01

E   |   த   |  

2025-03-24

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

“ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම් කරුවෙක් ලෙස ලියාපදිංචි වී සභාවටම වැඩි මිල ගණන් ඉදිරිපත් කරලා” - ‘කෝප්’ අනුකාරක සභාවේදී අනාවරණය වෙයි

  • ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන්  මාලාව,  සමීක්ෂණ වර්තාවකින්  අනතුරුව සිදුකළ  බව හිටපු සභාපතිවරයා පැවසුවද එවැනි වාර්තාවක් සභාව සතුව නෑ - ජාතික තරුණ සේවා සභා නිලධාරීන් පවසයි.
  • කැබිනට් තීරණයක් නොසලකා ,දේශපාලන  හේතුන් මත  ගැටලු  සඳහා මුහුණ දුන් නිලධාරීන්ට වන්දි ලබාදුන්  කමිටු 3ක් ගැන පුර්ණ වාර්තාවක්  ලබාදෙන්න - කෝප් අනුකාරක සභාව.

 

ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන  ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම් කරුවෙක් ලෙස ලියාපදිංචි වී සභාවටම මිල ගණන් ඉදිරිපත් කිරීමේදී වැඩි මිල ගණන් ඉදිරිපත් කර ඇති බව කෝප් අනුකාරක සභාවේදී අනාවරණය විය.

මෙම කරුණු අනාවරණය වුයේ 2022 සහ  2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා, වර්තමාන කාර්ය සාධනය සහ 2025 පෙබරවාරි 18 සහ 20 යන  දිනවලදී පවත්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් වලදී ගනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචනය පිණිස පත්කළ අනුකාරක සභාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය මාර්තු 19 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී ස්මාර්ට් යුත් වැඩසටහන් මාලාවේ තුරග තරඟ පිටියේ පැවති සංගීත ප්‍රසංගය ද ඇතුළත්ව මෙම වැඩසටහන සම්බන්ධයෙන්ද පවතින සියලු වීඩියෝ පට කාරක සභාවට ලබා දෙන ලෙස හිටපු සභාපති පසිඳු ගුණරත්න මහතාට ලබාදුන් නිර්දේශය  පිළිබඳව අනු කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා සිටින ලදී. ඒ අනුව  එම වීඩියෝ පට තමන්ට ලබාදී ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. එහිදී ලක්ෂ 120ක මුදලක් මේ වෙනුවෙන් අදාළ නිෂ්පාදන ආයතන වෙත ලබාදීම පිළිබඳව කාරක සභාව දීර්ඝව කරුණු විමසීය. ඒ  අවස්ථාවේදී අනාවරණය වුයේ ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන  ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවෙක් ලෙස අදාළ සැපයුම වැඩි මුදලකට ලබාගෙන එම සමාගම විසින් තවත් ආයතන ඔස්සේ එය  සිදුකර ඇති බවයි.

තවද ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන්  මාලාව සමීක්ෂණ වාර්තාවකින්  අනතුරුව  සිදුකළ  බව හිටපු සභාපතිවරයා පැවසුවද එවැනි වර්තාවක් සභාව සතුව නොමැති බව ජාතික තරුණ සේවා සභා නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

මෙහිදී අදහස් දැක්වූ කාරක සභා  සභාපතිවරයා ස්මාර්ට් යුත්  වැඩසටහන් මාලාව  තුළ  විශාල  මූල්‍ය වංචාවක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් ස්වාධීන පරීක්ෂණයක් සිදුකර පුර්ණ වාර්තාවක් මාස 3ක් තුළ  කාරක සභාවට යොමු කරන ලෙසත්, ජාතික තරුණ සේවා සභාව මගින් ද පරීක්ෂණයක් සිදුකර නිත්‍යානුකූල  පියවරයන්  ගැනීමට  කටයුතු කරන ලෙසත්  නිලධාරීන්ට උපදෙස්  ලබාදුන්නේය.

එමෙන්ම දේශපාලන  හේතුන් මත  ගැටලු  සඳහා මුහුණ දුන් නිලධාරීන් 40 දෙනෙකු  සඳහා වන්දි ලබාදීමට,  විශ්‍රාමික නිලධාරීන්ගෙන් යුත් කමිටුවක්  පත් කරන ලෙස ලබා දී තිබු  කැබිනට් තීරණයක් නොසලකා හරිමින් සභාව මගින් වෙනම කමිටු 3ක් පත්කර වන්දි  ලබාදීම පිළිබඳව ද කාරක සභාවේදී  සාකච්ජා විය. ඒ අනුව මෙලෙස වන්දි ලබාගත් නිලධාරීන්,ලබා දුන් වන්දි මුදල්  ප්‍රමාණයන්, මෙම උසස්වීම් ලබා දුන් දිනයන් ,ගෙවීම් කළ දිනයන් ,අනුමතිය ලබා දුන් දිනයන්  හා තීන්දු ලබා දුන් නිලධාරීන් පිළිබඳව පුර්ණ වාර්තාවක්   සති  2ක්  තුළ ලබාදීමට කටයුතු කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මේ අතර සී/ස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමූපකාර සමිති සංගමය (NYSCO) මගින් පිරිනමනු ලබන ඩිප්ලෝමාවක්  පිළිබඳව  ලැබුණු පැමිණිල්ලක්  කාරක සභාවේදී  දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැණිනි. එහිදී අනාවරණය වුයේ  NYSCO මගින් ක්‍රියාත්මක කරන එම ඩිප්ලෝමාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ සම්බන්ධයක් නොමැති බවය. මෙහිදී  අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා NYSCO ආයතනය  වර්තමානය වනවිට තරුණ සේවා සභාවේ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බව පසුවේය. තවද  NYSCO ආයතනයේ මහා සභාවේ සාමාන්‍යාධිකාරිවරයා තෝරාගැනීමේ වයස අවුරුදු 35ක් ලෙස පැවතියද  එම වයස් සීමාව මේ වනවිට  අවුරුදු 50 දක්වා ඉහළ දමා  ඇති බව  ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුහ. ඒ අනුව ජාතික තරුණ සේවා සභාවේ නාමය මෙ‍ෙලස අවභාවිත කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා මේ  පිළිබඳව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් විමර්ශනයක් සිදුකර අවශ්‍ය තීරණ ගැනීමට  උපදෙස් දුන්නේය. එමෙන්ම  NYSCO හි  ප්‍රධාන නිලධාරීන් කැඳවා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයාට ද සභාපතිවරයා විසින් උපදෙස් ලබා දුන්නේය. තවද මේ සම්බන්ධව කාරක සභාවේ නිර්දේශ සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයාට යොමු කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

තවද ජාතික තරුණ සේවා සභාවේ  සහ ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගමේ  වාර්ෂික වාර්තා සහ  මුල්‍ය වාර්තා නියමිත කාල රාමු තුලදී  පාර්ලිමේන්තුවට සභාගත කිරීම පිළිබඳව මෙන්ම විගණන හා කළමනාකරණ කමිටු නිසි පරිදි පැවැත්වීම පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

 මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්මලී ගුණසිංහ, ජගත් මනුවර්ණ, අසිත නිරෝෂණ එගොඩ විතාන,  නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ද විගණකාධිපති  ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා  ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වී සිටියහ.




සම්බන්ධිත පුවත්

2026-10-01

ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා යෝජනා සලකා බැලේ

දැනට ක්‍රියාත්මක වන 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත (Prevention of Domestic Violence Act, No. 34 of 2005) වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සම්බන්ධයෙන් යෝජනා සලකා බැලීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සිදු විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. සංසදයේ සභාපතිනි ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහභාගී නොවීම හේතුවෙන්, සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරියන් වන නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ සමන්මලී ගුණසිංහ යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ එමඟින් පීඩාවට පත්වන පුද්ගලයන්ට කඩිනම් නීතිමය සහන ලබා දීම මෙම පනතේ මූලික අරමුණ වේ. මෙම පනත වෙනුවට යෝජිත නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මුස්ලිම් කාන්තා පර්යේෂණ හා ක්‍රියාකාරී සංසදය (Muslim Women’s Research and Action Forum - MWRAF) විසින් යෝජනා රැසක් මෙහිදී ඉදිරිපත් කරන ලදී.ප්‍රචණ්ඩත්වයට ලක් වන වැඩිහිටියන් සහ දරුවන් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි පුද්ගලයන් හා නිලධාරීන්ගේ පරාසය පුළුල් කිරීම, අයදුම් කිරීමේ ක්‍රියාවලිය සරල කිරීම, අතුරු ආරක්ෂණ නියෝග වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ ආරක්ෂණ නියෝග සම්බන්ධයෙන් පසු විපරම් ක්‍රමවේද ශක්තිමත් කිරීම ඇතුළු කරුණු මෙහිදී ඉදිරිපත් කෙරිණි.එමෙන්ම, නීති සම්පාදනයට පමණක් සීමා නොවී, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන්ගේ සැබෑ අත්දැකීම් මත පදනම් වූ නීතිමය හා ආයතනික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ද මෙහිදී අවධාරණය කෙරිණි.මීට අමතරව, ක්‍රිසාලිස් ශ්‍රී ලංකා (Chrysalis Sri Lanka) සංවිධානය විසින් කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය හා නියෝජනය ඉහළ නැංවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු කරන ලදී. කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීමෙන් ඔබ්බට ගොස්, ප්‍රතිපත්ති සම්පාදනය ඇතුළු තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි කාන්තාවන්ගේ සහභාගීත්වය පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පවතින නීතිමය ආරක්ෂණ ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ ඔවුන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේදී ද අවධානය යොමු කිරීමට මෙහිදී එකඟතාව පළ විය.මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-09-30

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන ව්‍යුහය වෙනස් කිරීමට නව පනත් කෙටුම්පතක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය සම්පූර්ණයෙන් වෙනස් කිරීම සඳහා සකස් කළ නව පනත් කෙටුම්පත්  ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව තරුණ කටයුතු සහ ගරු ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය.නව ක්‍රිකට් පාලන ව්‍යුහය සඳහා ස්වාධීන අධ්‍යක්ෂවරුන් ඇතුළත් කිරීමට යෝජනා කර ඇති අතර, නව නීතිරීති යටතේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඍජුව තීරණ ගැනීම සිදු නොකරන අතර, එම සංගම් පළාත් ක්‍රිකට් සංගම් හරහා කටයුතු කිරීමට නියමිත බව කාරක සභාවේදී ප්‍රකාශ විය.පාසල් ක්‍රිකට් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් වාර්ෂිකව රුපියල් මිලියන 900ක මුදලක් සහ උපකරණ ලබා දෙන බවත්, පුහුණුකරුවන් බඳවා ගැනීම සහ ක්‍රීඩක තේරීම් ක්‍රමවේදය විධිමත් කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සමඟ වැඩපිළිවෙළක් සකස් කිරීමට යෝජනා වී ඇති බවත් කාරක සභාවට අනාවරණය විය.එමෙන්ම, ක්‍රීඩා සංගම් සම්බන්ධ විගණකාධිපති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කළ අතර, ක්‍රීඩා සංගම් 33ක් අදාළ නිර්දේශ සම්පූර්ණ කර ඇති බවත්, තවත් සංගම් 33ක් සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමට නියමිත බවත් කාරක සභාවේදී ප්‍රකාශ විය.මහජනතාව සෞඛ්‍ය හා ව්‍යායාම කටයුතු සඳහා භාවිත කරන ඇවිදින මංතීරු සහ ක්‍රීඩා සංකීර්ණවලින් ගාස්තු අය කිරීම වහාම අත්හිටුවීමට අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇති අතර, ක්‍රීඩාව ලාභ ලබන ව්‍යාපාරයක් ලෙස නොව ජාතික සෞඛ්‍යය හා ප්‍රජා සුබසාධනය සඳහා වන රාජ්‍ය වගකීමක් ලෙස පවත්වාගෙන යා යුතු බවට වූ අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය අවධාරණය කෙරිණි.සෑම පළාතකටම අවම වශයෙන් එක් කෘත්‍රිම ධාවන පථයක්(synthetic track) ලබා දීමේ සැලසුම යටතේ මීළඟ කෘත්‍රිම ධාවන පථය අනුරාධපුරයේ ඉදිකිරීමට නියමිත බවත් සඳහන් විය. දැනට දිවයිනේ කෘත්‍රිම ධාවන පථ දෙකක් පමණක් පවතින බවද කාරක සභාවේදී සඳහන් විය.අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පහසුකම් සංවර්ධනය, මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගනය සහ හිඟුරක්ගොඩ ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය, බදුල්ල හාලිඇල ප්‍රදේශයේ ක්‍රීඩා පහසුකම් වැඩිදියුණු කිරීම සහ කළුතර බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගනයේ පවතින ගැටලු විසඳීම පිළිබඳවද කාරක සභාවේදී කරුණු සාකච්ඡා කෙරිණි.තවද, ජාත්‍යන්තර තරඟ සඳහා රාජ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන නිල ජාතික කණ්ඩායම් සහ නිල වශයෙන් හඳුනාගත් ජාත්‍යන්තර තරඟාවලි සඳහා පමණක් ප්‍රතිපාදන ලබා දෙන බවත්, ජාතික තේරීම් හා විදේශ තරඟ සඳහා කණ්ඩායම් යැවීමේදී කිසිදු ජාතියක් හෝ ප්‍රදේශයක් හෝ මත පදනම්ව වෙනස්කම් සිදු නොකරන බවත් කාරක සභාවට අනාවරණය විය.මෙම අවස්ථාවට ගරු තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිවර්තන් කමිටුවේ සමාජිකයින්  ඇතුළු පිරිසක් සහභාගි වූහ.


2026-09-30

සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව අනුකාරක සභාවේ අවධානය

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද එම  අනුකාරක සභාව, එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියගේ සභාපතිත්වයෙන්  පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය.ලෝක බැංකුවේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන යටතේ පාසල්වල සිදු කර ඇති කාර්යයන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු අනුකාරක සභාව දැනුවත් කළහ. මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කර ඇති කාර්යයන් තවදුරටත් කඩිනම් කිරීමේ අවශ්‍යතාව අනුකාරක සභාව අවධාරණය කළ අතර, වැඩසටහනේ ප්‍රගතිය ඇතුළත් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලැබිණි.පාසල්වල පවතින සනීපාරක්ෂක පහසුකම් සහ පානීය ජල පහසුකම් සම්බන්ධ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කළ යුතු බවත්, විශේෂයෙන්ම පානීය ජලයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බවත් අනු කාරක සභාව විසින්  අවධාරණය කරන ලදී.එමෙන්ම, පාසල් සඳහා විදුලි සංදේශ පහසුකම් සැපයීමේ වැඩසටහනේ ප්‍රගතිය සහ ආදර්ශ ප්‍රාථමික පාසල් ස්ථාපිත කිරීමේ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව ද අනුකාරක සභාව විසින් දීර්ඝ වශයෙන් විමසා බැලිණි.මෙම  රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්.එම්. සමන්ත රණසිංහ මහතා සහ පද්මසිරි බණ්ඩාර මහතා මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු ද සහභාගී වූහ.


2026-09-30

විදේශ විනිමය රෙගුලාසි හා නියමය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

2026 අංක 01 සහ 02 දරන විදේශ විනිමය රෙගුලාසි සහ විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කර ඇති නියමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එම රෙගුලාසි සහ නියමය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ එම කාරක සභාවේදී, විදේශ ආයෝජන, විගාමිකයන් විසින් අරමුදල් විදේශයන් වෙත මාරු කිරීම සහ විදේශ විනිමය රටින් පිටතට ගලා යාම පාලනය කිරීම සම්බන්ධයෙන් අදාළ විධිවිධාන පිළිබඳව කරුණු විමසා බැලීය.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර යන මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු  සහභාගී වූහ.මෙම රැස්වීමට මුදල් අමාත්‍යාංශය, රේගු දෙපාර්තමේන්තුව, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ එහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු  සහභාගී වූහ.මෙහිදී 2026 අංක 01 දරන විදේශ විනිමය රෙගුලාසි යටතේ ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තන් විසින් විදේශයන්හි සිදු කරන ආයෝජන සම්බන්ධයෙන් පවතින විධිවිධාන පිළිබඳව අවධානය යොමු විය. විදේශ ආයෝජන සඳහා සුදුසුකම් ලබන තැනැත්තන්, ආයෝජනය කළ හැකි ක්ෂේත්‍ර සහ විදේශයන් වෙත ප්‍රාග්ධනය යොමු කිරීමේදී අදාළ වන සීමාවන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම, දේශීය සමාගම්වලට විදේශයන්හි සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට ඇති අවස්ථා සහ ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් ද  අවධානය යොමු විය.2026 අංක 02 දරන විදේශ විනිමය රෙගුලාසි සම්බන්ධයෙන් විගාමිකයන්ට ශ්‍රී ලංකාවේ පවතින වත්කම් විදේශයන් වෙත මාරු කිරීමේදී අදාළ වන ක්‍රමවේද සහ සීමාවන් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම, විගාමික දීමනාව යටතේ ප්‍රාග්ධනය විදේශයන් වෙත මාරු කිරීම සහ කුලී ආදායම්, පොලී සහ ලාභාංශ වැනි වත්මන් ආදායම් විදේශයන් වෙත ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් පවතින විධිවිධාන පිළිබඳව ද කාරක සභාවේදී කරුණු පැහැදිලි කෙරිණි.මේ අතර, විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කර ඇති නියමය පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ආර්ථික තත්ත්වය සහ විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, විදේශ විනිමය රටින් පිටතට ගලා යාම කළමනාකරණය කිරීම සඳහා පවතින තාවකාලික සීමාවන් පිළිබඳව මහ බැංකු නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කරන ලදී. ආර්ථික තත්ත්වය යහපත් වීමත් සමඟ එම සීමාවන් ක්‍රමානුකූලව ලිහිල් කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බව එම නිලධාරීහු කාරක සභාවට වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසූහ.අපනයනකරුවන් පෙර වසරේ මෙරටට ගෙනන ලද  අපනයන ආදායම් සහ එම ආදායම්වලින් කොටසක් විදේශ ව්‍යාපාර ව්‍යාප්තිය සඳහා භාවිත කිරීමට ලබා දී ඇති අවස්ථා පිළිබඳව ද සාකච්ඡා වූ අතර, දේශීය ව්‍යාපාරිකයන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සිය කටයුතු පුළුල් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමේ වැදගත්කම පිළිබඳව ද කරුණු ඉදිරිපත් විය..එමෙන්ම, විදේශ විනිමය අවිධිමත් ලෙස රටින් පිටතට ගලා යාම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සහ ඒ සඳහා පවතින අධීක්ෂණ ක්‍රමවේද පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. ආනයන හා අපනයන සම්බන්ධ බැංකු සහ රේගු දත්ත අතර පවතින පරස්පරතා අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම, විදේශ විනිමය අවභාවිතය වැළැක්වීම සඳහා ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තවද, දේශීය ඉදිකිරීම් ඇතුළු සමාගම් විදේශයන්හි ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීමේදී අවශ්‍ය වන බැංකු ඇපකර සහ අනෙකුත් මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් පවතින සීමාවන් පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු විය.මෙම සාකච්ඡාවේදී නීති රීති දැඩි කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ සාමාජිකයින්  අවධානය යොමු කළ අතර   ආර්ථික වර්ධනයට බාධාවක් වන පරිදි අනවශ්‍ය රෙගුලාසි පැනවීම තුළින් ව්‍යාපාරිකයන් අධෛර්යමත් වීමේ අවදානමක් පවතින ඔවුහු පෙන්වා දුන්හ. විනිමය රටින් පිටතට ගලායාම සීමා කිරීම හේතුවෙන් රට තුළට පැමිණෙන විනිමය ප්‍රමාණයද අඩුවිය හැකි බව එහිදී අදහස් දක්වමින්  සභාපතිවරයා පෙන්වා දුන්නේය.රෙගුලාසිවල ඇමරිකානු ඩොලර් මිලියන 2ක් ලෙස සටහන් කර තිබියදී, නියෝගයේ ලැයිස්තුගත (listed companies) සමාගම් පුළුල් කිරීම සඳහා එම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 0.75ක් ලෙස සඳහන් කිරීම සම්බන්ධයෙන්ද සභාපතිවරයා ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින්, මෙම ඇමරිකානු ඩොලර් මිලියන 0.75ක සීමාව මාස 6කට පමණක් බලපැවැත්වෙන බවත්, එය 2027දී ලිහිල් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවත් විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසුහ. එලෙසම, ලැයිස්තුගත නොවන (non-listed companies) සමාගම් සඳහා මෙම සීමාව ඇමරිකානු ඩොලර් මිලියන 0.2ක් වන බව ද ඔවුහු සඳහන් කළහ.විදේශ විනිමය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සීමාවන්ට වඩා වැඩි විදේශ විනිමය පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව කටයුතු කළ හැකි බවයි. එහිදී ව්‍යාපාරයේ ශේෂ පත්‍රය (balance sheet) පදනම් කර ගනිමින් එම අනුමැතිය ලබා දෙන බව ද පැහැදිලි කෙරිණි. කෙසේ වෙතත්, එවැනි අනුමැතිය ලබා ගැනීමේ අවස්ථාව ඉහළ වත්කම් සහිත ව්‍යාපාරවලට වැඩි වශයෙන් හිමිවීමේ ඉඩකඩක් පවතින බවට ද මෙහිදී අදහස් පළ විය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks