2025-03-26
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දසවැනි පාර්ලිමේන්තුව සඳහා පළමුවැනි රැස්වීම පසුගියදා (මාර්තු 19) දින කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පසුගිය
කාලයේ ඇතිවූ බහාලුම් තදබදය තුළ ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක්
නිදහස් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු මෙහිදී විමසීම් සිදුකළහ. මෙය රජයේ
වුවමනාව මත සිදුකළායැයි රජයට ඇතැම් පාර්ශ්ව දේශපාලනිකව චෝදනා කරන බවත් ඒ
අනුව මේ සම්බන්ධයෙන් නිවැරදි පැහැදිළි කිරීමක් නිලධාරීන්ගේ පාර්ශ්වයෙන්
සමාජගත කළ යුතු බවත් මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. මෙහිදී අදහස් දක්වමින් රේගු
අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙවැනි තදබදයකදී අනුගමනය කරන තාක්ෂණික
ක්‍රමවේදයක් ලෙස මීට පෙර අවස්ථා 4කදීත් මෙලෙස කන්ටේනර් නිදහස් කර ඇති
බවයි. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් භාණ්ඩාගාර නියෝජ්‍ය
ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවත් ඔවුන්ට මෙම කරුණු
වාර්තා කළ බවත් රේගු අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේය. මන්ත්‍රීවරු පෙන්වා
දුන්නේ මේ සම්බන්ධයෙන් රජය අපහසුතාවයට පත් කරමින් ව්‍යාජ තොරතුරු සංසරණය වන
බැවින් ඉතා පැහැදිළිව මෙම සිදුවිීමට අදාළ කරුණු නිරවුල් විය යුතු බවයි.
සමාජ
සුබසාධන මණ්ඩලය විසින් අස්වැසුම ප්රතිලාභ ලබාදීම සඳහා මීට පෙර රැස්කළ
තොරතුරුවල ගැටලු පවතින බව මන්ත්‍රීවරු මෙහිදී කාරක සභාවේ අවධානයට යොමු කළහ.
මේ සඳහා දත්ත රැස්කිරීමේදී රාජ්‍ය නිලධාරීන් එයට අකමැත්ත පළ කිරීම
හේතුවෙන් විවිධ පුද්ගලයන් මෙයට සම්බන්ධ වූ බවත් ඒ හරහා දත්ත එකතු කිරීමේදී
සිදුවූ අඩුපාඩු සිදුවූ බවත් සමාජ සුබසාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා
මෙහිදී පැවසීය. ඉල්ලුම්පත්‍ර ලක්ෂ 8කට ආසන්න ලැබූ බවත් මින් ලක්ෂ 7කට ආසන්න
ප්‍රමාණයක් සංගණන කටයුතු අවසන් බවත් ඒ අනුව පෙර පැවති අඩුපාඩු සකස් කර ලබන
ජූලි වන විට එම කටයුතු අවසන් කරන බවත් ඔහු පැවසීය. සංගණනයේදී සත්‍ය
වශයෙන් ප්රතිලාභ හිමිවිය යුතු ප්‍රද්ගලයන් ඉවත් නොවීමට වගබලා ගතයුතු බවත්
මන්ත්‍රීවරු අවධාරණය කළහ. එසේම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුමේ වෙනස්වීම් සකසා
ගැනීම වැනි සුළු යාවත්කාලීන කිරීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා
සිදුකිරීමට අවස්ථාව ලබාදීමේ අවශ්‍යතාවයත් ඔවුහු මෙහිදී පෙන්වා දුන්හ.
අස්වැසුම ලාභීන්ට වැඩිහිටි දීමනාව ලබාදීමේදී ප්රතිලාභියාටම එය නොලැබී පවුලේ සාමාජිකයෙකුගේ බැංකු ගිණුමට බැරවීම හරහා ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් අදාළ මුදල තැපැල් කාර්යාල හරහා පමණක් ලබා ගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙසට ද ඉල්ලීමක් ද ඉදිරිපත් විය. මෙහිදී සුබසාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය සමග සාකච්ඡාකර වඩාත් ප්‍රායෝගික තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවයි.
දේශීය ආදයම් පනත සංශෝධනය කිරීම මගින් 15% ක සේවා අපනයන බද්දක් අයකිරීම පිළිබඳව ද මන්ත්‍රීවරු මෙහිදී කරුණු විමසූහ. මුදල් නියෝජ්‍ය අමාත්‍යවරුන් පෙන්වා දුන්නේ සාධාරණ බවේ මූලධර්මය යොදා ගනිමින් මෙම 15% උපරිම සීමාවකට යටත්ව මෙම පියවර ගත්බවයි. එසේම මෙම මෙම 15% අගය ලැබෙන ආදායම මත අය කරන බවට වැරදි මතයක් සමාජගතවන බවත් එම බද්ද ආදායමට නොව ලාභයට පමණක් අයකරන බවත් ඔවුහු පෙන්වා දුන්හ. එසේම එක් රටකදී බදු ගෙවනු ලැබූ විට නැවත බදු අයකිරීම වැළැක්වීමට හෙවත් ද්විත්ව බදුකරණය වැළැක්වීමට පියවර ගෙන ඇති බවත් ඔවහු පෙන්වා දුන්හ.
එසේම 36%ක උපරිම සීමාවකට යටත්ව අනෙකුත් පුද්ගලයන් ආදායම් බදු ගෙවන පසුබිමක මෙම බදු අය කිරීම 15%ක උපරිම සීමාවකට යටත්ව සිදුකරන බවත් අගය මීට පෙර මේ සදහා යෝජනාවී තිබූ 30%ක අගය අඩකින් අඩුකර 15% අගයට ගෙනා බවත් නියෝජ්‍ය අමාත්‍යවරු පෙන්වා දුන්හ. ඒ අනුව සමාජ සාධාරණත්වය පදනම් කරගනිමින් සියලු දෙනා බදුකරණයට යටත් කර ගැනීම වෙනුවෙන් ගත් මෙම තීරණයෙන් කිසිවකුටත් අගතියක් සිදු නොවන බවත් ඔවුහු අවධාරණය කළහ.
2024 වසරේ ජන හා නිවාස සංගණනයේ වත්මන් තත්ත්වය පිළිබඳව ද අවධානය යොමු විය. නිලධාරීන් 40000ක ප්‍රමාණයක් පුහුණුවකින් අනතුරුව මීට යොදවාගත් බවත් එම කටයුතු අවසන් අදියරේ ඇති බවත් මෙහිදි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසුහ. සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ දත්ත මත පදනම්ව බැවින් නිවැරදි දත්ත රැස් කිරීමේ අවශ්‍යතාව මෙහිදී මන්ත්‍රීවරු අවධාරණය කළහ.
පැරණි පනත් වෙනුවට නව ජන සංඛ්‍යාලේඛන පනතක් කෙටුම්පත් කර ඇති බවත් ඒ අනුව ඉදිරියේදී වඩාත් විශ්වසනීයව දත්ත රැස්කිරීම සඳහා ක්‍රමවේදයක් හදුන්වාදීමට අපේක්ෂා කරන බවත් එම නිලධාරීහු කාරක සභාවට පැවසූහ.
අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු එම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහු පිරිසක්ද පාර්ලිමේන්තුවේ අධ්යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ අධ්යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-11-27
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් විය. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් කොළඹට නුදුරින් පිහිටි අක්කර 27 ක භූමි ප්‍රමාණයක් ලබා ගෙන, සිනමා, කලා සංස්කෘතික කටයුතු මෙන්ම භාවනා සහ බෞද්ධ දර්ශනය හැදෑරීමේ ආයතන සඳහා "කලා සංස්කෘතික ගම්මානයක්" ස්ථාපිත කිරීම සඳහා ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව කාරක සභා සභාපතිවරයා සඳහන් කළේය.පුරාවිද්‍යාත්මක පරික්ෂණ සිදු කිරීමේදී කැණීම් සිදු කිරීමෙන් තොරව, GPR (Ground Penetrating Radar) ඇතුළු නවීන තාක්ෂණය භාවිත කරමින් පොළොව යට පවතින පුරාවස්තු පරීක්ෂා කිරීමේ නවීන ප්‍රවේශයක් අනුගමනය කරන බව කාරක සභා සභාපතිවරයා ඇතුළු නිලධාරීහු මෙහිදී පැහැදිළි කළහ. දහම් පාසල් අවසාන විභාගය සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය එකම කාලසීමාව තුළ යෙදීමෙන් සිසුන්ට සහ දෙමාපියන්ට සිදු වන අපහසුතාව මඟහරවා ගැනීම සඳහා, අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඒකාබද්ධ විභාග කැලැන්ඩරයක් සකස් කිරීමටත්, පළාත් හා කලාප මට්ටමින් විභාග දින සම්බන්ධයෙන් ගැටලු ඇති වීම වැළැක්වීමට අදාළ උපදෙස් යැවීමටත් සාකච්ඡා කෙරිණි.හානියට පත් කුරුණෑගල රාජ සභා මණ්ඩපය සංරක්ෂණය කිරීම පිළිබඳව ද අවධානය යොමු විය. මෙම ස්ථානයේ පැවති හිමිකාරීත්ව හා පරිපාලන ගැටලු නිරාකරණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, කුරුණෑගල නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව ඒකාබද්ධ සාකච්ඡාවක් පවත්වා කඩිනමින් අවසන් විසඳුමකට පැමිණීමට මෙහිදී තීරණය විය.රාමසාන් සමයේදී විදේශයන්ගෙන් පරිත්‍යාග ලෙස ලැබෙන රටඉඳි දිවයින පුරා පිහිටි මුස්ලිම් පල්ලි 2,700 ක් අතර සාධාරණව හා විනිවිදභාවයෙන් යුතුව බෙදා හැරීම සිදු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය. මේ සඳහා නිසි පරිිදි ලේඛනගත ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් මෙහිදී සාකච්ඡා විය.මීට අමතරව, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික ක්ෂේත්රවලවලට අදාළව මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවට ඉදිරිපත් කළ තවත් කරුණු පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ගමගෙදර දිසානායක සහ මුනීර් මුලාෆර් යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන නියෝජනය කරනු ලබන නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-11-26
ලිංගික අපයෝජන සම්බන්ධයෙන් විදේශ රටවලදී වරදකරුවන් වී මෙරටට පිටුවහල් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සහ සංසදය විසින් පත් කරන ලද අනු කමිටුවේ අවධානය යොමු වී තිබේ.කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වය වැළැක්වීම සඳහා ආයතන අතර පවතින සම්බන්ධීකරණ ගැටලු සහ සන්නිවේදන බාධා කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර ගැනීම මෙන්ම ඒ සඳහා රටේ පවතින නීතිමය හා ආයතනික ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ සංසදය විසින් පත් කරන ලද අනු කමිටුව එහි සම සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ රැස්වීමක් ලෙස පසුගියදා (නොවැ. 23) පාර්ලිමේන්තුවේ දී රැස් විය.මෙහිදී අදහස් දැක්වූ සංසදයේ සභාපතිනිය විදේශ රටවලදී ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වරදකරුවන් වී මෙරටට පිටුවහල් කරන පුද්ගලයන්ගේ පෙර අපරාධ වාර්තා පිළිබඳව මෙරට අදාළ ආයතන දැනුවත් නොවීම හේතුවෙන් ඔවුන් සාමාන්‍ය පුද්ගලයන් ලෙස සමාජගත වීමට ඉඩ ඇති බව පෙන්වා දුන්නාය. එමඟින් ඔවුන් නැවතත් ලිංගික අපරාධවල නිරත වීමේ අවදානමක් පවතින බැවින්, විදේශීය අධිකරණ මඟින් ලබා දෙන එවැනි නඩු තීන්දු මෙරට තුළ පිළිගැනීම සහ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.ඒ අනුව, විදේශ රටවලදී ලිංගික අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර සම්බන්ධීකරණ ක්‍රමවේදයක් සකස් කිරීම, එවැනි පුද්ගලයන් පිළිබඳ තොරතුරු පොලිස් අපරාධ වාර්තා පද්ධතියට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය හා තාක්ෂණික ක්‍රමවේද හඳුන්වාදීම, ළමයින් සමඟ කටයුතු කරන ආයතනවල රැකියා සඳහා බඳවා ගැනීමේදී අනිවාර්ය පසුබිම් පරීක්ෂාවක් සිදු කිරීම සහ නැවත අපරාධ සිදුවීම වැළැක්වීම සඳහා අවදානම මත පදනම් වූ නීත්‍යනුකූල අධීක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මේ සඳහා අවශ්‍ය නීති සංශෝධන හෝ නව නීති හෝ හඳුන්වාදීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය විය.මීට අමතරව, මෙරට පරිවාස භාරයේ පසුවන දරුවන්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය සහ යහපැවැත්ම තහවුරු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඒ අනුව, පරිවාස භාරයේ පසුවන චූදිත දරුවන් සහ වින්දිත දරුවන් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් සෑම මාස හයකට වරක් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කර, ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් සහ චර්යාත්මක වාර්තාවක් පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා විය.එමෙන්ම, පළාත් සභා යටතේ පාලනය වන පරිවාස ආයතන මධ්‍යම රජය යටතට පවරා ගැනීමේ හැකියාව සහ එම ආයතනවල ප්‍රධාන තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීමේදී පරිවාස සේවයේ පළපුරුදු නිලධාරීන්ට ප්‍රමුඛත්වය ලබා දීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.තවද, 2005 අංක 34 දරන ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමේ පනත සහ 1999 අංක 37 දරන නඩත්තු පනත ඇතුළු කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ පනත් කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.එසේම, දරුවන් සහ කාන්තාවන් සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානය යොමු විය. රජයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් අධිකරණ තීන්දු ලබා දීමේදී ඇති වන ප්‍රමාදය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර ඒ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් විසඳුම් සහ විධිමත් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය ද කාරක සභාව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත දැනුම් දුන්නේය.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ගරු සාමාජිකා ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි සහ සංසදය විසින් පත් කරන ලද අනු කමිටුවේ ගරු සාමාජිකාවන් වන සමන්මලී ගුණසිංහ, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, නීතිඥ අනුෂ්කා තිලකරත්න සහ නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ යන මහත්මීහු සහභාගී වූහ.එසේම, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
2026-11-26
2026 ආසියානු කාන්තා පාර්ලිමේන්තු සංසදයේ (Asian Women Parliamentary Caucus) වාර්ෂික රැස්වීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය සම සභාපතිනිය වන නීතිඥ චමින්ද්‍රානී කිරිඇල්ල මහත්මිය සහභාගී වූවාය.මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවති මෙම රැස්වීමේදී ඉන්දියාව, පාකිස්තානය, ජපානය, නේපාලය, මාලදිවයින, තායිවානය, පිලිපීනය සහ මැලේසියාව නියෝජනය කරන කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සමඟ අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසුණු අතර, කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ දේශපාලනය තුළ කාන්තා නායකත්වය ශක්තිමත් කිරීම සඳහා කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු විය.මෙම නිල සංචාරය අතරතුර මැලේසියානු පාර්ලිමේන්තුව නැරඹීමට ද අවස්ථාව සැලසුණු අතර, එහිදී පැවති විශේෂ මාර්ගෝපදේශක චාරිකාව තුළින් එරට පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලීන් සහ ව්‍යවස්ථාදායක කටයුතු පිළිබඳව වටිනා අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. එමෙන්ම මැලේසියානු අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා හමුවීමට ද අවස්ථාව උදා විය.තවද, මැලේසියාවේ ජර්මානු තානාපතිනියගේ නිල නිවස වෙත ගොස් ඇය හමුවීම ද මෙම සංචාරයේ තවත් සුවිශේෂී අවස්ථාවක් වූ අතර, එය ජාත්‍යන්තර මිත්‍රත්වය සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ලැබුණු අවස්ථාවක් විය.මෙම සංචාරය තුළින් කලාපීය කාන්තා පාර්ලිමේන්තු නියෝජිතයන් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමටත්, ජාත්‍යන්තර පාර්ලිමේන්තු සබඳතා සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීමටත් වැදගත් අවස්ථාවක් සැලසිණි.
2026-11-26
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. විශේෂයෙන්ම, ගුරු ස්ථාන මාරුවීම්, පාසල්වල භෞතික සම්පත් සංවර්ධනය, පෙර පාසල් අධ්‍යාපනය, පාසල් දිවා ආහාර වැඩසටහන සහ විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.ඒ එම කාරක සභාව ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 20) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී එකම පාසලක වසර 10 කට වැඩි කාලයක් සේවය කළ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදු කිරීමේදී පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම ගුරු මාරු මණ්ඩලය විසින් තීරණය කර ඇති කිලෝමීටර් 30ක දුර සීමාව, හම්බන්තොට, පොලොන්නරුව සහ අනුරාධපුර වැනි දිස්ත්‍රික්කවල දුරස්ථ පාසල් සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු මතු කරන බැවින් එම සීමාව නැවත සමාලෝචනය කරන ලෙස මාරු මණ්ඩලයට දැනුම් දීමට කාරක සභාව විසින් තීරණය කරන ලදි.එමෙන්ම, ඇතැම් ජාතික පාසල්වල වසර 10 කට වැඩි කාලයක් සේවය කළ ගුරුවරුන්ට වෙනත් ජාතික පාසල් නොමැතිවීම හේතුවෙන් ස්ථාන මාරුවීම් ලබා ගැනීමේදී මතුවන ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි. ඒ අනුව, ස්ථාන මාරුවීම් සඳහා පමණක් ජාතික පාසල් සහ පළාත් පාසල් අතර ගුරුවරුන් මාරු කිරීමේ හැකියාව පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට තීරණය විය.ගුරු සේවා කාලය සම්බන්ධ තොරතුරු ඇතැම් පාසල්වලින් නිවැරදිව ඉදිරිපත් නොකිරීම සහ ගුරු දත්ත පද්ධතියේ පවතින අඩුපාඩු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව, අදාළ තොරතුරු වසන් කරන බවට සැක කෙරෙන පාසල් වෙත භෞතිකව ගොස් පරීක්ෂා කිරීමටත්, ගුරු දත්ත පද්ධතියේ තොරතුරු යාවත්කාලීන කර සේවා කාලය නිවැරදිව ගණනය කිරීමටත් පියවර ගැනීම පිළිබඳව සාකච්ඡා විය.උතුරු පළාතේ ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය වෙනුවට 2027 වසරේ සිට ක්‍රියාත්මක වන නව ප්‍රතිපත්තියක් සකස් කිරීමට ද මෙහිදී අවධානය යොමු විය. පාසල්වල අඩක් නිමකර අතහැර දමා ඇති ගොඩනැගිලි සහ වැඩ අවසන් කර තිබියදීත් පාසල් වෙත භාර නොදුන් ගොඩනැගිලි සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. විශේෂයෙන්ම කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් අවසන් කර භාර නොදීම හේතුවෙන් එහි ශබ්ද පාලන පැනල සහ වායු සමීකරණ පද්ධති විනාශ වෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් සිදු කිරීමට තීරණය විය.දිස්ත්‍රික් මට්ටමින් පාසල් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා වූ අතර, වවුනියාව දිස්ත්‍රික්කයේ චෙම්බලම්කුලම් සහ තාජනිකුලම් පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකකවල අඩුපාඩු සපුරාලීම සඳහා පළාත් ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය විය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් පාසල් පහක ව්‍යාපෘති 21 න් ව්‍යාපෘති 12 ක් සඳහා ඇස්තමේන්තු අනුමත කර ප්‍රතිපාදන ලබාදීමට ද තීරණය කර ඇත.පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් සකස් කර තිබුණද එය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොමැතිවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් පළාත් සභා සහ අදාළ අමාත්‍යාංශ අතර පවතින වගකීම් බෙදීයාම හේතුවෙන් මතුවන පරිපාලන හා අධීක්ෂණ ගැටලු විසඳීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.පාසල් සිසුන් සඳහා ලබාදෙන නොමිලේ දිවා ආහාර වැඩසටහනේදී නිකුත් කර ඇති මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය නොකිරීම සහ ආහාරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මතුවන ගැටලු ද මෙහිදී අවධානයට ලක් විය.මේ අතර, පාසල්වල පවතින මානව සම්පත් සම්බන්ධ ගැටලු සහ ඒවාට විසඳුම් ලබා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් කර සකස් කරන ලද “ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ පවතින මානව සම්පත් ඌන උපයෝජනය තුරන් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් විද්වත් කමිටු වාර්තාව” නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙෙනවිය විසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලදී. පාසල්වල පවතින මානව සම්පත් සම්බන්ධයෙන් අනුකාරක සභාව විසින් ලබාදුන් උපදෙස් අනුව සකස් කරන ලද මෙම වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානයට යොමු විය.කාරක සභා රැස්වීම සඳහා අමාත්‍යාංශ නිලධාරීන් සහ අධ්‍යාපන ක්ෂේත්රයට අදාළ පාර්ශ්වයන් ද සහභාගී වූහ.