පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-08-27
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්‍පත රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සලකා බැලීමෙන් පසු අනුමත කරන ලදී.
ඒ එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානතයෙන් පසුගියදා 22 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ නිලධාරීහු වාණිජ සමථකරණය සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිණිස විශේෂයෙන්ම සකස් කරන ලද 2000 අංක 44 දරන වාණිජ සමථකරණ මධ්‍යස්ථාන පනත තාක්ෂණික හේතු සහ සීමාවන් කිහිපයක් හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව පෙන්වා දුන්හ. ඒ අනුව අදාළ එම පනත පරිච්ඡින්න කිරීම, වාණිජ සමථකරණය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවම ප්‍රමිතින් ඇතුළත් කිරීම සහ අදාළ නියමයන් සපුරාලීමට යටත්ව අධිකරණ පද්ධතිය මඟින් සමථකරණ විසඳුම් බලාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම යන අරමුණු සහිතව එම නව පනත් කෙටුම්පතක් සකස් කර තිබෙන බව එම නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ.
දැනට පවතින නෛතික රාමුව තුළ විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයක් ලෙස අනිවාර්ය සමථ කරණය පිළිගනු ලැබුව ද, ස්වේච්ඡා සමථ කරණය සම්බන්ධයෙන් එහි ආයකත්වය අල්ප බව කාරක සභවට කරුණු දක්වමින් අමාත්‍යංශ නිලධාරීහු පැවසුහ.
සමථකරණ ගිවිසුමකට එළඹීමේ දී හෝ එවැනි ගිවිසුමක් නොමැති අවස්ථාවක ආරවුලට සම්බන්ධ පාර්ශ්වකරුවකු විසින් ස්වේච්ඡාවෙන් සමථ කරණය වෙත යොමු වූ අවස්ථාවක හෝ අධිකරණය විසින් යෝජනා කළ අවස්ථාවක සිවිල් හා වාණිජ ආරවුල් සම්බන්ධයෙන් ස්වේච්ඡා සමථකරණය සඳහා ව්‍යවස්ථාපිත කාර්යය රාමුවක් හඳුන්වා දීම වැදගත් වන බවත් , එමඟින් වඩාත් හොඳ ආරක්ෂාවක් සපයනු ලබන අතර, රටේ සිවිල් හා වාණිජ අංශ වලට අර්ථවත් දියුණුවක් ගෙන එනු ලබන බවත් අමාත්‍යාංශ නිලධාරීහු පැවසුහ. තවද ස්වේච්ඡා සමථ කරණය තුළින් නීති පද්ධතියට අගනා සේවයක් සපයන බවද ඔවුහු පෙන්වා දුන්හ.
මෙම රැස්වීමට සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී.ජී. පොන්නම්බලම්, මුජිබුර් රහුමාන්, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ තුෂාරි ජයසිංහ, (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන්, චන්දන සූරියආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-05-21
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පරිසරයට සිදු වන බලපෑම සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අනුකාරක සභාවක් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතීඥ) භාග්‍ය ශ්‍රී හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කරන ලදී.පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම අනුකාරක සභාව පත් කෙරිණි. මෙහිදී නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පරිසරයට සිදු වන බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පරිසර අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ තවත් ආයතන කිහිපයක් නියෝජනය කරමින් නිලධාරීහු සහභාගි වී සිටියහ. නොරොච්චෝලේ බලාගාරයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් පරිසරයට වන බලපෑම, ඒ සම්බන්ධයෙන් වගකීම දරන පාර්ශ්ව හා ඒ ඒ ආයතනවලින් යම් අඩුපාඩුවක් සිදුව ඇත් ද යන්න පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධ වැඩි දුර කරුණු පරීක්ෂා කිරීම සඳහා මෙම අනුකාරක සභාව පත් කිරීම සිදු විය.ශ්‍රී ලංකාවේ ජර්මානු, ජපාන හා චීන තානාපති කාර්යාල සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡා කොට එම රටවල බලාගාර ආශ්‍රිතව භාවිතා කරන නව තාක්ෂණය හඳුනාගැනීම සම්බන්ධයෙන් නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙසට කාරක සභාව විසින් ඉල්ලීමක් කරන බවද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසුවේය.
2026-05-21
කාර්යසාධන වාර්තා පහකට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී අනුමැතිය ලබා දෙන ලදී. මේ අනුව 2023 හා 2024 වර්ෂවල ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තා සහ 2024 වර්ෂයේ ජනාධිපති අරමුදලේ කාර්යසාධන වාර්තාව, කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව අනුමත කිරීම සිදු විය. එසේම 2023 හා 2024 වර්ෂවල අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාවන්ද කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස අනුමත කෙරිණි.මීට අමතරව බලයලත් මිනින්දෝරුවරුන් විසින් සකස් කරන පිඹුරුපත් ලියාපදිංචි කිරීමට හැකි වන පරිදි 2002 අංක 17 දරන මිනින්දෝරු පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් කාරක සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, අජිත් පී. පෙරේරා, මුජිබුර් රහුමාන්, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ධර්මප්‍රිය විජේසිංහ, එම්.කේ.එම්. අස්ලම් සහ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්වරු සහභාගී වූහ.
2026-05-19
විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ වයස අවුරුදු 2-13 අතර වන දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටී නම් ඔවුන්ට මසකට රු. 10,000/- ක දීමනාවක් ගෙවීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පැවසූහ.එම කාරක සභාව ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) නාමල් සුදර්ශන මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී නිලධාරීහු මේ බව සඳහන් කළහ. කුඩා දරුවන් සිටින කාන්තාවන් විදේශගත වීම හේතුවෙන් සමාජය තුළ පැන නගින ගැටලු සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස මීට පෙර කාරක සභාවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී (දේශීය කටයුතු) වෙත මෙම කාරක සභාව ලබා දුන් උපදෙස්වල ප්‍රගතිය විමසීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු මේ බව පවසා සිටියහ. මේ අනුව විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ මාසික ආදායම ඇ. ඩො. 400ට වැඩි නම් මෙම දීමනාව හිමි වන බවත්, ඒ සඳහා මූලිකව රු. මිලියන 10ක මුදලක් වෙන් කර ඇති බවත් එම නිලධාරීහු පැවසූහ. එසේම, මීට අදාළ අනුමතිය ලබා ගැනීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවත්, ඉන්පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා අදාළ පිළිගත් දිවා සුරැකුම් මධ්‍යස්ථානයට මාසිකව ගෙවීම් සිදු කළ හැකි බවත් ඔවුහු සඳහන් කළහ. වඩාත් සාධනීය පියවරක් ලෙස හඳුනාගත හැකි මෙය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභා සභාපතිනි ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මෙහිදී පෙන්වා දුන්නාය. පෙර පැවති කාරක සභාවේදී උපදෙස් ලබා දුන් පරිදි පොලිස් නිලධාරිනියන්ගේ පුරප්පාඩු පිරවීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කෙරුණු අතර මේ වන විට උපපොලිස් පරීක්ෂකවරියන් 50 දෙනෙකු බඳවා ගැනීමට සහ පොලිස් කොස්තාපල්වරියන් 2600 දෙනෙකු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇති බව අනාවරණය විය. එසේම දමිල භාෂාව කතා කළ හැකි පොලිස් නිලධාරිනියන් බඳවා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රචාරණ වැඩසටහන් ආරම්භ කර ඇති බවත් ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් පැමිණි නිලධාරිනියක් කාරක සභාවට පැවසුවාය. දමිළ භාෂාව කතා කළ හැකි පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ පුරප්පාඩු පවතින බැවින් ඒ පිළිබඳව ද විශේෂ අවධානය යොමු කළ යුතු බව කාරක සභා සභාපතිනිය අවධාරණය කළාය. දමිළ මාධ්‍යයෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය අවසන් කළ සිසු සිසුවියන්ව මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා පියවර ගන්නා ලෙස ද කාරක සභා සභාපතිනිය මෙහිදී උපදෙස් ලබා දුන්නාය. පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ අනෙකුත් ආයතන සතු මෙරට ළමුන්ට අදාළ සියලු දත්ත එ්කරාශී කොට ජාතික දත්ත පද්ධතියක් සැකසීමට අදාළ ප්‍රගතිය පිළිබඳව ද කාරක සභා සභාපතිවරිය කරුණු විමසීම් කළාය. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් දත්ත පද්ධතියක් සැකසීමේ එම කටයුතු මෙම වසර තුළ අවසන් කිරීමට හැකි වනු ඇතැයි ද ඇය සඳහන් කළාය.ළමා අපයෝජන සිද්ධීන්ට අදාළව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා සහය වීම සහ ඉන්පසු ඇති වන තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා අදාළ සියලු ආයතන කඩිනමින් හා මනා සම්බන්ධීකරණයකින් යුතුව ක්‍රියාත්මක විමේ අවශ්‍යතාව කාරක සභාවේදී අවධාරණය කෙරිණි. ඒ අනුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු සියලු ආයතන නියෝජනය කරන නිලධාරීන් එකම කණ්ඩායමක් ලෙස සහයෝගයෙන් යුතුව කටයුතු කළ යුතු බව ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පෙන්වා දුන්නාය.කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහි අපයෝජන හෝ වෙනත් සිද්ධීන් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම හෝ වෙන යම් අඩුපාඩු පිළිබඳව ඕනෑම මොහොතක තමාට පෞද්ගලිකව දුරකථනයෙන් හෝ වට්ස්ඇප් මාර්ගයෙන් දැනුම් දිය හැකි හැකි බවත්, හැකි ඉක්මණින් ඒ සඳහා මැදිහත් වීමට පියවර ගන්නා බවත් කාරක සභා සභාපතිනිය පැවසුවාය. පෙර පාසැල් ගුරු දීමනාව වැඩි කිරීම, සෑම පෙර පාසැල් දරුවෙකුටම උදෑසන ආහාරය නොමිලේ ලබා දීම සහ පෙර පාසැල් ගුරුවන්ට දායක විශ්‍රාම වැටුපක් ලබා දීම සඳහා ලබන වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරිය සදහන් කළාය. රජයේ රැකියාවන්හි නියුතු කාන්තාවන් ස්ථාන මාරු කිරීමේදී ඇති වන ප්‍රායෝගික ගැටලු, පෙර පාසැල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය ආදී කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. එසේම කාන්තා හා ළමා කටයුතුවලට අදාළව පවතින ගැටලු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවේ අවධානයට ඉදිරිපත් කළ අතර කාරක සභාව විසින් ඒවා පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු විමසා අදාළ පියවර ගන්නා ලෙස උපදෙස් දෙන ලදී. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.ඩී.ටී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-05-15
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයකට අනුව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජිත පිරිසක්, මේ මස 10 සිට 16 දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වෙමින් සිටී.ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා දිගුකාලීන පාර්ලිමේන්තු, සංස්කෘතික සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, කාන්තා සවිබල ගැන්වීම, පාර්ලිමේන්තු කටයුතු, සමාජ සංවර්ධනය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී පාලනයට ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණයි.නියෝජිත පිරිස පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටා ඇති මහත්මා ගාන්ධි පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදු කළ අතර, ලෝක් සභාවේ කථානායක ගරු ඕම් බිර්ලා මහතා සමඟද සාකච්ඡා පැවැත්වූහ. එහිදී දෙපාර්ශ්වයම අන්තර්-පාර්ලිමේන්තු සහයෝගිතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළහ.නියෝජිත පිරිස ඉන්දියාවේ කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වූහ. එහිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස, කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යවරිය ගරු අන්නපූර්ණා දේවී මහත්මිය සමග කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන්, ළමා සුභසාධනය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සංවේදී ප්‍රතිපත්ති සහ දෙරට අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ හොඳම භාවිතයන් හුවමාරු කර ගැනීමේ අවස්ථා පිළිබඳව ඵලදායී සාකච්ඡා පැවැත්වූහ.මෙම නියෝජිත පිරිස දිල්ලි පොලිස් කොමසාරිස්වරයාද හමුවී, කාන්තාවන්ට හා ළමුන්ට එරෙහි අපරාධ වැළැක්වීම සහ ඒවාට මුහුණ දීමේදී අනුගමනය කරන හොඳම ක්‍රමවේද හා උපාය මාර්ග පිළිබඳව ඵලදායී සාකච්ඡා පැවැත්වූහ. එහිදී විශේෂයෙන් කාන්තා හා ළමා ආරක්ෂාව, ආරක්ෂණ යාන්ත්‍රණ, නීතිමය බලාත්මක කිරීම සහ ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳව විශේෂ අවධානය යොමු විය.නියෝජිත පිරිස, කාන්තා නායකත්වයෙන් යුත් ස්වයං සහාය කණ්ඩායම් (Self-Help Groups) සමඟ මෙන්ම ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ කාන්තා සංවිධානයේ (FICCI FLO) නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වූහ.සංචාරය අතරතුර, නියෝජිත පිරිස ඉන්දීය පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනය (PRIDE) විසින් සංවිධානය කරන ලද පුළුල් වැඩසටහනකට සහභාගී වෙමින් සිටී. මෙම වැඩසටහනට ඉන්දියානු පාර්ලිමේන්තු ක්‍රමය, කමිටු පද්ධතිය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා ආචාරධර්ම පිළිබඳ සැසි මෙන්ම කාන්තා නායකත්වයෙන් යුතු සංවර්ධන වැඩසටහන් සහ කාන්තාවන් හා ළමුන් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා ඉන්දියාව විසින් අනුගමනය කරන හොඳම ක්‍රමවේද පිළිබඳ සාකච්ඡාද ඇතුළත් වේ.ඉදිරි දිනවලදී නියෝජිත පිරිස නවදිල්ලි ප්‍රධාන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර අග්‍රා නගරයේ පිහිටි ටාජ් මහල්, අග්‍රා කොටුව ඇතුළු වැදගත් සංස්කෘතික හා ඓතිහාසික ස්ථානවල සංචාරය කිරීමටද නියමිතය.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් පාර්ලිමේන්තු කටයුතු හා ප්‍රජා සම්බන්ධතා වැඩසටහන් මඟින් ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය, කාන්තා සවිබල ගැන්වීම සහ සමාජ ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කිරීමේදී වැදගත් භූමිකාවක් අඛණ්ඩව ඉටු කරමින් සිටී.මෙම සංචාරය සඳහා රෝහිණී කුමාරි විජේරත්න, ඔෂානි උමංගා, ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි, නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, නීතිඥ ඒ.එම්.එම්. රත්වත්තේ, නීතිඥ හසාර ලියනගේ, අම්බිකා සාමිවෙල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, නීතිඥ ගීතා හේරත් යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ සහභාගී වී සිටිති.නියෝජිත පිරිසට පාර්ලිමේන්තුවේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන සහකාර ප්‍රධාන නිලධාරී හෂ්මි ප්‍රනාන්දුපුල්ලේ, ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු පරිවර්තක චමිලා නිස්සංගා සහ ජ්‍යෙෂ්ඨ සහකාර පාර්ලිමේන්තු සන්ධාන නිලධාරී රනිල් නානායක්කාර යන මහත්ම මහත්මින්ද සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks