01

E   |   த   |  

2025-03-11

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ජාතීන් අතර සුවපත් කිරීමේ ක්‍රියාවලියකට රජය නිවැරදි මැදිහත්වීම සිදු කරනවා - අමාත්‍ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසයි

  • සෞදි රජයෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු රට ඉදි මෙ.ටොන් 50 ඉතා සාධාරණව පල්ලි දෙදහස් ගණනක් අතරේ බෙදීමට හැකිවූ බවත් සඳහන් කරයි.

 

ජාතීන් අතර සුවපත් කිරීමේ ක්‍රියාවලියකට යා යුතු බවත් ඒ සම්බන්ධව රජය නිවැරදි මැදිහත් වීම සිදු කරන බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දසවැනි පාර්ලිමේන්තුව සඳහා පළමු රැස්වීම 2025.03.08 දින ඒ මහතාගේ සභාපතිත්වයෙන් පැවති අවස්ථාවේදී ය. ගරු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ද මෙම රැස්වීමට සහභාගී විය.
 
යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ ඉදිකර ඇති පන්සලක් සම්බන්ධයෙන් කාරක සභාවේදී විමසීමක් සිදු කෙරුණු අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එම ස්ථානය නිරීක්ෂණය සඳහා පැමිණෙන බවත් ඒ අනුව වඩා සාධාරණ මැදිහත් වීමක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
 
සෞදි රජයෙන් මෙරටට ‍ත්‍යාගයක් ලෙස ලැබුණු රට ඉදි මෙට්‍රික් ටොන් 50 ක තොගය දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පල්ලි දෙදහස් ගණනක් තුළ ඉතා සාධාරණව බෙදා දීමට මෙවර හැකි වූ බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. මීට පෙර මෙම රටඉදි බෙදා දීමේදී අක්‍රමිකතා සිදුවූ බවට තමාට වාර්තා වූ බවත් ඉතිහාසයේ ප්‍රථම වරට ඉතා සාධාරණව සහ විනිවිදබවකින් යුතුව මෙවර එම කටයුතු සිදු කිරීමට හැකි වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ සංස්කෘතික සංරක්ෂණය සහ ඉදිකිරීම් සඳහා පිහිටුවන ලද පෞද්ගලික සමාගමක, කැණීම් සංරක්ෂණ සහායක තනතුරෙහි සේවය කළ සේවක පිරිසකගේ සේවය අහිමි වීම නිසා ඔවුනට සාධාරණයක් කරන ලෙස ඉදිරිපත් කළ ඉල්ලීමක් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. ‍ඔවුන් තාවකාලිකව සේවයට ගත් පිරිසක් බව නිලධාරීහු මෙහිදී සඳහන් කළහ. කෙසේවුවද ඔවුන් සේවයේ පිහිටුවා හිඟ වැටුප් ගෙවන ලෙස ලබාදුන් අධිකරණ තීන්දුවක් නිසා රු. මිලියන 55.9ක් මධ්‍යම සංස්කෘතික අරමුලට ගෙවීමට සිදුව ඇති බවත් එම තීරණය සම්බන්ධයෙන් මේ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල රිට් ආඥාවක් ලබා ගෙන ඇති නිසා තාවකාලිකව මුදල් ගෙවීම නතර වී ඇති බවත් මෙහිදී අනාවරණය විය.

නිලධාරීන් සහ දේශපාලන අධිකාරියේ නිසි මගපෙන්වීමක් නොමැතිවීම හේතුවෙන් 2012 වසරේ සේවයට ගෙන ඇති මේ පිරිස සම්බන්ධයෙන් වසර 13ක් මුළුල්ලේ නිසි පරිදි බේරුම්කරණය සිදුනොවී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පැරණි වැරදි සමග යාමට තම රජයට සිදුවූ ඇති බවත් වඩාත් බුද්ධිමත්ව ඒවා විසදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ක්‍රිස්තියානි දේවගැතිවරුන් ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මෙහිදී නිලධාරීන් පැවසුවේ වසර ගණනාවක් තිබූ මෙම ගැටලුව හදුනාගෙන පසුගිය වසරේ සිට ක්‍රිස්තියානි නිකායන්, දේවස්ථාන සහ දේවගැතිවරුන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බවයි. ඒ අනුව ඊට අදාළ ඉල්ලුම් පත්‍ර වෙබ් අඩවියේ පළ කර ඇති බවත් ඔවුහු පැවසූහ.

බස්නායක නිලමෙවරුන් සහ කපු මහත්වරුන්ට ලැබෙන ආදායම යම් අයුරකින් රටේ සංවර්ධනයට යොදා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ විය. අමාත්‍යවරයා පැවසුවේ සබරගමුව මහ සමන් දේවාලය මාසයක් තුළ ලබා ඇති පඬුරු ආදායම රු. ලක්ෂ 62ක් බව වැඩ බැලීම සඳහා පත් කළ තාවකාලික බස්නායක නිලමේවරයා ප්‍රසිද්ධ කර ඇති බවත් ඒ අනුව නව මානයකින් මේ ක්ෂේත්‍රය පිළිබඳව සිතා බැලිය යුතු බවයි.

මෙරට මුස්ලිම් පල්ලි සහ ජුම්මා පල්ලි ලියාපදිංචි කිරීම සම්බන්ධව ද මෙහිදී අවධානය යොමු විය. මේ වසරේ හජ් වන්දනාවට බැතිමතුන් 3500ක කෝටාවක් ලැබී ඇති බවත් එක් අයෙකු සඳහා වියදම ලක්ෂ 21ක් බවත් අනාවරණය විය. මින් ලක්ෂ 3 කට ආසන්න ලාභයක් ලබා ගැනීම සාධාරණ නොවන බැවින් බැතිමතුන්ට තවදුරටත් සහනයක් ලබා දීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා විය. ඒ සඳහා පවතින හැකියාව සොයා බලා කටයුතු කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ය‍ටතේ ඇති ආයතනවල නිලධාරීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.




සම්බන්ධිත පුවත්

2026-10-28

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වෙයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී  පසුගියදා (ඔක්. 23) රැස්විය.මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් ප්‍රමාද වූ ශ්‍රමිකයන්ගේ ගමන් පහසුකම් සැලසීම සඳහා විශේෂ ගුවන්වාර යොදා ගැනීමටත්, අවශ්‍ය අවස්ථාවල තාවකාලික නවාතැන් සහ ආහාර පහසුකම් සැපයීමටත් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව නිලධාරීහු කරුණු පැහැදිලි කළහ. එමෙන්ම, විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු වන පරිදි විදේශීය ප්‍රාන්ත සමඟ ගිවිසුම් ඇති කරගැනීමේ වැදගත්කම ද සාකච්ඡා විය.මීට අමතරව, රුසියාව සමඟ වෙළෙඳ ගනුදෙනු සඳහා රූබල් භාවිත කිරීමේදී පවතින බාධා සහ විකල්ප ගෙවීම් ක්‍රමවේද පිළිබඳව ද සාකච්ඡා විය. එමෙන්ම, විදේශයන්හි ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය, විදේශ රැකියා ගිවිසුම් සහ සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද කරුණු සාකච්ඡා  කරන ලදී.මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.


2026-10-28

2027 විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

2027 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය ඇස්තමේන්තු, රාජ්‍ය ආදායම් හා වියදම් කළමනාකරණය සහ ප්‍රමුඛතා සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (ඔක්. 22) රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ මෙම කරුණු සාකච්ඡා කරන ලදී.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.මෙහිදී 2027 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති රාජ්‍ය වියදම්, ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන, රාජ්‍ය ආදායම් ඉලක්ක සහ ණය සේවාකරණය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් විය. එමෙන්ම අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේදී අදාළ කරගන්නා සාර්ව ආර්ථික පුරෝකථන සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අදාළ නීතිමය රාමුව පිළිබඳව ද අවධානය යොමු විය.2027 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති සමස්ත ප්‍රාග්ධන අතර, මාර්ග සංවර්ධනය, සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීම, විදුලිබල පද්ධතියේ ව්‍යාප්තිය සහ නාගරික සංවර්ධනය ඇතුළු යටිතල පහසුකම් ව්‍යාපෘති ද පවතින අතර ඒ සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන පිළිබඳව ද මෙහිදී කරුණු විමසනු  ලැබීය.කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම් සැලසීම, ණය ඇපකර ක්‍රමවේදය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයට සහාය ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු ඉදිරිපත් වුණු අතර රාජ්‍ය සේවයේ වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන සහ රාජ්‍ය සේවා අවශ්‍යතා වෙනුවෙන් සිදු කරන වියදම් පිළිබඳව ද  කාරක සභාවේ අවධානය යොමු විය.තවද, 2027 වසරේ විදේශීය ණය සේවාකරණ අවශ්‍යතා, අපේක්ෂිත විදේශීය මූල්‍ය පහසුකම් සහ රාජ්‍ය ණය කළමනාකරණය සම්බන්ධයෙන් ද අමාත්‍යාංශ නිලධාරීන් කරුණු පැහැදිලි කළහ. රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීම, බදු පරිපාලනයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ අයවැය ප්‍රතිපාදන නිසි පරිදි භාවිත කිරීම සම්බන්ධ කරුණු ද සාකච්ඡාවට ලක් විය.


2026-10-28

මධ්‍යම පළාත් සභාවේ මාර්ග හා ප්‍රවාහන ව්‍යාපෘතිවල අක්‍රමිකතා සහ ප්‍රගතිය කෝපා කමිටුවේ අවධානයට

මධ්‍යම පළාත් සභාවේ 2021 - 2023 වර්ෂවලට අදාළ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 සහ 2025 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.ඒ, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ඔක්. 22) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී 2026.05.21 දින පැවති කාරක සභා රැස්වීමේ දී සාකච්ඡා කළ කරුණු පිළිබඳ පසු විපරමක් ද සිදු කෙරිණි.මධ්‍යම පළාතේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධන සහ මගී ප්‍රවාහන ව්‍යාපෘතිවල ප්‍රගතිය, මාර්ග ඇස්තමේන්තු සකස් කිරීමේදී සිදුවූ අඩුපාඩු, ප්‍රමිතියට අනුකූල නොවන ඉදිකිරීම් සඳහා ගෙවීම් සිදු කිරීම සහ අනුමැතියකින් තොරව අමතර වැඩ සඳහා මුදල් ගෙවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.එමෙන්ම, මගී ප්‍රවාහන සේවය කාර්යක්ෂම කිරීම සඳහා හඳුන්වා දුන් විද්‍යුත් ටිකට්පත් යන්ත්‍ර (ETM) සහ GPS/SIM තාක්ෂණික පද්ධති නිසි පරිදි භාවිතයට නොගැනීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. අදාළ තාක්ෂණික දෝෂ නිරාකරණය කරමින් එම පද්ධති කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද මෙහිදී කරුණු විමසන ලදී.තවද, මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සහ ගොඩනැගිලි නීත්‍යනුකූල අනුමැතියකින් තොරව උපබදු දීම, හිඟ බදු මුදල් අය කර නොගැනීම සහ රාජ්‍ය දේපළවල හිමිකම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම, මලබාර් හවුස් ගොඩනැගිල්ල ග්‍රාම ශක්ති වැඩසටහනේ ව්‍යාපෘති කාර්යාලයකට ලබාදී එහි කුලී මුදල අයකර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් මතුව ඇති නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගැනීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අවධානය යොමු විය.මීට අමතරව, KMTT ව්‍යාපෘති අරමුණු ඉටු නොවූ අවස්ථාවලදී එයට සම්බන්ධ වූ නිලධාරීන් ලබාගෙන ඇති දිරි දීමනා නැවත අය කර ගැනීම, රාජ්‍ය දේපළ භාවිතයෙන් ලැබෙන ආදායම් බෙදාහැරීමේදී අදාළ රෙගුලාසි අනුගමනය කිරීම සහ ප්‍රයෝජනයට නොගෙන අතහැර දමා ඇති ගොඩනැගිලි හා දේපළ ඵලදායී ලෙස භාවිත කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡා කෙරිණි.නිසි ක්‍රියාපටිපාටියෙන් තොරව කාර්යාලීය ලිපිගොනු විනාශ කිරීම සම්බන්ධ විනය පරීක්ෂණ සහ ඊට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳව ද කාරක සභාව කරුණු විමසන ලදී. මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, ගරු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, නීතීඥ තුෂාරි ජයසිංහ, ‍ටී. කේ. ජයසුන්දර, සුසන්ත කුමාර නවරත්න, මංජුල සුරවීර ආරච්චි, චන්දන සූරියආරච්චි, ඔෂානි උමංගා සහ චානක මාදුගොඩ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-10-27

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් ලබාගැනේ

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබා ගැනීම පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සිදු කරන ලදී.ඒ, එම විශේෂ කාරක සභාව එහි සභාපති, ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය නියෝජනය කරමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තාහිර් මරික්කාර් මහතා ද, නව නිදහස් පෙරමුණ නියෝජනය කරමින් නුවන් බෙල්ලන්තුඩාව මහතා ද, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ද සිය පක්ෂවල අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් එක් එක් දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මුනීර් මුලාෆර් සහ නීතිඥ සුනිල් වටගල මෙන්ම කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර්, ධර්මප්‍රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ, ලක්ෂ්මන් නිපුණ ආරච්චි සහ යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks