01

E   |     |  

2025-05-28

පුවත් කාණ්ඩ : පුවත් 

හෙලේනා විජයවර්ධන බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී…

කැළණිය, හෙලේනා විජයවර්ධන බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය 2025.05.27 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි.

ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මාලාවේ එක් පියවරක් ලෙස පැවැති මෙම වැඩසටහන පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල ප්‍රධානී සහ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ආරාධිත දේශනය සිදුකරමින් හෙලේනා විජයවර්ධන බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජික සාමාජිකාවන් ආමන්ත්‍රණය කල වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදාය, කාර්යභාරය සහ ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කළේය.

එසේම ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා මෙහිදී අදහස් දක්වමින් සමාජයේ අනෙක් පුද්ගලයින්ට ගරු කරන සමාජයක් නිර්මාණය කිරීම සිදුකළ හැක්කේ පාසලෙන් බවත් එමගින් ආකල්පමය ලෙස ශක්තිමත් හා නිර්මාණාත්මක පුද්ගලයකු  බිහිවන බවත් පෙන්වා දුන්නේය. 

තවද මෙම අවස්ථාවට එක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. එම්. එන්. කුමාරසිංහ මහතා “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳව මූලික හැදින්වීමක් සිදු කළ අතර වඩාත් යහපත් රටක් බිහිකිරීම උදෙසා දරු දැරියන්ගේ වගකීම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළේය.

අනතුරුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ වූ අතර එහිදී කථානායකවරයකු දිවුරුම් දීම සහ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමද සිදු කෙරිණි.

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් ප්‍රමුඛ ආරාධිත අමුත්තන්‍ විසින් සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. එම්. එන්. කුමාරසිංහ,  ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්. විජේබණ්ඩාර, ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සුරියබණ්ඩාර, ජනාධිපති කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය  අංශයේ කළමනාකාරිණි නිම්මි හාතියාල්දෙනිය, කැලණිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ. එස්. නන්දසිරි, හෙලේනා විජේවර්ධන බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පති ආර්.කේ. ගුණතිලක, යන මහත්ම මහත්මීහු සහ ගුරු භවතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.




සම්බන්ධිත පුවත්

2026-06-08

පාර්ලිමේන්තු කථා පරිවර්තකයන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත්කෙරේ

පාර්ලිමේන්තු කථා පරිවර්තකයන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම මෑතකදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කමිටු අංක 02 කාමරයේ දී පැවැත්විණි. එහිදී 2026 වසර සඳහා නව නිලධාරී මණ්ඩලය ලෙස පහත සඳහන් මහත්ම මහත්මීන් තේරී පත් වූහ. ඒ අනුව සංගමයේ නව සභාපතිවරයා ලෙස බී.එම්. රසීල් මහතා සහ  උප සභාපතිවරයා ලෙස එම්.අයි.එම්. ෆාසි මහතා තේරී පත්විය. නව ලේකම්වරයා ලෙස සී. මනිමාරන් මහතා සහ භාණ්ඩාගාරික ලෙස එම්.ටී. සෙයිනුර් රිෆා මහතා තෝරා පත් කර ගැනීමද එහිදී සිදුවිය. පාර්ලිමේන්තු කථා පරිවර්තකයන්ගේ සංගමයේ නව  සහකාර ලේකම් ලෙස ඩී. තුලාංකනි මෙනවිය සහ විධායක කමිටු සාමාජිකයින් ලෙස එම්. මයුරේෂන් සහ ඒ.ඒ.එස්. සෆායා යන මහත්ම මහත්මීන් තේරී පත්විය.අභිනවයෙන් තේරී පත් වූ නිලධාරී මණ්ඩලය, ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තක නීතිඥ සී.ජේ. කරුණාරත්න මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තකයන් වන ඒ.ජී.එම්. ෆික්රි මහතා, ඒ. සරවනභවානන්දන් මහතා සහ එන්.බී.සී.ජේ. නිස්සංග මිය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.


2026-06-04

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (ජුනි 03) සිය සහතිකය සටහන් කළේය.දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය 2026 මැයි 19 වන දින පැවැත්වුණු අතර එහිදී එම පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධන සහිතව සම්මත කිරීම මගින් බදු පරිපාලන ක්‍රියාවලීන් නවීකරණය කිරීම, පවතින ප්‍රතිපාදන වඩාත් පැහැදිලි කිරීම, බදු අනුකූලතාවය සහ බදු නීති බලාත්මක කිරීම සහ ශක්තිමත් කිරීම සිදු කෙරේ. එමෙන්ම, බදු ගණනය කිරීම් සහ බදු අඩු කිරීම් වඩාත් නිවැරදි කිරීම, උපායමාර්ගික ආර්ථික අවශ්‍යතාවලට සහයෝගය දැක්වීම මෙන්ම විනිවිදභාවය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ශ්‍රම ශක්තිය ඉහළ නැංවීම ද මෙම පනතේ අරමුණු වේ.සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය භාවිත කිරීම අනිවාර්ය කිරීම, ආදායම් ගණනය කරන ආකාරය පිළිබඳව සංශෝධන කිහිපයක් සිදු කිරීම, විශේෂිත ව්‍යාපෘති සහ ව්‍යාපාර සඳහා ලබාදෙන බදු නිදහස් කිරීම් වඩාත් පැහැදිලි කිරීම, අදාළ බලධාරීන් වෙත තොරතුරු හෙළිදරව් කිරීමේ පරාසය පුළුල් කිරීම යන ප්‍රධානතම වෙනස්කම් කිහිපයක් මෙම නව පනත මඟින් හඳුන්වා දී ඇත.ඒ අනුව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.


2026-06-03

පාර්ලිමේන්තුව ජුනි 09 සිට 12 දක්වා රැස් වෙයි

පාර්ලිමේන්තුව ජුනි 09 සිට 12 දක්වා රැස්වීමට නියමිත ය.ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජුනි 01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉහත දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතු පහත සඳහන් ලෙස තීරණය කොට තිබේ.ඒ අනුව පාර්ලිමේන්තුව රැස් වන සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 10 වැනි බදාදා දින පමණක් පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 දක්වා කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.  ජුනි 09 අඟහරුවාදා  පෙ. ව. 11.30 සිට ප.ව. 2.30 දක්වා මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ වන නියෝග, වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන පනත යටතේ වන නියමය, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ වන නියමය, එකතු කළ අගය මත බදු පනත යටතේ වන නියමය සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 යටතේ වූ තීරණයක් විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිත ය. පසුව ප.ව. 2.30 සිට ප.ව. 5.30 දක්වා මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය  විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව තිබේ.ජුනි 10 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විදුලි සංදේශ බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමටත්, අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ වන යෝජනා සම්මතය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමටත්  නියමිත ය. ඉන් පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.ජුනි 11 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 1.30 දක්වා සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙ‍ටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට සහ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ වන නියමය විවාදයට  ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව ඇත. පසුව ප.ව. 1.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.ජුනි 12 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 2.30 දක්වා කාලය ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති සහ රුපියල් බිලියන 20ක පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට යෝජනා වී ඇත. එදින ප.ව. 2.30 සිට ප.ව. 5.30 දක්වා 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් 2026.05.20 ආරම්භ කරන ලද සභාව කල් තැබීමේ විවාදය තවදුරටත් පවත්වාගෙන යාමට නියමිත ය. මීට අමතරව, ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) අනිල් ජයන්ත මහතාගේ ඉල්ලීම පරිදි, වර්තමාන මූල්‍ය ප්‍රතිපත්තිය හා ඒ හා සම්බන්ධ කරුණු පිළිබඳ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු  ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මේ මස 10 වැනි දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමටද මෙහිදී අනුමතිය හිමි විය.


2026-06-03

ධුරයෙන් නික්ම යන ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා, ගරු කථානායකවරයා හමුවෙයි

සිය සේවා කාලය අවසන් කර ධුරයෙන් නික්ම යන  ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් (වෛද්‍ය) සත්‍යාංජල් පාණ්ඩේ මහතා, ගරු කථානායක (වෛද්‍ය ) ජගත් වික්‍රමරත්න මහතා හමු විය. පාර්ලිමේන්තුවේදී පසුගියදා (01) පැවැති මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර  මහත්මිය ද එක්ව සිටියාය.මෙම හමුවේදී, ධුරයෙන් නික්ම යන  නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සුහද පාර්ලිමේන්තු සබඳතා සහ දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ලබාදුන් සහයෝගය සහ මඟපෙන්වීම වෙනුවෙන් ගරු කථානායකවරයා වෙත සිය කෘතඥතාව පළ කළේය. එමෙන්ම, දෙරටේ ව්‍යවස්ථාදායකයන් අතර සම්බන්ධතා සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ද ඒ මහතා සිය ස්තුතිය  පළ කළේය.වෛද්‍ය පාණ්ඩේ මහතා ශ්‍රී ලංකාව තුළ ඉටුකළ සේවය මෙහිදී ගරු කථානායකවරයාගේ ඇගයීමට ලක්වූ අතර, අසීරු අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාවට ලබාදුන්  සහයෝගය වෙනුවෙන් ඉන්දියානු රජයට සහ ජනතාවට එතුමා සිය ස්තුතිය පුද කළේය. විශේෂයෙන්ම, මෑතකදී මෙරටට බලපෑ 'දිත්වා '  සුළි කුණාටුවෙන් පසුව ඉන්දියාව ලබාදුන් සහාය මෙන්ම,  මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මතුව ඇති අභියෝග හමුවේ ලබාදෙන අඛණ්ඩ සහයෝගය ද මෙහිදී කථානායකවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය.  එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ප්‍රගතිය  උදෙසා ඉන්දියාව විසින් ලබාදෙන පුහුණු සහ ධාරිතා සංවර්ධන වැඩසටහන්  පිළිබඳව ද ගරු කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය.නියෝජ්‍ය මහ කොමසාරිස් වෛද්‍ය පාණ්ඩේ මහතා, ගරු නියෝජ්‍ය කථානායක ( වෛද්‍ය) රිස්වි සාලි මහතා ද හමු වූ අතර, ශ්‍රී ලංකාවේදී සිය සේවා කාලය තුළ ලබාදුන් සහය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. ගරු නියෝජ්‍ය කථානායකවරයා, වෛද්‍ය පාණ්ඩේ මහතා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ලබාදුන් දායකත්වය ඇගයීමට ලක් කළ අතර, දෙරට අතර පාර්ලිමේන්තු සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා ඒ මහතා ගත් උත්සාහයන් වෙනුවෙන් ද සිය ස්තුතිය පළ කළේය.මෙම සුහද සාකච්ඡාවලදී, ගරු කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයා වෛද්‍ය පාණ්ඩේ මහතාගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිය සුබපැතුම් එක් කළහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි. | Text.privacy_policy

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks