logo

E   |     |  

2025-09-01

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක්

පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව වැඩි කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ගෘහ්‍ය කාරක සභාවේදී තීරණය කෙරිණි.

ගරු කථානායකවරයාගේ ඉල්ලීම පරිදි බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආහාරපාන පිළියෙල කිරීමට අදාළ  මුළුතැන්ගෙය ඇතුළු ස්ථාන පරීක්ෂා කිරීම පසුගිය අප්‍රේල් මාසයේදී සිදු කෙරිණි. ඒ අනුව ඊට අදාළ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ගෘහ්‍ය කාරක සභාවට සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය. 

මෙහිදී අදහස් දක්වමින් බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වයි.බී. ඉන්දික මහතා පැවසුවේ බත්තරමුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන 150කට ආසන්න ප්‍රමාණයක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විමර්ශනය කළද පාර්ලිමේන්තුවේ ආහාරවල සුරක්ෂිතබව පිළිබඳ නිරීක්ෂණයට එක්වූයේ  පළමුවරට බවයි. ඒ සඳහා මැදිහත් වූ කථානායකවරයාට ස්තූතිය පළ කරන බව ද ඒ මහතා පැවසීය. ඒ අනුව පාර්ලිමේන්තුවේ ආහාර අමුද්‍රව්‍ය ලබාගැනීමේ සිට ආහාර නිෂ්පාදනය, ගබඩා කිරීම සහ පිළිගැන්වීම පිළිබඳව සිදුකළ විමර්ශනයේ වාර්තාවක් ගරු කථානායකවරයාට ලබා දුන් බවද ඒ මහතා සඳහන් කළේය.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ඇතුළු අනෙකුත් සේවකයන් සඳහා ආහාරපාන පාර්ලිමේන්තුව විසින් සැපයීම සිදුකරන පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමේ අවශ්‍යතාව මෙහිදී ගරු කථානායකවරයා විසින් අවධාරණය කරන ලදී. ඒ අනුව පාර්ලිමේන්තුවේ ආහාරපාන අංශයේ පවතින යටිතල පහසුකම්වල  අඩුපාඩු මෙන්ම අනෙකුත් ගැටලු  කඩිනමින් මඟහරවා ගැනීමට අදාළ යෝජනා සකස් කිරීම පිණිස මෙම කමිටුව පත් කරන බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේය. ඒ අනුව ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මුළුතැන්ගෙය කටයුතු පිළිබඳ විශේෂඥ දැනුමැති ඉංජිනේරුවෙකු /ගෘහ නිර්මාණ ශිල්පියෙකු, පාර්ලිමේන්තුවේ ආහාරපාන හා ගෘහ පාලන සේවා අධ්‍යක්ෂවරයා සහ පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ ඉංජිනේරුවරයා මෙම කමිටුවට ඇතුළත් විය යුතු බවට ද මෙහිදී යෝජනා විය. 

මීට අමතරව මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ නිල නිවාසවල පවතින සේවා සැපයීම්, නඩත්තු කටයුතු ඇතුළු කරුණු පිළිබඳව ද මෙම කාරක සභාවේදී අවධානය යොමුවිය. ඒ සම්බන්ධයෙන් පවතින අඩුපාඩු කඩිනමින් නිරාකරණය කිරීමට පියවර ගන්නා ලෙස ද  කථානායකවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

 




සම්බන්ධිත පුවත්

2026-06-19

කැලණි ‍‍ ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය

කැලණි ‍‍ ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා  රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ‍ ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි.  එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 


2026-06-18

රාජ්‍ය අයවැයට ස්ත්‍රී–පුරුෂ සමාජභාවීය සංවේදී ප්‍රවේශයක් එක් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාකච්ඡා

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම  රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද  සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද  සංසදය විසින්  මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ  නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.


2026-06-17

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙයි

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී  පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු  රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-06-17

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙයි

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම   බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09)  පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය  සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks