පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-07-07
පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත පාර්ලිමේන්තුව විසින් සපයා ඇති පහසුකම් පිළිබඳ මාධ්‍යවල පළවන විවිධ ප්රවෘත්ති සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පහත දැක්වෙන කරුණු අවධාරණය කර සිටියි.
එතෙක් පැවති අසීමිත ඉන්ධන පහසුකම වෙනුවට වත්මන් කථානායකවරයාගේම යෝජනාවකට අනුව කථානායකවරයා වෙත ලබා දෙන ඉන්ධන පහසුකම කැබිනට් අමාත්‍යවරයෙකුට ලබාදෙන පහසුකම්වලට සමාන වන ලෙස ලබා දීමට 2025 මැයි 02 දින ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් පැවති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාවේදී තීරණය කරන ලදී. ඒ අනුව වත්මන් කථානායකවරයා වෙත නිකුත් කෙරෙන ඉන්ධන පහසුකම කැබිනට් අමාත්‍යවරයෙකුට ලබාදෙන ඉන්ධන පහසුකමට සමානව මසකට ලීටර 900 දක්වා අඩු කර තිබෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය දන්වා සිටියි.
තවද, ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද පීඑස්/සීඑස්ඒ/00/1/4/12 දරන 2025.01.21 දිනැති චක්‍රලේඛ ප්‍රකාරව කථානායකවරයාට හිමි නිල වාහන දෙක (වාහන අංක CAN 8753/CBI 5198) එතුමා විසින් භාවිත කරන අතර, කථානායක මාධ්‍ය අංශයේ භාවිතය සඳහා වාහන අංක NC 4923 දරන වෑන් රථය ලබාදී තිබේ.
කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා බඳවාගෙන ඇති නිලධාරීන් සංඛ්‍යාව 08 දෙනෙක් වන අතර, කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් සහ මහජන සම්බන්ධතා නිලධාරී යන තනතුරු සඳහා අදාළ රජයේ චක්‍රලේඛවල විධිවිධාන ප්‍රකාරව නිල වාහන සහ ඉන්ධන පහසුකම් හිමිවේ.
තවද, පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ආහාර සඳහා පාර්ලිමේන්තුවේ අනෙකුත් විධායක නිලධාරීන් හා සමානව කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගේ මාසික වැටුපෙන්ද ආහාර වලට අදාළ නියමිත මුදල අය කෙරෙන බවද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
කථානායකවරයා විසින් සිය නිල නිවස පෞද්ගලිකව හෝ රැස්වීම් සඳහා හෝ වෙනත් කටයුත්තක් සඳහා භාවිත නොකරන අතර කථානායකවරයාට අදාළ සියළු නිල රැස්වීම් සහ රාජතාන්ත්‍රික හමුවීම් සියල්ල පාර්ලිමේතුවේ පිහිටි කථානායක කාර්යාලයේදී පවත්වනු ලබයි.
එමෙන්ම කථානායකවරයා දැනට තාවකාලිකව පදිංචිවී සිටින කොළඹ 04, ලෝරිස් පටුමගේ පිහිටා ඇති නිවස සඳහා අදාළ මාසික කුලිය 2007.04.20 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/2006 ප්‍රකාරව ඔහුගේ වැටුපෙන් මාසිකව ගෙවනු ලබන බවද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය දැනුම් දෙයි.
2026-11-05
ශක්තිමත් අනාගත කාන්තා නායකත්වයක් ගොඩනැගීමේදී දේශපාලනය සහ නායකත්වය පිළිබඳ කාන්තාවන්ගේ ආකල්ප ක්‍රමයෙන් වෙනස් වීම ලෝක සහ ලාංකීය දේශපාලනය තුළ ක්‍රමයෙන් හඳුනාගත හැකි සාධනීය තත්ත්වයක් බව ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය පැවසුවාය.ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ශාලාවේදී පසුගියදා පැවති මාරවිල, ශුද්ධ වූ පවුලේ බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් නියෝජ්‍ය කාරක සභා සභාපතිනිය මේ බව සඳහන් කළාය.නූතනයේ කුසලතාවයෙන්, දැනුමෙන් සහ අධ්‍යාපනයෙන් කාන්තාවන් ශක්තිමත් වීමෙන් අනාගතයේදී දේශපාලන හා පරිපාලනය තුළ කාන්තාවන්ගේ සක්‍රීය දායකත්වය පිළිබඳව යහපත් බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාව පවතින බවත්, ඒ වෙනුවෙන් කටයුතු කිරීමට අදිටන් කළ යුතු බවත් නියෝජ්‍ය කාරක සභා සභාපතිනිය වැඩි දුරටත් පැවසුවාය.මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන් මහතා විසින් පාසල් සිසුන් ඇතුළු රටේ සමත්ත ජනතාවටම ප්රතිලාභ ලබා ගත හැකි ජනාධිපති අරමුදල පිළිබඳව සිසුන් දැනුවත් කළ අතර, පවතින යහ සම්ප්‍රදායන් එලෙසින්ම පවත්වාගෙන යාමත් සෑම විටම ධනාත්මක වෙනසක් සහ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් කටයුතු කිරීමේ වැදගත්කමත් පෙන්වා දුන්නේය. නිවසින් සහ පාසලෙන් ආරම්භ වන යහපත් චර්යාවන් ගමටත්, එතැනින් රටටත් ව්‍යාප්ත කළ යුතු බවත් සමාජ වගකීම සහ ස්වයං විනය පවත්වා ගැනිම පාසල් සිසුන්ට අත්‍යවශ්‍ය බවත් හෙතෙම අවධාරණය කළේය. වැඩසටහනට එක් වු ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත් මහතා විසින් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතනයන්හී මූලික ව්‍යුහයන් හඳුන්වා දෙමින් ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයේ මූලිකාංග සහ ඒවායේ කාර්යභාරය පිළිබඳව සිසුන් දැනුවත් කරන ලදී.පාර්ලිමේන්තුව හා ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳව සිසුවියන් දැනුවත් කිරීම ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ, සහකාර අධ්යක්ෂ (පරිපාලන), මානව සම්පත් සංවර්ධන, චූලා හේරත් මහත්මිය විසින් සිදු කළ අතර, ප්රජාතන්ත්රවාදය, එහි ක්‍රියාත්මක වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග, සම්ප්‍රදායන් ඇතුළු පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක ක්‍රියාවලියේ හා එහි භාවිතය පිළිබඳව සිසුන්ට ප්‍රායෝගික අවබෝධයක් ද ඇය විසින් ලබා දෙන ලදි.එදින මෙම වැඩසටහනේදී මාරවිල, ශුද්ධ වූ පවුලේ බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කතානායකවරිය තෝරා ගැනීමද සිදු වූ අතර, ශිෂ්‍ය පාර්ලිමේන්තු අමාත්‍යවරුන් සිය අමාත්‍යංශ හා ඒ යටතේ සිදු කිරීමට අපේක්ෂිත වැඩ පිළිවෙල පිළිබඳව අදහස් සහ යෝජනා ඉදිරිපත් කෙරිණි. මෙම වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළහ.
2026-11-05
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ගරු ලෙවන් එස්. ධාගරියන් (Levan S. Dzhagaryan) මහතා ඊයේ (නොවැ. 04) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.මෙහිදී රුසියානු සමූහාණ්ඩුවේ ෆෙඩරල් සභාවේ සම්මේලන මණ්ඩලයේ සභාපති ගරු වැලන්ටිනා මැට්වියෙන්කෝ (Valentina Matviyenko) මහත්මිය විසින් ගරු කථානායකවරයා වෙත යොමු කරන ලද නිල ආරාධනයක් තානාපතිවරයා විසින් භාර දෙන ලදී. ඒ අනුව, දෙපාර්ශ්වයටම පහසු දිනයකදී 2027 වසරේ රුසියානු සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරත වන ලෙස ගරු කථානායකවරයාට ආරාධනා කර තිබේ.රුසියානු ෆෙඩරල් සභාවේ සම්මේලන මණ්ඩලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම ආරාධනය විශේෂ වැදගත්කමක් වනු ඇති බව එහිදී අදහස් පළ විය. දෙරට අතර පාර්ලිමේන්තු සංවාදය ඉදිරියට ගෙන යාමටත්, පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමටත් යෝජිත සංචාරය වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇතැයිද එහි විශ්වාසය පළ කෙරිණි.මෙම හමුවේදී දෙපාර්ශ්වයටම වැදගත් වන කරුණු පිළිබඳව සුහද අදහස් හුවමාරුවක් සිදු වූ අතර, ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
2026-11-04
2026 අංක 8 පරිපූරක ඇස්තමේන්තුව හෙට (නොවැම්බර් 05) අනුමතිය සඳහා විවාදයට ගැනීමට අද (නොවැ. 04) ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් අනිකුත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් රුපියල් මිලියන හාරදහස් දෙසිය හැට එකක් (රු. 4,261,000,000.00) ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ. වෙනස්වන මෙහෙයුම් පරිසරය, බෙංගාල බොක්ක සහ ඒ අවට ඇති ආපදාවන්ට ගොදුරු විය හැකි නිරන්තර අහිතකර කාලගුණික තත්වයන්ගෙන් පැන නගින ආසන්න තර්ජන පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නියමුවන් රහිත ගුවන්යානා පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා මෙම මුදල් යෙදවීමට නියමිතව ඇත.මීට අමතරව පෙර තීරණය කළ පරිදිම පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා, භාර (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදයට ගැනේ. (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වගන්තිය අනුව මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් නොවුනහොත්). සිකුරාදා (06) දිනයේ පාර්ලිමේන්තු කටයුතුවල කිසිදු වෙනසක් සිදු නොවේ.
2026-11-04
ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ජන හා නිවාස සංගණනය - 2024 අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින සමස්ත ආබාධිත පුද්ගලයන් සංඛ්‍යාව 727,293 ක් බවත් පැවසු ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා බලගැන්වීමේ ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ආබාධිත පුද්ගලයන්ගේ සුබසාධනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග විස්තරාත්මකව විග්රහ කළේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ලබා දුන් පිළිතුරේ ඉහත කරුණු අනාවරණය විය. අමාත්‍යවරයාගේ විස්තර දැක්වීමට අනුව, අඩු ආදායම්ලාභී ආබාධ සහිත පුද්ගලයන්ට මාසිකව රු. 10,000 ක ජීවනාධාර මුදලක් ලබා දීම, විශේෂ ආධාරක උපකරණ ලබා දීම, ශ්‍රවණ උපකරණ හා එහි අමතර කොටස් මිලදී ගැනීමට උපරිමය රු. 50,000 ක් දක්වා ආධාර මුදලක් ලබා දීම සිදු කෙරේ.නිවසක් අහිමි ආබාධ සහිත අයෙකු සිටින පවුලකට උපරිමය රු. 1,000,000 ක් ද නිවාස අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් උපරිමය රු. 50,000 ක් මූල්‍ය ආධාරයක් ද, සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කර ගැනීමට රු. 150,000 ක් ද ලබා දීමට කටයුතු කර ඇත.මීට අමතරව, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය මඟින් බස්නාහිර පළාත තුළ ආබාධ සහිත පුද්ගලයන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කර ගැනීම සඳහා එක් පුද්ගලයෙකු වෙනුවෙන් රු. ලක්ෂ 10 ක් බැගින් ලබා දෙයි.අධ්‍යාපන උපකරණ මිලදී ගැනීමට ආධාර කිරීම, වෛද්‍ය පහසුකම් සඳහා පහසුකම් සැලසීම, ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීම යටතේ, වෛද්‍ය ආධාර සඳහා රු. 100,000/- උපරිමය දක්වා ලබා දීම සිදු කරයි. ආබාධ සහිත තැනැත්තන්ට හෝ ඔවුන්ගේ භාරකරුවෙකුට හෝ ස්වයං රැකියාවක නිරත වීමට මුල්‍ය ආධාර ලබා දෙන අතර, විශේෂ අධ්‍යාපන ඒකක/ ආයතන සඳහා ක්‍රීඩා උපකරණ හා සංගීත භාණ්ඩ ලබා දීමට ද කටයුතු කර ඇත. ආබාධ සහිත තැනැත්තන්ට සේවා සපයනු ලබන ආයතන, සංවර්ධනයට උපරිමය රු. 500,000 ක ආධාර මුදලක් ද ලබා දෙයි.තවද, ජංගම අක්ෂි සායන මඟින් නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීම සහ ආබාධ සහිත ප්‍රජාවට පොදු ස්ථාන වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරේ.වෘත්තීය පුහුණුව ලබා දී රැකියාගත කිරීමත්, වයස අවුරුදු 16 ට අඩු ආබාධ සහිත දරුවන් සඳහා පූර්ව මැදිහත්වීම් මඟින් අධ්‍යාපනයට යොමු කරවීමත්, ඒ සඳහා කුසලතා සංවර්ධන හා දිවාසුරුකුම් පහසුකම් සැලසීමත් සිදු කෙරේ.මීට අමතරව, අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත සිසුන් සඳහා මාසිකව රුපියල් 5,000 ක දීමනාවක් ලබා දෙන අතර, උසස් අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් වෙනුවෙන් රුපියල් 5,000 ක මාසික දීමනාවක් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ලබා දීමට කටයුතු කර ඇත.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks