E   |     |  

2025-05-15

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ආබාධිත ප්‍රජාවට බලපාන ප්‍රධාන ගැටලු පිළිබඳව ආබාධ සහිත කණ්ඩායම්වල නියෝජිතයන් සමග ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය සාකච්ඡා කරයි

ආබාධිත ප්‍රජාවට බලපාන ප්‍රධාන ගැටලු පිළිබඳව ආබාධ සහිත කණ්ඩායම්වල නියෝජිතයන් සමග ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය සාකච්ඡා කරන ලදි.

මෙම සංසදය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (මැයි 08) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම නියෝජිතයින් සමග සාකච්ඡා කිරීම සිදු විය.

සංසදය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝජිතයින් තම ගැටලු පිළිබඳ මෙසේ සංසදය දැනුවත් කළ අතර සංසදයේ සභාපතිවරයා මෙම ඉදිරිපත් වන සියලු යොජනා සහ අදහස් ඉතා ගෞරවයෙන් පිළිගන්නා බවත් ඒ සම්බන්ධයෙන් කමිටුවට ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් පැවසීය.

මෙහිදී පැමිණි නියෝජිතයන් ආබාධිත ප්‍රජාව වෙනුවෙන් සියලු මැතිවරණවලදී නිශ්චිත කෝටාවක් වෙන්කරන ලෙස සංසදයට යෝජනා කරන ලදි. එසේම ආබාධිත ප්‍රජාව වෙනුවෙන් අවශ්‍ය සියලු දත්ත ඇතුළත් කරන ලද වෙබ් පිටුවක් සකස් කරන ලෙස සංසදයට යෝජනා කරන ලද අතර මෙම වෙබ්අඩවියට ජංගම දුරකථන හරහාද පිවිසීමට හැකි ආකාරයෙන් සකස් කරන ලෙස යෝජනා කළේය.

තවද බ්‍රේල් මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් වැඩි කිරීම සම්බන්ධයෙන් ද සංසදයේ අවධානය යොමු කරන ලදි. එසේම ආබාධිත ප්‍රජාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් නවවැනි පාර්ලිමේන්තුවට කරන ලද යෝජනාව සම්බන්ධයෙන් අවධානය යොමු කර එහි ඉදිරි කටයුතු සිදු කරන ලෙසද ඉල්ලා සිටියේය.

මීට අමතරව ශ්‍රවනාබාධිත ප්‍රජාවගේ අධ්‍යාපන කටයුතු සඳහා බාධාවක්ව පවතින ගුරු හිඟය සම්බන්ධයෙන්ද සංසදය දැනුවත් කළ අතර ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා නිර්මාණය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී යෝජනා ඉදිරිපත් විය.

මෙම පාර්ලිමේන්තු සංසදයේ රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) උපාලි පන්නිලගේ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, චන්දිම හෙට්ටිආරච්චි සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්වරුන්ද සහභාගී වූහ.




සම්බන්ධිත පුවත්

2026-06-08

අනුරාධපුර ළමා අපයෝජන සිදුවීමේ විමර්ශන කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය රැස් වෙයි

අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් අපයෝජනයට ලක් වීමේ සිදුවීමට අදාළ නඩුවේ විමර්ශන කටයුතුවල ප්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳව  සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පසුගියදා (ජුනි 05) පාර්ලිමේන්තුවේදී රැස් විය. එම සංසදයේ සභාපතිනි කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන නිලධාරීන් කැඳවා තිබිණි.එහිදී, සිදුවීමට අදාළව දැනට සිදු කෙරෙන විමර්ශනවලදී  අධිකරණ නියෝගවලට අනුවම කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් අදාළ අංශවලට උපදෙස් ලබා දෙන ලදි. එමෙන්ම, නඩුවට අදාළ රස පරීක්ෂක වාර්තා සහ අනෙකුත් වෛද්‍ය වාර්තා කඩිනමින් කැඳවා ගැනීමට ද කටයුතු කරන ලෙස ද ඉල්ලීමක් කෙරිණි. වින්දිත දැරිය සම්බන්ධයෙන් මේ වන විට අනුරාධපුරයට අමතරව අත්තනගල්ල සහ දඹුල්ල යන ප්‍රදේශවල ද අධිකරණ නඩු කටයුතු සිදු වන බැවින් එම නඩු කටයුතු අධීක්ෂණය සඳහා ද ජාතික ළමා  ආරක්ෂක අධිකාරියේ මැදිහත් වීමක් සිදු කරන ලෙස සංසදය විසින් උපදෙස් ලබා දෙන ලදී. මෙම නඩු කටයුතු ත්‍රිත්වයටම සම්බන්ධ වීම නිසා වින්දිත දැරිය නැවත නැවතත් පීඩාවට පත්වීම අවම වන ලෙස කටයුතු කරන ලෙස ද ඉල්ලීමක් කෙරිණි.එමෙන්ම, අධිකරණ සහ නීතිමය ක්‍රියාමාර්ග පහසු කර ගැනීමටත්, රජයේ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහාත් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සිදු කළ ඉල්ලීමට මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ එකඟතාව පළ කෙරිණි. වින්දිත දැරියගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත සංසදය විසින් දැනුම් දෙන ලදී.එසේම, ළමා අපචාර සිදුවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඊට අදාළ මැදිහත් වීම ඉදිරියේදී සිදු කිරීමට ද එකඟතාව පළ කළේය.තව ද, ළමා අපචාර සිදුවීම් සම්බන්ධයෙන් වන අධිකරණ ක්‍රියාවලිය වාර්තා කිරීමේදී දරුවාගේ පුද්ගලිකත්වය, ආරක්ෂාව සහ ආත්ම ගරුත්වය රැකෙන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාව මත මාධ්‍ය සහ අධිකරණ කටයුතු සඳහා මාර්ගෝපදේශයක් සකස් කළ යුතු බවටත්, ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ ඇති අනු කමිටුව මැදිහත් වීමටත් තීරණය විය.ළමා අපයෝජන නඩු කටයුතුවලදි  මතු වන  නීතිමය සහ ප්‍රායෝගික බාධා මගහරවා ගැනීමට අවශ්‍ය ඉදිරි  කටයුතු සිදු කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ ඇති අනු කමිටුව කටයුතු කරනු ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් වන ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන (නීතීඥ) හසාරා ලියනගේ, (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර සහ (නීතීඥ) සාගරිකා අතාවුද යන මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූ අතර ගරු නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, (නීතීඥ) තුෂාරි ජයසිංහ සහ (නීතීඥ) අනුෂ්කා තිලකරත්න  යන මහත්මීහු මාර්ගගත තාක්ෂණය ඔස්සේ (online) රැස්වීමට සම්බන්ධ වූහ. 


2026-06-05

2026 සඳහා වූ ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දැනුවත් කෙරේ

රී බිල්ඩින් ශ්‍රී ලංකා (Rebuilding Sri Lanka) ව්‍යවස්ථාපිත අරමුදලක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ සාකච්ඡා කෙරේ2026 සඳහා වූ ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දැනුවත් කිරීම සිදු විය. ඒ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර, සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, චම්පික හෙට්ටිආරච්චි සහ (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා (02) රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී සමෘද්ධි බැංකු විගණනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර, පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ 2025 වර්ෂයට අදාළ විගණනය කිරීම සඳහා 2023 සහ 2024 වර්ෂවල විගණන දෙක අවසන් කළ යුතු බවයි. එම විගණනයන් බාහිර පාර්ශ්ව වෙත පැවරීමේ ප්‍රසම්පාදන කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බව නිලධාරීහු මෙහිදී පැවසූහ. මෙම කටයුතු සඳහා නිලධාරීන් 300ක් පමණ අවශ්‍ය බව ඇස්තමේන්තු කර තිබුණද, වසර 1 1/2ක් තුළ මේ සඳහා නිලධාරීන් 200ක් බඳවා ගැනීම ප්‍රමාණවත් බව විගණකාධිපතිතුමිය මෙහිදී පැවසුවාය. එසේම, මෙම බැංකුව විගණනයට අදාළව නිශ්චිත ක්‍රමවේදයක් (Frame Work) නොපවතින බවද නිලධාරීහු අවධාරණය කළහ. මේ අනුව, මේ පිළිබඳව අධ්‍යයනය කර සමෘද්ධි බැංකු හා සමිති විගණනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය යෝජනාවක් ලෙස කාරක සභා‍ව වෙත ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.   තවද, සයිබර් ආරක්ෂණ (Cyber Security) ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යෙ‍ාමු වූ අතර විගණන කටයුතු සඳහා තොරතුරු තාක්ෂණ විශේෂඥයින් දෙපාර්තමේන්තුවේ නොමැති බවත්, පද්ධති විගණනයේදී එය බාහිර පාර්ශ්ව (External Auditors) විසින් සිදු කරන බවත් ජාතික විගණන කාර්යාලයේ  නිලධාරීහු වැඩිදුරටත් පැවසුහ. මීට අමතරව රී බිල්ඩින් ශ්‍රී ලංකා (Rebuilding Sri Lanka) වැඩසටහනට අදාළ ගිණුම සම්බන්ධයෙන්ද ස‍ාකච්ඡා කිරීම සිදුවිය. Rebuilding Sri Lanka යනුවෙන් ව්‍යවස්ථාපිත අරමුදලක් නොමැති බව එහිදී අනාවරණය වූ අතර, මෙය භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් යටතේ තිබෙන ගිණුමක් පමණක් බව ජාතික විගණන කාර්යාල නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම එමගින් මෙතෙක් කිසිදු ගෙවීමක් සිදු කර නොමැති බවත් නිලධාරීහු පැවසූහ.


2026-06-03

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මහජන අදහස් හා යෝජනා කැඳවයි

දසවැනි පාර්ලිමේන්තුව  සඳහා වූ,  මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවීම ආරම්භ කොට තිබේ.මෙම විශේෂ කාරක සභාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ගරු  (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් සහ සාමාජික මන්ත්‍රීවරයන් 11 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එහි අරමුණ වන්නේ , මැතිවරණ සම්බන්ධයෙන් වන නීති, විශේෂයෙන්ම ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනත සහ එම පනත්වලට වසර ගණනාවක් තුළ සිදු කරන ලද සංශෝධන සහ එම පනත්වල විධිවිධානයන්ට අදාළ වන විශේෂ විධිවිධාන පනත් සමාලෝචනය කිරීම, මෙම පනත් ප්‍රතිශෝධනය කිරීමේ, සංශෝධනය කිරීමේ සහ ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය ඇගයීම සහ මැතිවරණ සම්බන්ධයෙන් වන වර්තමාන නීති (පළාත් සභා ඡන්ද විමසීම හැර) සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ සංශෝධන නිර්දේශ කිරීම යි.එම කාරක සභාවේ දී සලකා බැලීම සඳහා අදාළ විෂයපථය යටතේ අදහස්/ යෝජනා ඉදිරිපත් කිරීමට මහජනතාවට / ඒ පිළිබඳ උනන්දුවක් දක්වන වෙනත් පාර්ශ්වයන්ට සහ සංවිධානවලට අවස්ථාව ලැබෙන අතර, එම අදහස්/ යෝජනා 2026 ජූලි මස 15 දිනට ප්‍රථම පහත ලිපිනයට හෝ legis_com@parliament.lk විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකිය. ලිපිනය: කාරක සභාවේ ලේකම්මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ                        


2026-06-03

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙයි

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම   මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී  පැවැත්විණි. පොලිස් ස්ථාන ශක්තිමත් කිරීම, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සඳහා පොලිස් නිලධාරීන්ගේ නියෝජනය සහ කිලිනොච්චිය ආශ්‍රිත වැලි ජාවාරම මැඩලීම ඇතුළු පොලිස් සේවාව හා සම්බන්ධව ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පොලිස්පතිවරයා,  මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි. | Text.privacy_policy

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks