පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-08-22
තම ප්‍රධානතම කාර්යභාරය වන “නියාමන” කාර්ය නිසියාකාරව සිදුකිරීමට නම් පවතින නීති රාමු තුළ කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට උපදෙස් ලබාදෙන ලදී
ඒ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 20 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී කරුණු දක්වමින් කාරක සභා සභාපතිවරයා 2008 මැයි 22 දිනැති අංක 1550/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ 07 සහ 08 වගන්ති ප්‍රකාරව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එකතු කරන ලද විදේශීය විකුණුම් අධිභාරය(OSS) ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු නමුත් ගැසට් නිවේදනය ආරම්භයේ සිටම විදේශීය විකුණුම් අධිභාරය , ඒකාබද්ධ අරමුදලට බැර නොකර අධිකාරියේම ආදායම ලෙස හඳුනා ගෙන එය රඳවා තබා ගෙන ඇති බව පෙන්වා දුන්නේය. එමෙන්ම , 2023 නොවැම්බර් මස ලබාදුන් අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව, එකතු කරන ලද මෙම ආදායමෙන් අධිකාරියේ වියදම සඳහා මාසිකව රු. මිලියන 90 ක් රඳවා ගෙන ඉතිරිය භාණ්ඩාගාරයට යැවිය යුතු වුවද, 2018 සිට 2023 නොවැම්බර් දක්වා කාලය තුළ රැස් කර තිබු රු. මිලියන 20,630 ක් මහා භාණ්ඩාගාරයට යවා නොතිබූ බවත් විගණනය මගින් අනාවරණය කරගෙන තිබෙන බවද සභාපතිවරයා පැවසුවේය.
මෙලෙස රඳවා ගත් මුදල්වලින් ලබාගන්නා අදායම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානතම අදායම් ඉපයීමේ මාර්ගය වන බව එම නිලධාරීහු පෙන්වා දුන්හ. කෙසේ වෙතත් මෙම රඳවාගත් මුදල් මගින් නියාමනයට අදාළ කටයුතු සිදුවුයේය ද යන්න කාරක සභා සභාපතිවරයා ප්‍රශ්න කර සිටි අතර මෙම මුදල් සම්බන්ධව ලබාදුන් අමාත්‍ය මණ්ඩල තීරණයද නැවත සලකාබැලිය යුතු බව පැවසුවේය.
තවද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් වීරවිල පවත්වාගෙන යනු ලබන බංගලාවේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. ප්‍රසම්පාදන සැලසුමේදී මිලියන 4.5 කට අනුමත කොට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යන අතරමග එය මිලියන 24 දක්වා ඉහළ යාම පිළිබඳව කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා සිටින ලදී. කෙසේ වෙතත් මෙහිදී කරුණු දැක්වු නිලධාරීහු මෙම තොරතුරු නිවැරදි නොවන බවත් යාවත්කාලීන කළ තොරතුරු විගණනයට යොමු කර ඇති බවත් පැවසුහ. ඒ අනුව නිවැරදි තොරතුරු විගණනයට ලබා නොදීම පිළිබඳව කාරක සභා සභාපතිවරයා කමිටුවේ අප්‍රසාදය පළකරමින් නිවැරදි තොරතුරු අදාළ කාලසීමාව තුල ලබාදීමට උපදෙස් ලබාදුන්නේය.
තවද කටුනායක පිහිටි අධිකාරියේ නිල නිවාසයේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීමෙන් පසුවත් එයට පෙර තිබූ ප්‍රධාන අඩුපාඩු එලෙසම පවතින බව විගණනය විසින් සිදු කළ භෞතික පරීක්ෂණ වලින් පෙනී ගොස් තිබෙන බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීහු පැවසුහ.මෙහි දොරවල් අලුත්වැඩියා කිරීම සඳහා පමණක් ලක්ෂ 15ක පමණ මුදලක් වැයවී තිබීම පිළිබඳවද කාරක සභාව තුළ දීර්ඝ ලෙස සාකච්ජා විය. ඒ අනුව අධිකාරිය විසින් මෙම ගොඩනැගිලිවල සිදුකළ මෙම අලුත්වැඩියා කටයුතු හා අදාළ ක්‍රියාවලිය පිළිබඳ නැවත පුර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස සභාපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
මේ අතර සිවිල් ගුවන් සේවා අධිකාරියේ පවතින සේවක පුරප්පාඩු පිළිබඳව කාරක සභාව තුළ දීර්ඝලෙස සාකච්ඡා විය. ඒ අනුව දැනට ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 14 පමණ වසර ගණනක් පුරා පැවතීම පිළිබඳව කාරක සභාව නිලධාරීන්ගෙන් විමසන ලදී .එයට කරුණු දක්වමින් එම නිලධාරීහු සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් සිදු කරනු ලබන කාර්ය භාරය පැහැදිලි කරමින් නිපුණතාවෙන් හා අත්දැකීම්වලින් යුතු සුදුසුකම් සහිත පිරිස් වැටුප් ප්‍රමාණයන්ගේ පවතින වෙනස් කම් හේතුවෙන් අදාළ තනතුරු සඳහා අයදුම් නොකරන බව පැවසූහ. කෙසේ වෙතත් එම තනතුරු සඳහා අයදුම්පත් කැඳවා ඇති බවත් අග්‍රාමාත්‍ය කමිටුවෙන් අදාළ අනුමැතීන් ලැබුණු පසු එම තනතුරු සම්පුර්ණ කරන බවත් පැවැසුහ. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා වර්තමානය වන විට ශ්‍රී ලංකාව පිළිබඳව යහපත් ආකල්පයක් පුරවැසියන් තුළ ගොඩ නැගෙමින් පවතින බවත් ඒ හේතුවෙන් නිපුණතාවෙන් හා අදාළ සුදුසුකම්වලින් යුතු පිරිස් වැටුප් මතම නොව අදාල වෘත්තියන්ට දක්වන කැමැත්ත හේතුවෙන් රැකියාවල නිරතවීමට සුදානමින් පසුවන බව පවසුවේය. කෙස් වෙතත් සිවිල් ගුවන් සේවා අධිකාරියේ පවතින තනතුරු සඳහා වැටුප් නැවත සමාලෝචනය කිරීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමග සාකච්ජා කොට අවශ්‍ය සුදුසු පියවර ගැනීමට සභාපතිවරයා උපදෙස් ලබාදුන්නේය. එමෙන්ම මෙම විෂය සම්බන්ධ දැනුම සහිත පිරිස් රටට නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටද අවශ්‍ය පියවර ගන්න ලෙස කාරක සභාව උපදෙස් ලබාදෙන ලදී.
මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, දිලිත් ජයවීර, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, සුනිල් රාජපක්‍ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.
2026-09-01
විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් මඩකලපුව දිස්ත්‍රික් තරුණ ප්‍රජාව සඳහා සංවිධානය කළ “Voice to Policy” සංවාද වැඩසටහන පසුගියදා (අගෝ. 29) මඩකලපුව ඊස්ට් ලැගූන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර මෙහිදී මඩකලපුව දිස්ත්‍රික් තරුණ ප්‍රජාවගේ ප්‍රතිපත්තිමය අදහස් හා යෝජනා සෘජුවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි විය.විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කෙරෙන වැඩමුළු මාලාවේ පළමු වැඩසටහන ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාව වෙනුවෙන් පැවති අතර මෙම වැඩසටහන එහි දෙවැන්නයි. මෙහිදී තරුණ ප්‍රජාවට සිය අදහස්, ගැටලු සහ ප්‍රතිපත්තිමය යෝජනා සෘජුවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර, වැඩමුළුව සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරුණ තරුණියෝ සහභාගී වූහ.මෙම අවස්ථාව සඳහා විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, නීතිඥ සුසන්ත දොඩාවත්ත, ලාල් ප්‍රේම්නාත්, සුනිල් රාජපක්ෂ, එම්.කේ.එම්. අස්ලම්, වෛද්‍ය ඉලෙයියතම්බි සිරිනාත්, අබූබකර් අතම්බාවා , ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර, මුහම්මද් ෆයිසාල්, ඥානමුත්තු ශ්‍රීනේසන් යන මත්වරු සහභාගී වූහ. මෙහිදී තරුණ ප්‍රජාව විසින් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය පිළිබඳ ගැටළු, ප්‍රාථමික අධ්‍යපනය නියාමනය, තරුණයන්ගේ දේශපාලන සහභාගීත්වය පුළුල් කිරීම, වෘත්තීය පුහුණුව, රැකියා අවස්ථා, තාක්ෂණය, ව්‍යවසායකත්වය පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීම, මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම හා තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අවස්ථා බහුල කිරීම, ප්‍රශස්ථ මට්ටමේ ක්‍රීඩාංගන පහසුකම් නොමැතිකම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා සංසදය වෙත ඉදිරිපත් කරන ලදී.විශේෂයෙන් උසස් අධ්‍යාපන පාඨමාලා සහ උපාධි සම්පූර්ණ කිරීමට ගතවන කාලය අවම කිරීම, දේශපාලනයට සම්බන්ධ වීමට අපේක්ෂා කරන තරුණයන් සඳහා වැඩි අවස්ථා නිර්මාණය කිරීම සහ තරුණ ව්‍යවසායකත්වය පුළුල් කිරීම ඇතුළු කරුණු කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.තරුණ ප්‍රජාව විසින්ම සිය ප්‍රමුඛ ගැටලු හඳුනාගෙන, ඒවා සාකච්ඡා කර, පොදු කරුණු ලෙස වර්ගීකරණය කර ප්‍රතිපත්තිමය අවධානය යොමු විය යුතු ක්ෂේත්‍ර තෝරා ගැනීමෙන් අනතුරුව ඒවා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සමඟ සෘජු සංවාදයක් පැවැත්වීම මෙම වැඩසටහනේ විශේෂත්වයක් විය.වැඩසටහනේදී ඉදිරිපත් වූ තරුණ යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරි සලකා බැලීම සඳහා යොමු කිරීමට පාර්ලිමේන්තු සංසදය සිය අවධානය යොමු කළේය. එමෙන්ම, අදාළ කරුණු සම්බන්ධයෙන් තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා සමඟ ඉදිරියේදී සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. තරුණ ප්‍රජාව විසින් ඉදිරිපත් කරන ලද ගැටළු සම්බන්ධයෙන් මේ වන විටත් රජය විසින් ගෙන ඇති පියවරයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී මන්ත්‍රීවරු විසින් කරුණු පැහැදිලි කරන ලදී.මෙම වැඩමුළුව සඳහා CII (Coalition for Inclusive Impact) ආයතනය අනුග්‍රාහකත්වය සපයනු ලැබීය.
2026-09-01
විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරනු ලබන “Voice to Policy” සංවාදමය ප්‍රාදේශීය වැඩසටහන් මාලාවේ තෙවැන්න මහනුවර දිස්ත්‍රික් තරුණ ප්‍රජාව සඳහා මේ මස 05 වැනිදා මහනුවර ‘ගෝල්ඩන් ක්‍රවුන්’ හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.තරුණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන මෙම වැඩසටහන, විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එසේම සංසදයේ සාමාජික මන්ත්‍රීවරු මෙන්ම මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.මෙම වැඩමුළු මගීන් විශේෂයෙන් තරුණ ප්‍රජාව පාර්ලිමේන්තු කටයුතු, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ විවෘත පාර්ලිමේන්තු මූලධර්ම පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම, පාර්ලිමේන්තුව සහ පුරවැසියන් අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.මෙම වැඩමුළුව සඳහා සහභාගීවීමට අපේක්ෂා කරන මහනුවර දිස්ත්‍රික්කයේ වයස අවු 18 – 35 අතර තරුණ තරුණියන් https://forms.gle/aVp5UzhLbtPSmVap8 සබැඳිය ඔස්සේ අදාළ පෝරමය සම්පූර්ණ කොට සැප්තැම්බර් 03 මධ්‍යහ්න 12.00ට පෙර ලියාපදිංචි විය විය යුතුය. එසේම සහභාගී වන්නන් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කරන සංකේතවලින් තොර ඇඳුමින් සැරසී සිටිය යුතු වේ. CII (Coalition for Inclusive Impact) ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් මෙම වැඩමුළු මාලාව සංවිධානය කෙරේ.
2026-08-25
මෙරට මැතිවරණ පද්ධතිය (පළාත් සභා හැර) වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු සහ ජනතා අපේක්ෂාවන්ට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පත් කළ විශේෂඥ මණ්ඩලයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැත්විණි.මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සහ ඒ සම්බන්ධයෙන් යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. එහිදී විශේෂඥ මණ්ඩලයේ කාර්යභාරය, සමාලෝචනයට ලක් කළ යුතු කරුණු මෙන්ම ඉදිරි කටයුතු ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.මෙහිදී, මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාව සහ විවිධ සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති යෝජනා 31ක් ගැඹුරින් සමාලෝචනය කර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂඥ මණ්ඩලය කටයුතු කිරීමට නියමිතය. එම සමාලෝචන ක්‍රියාවලියේදී විශ්වවිද්‍යාල ප්‍රජාව සහ පර්යේෂණ ආයතන විසින් සිදු කර ඇති අදාළ අධ්‍යයන හා පර්යේෂණ ද සැලකිල්ලට ගැනීමට නියමිතය.මෙම සමාලෝචන ක්‍රියාවලිය සඳහා මාස දෙකක කාලයක් ලබා දී ඇති අතර, එහිදී පවතින මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු හඳුනා ගැනීම මෙන්ම, අවශ්‍යතාව පවතින්නේ නම් වඩාත් සාධනීය ලක්ෂණ සහිත නව මැතිවරණ ක්‍රමවේදයක් හා මැතිවරණ සංස්කෘතියක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතය.ඒ අනුව, කාරක සභාවේ අවසන් අරමුණ වන්නේ පවතින ක්‍රමවේදයට සංශෝධන කිහිපයක් එක් කිරීම පමණක් නොව, වර්තමාන අවශ්‍යතා සහ ජනතා අපේක්ෂාවන්ට ගැළපෙන වඩාත් විශ්වාසනීය, ප්‍රජාතන්ත්‍රවාදී සහ කාර්යක්ෂම මැතිවරණ පද්ධතියක් සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා නීතිමය නිර්දේශ සහිත වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි.මෙම රැස්වීමට කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-08-25
තැපැල් දෙපාර්තමේන්තුවේ 2004 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා සිදුව ඇති මූල්‍ය වංචා සහ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA විශේෂ අවධානය යොමු කෙරිණි. ඒ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) විසින් 2026 අප්‍රේල් 07 වැනිදා ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යසාධනය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.විමර්ශන කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා නව පරිගණකගත මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දී ඇති බවත්, ඒ මඟින් විමර්ශන ගොනු පිළිබඳ තොරතුරු යාවත්කාලීන කර ඒවායේ ප්‍රගතිය අධීක්ෂණය කිරීමට කටයුතු කර ඇති බවත් මෙහිදී අනාවරණය විය. සුළු ස්වභාවයේ සිදුවීම් වෙනුවෙන් දීර්ඝ විමර්ශන පවත්වා සම්පත් වැය කිරීම වෙනුවට, වැදගත් මූල්‍ය වංචා සහ බරපතළ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබා දී විමර්ශන කඩිනම් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය.තවද, ඇතැම් විමර්ශන වසර ගණනාවක් තිස්සේ අවසන් නොවීම, චෝදනා ලැබූ ඇතැම් පුද්ගලයන් අතුරුදන් වීම හෝ මියයාම හෝ, ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද වීම සහ විමර්ශන අංශයේ පවතින මානව සම්පත් හිඟය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ට එරෙහි විමර්ශන සහ විනය ක්‍රියාමාර්ග නියමිත කාලසීමාවක් තුළ අවසන් කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාව අවධාරණය කළේය. එමෙන්ම, විමර්ශන අවසන් කර අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් අලාභ අයකර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස ද උපදෙස් ලබා දෙන ලදී.තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සහ අභ්‍යන්තර පාලන ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.මේ අතර, තැපැල් දෙපාර්තමේන්තුවේ අතිකාල දීමනා කළමනාකරණය විධිමත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් පළාත් නවයම සහ මධ්‍යම තැපැල් හුවමාරුව ආවරණය වන පරිදි සිදු කළ වැඩ අධ්‍යයනය මත පදනම්ව ප්‍රශස්ත සේවක සංඛ්‍යාවක් (Optimum Cadre) හඳුන්වා දීමට කටයුතු කරන බව නිලධාරීහු පැවසූහ.අතිකාල දීමනා ගෙවීමේදී සේවක පැමිණීම නිවැරදිව තහවුරු කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයට ගෙන ඇති බවත්, ඉදිරියේදී එම දත්ත පදනම් කර ගනිමින් අතිකාල දීමනා ගෙවීම් වඩාත් විධිමත් කිරීමට කටයුතු කරන බවත් මෙහිදී සඳහන් විය.තැපැල් සේවාව නවීකරණය කිරීම සහ ඩිජිටල්කරණය කිරීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර, Speed Post, Cash on Delivery සහ International Courier වැනි අගය එකතු කළ සේවාවන් තවදුරටත් පුළුල් කිරීම, තැපැල් බැංකු සේවා ඩිජිටල්කරණය කිරීම සහ නව තාක්ෂණය ඔස්සේ තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් වර්ධනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කෙරිණි.එමෙන්ම, තැපැල් දෙපාර්තමේන්තුව සතු උපතැපැල් කාර්යාල ජාලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් සැපයෙන දුෂ්කර ප්‍රදේශවල උපතැපැල් කාර්යාල වසා දැමීමකින් තොරව පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන චානක මාදුගොඩ, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, මංජුල සුරවීරආරච්චි, චන්දන සූරියආරච්චි, අජන්ත ගම්මැද්දගේ, ලාල් ප්‍රේමනාත්, රුවන්තිලක ජයකොඩි සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks