E   |     |  

2025-06-19

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

2011 වසරේදී උතුරුමැද පළාත් සභාව රුපියල් කෝටි 117ක අධි ඇස්තමේන්තුවක් මත මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය කරලා - ‘කෝපා’ කමිටුවේදී හෙළි වෙයි

  • එකම මාර්ගය රු. මිලියන 5ට අඩු ව්‍යාපෘති ගණනාවකට වෙන් කරලා - මාර්ග 53ක් ව්‍යාපෘති 741කට බෙදා කොන්ත්‍රාත් ලබාදීලා
  • ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීතිවිරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට රුපියල් මිලියන 2934ක් වටිනා ව්‍යාපෘති 629ක් (පාරවල් 42ක්) ලබාදී ඇති බවත් හෙළිවෙයි
  • රුපියල් මිලියන 11ක පමණ වැය වන මාර්ග 1Kmක් සඳහා සඳහා රුපියල් මිලියන 45 දක්වා ගෙවලා
  • රජරට අහිංසක ගොවිජනතාවගේ බදු මුදල් මෙලෙස වංචා කිරීම ඛේදවාචකයක් - මාර්ග සංවර්ධන ඉතිහාසයේ විශාලතම වංචාවක් - කෝපා සභාපති පවසයි
  • ළමුන් 500ටත් අඩු පාසැලකට කෝටි 54ක ශ්‍රවණාගාරයක් ඉදිරිකිරීමට අත්තිකාරකම් ගෙවු මිලියන 100ක් අපතේ ගිහින් - දැන් වල් බිහිවෙලා

 

රුපියල් මිලියන 1170ක (බිලියන1.17ක්/ කෝටි 117) අධි ඇස්තමේන්තුවක් මත 2011 වසරේදී උතුරුමැද පළාත් සභාව විසින් ගංවතුරෙන් හානියට පත් මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය සිදුකොට ඇති බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී ඊයේ (ජුනි 18) අනාවරණය විය. පසුව 2013 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ඉංජිනේරු කණ්ඩායමක් යොදවා සිදුකළ පරීක්ෂණයකදී මේ බව අනාවරණය වීම සහ එකී මාර්ග ඉදිකිරීම් නිසි ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් කොන්ත්‍රාත්කරුවන්ට අදාළ මුදල් ගෙවීම නවතා ඇති බවත් මෙහිදී නිලධාරීහු පැවසුහ. 

උතුරු මැඳ පළාත් සභාවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම් ඇතුළු උතුරු මැද පළාත් සභාවේ නිලධාරීහු පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.

රුපියල් මිලියන 3592කට ඇස්තමේන්තු කර තිබූ මෙම මාර්ග 53 හි එකම මාර්ගය ඇස්තමේන්තු අගය රු. මිලියන 5ට අඩු ව්‍යාපෘති ගණනාවකට වෙන් කරමින් ව්‍යාපෘති 741ක් සඳහා කොන්ත්‍රාත්කරුවන් සීමිත මිල ගණන් කැඳවා තෝරා ඇති බවත් හෙළි විය. එසේ මිලියන 5ට අඩුවන ලෙස සීමිත මිල ගණන් යටතේ එකම මාර්ගය ව්‍යාපෘති ගණනාවකට බෙදා ඇත්තේ එවිට පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයාගේ අනුමැතිය මත අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව නිසා බවත් කාරක සභාවේදී අනාවරණය විය. 

තවද මෙම ව්‍යාපෘතිය විවෘත ටෙන්ඩර් කැඳවීමකින් තොරව කොන්ත්‍රාත්කරුවන් හත් දෙනෙකු අතර පමණක් බෙදී ගොස් ඇති බවත්, ඉන් එක් කොන්ත්‍රාත්කරුවෙකුට රුපියල් මිලියන 2934ක් වටිනා ව්‍යාපෘති 629ක් (පාරවල් 42ක්) ලබාදී ඇති බවත් මෙහිදී විගණන නිලධාරීහු පෙන්වා දුන්හ. එම කොන්ත්‍රාත්කරුගේ මූල්‍ය ශක්තිය හා පළපුරුද්ද අනුව රු මිලියන 300-600 කොන්ත්‍රාත් පමණක් ප්‍රදානය කළ හැකිව තිබූ බව ද නිලධාරීහු පැවසුහ. මෙම කොන්ත්‍රාත් ආයතනය එවකට උතුරුමැද පළාතේ බලය ගෙන සිටි දේශපාලඥයෙකුට සම්බන්ධ බවට හෙළිවන බවත් මෙහිදී සාකච්ඡා විය. 

මේ අනුව රුපියල් මිලියන 11ක් පමණ වැය වන මාර්ග 1Kmක් සඳහා රුපියල් මිලියන 45 දක්වා මුදල් ගෙවා ඇත්තේ අතිශය දූෂිත ලෙස බවත් මෙහිදී අනාවරණය විය. මෙපමණ මුදලක් වියදම් කොට ඉදිකර ඇති මාර්ග නිසි ප්‍රමිතියෙන් තොරව කෙටිකලකින් අබලන් වී ඇති බවත් මෙහිදී හෙළිවිය. 

මෙම සිදුවීමට සම්බන්ධ ප්‍රධාන නිලධාරියා වන එවකට පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා ලෙස සේවය කළ පුද්ගලයා මේවන විට මියගොස් ඇති බවත් ඔහු ඊට පෙර මහවැලි අධිකාරියේ සේවය කොට නිධන් හෑරීමේ චෝදනාව යටතේ සේවයෙන් පහකළ අයෙකු බවත් මෙහිදි හෙළිවිය. පසුව මෙම සිදුවීමට එරෙහිව කටයුතු කළ නිලධාරීන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවු බවත් මෙම කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම නිසා 2015 වසරේදී එවකට සිටි පළාත් ප්‍රධාන ඇමතිවරයා විසින් පසුව පත්වූ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා විශ්‍රාම යවා ඇති බවත් නිලධාරීහු කාරක සභාවට වැඩිදුරටත් පැවසුහ.

එසේම මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් මාර්ග සංවර්ධනය සඳහා පළාත් සභාවකට වෙන්වීමම ගැටලුවක් බව මුදල් කොමිෂන් සභාවේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. එවකට සිටි ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාවරයාගේ බලපෑමෙන් එය සිදුවූ බවටත් මෙහිදී සාකච්ඡා විය. 

උතුරුමැද පළාතේ දහඩිය මහන්සියෙන් වැඩකරන ගොවිජනතාවගේ බදු මුදල් මෙලෙස වංචා කිරීම අතිශය ඛේදනීය සිදුවීමක් බවත් මෙරට මාර්ග සංවර්ධන ඉතිහාසයේ දූෂිතම අවස්ථාවක් ලෙස මෙම සිදුවීම හදුනාගත හැකි බවත් කාරක සභා සභාපතිවරයා මෙහිදී පැවසීය. මේ අනුව මීට සම්බන්ධ නිලධාරීහු හඳුනාගෙන ඔවුන්ගෙන් එම මුදල් අයකර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී. එසේම මේ සම්බන්ධව අල්ලස් ‍හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසත් මෙම සිද්ධියට සම්බන්ධ දේශපාලන අධිකාරිය පිළිබඳවත් වාර්තාවක් ලබා දෙන ලෙසත් මෙහිදී කාරක සභාව නිර්දේශ ලබාදීම සිදුවිය. 

2017 වසරේදී පලුගස්දමන මහා විද්‍යාලය සඳහා ශ්‍රවණාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් රු. 542,019,300ක් (මිලියන 542ක්/ කෝටි 54.2 ක්) මුදලකට ඉදිකිරීම් සමාගමක් සමග ගිවිසුම් ගතවීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවිය. මෙහිදී රු.මිලියන 100ක් කොන්ත්‍රාත්කරුට අත්තිකාරමක් ලබාදී තිබූ නමුත් ආරම්භක අවස්ථාවේදීම ඉදිකිරීම් නවතා ව්‍යාපෘතිය අතහැර දමා ඇති බවත් අනාවරණය විය. ළමුන් පන්සියයකටත් අඩු ප්‍රමාණයක් ඉගෙනුම ලබන විදුහලකට කිසිදු ශක්‍යතා අධ්‍යයනයකින් තොරව මෙලෙස විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කිරීම සාධාරණ නොවන බවත් එවකට උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ තනි කැමැත්ත මත මෙය සිදුවී ඇති බවත් මෙහිදී සාකච්ඡා විය. එසේම දේශපාලන අධිකාරිය සමග කොන්ත්‍රාත්කරුට පැවති ලැදියාව අනාවරණය වන බවත් මෙහිදී සාකච්ඡා විය. මේ වන විට වල්බිහිවී ඇති මෙම ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරීන් පිළිබඳව විමර්ශනයක් සිදුකර මෙම මුදල් නැවත අයකර ගැනීමටත් යම් අකටයුත්තක් සිදුවී ඇත්නම් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නිර්දේශ කළ කාරක සභාව සති තුනක් තුළ මේ පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නේය. 

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, චාමර සම්පත් දසනායක, නීතිඥ සාගරිකා අතාවුද, ඔෂානි උමංගා, නීතිඥ තුෂාරි ජයසිංහ, ටී.කේ. ජයසුන්දර, සුසන්ත කුමාර නවරත්න, සුනිල් රත්නසිරි සහ දිනිඳු සමන් හෙන්නායක යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.




සම්බන්ධිත පුවත්

2026-09-04

ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, විගණන ක්‍රියාවලිය නවීන තාක්ෂණය භාවිතයෙන් වඩාත් කාර්යක්ෂම කිරීම, කාර්යක්ෂම මානව සම්පත් රඳවා ගැනීම සහ රාජ්‍ය ආයතනවල විගණන කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නොපැමිණීම පිළිබඳව දැනුම් දී තිබූ බැවින්, ස්ථාවර නියෝග ප්‍රකාරව එම අවස්ථාවේදී තාවකාලික සභාපතිවරයා ලෙස පත් කර ගත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති කාරක සභා රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු  සහභාගී වුහ.එමෙන්ම, මාර්ග ගත ක්‍රමය ඔස්සේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී  විජේසිරි බස්නායක මහතා ද සහභාගී විය.ජාතික විගණන කාර්යාලයේ විගණන කටයුතු වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක ලෙස සිදු කිරීම සඳහා නවීන තාක්ෂණය සහ දත්ත විශ්ලේෂණ මෙවලම් පුළුල් ලෙස භාවිත කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.විගණන ක්‍රියාවලිය තාක්ෂණිකව පරිවර්තනය කිරීම මඟින් විගණන කටයුතුවල කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ වඩාත් පුළුල් නිරීක්ෂණයක් සිදු කිරීමටත් හැකි වනු ඇති බව මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.එමෙන්ම, විගණන සේවයට බඳවා ගනු ලබන දක්ෂ නිලධාරීන් පුහුණුවෙන් අනතුරුව වෙනත් අංශ වෙත යොමුවීම හේතුවෙන් ඇති වන මානව සම්පත් රඳවා ගැනීමේ ගැටලුව පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. දක්ෂ විගණන නිලධාරීන් සේවයේ රඳවා ගැනීම සඳහා සුදුසු දීමනා ක්‍රමවේදයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.තවද, රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර පාලන පද්ධතිවල පවතින දුර්වලතා හඳුනා ගෙන ඒවා නිවැරදි කිරීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා වූ අතර, විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ආයතනවල වගකිවයුතු නිලධාරීන්ගේ වගකීම අවධාරණය කෙරිණි.සමෘද්ධි බැංකු විගණනයේදී පවතින ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් ද  කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, ඒවා වඩාත් කාර්යක්ෂමව විගණනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක හා නීතිමය සංශෝධන පිළිබඳව සලකා බැලීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.විගණන ක්‍රියාවලිය නවීකරණය කිරීමේදී පැහැදිලි ප්‍රතිඵල මත පදනම් වූ සැලැස්මක් සකස් කර, කාර්ය මණ්ඩල අවශ්‍යතා සහ සම්පත් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.මේ අතර, කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ පිහිටුවා ඇති ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිවරයාට සහ සාමාජිකයින්ට ගෙවිය යුතු මාසික වැටුප් හා දීමනා තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු විය.ජාතික කාන්තා කොමිෂන් සභාවේ සියලුම සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී එහි වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙන්ම, කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම, අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි විභාග කිරීම හා විමර්ශනය කිරීම සහ නීති ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ඇතුළු කාර්යයන් ඉටු කිරීම සඳහා කොමිෂන් සභාව සතු වගකීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.කොමිෂන් සභාව පූර්ණ මෙහෙයුම් මට්ටමට ගෙන ඒම සඳහා අවශ්‍ය භෞතික යටිතල පහසුකම්, කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සහ පරිපාලන කටයුතු පිළිබඳවද සාකච්ඡා කෙරිණි. පනතට අනුව අවම වශයෙන් සාමාජිකයින් තිදෙනෙකු පූර්ණ කාලීනව සිටිය යුතු බැවින්, එම සාමාජිකයින් සඳහා දීමනා ප්‍රමාණවත් නොවන බව කාරක සභාව විසින් මෙහිදී පෙන්වා දුන් අතර පූර්ණ කාලීන සාමාජිකයින්ට අමතර දීමනා ලබා දීම පිළිබඳව නැවත සලකා බැලිය යුතු බව  ද කාරක සභාව විසින් මෙහිදී  මුදල් අමාත්‍යාංශය ට දැනුම් දෙන ලදී.


2026-09-04

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහ වූ රු. බිලියන 7.5ක පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 7.5ක අමතර ප්‍රතිපාදන සලසා ගැනීමට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර අනුමත  කරන ලදීගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙම පරිපූරක ඇස්තමේන්තුව සාකච්ඡාවට ගැනිණි.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, විජේසිරි බස්නායක, නිමල් පලිහේන, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරුන්  සහභාගී වූහ.2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා දැනට වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම අමතර ප්‍රතිපාදන අවශ්‍ය වී තිබේ. දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියාමනය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හරහා වී මිලදී ගැනීම කඩිනම් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණක්  වන බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.මෙහිදී වී මිලදී ගැනීමේදී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති සම්බන්ධ කර ගැනීම, වී මිල සහ වෙළඳපොළ කළමනාකරණය, ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැතිවීම ඇතුළු කරුණු පිළිබඳවද සාකච්ඡා කෙරිණි. වී ගොවියා ආරක්ෂා කරන අතරම පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදීම සඳහා දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවද අවධාරණය කෙරිණි.මේ අතර ශ්‍රී ලංකා රේගුවේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය. Asycuda පද්ධතිය තවදුරටත් නවීකරණය කරමින්  කඩදාසි රහිත රේගු ක්‍රියාවලිය තෝරාගත් අංශ සඳහා 2026 ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකා රේගුවේ  නිලධාරීහු පැවසුහ. ජාතික ඒකීය වෙළඳ කවුළුව (Trade National Single Window) හරහා රේගුව හා අනෙකුත් රාජ්‍ය ආයතන අතර ඩිජිටල් සම්බන්ධතාව ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. ASYCUDA හි පහසුකම් තිබුණද සෙසු රාජ්‍ය ආයතනවල මේ හා සමාන ඩිජිටල්කරණය කරන ලද පද්ධති නොතිබීම හේතුවෙන් ජාතික ඒකීය වෙළඳ කවුළුව තුලට සියලු ආයතන ඇතුලත් කරගත නොහැකි තත්ත්වයක් පවතින බවද මෙහිදී නිලධාරීහු අදහස් දක්වමින් පැවසුහ.එමෙන්ම භාණ්ඩ ආනයනයට පෙර සිදුකරන අත්තිකාරම් ගෙවීම් සම්බන්ධයෙන් ඇති මූල්‍ය අවභාවිතයන් පිළිබඳවද අවධානය යොමු කර, ඒවා වැළැක්වීම සඳහා පවතින අධීක්ෂණ ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී.


2026-09-03

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඇතුළු කටයුතු සමාලෝචනය කරයි

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඇතුළු කටයුතු පසුගියදා සමාලෝචනය කරන ලදී. එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව  සලකා බැලිණි. මෙහිදී අදහස් දැක්වූ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පැවසුවේ 2026 ජූනි 30 වන විට අපේක්ෂිත රේගු ආදායම රු මිලියන 1,060,559 ක් බවත් ඒ වන විට රුපියල් මිලියන 1,379,084 ක් උපයා ඇති බවයි. තවද එය ප්‍රතිශතාත්මකව 130 % ක ප්‍රගතියක් බවද සඳහන් විය. මේ අනුව මෙම වසරේ සෑම මසකම අපේක්ෂිත ආදායමට වඩා වැඩි ආදායමක් උපයා ඇති බවත් 2025 වසර සමග සංසන්දනාත්මකව බලන විට සෑම මසකම ඉහළ ප්‍රගතියක් ලබා ඇති බවටත් අදාළ දත්ත නිලධාරීහු මෙහිදී කාරක සභාවට ඉදිරිපත් කළහ2026 වාහන ආයනයට අදාළ කරුණු ඉදිරිපත් කරමින් නිලධාරීහු පෙන්වා දුන්නේ 2026 ජූනි 30 වන විට  වාහන 316,000ක් ආනයනය කර ඇති බවත් එ් අනුව රුපියල් මිලියන 512,547ක බදු ආදායමක් ලැබී ඇති බවයි. ඉන් වැඩිම බදු ආදායම වන රු මිලියන 386,726  ක් ලැබී ඇත්තේ මෝටර් රථ ආනයනය මගිනි. එසේම වැඩිම රේගු ආදායම් ගෙන දුන් භාණ්ඩ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිව තිබුනේ එන්ජින් ධාරිතාව 1000cc ට අඩු පෙට්‍රල් මෝටර් රථ සඳහා වන අතර එම අගය රු බිලියන 137.4 කි. එය සමස්ත ආදාමෙන්  සියයට 9.96 ක ප්‍රතිශතයකි. එසේම ආනයනික බහාලුම් ප්‍රමාණයන් සහ ඒවා පරීක්ෂාවට ලක්වන ආකාරය, ශ්‍රී ලංකා රේගුවේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීම, ආදායම් පරිපාලනයේ පවතින අභියෝග, ඉදිරි සැලසුම් ඇතුළු කටයුතු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ මන්ත්‍රීවරු පිරිසක් ද මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරන නි‍ලධාරීහු පිරිසක් ද  මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. 


2026-09-03

සයිබර් අපරාධ මැඩලීමට ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය

මහජන ආරක්ෂාව තහවුරු කිරීම, නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සහ පොලිස් සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් කරුණු රැසක් පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය.ඒ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී සයිබර් අපරාධ සහ නීති විරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සහ වංචාවන් මැඩලීම සඳහා පොලිසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවේ විශේෂ අවධානය යොමු වූ අතර නීති විරෝධී සූදු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි අවහිර කිරීමට පියවර ගෙන ඇති බව නිලධාරීහු සඳහන් කළහ.සයිබර් අපරාධ සම්බන්ධයෙන් මෙරට රැඳී සිටිමින් නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ විදේශිකයන් සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය. අදාළ රටවල තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් එම විදේශිකයන් පිටුවහල් කිරීම සඳහා ද කටයුතු කර ඇති බව ද මෙහිදී නිලධාරීන් සඳහන් කළහ.සයිබර් අපරාධ විමර්ශන සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නීතිමය දැනුම සහිත මානව සම්පත ශක්තිමත් කිරීම සඳහා මෘදුකාංග ඉංජිනේරුවන් සහ නීතිඥවරුන් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව ද කාරක සභාව හමුවේ පැමිණි නිලධාරීහු පැවසූහ. එසේම නව බඳවා ගැනීම් ලද නිලධාරීන් සඳහා ක්ෂේත්‍ර පුහුණුව මෙන්ම අවශ්‍ය විදේශීය පුහුණුවීම් ලබාදීමට ද කටයුතු කරමින් පවතින බව ද නිලධාරීහු පෙන්වා දුන්හ.එමෙන්ම, සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා සම්බන්ධ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව තාක්ෂණික පද්ධති හඳුන්වාදීම සහ කාලීනව ක්‍රියාත්මක කළ හැකි මධ්‍යගත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම ක්‍රිප්ටෝ මුදල් භාවිතය ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් විදේශීය ආයතන සමඟ දත්ත හුවමාරු කර ගැනීමේදී පවතින බාධා අවම කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන බව ද සඳහන් කෙරිණි.තවද, මහජන ආරක්ෂක කමිටු හරහා ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් පවතින තත්ත්වය, එම කමිටු මඟින් ලැබෙන සංවේදී තොරතුරු පිටතට යාම වැළැක්වීම සහ ප්‍රජා පොලිස් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මීට අමතරව, නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩලීම සඳහා පොලිස් විමර්ශන කඩිනම් කිරීම, නවීන තාක්ෂණය උපයෝගී කරගැනීම සහ මහජනතාවගේ සහාය තවදුරටත් ලබාගැනීමේ වැදගත්කම කාරක සභාවේදී අවධාරණය කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks