පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-08-27
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
විදාතා සම්පත් මධ්‍යස්ථාන ප්‍රතිව්‍යුහගත කිරීමේ උපායමාර්ගික සැලැස්ම මෙම වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කරන බව ගරු විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.
තව ද මෙරට විශ්වවිද්‍යාල සමඟ සහයෝගයෙන් ප්‍රධාන තාක්ෂණ බීජෞෂණ මධ්‍යස්ථාන (Technology Incubation Centre) තුනක් ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බවත්, රට පුරා විදාත සම්පත් මධ්‍යස්ථානවල කුඩා බීජෞෂණ මධ්‍යස්ථාන 25 ක් ද පිහිටුවීමට සැලසුම් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ පිළිබඳ කරුණු සාකච්ජා වුයේ විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දක්වමින් ගරු අමත්‍යවරයා විදාතා සම්පත් මධ්‍යස්ථාන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කර ඇති බවත්, විදාතා නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව වැඩිකිරීමට සහ ඔවුන්ගේ කාර්ය සාධනය ඇගයීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය. කාර්ය නිසියාකාරව ඉටුකිරීමට කියාවක් ලැබී නොමැති බව කාරක සභා සාමාජිකයින් පෙන්වා දුන්හ. කෙසේ වෙතත් මෙහිදී අදහස් දක්වමින් මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා සුදුසු පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවේය. තවද විදාතා නිලධාරීන් හරහා පාසල් මට්ටමින් විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කරන බවත්, විදාතා මධ්‍යස්ථානය හරහා ග්‍රාමීය මට්ටමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා තාක්ෂණික සහාය ලබා දීමට පියවර ගන්නා බවත් ගරු අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
විවිධ කර්මාන්ත සඳහා තාක්ෂණික සහාය ලබාදීම සඳහා අදාළ අංශවල පුද්ගලයින් සහ විදාතා නිලධාරීන්ගෙන් සමන්විත කමිටු පිහිටුවීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එමෙන්ම අලි මිනිස් ගැටුමට තාක්ෂණික විසඳුම් සෙවීම පිළිබඳ අධ්‍යයනවල ප්‍රතිඵල අදාළ අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බව අමාත්‍යාංශය නිලධාරීහු පැවසුහ.
මෙහිදී අදහස් දක්වමින් ගරු පාර්ලිම්න්තු මන්ත්‍රීවරයන් අනෙකුත් සතුන්ගෙන් කෘෂිකාර්මික භෝගවලට සිදුවන හානි වැළැක්වීම සඳහා තාක්ෂණ අමාත්‍යාංශයේ මැදිහත්වීම අපේක්ෂා කරන බව පැවසූහ.
මෙම රැස්වීමට ගරු සභික මන්ත්‍රීවරයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නියෝජිතයින් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
2026-01-08
2025.01.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කිරීමට නියමිත (203 අධිකාරය වූ) මෝටර් වාහන පනත යටතේ නියෝග සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජන. 06) පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව (203 අධිකාරය වූ ) මෝටර් වාහන පනත යටතේ අංක 2452/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද නියෝග මගින් කිසියම් මාර්ගයක මෝටර් වාහනයක්, පදවනු ලබන, ක්‍රියාත්මක කරනු ලබන හෝ සත්‍ය වශයෙන් යම් මෝටර් වාහනයක් කායිකව පාලනය කරනු ලබන යම් තැනැත්තකු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට පොලිස් නිලධරයකු විසින් සාධාරණව සැක කරනු ලබන අවස්ථාවක දී ඒ පොලිස් නිලධරයා විසින් ඒ තැනැත්තා රජයේ වෛද්‍ය නිලධරයකු හෝ රෝහල විසින් තත්කාර්ය සඳහා බලය දෙන ලද යම් නිලධරයකු වෙත වැඩිදුර පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කළ යුතු බව දක්වා ඇත. එමෙන්ම (203 අධිකාරය වූ ) මෝටර් වාහන පනත යටතේ අංක 2455/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද නියෝගය මගින් අධිවේගී මහා මාර්ගයක රථවාහන වල ගමන් කිරීමේදී සෑම පුද්ගලයෙකුම ,පුද්ගල ආරක්ෂක ආසන පටියක් පැළඳ සිටිනු ලැබිය යුතු බව දක්වා ඇත. ඒ අනුව මෙම නියෝග සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය. තවද මෙම රැස්වීමේදී දිවයින තුළ ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ හානිය සහ ඒවා යථා තත්ත්වයට පත්කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ. ඒ අනුව කිලෝමීටර 1481 පමණ දුරකින් යුත්, මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග කොටස් 287ක් කැඩී ගොස් ඇති බව එම අධිකාරියේ නිලධාරීහු පැවසූහ. ඒවා නැවත ඉදිකිරීම් සඳහා ඇස්තමේන්තු ගතමුදල රුපියල් බිලියන 86ක් පමණ වන බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 300ක පමණ අලාභයක් සිදුව ඇති බවද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ. තවද ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් රුපියල් මිලියන 63ක පමණ පාඩුවක් ලංකා ගමනාගමන මණ්ඩලයට සිදුව තිබෙන බවත් එම නිලධාරීහු පැවසූහ. එමෙන්ම ලංකාවේ මාර්ග පද්ධතියට ඒ ඒ ප්‍රදේශවල සිදුව ඇති හානි පිළිබඳව, මහජනතාවට අදාළ බලධාරීන් දැනුවත් කිරීම උදෙසා වෙබ් පිටුවක් සකස් කර ඇති බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය. ඒ අනුව https://road-lk.org/ යන වෙබ් පිටුවට පිවිස අදාළ හානි පිළිබඳව දැනුවත් කිරීමේ අවස්ථාව මහජනතාවට පවතින බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ප්‍රවාහන සහ මහාමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, අනෙකුත් ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
2026-01-08
පාර්ලිමේන්තුවේ හෙට (ජන. 9) විවාදයට ගැනීමට නියමිත (129 අධිකාරිය වූ) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීම) පනත යටතේ නියෝගයට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය. එම කාරක සභාව, කම්කරු අමාත්‍ය (ආචාර්ය) අනිල් ජයන්ත මහතාගේ සභාපතීත්වයෙන් සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ සහභාගීත්වයෙන් 2026.01.06 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය ලබාදීම සිදුවිය. කම්කරු අමාත්‍යවරයා විසින් 2025.12.12 දින සාදන ලද මෙම නියෝගය 2025.12.18 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. “කිසියම් නේවාසික හෝටලයක අමුත්තන් පිළිගන්නියක්, කාන්තා ඇඳුම් කාමර සේවිකාවක්, කාන්තා රෙදිපිළි ගබඩා සේවිකාවක් හෝ කාන්තා සනීපාරක්ෂක සේවිකාවක් වශයෙන් අවුරුදු දහඅටට එළඹ සිටින කවර ස්ත්‍රියක් වුව ද පෙ.ව 6.00 ට පෙර හෝ ප.ව 6.00න් පසුව සේවයේ යෙදවිය හැකිය” යනුවෙන් දැනට පවතින නෛතික ප්‍රතිපාදනය මෙම නියෝගය මගින් සංශෝධනය කෙරේ. ඒ අනුව එම නියෝගය මගින් අවසර ලබා දී ඇති නියමිත සේවාවන්ට අමතරව නේවාසික හෝටල්වල සේවයේ යෙදී සිටින ආහාර පාන පිළිගන්වන කාර්යයෙහි නියැලෙන වයස අවුරුදු 18ට වැඩි සේවිකාවන්ද (Food and Beverage Stewardess) පස්වරු 6.00ට පසු හෝ පසුදා පෙරවරු 6.00ට පෙර, සේවයේ යොදවා ගැනීමට හැකිවන පරිදි අවශ්‍ය නෛතික සංශෝධන මෙම නියෝගය මගින් හදුන්වා දී ඇත. එසේවුවද මෙම නියෝගය යටතේ සේවයේ නියුක්ත කරවන ලද යම් ස්ත්‍රියකගේ සේවා මුරය පස්වරු හයත් පසුදා පෙරවරු හයත් අතර වේලාවකදී අවසන් වන අවස්ථාවකදී , එකී සේවා මුරය අවසන් වූ අවස්ථාවේ සිට පෙරවරු හය දක්වා එම ස්ත්‍රීයට සුදුසු නවාතැනක් සැපයීම හෝ එම ස්ත්‍රීයගේ සුපුරුදු වාසස්ථානය වෙත ප්‍රවාහන පහසුකම් සැපයීම ඇතුළුව එම ස්ත්‍රීයගේ සෞඛ්‍යාරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් සේවා යෝජකයා වගකිව යුතු බවටත් නෛතික ප්‍රතිපාදන සහිත බව නිලධාරීහු මෙහිදී කාරක සභාවට දැනුම් දුන්හ. මෙරට වර්තමාන කාන්තා ජනගහන ප්‍රතිශතය 51%ක් පමණ වන නමුත් කාන්තා ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 34%ක් පමණ වේ. එසේම වර්තමානයේ ශීඝ්‍රයෙන් දියුණුවන සංචාරක ක්ෂේත්‍රයට පහසුකම් සැපයීම සඳහා කාන්තා ශ්‍රම දායකත්වයට වැඩි කිරීමට අවස්ථාවක් සලසා දීමේ අරමුණින් පවතින නීතිමය සීමාවන් ලිහිල් කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් මෙහිදී සාකච්ඡා විය. එසේම කාන්තා ශ්‍රමිකයන් ඇතුළු සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගතහැකි පියවර පිළිබඳ යෝජනා රැසක් මෙන්ම වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට අදාළ තත්ත්වයන් පිළිබඳ කරුණු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් කාරක සභාවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ඉදිරියේදී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමටත් අපේක්ෂා කරන බව ගරු කම්කරු අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක්ද කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු කම්කරු අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-01-08
දිත්වා හේතුවෙන් ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන් සඳහා රුපියල් මිලියන 25ක කාරක ප්‍රාග්ධන ණය සහ ආයෝජන යෝජනා ක්‍රමයක් මෙන්ම 5% පොළියට රුපියල් මිලියන 25ක ණය ක්‍රමවේදයක් - මුදල් අමාත්‍යාංශයේ ලේකම්මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ඊයේ (ජන. 07) ගරු. ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විය. කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් ද මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී විය.දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ කර්මාන්ත සඳහා මුදල් යෙදවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන් සඳහා විවිධ ණය ක්‍රම හඳුන්වා දී තිබෙන බවටද මෙහිදී සඳහන් විය. ඒ අනුව රුපියල් මිලියන 25ක කාරක ප්‍රාග්ධන ණය සහ ආයෝජන යෝජනා ක්‍රමයක්, 5% පොළියට රුපියල් මිලියන 25ක ණය ක්‍රමවේදයක් මේ වන විටත් සකසා තිබෙන බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසී ය.තවද, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙත මේ වන විටත් රුපියල් බිලියනක මුදලක් ලබා දී ඇති බවත්, එකී මුදල් නිසි ලෙස තවමත් යොදා නොගැනීම පිළිබඳව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. අමතර මුදල් ලබා දීම සලකා බැලීමට ප්‍රථමයෙන් දැනට වෙන් කොට, ලබා දී තිබෙන මුදල් නිසි ලෙස යෙදවීමට ක්‍රමවත් යාන්ත්‍රණයක් සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස මුදල් , ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා මාත්‍යාංශයට උපදෙස් ලබා දෙන ලදී.තවද, රටේ ආර්ථිකයට දායක වන සෑම ව්‍යාපාරයක්ම ලියාපදිංචි කිරීම සඳහා වූ යාන්ත්‍රණයක අවශ්‍යතාව සහ එහි ප්‍රතිලාභ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැදගත්කමඅමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට බඳුන් විය.ඒ අනුව, පසුගිය ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ලියාපදිංචි නොකළ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්හට සහන සැලසීම පිළිබඳව ද රජය අවධානය යොමු කර ඇති බවත්, ඒ පිළිබඳ වාර්තා ලබා දීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙන බවත් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.එමෙන්ම, ආපදාවෙන් පූර්ණ වශයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ ජනවාරි 09 වන දා අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කරන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා පැවසීය.නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමිය හේමාලි වීරසේකර මහත්මිය, අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු එම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහු පිරිසක්ද, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ (වැඩ බලන) අධ්‍යක්ෂ සන්නිවේදන එම්. ජයලත් පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-01-08
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ රැස්වීමක් ගරු ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජන. 07) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.පෙර පැවති කාරක සභා රැස්වීම්වලදී එළැඹි තීරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීම මෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් නිදහස් කිරීම, මාර්ග විවෘත කිරීම සහ පාසල් පවත්වා ගෙන යාම ආදිය පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් බොහෝ ගැටලු කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ඒවාට සාධනීය විසදුම් ලබා දීමට ගරු ජනාධිපතිවරයා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදුවූ අතර මෙම කටයුතු සිදු කරගෙන යාමේදී තවදුරටත් පවතින බාධා සහ ඊට ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡා විය.එසේම ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු, එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සඳහා වැඩිපුර පිරිස් යොමු කිරීම ආදී කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.ගරු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා ද අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. එසේම ආරක්ෂක ආමාත්‍යාංශයේ ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ ආරක්ෂක අංශ සාමාජිකයෝ පිරිසක් ද පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks