02

E   |   த   |  

2025-03-08

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

සුරා බද්ද ඉහළ දැමීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය…

දුම්වැටි සඳහා නිෂ්පාදන බද්ද ඉහළ දැමීමට ගත් පියවරයන් සාධාරණීකරණය කරන්න - කාරක සභා සභාපතිගෙන් නිලධාරීන්ට උපදෙස්.

තෙවන පාර්ශ්වීය රක්ෂණය (3rd party insurance) හරහා අදාළ රක්ෂණ මුදල් ලබාගැනීම සරල කරන්න - කාරක සභාවෙන් නිලධාරීන්ට උපදෙස්.

සුරා බද්ද ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉදිරිපත්කල යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය මාර්තු 06 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
 
මෙදින කාරක සභාව හමුවේ (52 වන අධිකාරය වූ ) සුරාබදු ආඥාපනතේ 22වැනි වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3වැනි වගන්තිය යටතේ නියමයක්, 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ 112 වගන්තිය යටතේ නියෝග සලකා බැලීම සිදුවිය.

ඒ අනුව 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3වැනි වගන්තිය යටතේ නියෝගය හා (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22වැනි වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය කාරක සභාවේදී සලකා බැලිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිලධාරීහු 1989 අංක 13 දරණ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3වැනි වගන්තිය යටතේ නියෝගය මගින් මෝටර් රථ, දුම්වැටි හා පැනි බීම සහ දුම්කොළ ඇතුළු රුපියල් වටිනාකමින් නිශ්චිතව දක්වා ඇති නිෂ්පාදන බද්දට යටත්ව සියලුම අයිතම මත වන නිෂ්පාදන බද්ද 5.9% කින් ඉහළ දැමීමට යෝජනා කර ඇති බව පැවසූහ. එමෙන්ම (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22වැනි වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය යටතේ මත්පැන් වර්ග මත වූ සුරා බද්ද ද, 5.9% කින් ඉහළ දැමීමට යෝජනා කර ඇති බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
 
මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා නිශ්චිත දත්ත නොමැතිව මෙලෙස දුම්වැටි සඳහා වූ නිෂ්පාදන බද්ද ඉහළ දැමීම අනුමත කළ නොහැකි බවත් දුම්වැටි සඳහා නිෂ්පාදන බද්ද ඉහළ දැමීම ගත් පියවරයන් සාධාරණිකරණය කිරීමක් අවශ්‍ය බවත් පැවසුවේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙම දුම්වැටි වල බදු අදායම් පිළිබඳව සිදුකළ අධ්‍යයනය වලින් පෙන්නුම් කර ඇත්තේ මෙම ගණනය කිරීම් ඔස්සේ රජයට ලැබෙන අදායම අඩු බවත් අදාළ නිෂ්පාදන සමාගම්වලට ලැබෙන ලාභය වර්ධනය වී ඇති බවත් පැසුවේය. ඒ අනුව මෙම බදු පැනවීම ඔස්සේ රජයට ලාභ ලබෙන ආකාරය පිළිබඳව කරක සභාවට සහතික කිරීම වැදගත් බවත් සභාපතිවරයා අවධාරණය කළේය. එබැවින් මීලග කාරක සභාව රැස්වන දිනයේදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ පැහැදිලි කිරීම් වලින් අනතුරුව නිෂ්පාදන බද්ද වැඩි කිරීම සඳහා වූ මෙම 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3වැනි වගන්තිය යටතේ නියමය නැවත කාරක සභාව තුළ සලකා බැලීමට සභාපතිවරයා තීරණය කළේය.

එමෙන්ම (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22වැනි වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය මගින් මත්පැන් වර්ග මත වූ සුරා බද්ද ඉහළ දැමීම පිළිබඳව යෝජනාව කරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී. මෙහිදී අදහස් දක්වමින් ගරු මන්ත්‍රීවරයන් මෙලෙස බදු වැඩි කිරීම ඔස්සේ පුද්ගලයින් නීති විරෝධී මත්පැන් භාවිතය හා නිෂ්පාදනය සඳහා යොමුවීමට පවතින අවස්ථාව පිළිබඳව නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. ඊට පිළිතුරු දුන් නිලධාරීහු එම නීතිවිරෝධී මත්පැන් වැටලීම් විධිමත් අයුරින් සිදුවන බව පැවසූහ.එමෙන්ම මේ වසරේ ගතවූ මාස දෙක තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය 22% හා අදායම 23% වර්ධනය වී ඇති බව පැවසුහ. තවද නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට ද සැළසුම් කර ඇති බව පැවසුවේය.

තවද 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ 112 වගන්තිය යටතේ නියෝග කාරක සභාවේ දී සලකා බලා අනුමත කරන ලදී. එමගින් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙහි (IRCSL) වැඩි වූ වියදම් සපුරාලීම සඳහා වාර්ෂික ගාස්තුව රක්ෂණ ව්‍යාපාරවල දළ ලිඛිත වාරිකයෙන් 0.125% සිට 0.2% දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.

මෙහිදී සභාපතිවරයා යම් යම් අවස්ථාවල ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙන් නිසියාකාරව නියාමන කටයුතු සිදුනොවීම පිළිබඳව කාරක සභාව දැනුවත් කළේය. MBSL මුල්‍ය ආයතනයේ ඇතිවී තිබෙන තත්ත්වයන් සම්බන්ධයෙන්, පවතින නීතිය යටතේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව ක්‍රියාමාර්ග ගැනීම මන්දගාමීවීම පිළිබඳව සභාපතිවරයා සිය අප්‍රසාදය පළකළේය. එම ආයතනය වෙනුවෙන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලෙසටද සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. එමෙන්ම රක්ෂණය මෙරට කර්මාන්තයක් ලෙස වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් සැලසුම් ඇතුළත්, ඉදිරි වැඩ පිළිවෙල සකස් කර ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයද කාරක සභාව මෙහිදී අවධාරණය කළේය.

තවද තෙවන පාර්ශ්වීය රක්ෂණය (3rd party insurance) හරහා අදාළ මුදල් ලබා ගැනීමේදී පවතින සංකීර්ණ බවද කාරක සභාව තුළ දීර්ඝ ලෙස සාකච්ඡා විය. එහිදී යම් අනතුරකදී තෙවන පාර්ශවීය රක්ෂණය ලබා ගත් පිරිස් සඳහා එම රක්ෂණ මුදල් පහසුවෙන් ලබා ගත හැකි ආකාරයට අවශ්‍ය සරල නීති සකස් කිරීමේ අවශ්‍යතාවය කාරක සභාව විසින් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අවධානයට යොමු කරන ලදී.

එමෙන්ම රක්ෂණ වල තැන්පත් කර ඇති මුදල්, බැංකු මගින් සංවර්ධන කටයුතු වෙනුවෙන් යෙදවීමට ඇති හැකියාව පිළිබඳව ද සභාපතිවරයා කාරක සභාවේ අවධානය යොමු කළේය. ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාගෙන අදාළ කර්මාන්ත ආයතන හා සාකච්ඡා කර රෙගුලාසි මාලාවක් සකස් කර ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් ලබාදුන්නේය.

මෙදින කාරක සභාව තුල කැසිනෝ බදු පිළිබදවද සාකච්ඡා විය. එහි දී භෞතිකව පවතින කැසිනෝ ශාලා වලින් බදු අයකර ගත්තද අන්තර්ජාලය මගින් ක්‍රියාත්මක විශාල කැසිනෝ ව්‍යාපාර සංඛ්‍යාවක් පවතින බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව එම අන්තර්ජාල කැසිනෝ හරහා කිසිදු බදු මුදලක් අයකර ගැනීමක් සිදුනොවීම පිළිබඳව නිලධාරීන්ගේ අවධානයට යොමු කරමින් මෙම තත්ත්වය පාලනය කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කළේය. ඒ වෙනුවෙන් කැසිනෝ නියාමන අධිකාරියක් පිහිටුවීම සඳහා මෙම කාරක සභාව වසර ගණනක සිට උත්සාහ කරන බව පෙන්වා දුන් සභාපතිවරයා ඒ සඳහා වූ පනත් කෙටුම්පත් හැකි ඉක්මනින් අවසන් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවද දැනුවත් කිරීමට කටයුතු කරන බව පැවසුවේය

මේ රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම, චතුරංග අබේසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.




සම්බන්ධිත පුවත්

2026-10-02

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2027 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලේ

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) 2027 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අදාළ අනුමතිය ලබා දීම සිදු විය.රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (සැප්. 29) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ සඳහා අනුමතිය හිමි විය.අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා  ඇතුළු නිලධාරීහු ද, මුදල් අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද  මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වාර්ෂික අයවැය ඇස්තමේන්තු සම්මත කිරීම, මූල්‍ය හා මෙහෙයුම් ස්වාධීනත්වය, අරමුදල් ව්‍යුහය සහ පරිපාලනමය ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය ‍යොමු විය.2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 31 වගන්තියට අනුව කොමිෂන් සභාවේ අයවැය ඇස්තමේන්තු, මුදල් අමාත්‍යාංශය හරහා නොව ඍජුවම කථානායකවරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ. කථානායකවරයා විසින් මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ ලබා ගෙන, දින 10ක් ඇතුළත පාර්ලිමේන්තුවට (රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත) ඉදිරිපත් කළ යුතුය. අනතුරුව පාර්ලිමේන්තුව මගින් සමාලෝචනය කර තීරණය කරනු ලබන සංශෝධන සහිතව එය ජාතික අයවැය ලේඛනයට/විසර්ජන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට මුදල් අමාත්‍යවරයා වෙත යවනු ලැබේ. 2027 වසර සඳහා අයවැය ඇස්තමේන්තුව මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සහිතව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත පැමිණීම‍ට සැප්තැම්බර් දක්වා කාලය ගත වීම පිළිබඳව ද සාකච්ඡා විය. මෙමගින් අයවැය සකස් කිරීමේ කාලසටහනට බාධා පැමිණෙන බැවින් ඉදිරි වසරවලදී අයවැය ක්‍රියාවලිය නියමිත වේලාවට සිදු කිරීම සඳහා, මැයි 30 වන විට කොමිෂන් සභාවේ ඇස්තමේන්තු කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට එකඟතාව පළ විය.සාමාන්‍ය රේඛීය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු පාලනය වන 2024 භාණ්ඩාගාර චක්‍රලේඛයක් මගින් ස්වාධීන කොමිෂන් සභාවල කාර්යභාරයට බාධා පැමිණීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. වාහන මිළදී ගැනීම/ලීසිං කිරීම, ප්‍රාදේශීය කාර්යාල සඳහා ගොඩනැගිලි කුලියට ගැනීම සහ රාජකාරි අවශ්‍යතා මත විදේශ සංචාර සිදු කිරීම සීමා වීම මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතුවලට බාධා වීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු විය. අදාළ කටයුතු සඳහා මුදල් අමාත්‍යාංශයෙන් පූර්ව අනුමැතිය ඉල්ලා සිටීමට සිදු වීම මගින් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය හානි සිදු විය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.කොමිෂන් සභා අරමුදලේ ස්වභාවය සහ භාවිතය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. දූෂණ විරෝධී පනතේ 31 වගන්තිය යටතේ කොමිෂන් සභාව සඳහා වෙනම අරමුදලක්  ස්ථාපිත කර ඇති බවත් ඒකාබද්ධ අරමුදල සහ  සහ කොමිෂන් සභා පොදු අරමුදල    මගින් ගෙවීම් සිදු කරන ආකාරය පිළිබඳවත් සාකච්ඡා විය.පනත ප්‍රකාරව  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු ස්වාධීනව සිදු කිරීමට අවශ්‍ය සියලු ප්‍රතිපාදන හිමි විය යුතු බව කාරක සභා සභාපතිවරයා මෙම කාරක සභා රැස්වීමේදී අවධාරණය කළේය.කොමිෂන් සභාවේ මෙහෙයුම් කටයුතු පිළිබඳව ද කාරක සභාව විසින් විමසන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බැඳීම් සහ රටේ දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම අනුව කොමිෂන් සභාවේ මෙහෙයුම් පුළුල් කිරීම ආරම්භ කර ඇති බව මෙහිදී අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. මේ අනුව, කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය  971 ක් බදවා ගැනීමට කටයුතු කරන බවත්, 2026 දෙසැම්බර් 31 දිනට පෙර ප්‍රාදේශීය කාර්යාල 23ක් පිහිටුවීමේ ඉලක්කය සපිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා දැනට පවතින රජයේ ගොඩනැගිලි  පරීක්ෂා කර ඇති බවත් අනාවරණය විය. ඇතැම් ඒවා අලුත්වැඩියා කර භාවිතයට ගැනීමටත්, ඉතිරිය කුලී පදනම මත ලබා ගැනීමටත් සැලසුම් කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. එසේම, ජපාන රජය මගින් UNDP හරහා ලබා දී ඇති ඩොලර් මිලියන 2.5ක ප්‍රදානය යටතේ, ප්‍රාදේශීය කාර්යාල සඳහා අවශ්‍ය පරිගණක සහ ඡායා පිටපත් යන්ත්‍ර ඇතුළු රුපියල් මිලියන 109ක තාක්ෂණික උපකරණ ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවත් දිසානායක මහතා පැවසීය.තවද, නව පනත යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතු පුද්ගලයන් අතුරින් 34,000කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාද ගාස්තු අයකර ගැනීම සඳහා හඳුනාගෙන ඇති අතර, එම ක්‍රියාවලියෙන් ලැබෙන දඩ මුදල් කොමිසමේ අරමුදලට බැර වනු ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.කොමිෂන් සභාපති, සාමාජිකයන් සහ අධ්‍යක්ෂ ජනරාල්ගේ වැටුප් ව්‍යුහය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර මීට පෙර කාරක සභාවේදී ලබා දුන් නිර්දේශය පරිදි කොමිෂන් සභාවේ  සභාපතිවරයාගේ වැටුප අභියාචනාධිකරණ සභාපතිවරයාගේ (President of the Court of Appeal) වැටුපට හා දීමනාවලට සමාන විය යුතු බවත් අවධාරණය කළේය.කාරක සභා සාමාජික  ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු  නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්ම මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූ අතර ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, නිමල් පලිහේන, විජේසිරි බස්නායක සහ නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරු මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීමට සම්බන්ධ වූහ.  


2026-10-02

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය

සාකච්ඡා කිරීමෙන් අනතුරුව දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය.ඒ, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (සැප්. 30) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී 2003 අංක 09 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටළු, පනතේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් අතර පවතින විෂමතා, වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය සහ ඒ සඳහා මහජන ප්‍රවේශය පිළිබඳව සාකච්ඡා විය.තවද, පනත කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා පවතින තාක්ෂණික හා පරිපාලන ගැටළු විසඳීම ඇතුළු කරුණු පිළිබඳවද සාකච්ඡා කිරීමෙන් අනතුරුව දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කාරක සභාවේ අනුමතිය ලැබිණි.


2026-10-02

විභාග දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය “කෝපා” කමිටුවේ අවධානයට

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මීට පෙර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) විසින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළේය.ඒ, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, ප්‍රශ්නපත්‍ර ඇගයීම් ක්‍රියාවලිය, අභ්‍යන්තර හා බාහිර පරීක්ෂකවරුන් යොදා ගැනීම සහ විභාග කටයුතුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.එමෙන්ම, විභාග කටයුතු සඳහා පවතින ස්ථාන පහසුකම්, තාක්ෂණික උපකරණ සහ මුද්‍රණ පහසුකම්, විභාග හා ඇගයීම් කටයුතුවලට අදාළ දීමනා හා ගාස්තු සංශෝධනය කිරීම සහ නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වාදීම පිළිබඳවද අවධානය යොමු විය.තවද, ප්‍රතිඵල නිකුත් කිරීම කඩිනම් කිරීම සඳහා නව OMR/OCR පද්ධතියක් හඳුන්වාදීම, වෙනම ඇගයීම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සහ ආයතනික විභාග කාර්යක්ෂමව පැවැත්වීම සම්බන්ධයෙන් ගෙන ඇති හා ඉදිරියේදී ගැනීමට නියමිත පියවර පිළිබඳව නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.මීට අමතරව, විභාග ප්‍රතිඵල විශ්ලේෂණය මත පදනම්ව ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විෂය දැනුම හා ඉගැන්වීමේ ක්‍රමවේද වැඩිදියුණු කිරීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ගුරු පුහුණුව පිළිබඳවද සාකච්ඡා කෙරිණි.විභාග දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය තවදුරටත් ඉහළ නැංවීම සඳහා මීට පෙර ලබාදුන් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය.මෙම රැස්වීම සඳහා ගරු රාජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක, ගරු මන්ත්‍රීවරයන්වන නීතීඥ සාගරිකා අතාවුද, ‍ටී. කේ. ජයසුන්දර, ලාල් ප්‍රේමනාත්, සුසන්ත කුමාර නවරත්න, ඔෂානි උමංගා, රුවන්තිලක ජයකොඩි සහ සුනිල් රත්නායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-10-02

අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳ විමර්ශනයක් සිදුකර සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් උපදෙස්






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks