙම ආයතනය නිසි දැක්මක් සහිතව විධිමත් සැලැස්මකට අනුව කටයුතු කිරිමේ අවශ්‍යතාවයද මෙහිදී කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. ඒ අනුව ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය කෝප් කමිටුව විසින් නිරන්තරයෙන් අධීක්ෂණය කරන බවත් කාරක සභා සභාපතිවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ දයාසිරි ජයසේකර, මුජිබුර් රහුමාන්, චමින්ද වි‍ජේසිරි, දිලිත් ජයවීර, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන සහ  චන්දිම හෙට්ටිආරච්චි යන මහත්වරු ද පරිසර අමාත්‍යාංශයේ ලේකම් රෝහිත උඩුවාවල,  භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති සමන් ජයසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

 




සම්බන්ධිත පුවත්

2026-03-30

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට...

2026 ජනවාරි 06 දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලේ 2024 වර්ෂයේ විගණකාධිපති වාර්තාවට අදාළ කරුණු සහ වර්තමාන කාර්යසාධනයට අදාළ කරුණු ද සලකා බැලේපුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර මෙහිදී 2026 ජනවාරි 06 වැනි දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් විමසා බැලීම සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ අවධානය යොමු කිරීම ද සිදු කරන ලදි.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021-2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව සහ 2024 විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (19) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී 2026 ජනවාරි 06 වැනි දින රැස්වූ අවස්ථාවේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද සහ ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූන් පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත කාරක සභාවට ලබාදෙන ලෙස නිර්දේශ කර තිබුණි. නමුත් ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූන් පිළිබඳ දත්ත තවමත් කාරක සභාව වෙත ලබාදී නැති බව මෙහිදී විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලදි. මේ අනුව සති දෙකක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූන් පිළිබඳවද දත්ත, ඒවා ගැසට් නොකිරීමට අදාළ කරුණු, ගැසට් කිරීමට යෝජිත කාාලරාමුවද ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා විසින් නිර්දේශ කරන ලදි.එසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මධ්‍යගත දත්ත පද්ධතියක් සකස් කිරීමට ලබාදී තිබූ නිර්දේශය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර මේ සම්බන්ධ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් කාරක සභාව වෙත ලබාදෙන ලෙස නිර්දේශ කළේය.තවද අමාත්‍ය මණ්ඩල අනුමතියක් අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් උපයනු ලබන ආදායමින් 25%ක් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයට ලබාදිය යුතු බව සඳහන් වුවද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රතිපාදනයට වඩා අඩු ප්‍රතිපාදන ප්‍රමාණයක් වාර්ෂිකව ඉල්ලා ඇති බව මෙහිදී අනාවරණය විය. මේ අනුව පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ අමාත්‍ය මණ්ඩල අනුමතියකින් ලබාදුන් එම මුදල් ඉතිරි වූ බවත් මේ නිසා ඉදිරියේදී මහා භාණ්ඩාගාරයෙන් ලබාගන්නා මුදල්වලින් ප්‍රමාණයක් අඩු කිරීමට සැලසුම් කරන බවත් ය.එසේම දෙපාර්තමේන්තුව සතු වාහන හිඟය සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා වූ අතර මෙම වාහන හිඟය හේතුවෙන් ආයතනයේ කාර්යසාධනයට විශාල බලපෑමක් එල්ල වන බව නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අනුව කාරක සභාව පෙන්වා දුන්නේ කාරක සභාව වශයෙන් මේ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත ඉල්ලීමක් කරන බවයි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන එම්. එල්. එ්. එම්. හිස්බුල්ලා, හෙක්ටර් අප්පුහාමි, චානක මාදුගොඩ, චන්දන සූරියආරච්චි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්වරු සහභාගී වූහ.


2026-03-30

“ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග” සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

‘ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග’ සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය. මීට අදාළ නියෝග 2026 ජනවාරි 16 දිනැති 2471/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත.මේ සඳහා අනුමතිය හිමි වූයේ එම කාරක සභාව තරුණ කටයුතු සහ ක්‍රීඩා ගරු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සභාපතීත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මෙම අවස්ථාවට කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරයන් සහ සමාජික නොවන මන්ත්‍රීවරයන් පිරිසක්ද තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.


2026-03-30

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පිටවන වන අළු පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සඳහා සැලැස්මක් වහාම සකස් කරන්න - පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් නිලධාරීන්ට උපදෙස්

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පිටවන වන අළු පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සඳහා සැලැස්මක් වහාම සකස් කරන ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස්  ලබා දෙන ලදී.ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 17 වන දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයවිදුලිබල නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවට ආනයනය කරන ගල් අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු හේතුවෙන්, විදුලිය නිපදවීමට එය භාවිතා කිරීමේදී විමෝචනය වන අළු ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද කාරක සභාවේදී අනාවරණය විය. මේවා නිසි ලෙස බැහැර නොකළහොත් ඉදිරියේදී පාරිසරික හානි සිදු වීමේ අවදානමක් පවතින බැවින් පුත්තලම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සැලැස්ම සකස් කරන ලෙස කාරක සභාව උපදෙස් ලබා දෙන ලදී.මේ අතර ඉවත් කරන ලද අළු නැවත නිෂ්පාදන කාර්යයන් සඳහා භාවිතා කිරීමේ හැකියාව අධ්‍යයනය කළ යුතු බවත්, එම නිෂ්පාදනවලින් ලැබෙන ආදායම අදාළ බලාගාරයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයේ ජනතාවගේ සුභසාධන ව්‍යාපෘති සඳහා යොදා ගත යුතු බවත් මෙහිදී යෝජනා විය.ඊට අමතරව, නොරොච්චෝලේ බලාගාරයේ බලපෑමෙන් ජලය සහ වාතය දූෂණයට ලක් වී තිබේද යන්න පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් කාරක සභාව විසින් යොමු කරන ලද ප්‍රශ්නාවලිය හා අදාළ කරුණු සඳහා සති දෙකක් ඇතුළත වයඹ පළාත් පරිසර අධිකාරියට අදාළ ප්‍රතිචාර දක්වන ලෙසද නිර්දේශ කරන ලදී.මෙම බලාගාරයෙන් නිකුත් වන අළු ප්‍රමාණය ඉහළ ගොස් ඇතත්, බලාගාරය තුළ  භාවිතා කරන පෙරහන් පද්ධතිය  එම අංශු ඉවත් කිරීමට  ප්‍රමාණවත් (අවශෝෂණය කිරීමට) බව නිරීක්ෂණය වන බව වයඹ පළාත් පරිසර අධිකාරියේ නිලධාරීන් සඳහන් කළහ. මෙහිදී එම බලාගාරය සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු විවිධ කරුණු විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංස් නෙල්සන්, රොෂාන් අක්මීමන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, උපුල් කිත්සිරි මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-03-24

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමුවරට රැස්වෙයි

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, එහි සභාපති ගරු අමාත්‍ය (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පළමුවරට 2026.03.19 වන දා පාර්ලිමේන්තුවේදී රැස්විය.මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා මෙම විශේෂ කාරක සභා කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා දිට්වා සුළි කුණාටුව වැනි ස්වභාවික ආ පදා අවස්ථාවන්හි අදාළ වගකිව යුතු ආයතන මූලිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. ඒ අනුව ඊළඟ රැස්වීම් වාර දෙක සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යන ආයතනවල නිලධාරීන් මෙම විශේෂ කාරක සභාව හමුවට කැඳවා අවශ්‍ය මූලික දැනුවත්භාවය ලබා ගැනීමට තීරණය විය.එමෙන්ම මෙම විශේෂ කාරක සභාව විෂය පථය අනුව කටයුතු කරනු ලබන බැවින්  අවශ්‍ය යම් යම් විශේෂිත තාක්ෂණික කරුණු අවබෝධ කර ගැනීම සඳහා අදාළ විෂයන් සම්බන්ධ තාක්ෂණික හා විශේෂඥ දැනුමක් සහිත නිලධාරීන් කාරක සභාව හමුවට වරින් වර කැඳවීමටද මෙහිදී යෝජනා කෙරිණි.මෙම විශේෂ කාරක සභාව මගින් සකස් කළ වාර්තාව කාරක සභාවේ පළමු රැස්වීමේ දින සිට මාස  තුනක් ඇතුළත  එනම් 2026 .06. 19 වනවැනි දින වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන හෙයින් හැකි ඉක්මනින් රැස්වීම් පවත්වමින් අදාළ නිර්දේශ ඇතුලත් මෙම වාර්තාව සකස් කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය. එම වාර්තාව මගින් කාරක සභාවේ විෂය පථයට අදාළ යෝජනා හා නිර්දේශ ලබාදීමට අමතරව ඉදිරියේදී දිට්වා සුළි කුණාටුව වැනි අවස්ථාවන්ට මුහුණ දීමට ශක්තිමත් යාන්ත්‍රණයක් සකසා ගැනීමට  අදාළ  නිර්දේශ  ඉදිරිපත් කිරීමට ද  අපේක්ෂා කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේය.මෙම රැස්වීම සඳහා විශේෂ කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන නීතිඥ අනුරාධ ජයරත්න, හෙක්ටර් අප්පුහාමි, රෝහිණි කුමාරි විජේරත්න, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ අනුෂ්කා තිලකරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීන්  මෙන්ම සභාපතිවරයාගේ විශේෂ අවසරය ඇතිව  ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks