බලන්න

01

E   |     |  

2025-03-07

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

සත්ත්ව - මිනිස් ගැටුම සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය

  • ඉතිහාසයේ පළමුවරට පරිසරයට අදාළ සියළු ආයතන එකම අමාත්‍යාංශයක් යටතට - ගරු මන්ත්‍රීවරුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් පැසසුම්
  • ඒ ඒ ආයතනවල කාර්යභාරය වෙන වෙනම සාකච්ඡා කරයි

 

සත්ත්ව - මිනිස් ගැටුම සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර මේ සම්බන්ධයෙන් අවශ්‍ය විද්‍යාත්මක විසඳුම් සඳහා යොමු වීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් අවධාරණය කෙරිණි. විශේෂයෙන්ම ඒ ඒ ආයතන වල කාර්යභාරය මෙහිදී වෙන වෙනම සාකච්ඡාවට ලක්වූ අතර වන සත්ත්ව ගැටළුව, ප්‍රමාණවත් මානව හා භෞතික සම්පත් නොමැති කම ආදිය හඳුනාගත් ප්‍රශ්න අතර විය.

මෙහිදී අලි මිනිස් ගැටුම ඇතුළු වගා හානි සිදුකරන අනෙකුත් සත්ත්වයින් වන රිලවුන්, දඬුලේනුන් සහ මොනරුන් සම්බන්ධයෙන් පවතින ගැටුම් පිළිබඳ පැමිණි මන්ත්‍රීවරුන් කමිටුවට පෙනවා දුන්හ. රිලවුන්, දඬුලේනුන් සහ මොනරුන් බෝවීම වැලැක්වීම සම්බන්ධයෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වන බවත් එසේ කිරීමට අසමත් වුවහොත් කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විශාල අර්බුදයක් ඇතිවිය හැකි බවත් මේ අනුව සාකච්ඡා කෙරුණි. සාකච්ඡාව අතරතුර ගරු අමාත්‍ය (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා පෙන්වා දුන්නේ මේ සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට අපහසු වුවද හැකි ඉක්මනින් විසඳුම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.

එසේම අලි මිනිස් ගැටුම නැවැත්වීම සඳහාද අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත්, අලි ගමන් කරන සීමාවන් හඳුනාගෙන ඇති බවත්, එම ගමන් කිරීම්වලට බාධා ඇතිවී තිබෙන මාර්ග නිරාවරණය කිරීමට  කටයුතු කරන බවත් මෙහිදී ගරු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පැවසීය. තවද අලි දුම්රියේ ගැටීම නැවැත්වීම වෙනුවෙන් අවශ්‍ය කැමරා පද්ධති සැකසීම ඇතුළු අවශ්‍යවන අනෙකුත් ක්‍රියාමාර්ග සති දෙකක් තුළ ගැනීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය (වෛද්‍ය) දම්මික පටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (මාර්තු 05) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

කාරක සභාව ආරම්භයේදීම අමාත්‍යාංශයේ විෂයපථයට අයත් ඒ ඒ ආයතන සම්බන්ධයෙන් පැමිණි නිලධාරීන් පැහැදිලි කළ අතර  ඉතිහාසයේ පළමුවරට පරිසරයට අදාළ සියළු ආයතන එකම අමාත්‍යංශයක් යටතට පත් කිරීම සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් පැසසුම පල විය.

තවද මාර්තු 15 වැනිදා සිදු වන්නේ සත්ත්ව සංගණනයක් නොව සරල සමීක්ෂණයක් පමණක් බවත් ගරු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා මෙහිදී පැවසීය. මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් හෙතෙම පැවසුවේ මේ සම්බන්ධයෙන් කිසිඳු දත්තයක්  නැති වපසරියක යම් දත්ත ප්‍රමාණයක් හෝ ලබාගැනීම වෙනුවෙන් පමණක් මෙම සමීක්ෂණය සිදු කරන බවයි. මේ නිසා මෙම උත්සාහය පිළිබඳ උපහාසයෙන් බැලීම සුදුසු නොවන බවද ඒ මහතා අවධාරණය කළේය.

එසේම මෙහිදී නීති විරෝධී වැලි කැණීම් සම්බන්ධයෙන්ද සාකච්ඡා වූ අතර වැලි කැණීම්වලින් 50% පමණ නීත්‍යානුකූල නොවන බව ගරු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පෙන්වා දුන්නේය.

මෙම කාරක සභාව සඳහා සම්බන්ධවෙමින් ගරු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ වනජීවී දෙපාර්තමේන්තුව සතු මිනිස් බලයේ ප්‍රමාණාත්මක බව සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බවයි. එසේම වගා රක්ෂණ, ජීවිත රක්ෂණ සහ දේපළ රක්ෂණ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්ද හෙතෙම කමිටුවෙන් විමසන ලදි. මෙහිදී අදහස් දක්වමින් ගරු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පෙන්වා දුන්නේ රක්ෂණ වන්දි දෙගුණකිරීමට රජය කටයුතු කොට ඇති බවයි. එසේ තීරණය කළද සිදුවන ජීවිත සහ දේපල හානි නැවැත්වීම තම රජයේ අරමුණ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, ගරු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වූහ.




සම්බන්ධිත පුවත්

2026-01-08

සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීම) පනත යටතේ නියෝගයට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

පාර්ලිමේන්තුවේ හෙට (ජන. 9) විවාදයට ගැනීමට නියමිත (129 අධිකාරිය වූ) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීම) පනත යටතේ නියෝගයට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය. එම කාරක සභාව, කම්කරු අමාත්‍ය (ආචාර්ය) අනිල් ජයන්ත මහතාගේ සභාපතීත්වයෙන් සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ සහභාගීත්වයෙන් 2026.01.06 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය ලබාදීම සිදුවිය. කම්කරු අමාත්‍යවරයා විසින් 2025.12.12 දින සාදන ලද මෙම නියෝගය 2025.12.18 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. “කිසියම් නේවාසික හෝටලයක අමුත්තන් පිළිගන්නියක්, කාන්තා ඇඳුම් කාමර සේවිකාවක්, කාන්තා රෙදිපිළි ගබඩා සේවිකාවක් හෝ කාන්තා සනීපාරක්ෂක සේවිකාවක් වශයෙන් අවුරුදු දහඅටට එළඹ සිටින කවර ස්ත්‍රියක් වුව ද පෙ.ව 6.00 ට පෙර හෝ ප.ව 6.00න් පසුව සේවයේ යෙදවිය හැකිය” යනුවෙන් දැනට පවතින නෛතික ප්‍රතිපාදනය මෙම නියෝගය මගින් සංශෝධනය කෙරේ. ඒ අනුව එම නියෝගය මගින් අවසර ලබා දී ඇති නියමිත සේවාවන්ට අමතරව නේවාසික හෝටල්වල සේවයේ යෙදී සිටින  ආහාර පාන පිළිගන්වන කාර්යයෙහි නියැලෙන වයස අවුරුදු 18ට වැඩි සේවිකාවන්ද  (Food and Beverage Stewardess) පස්වරු 6.00ට පසු හෝ පසුදා  පෙරවරු 6.00ට පෙර, සේවයේ  යොදවා ගැනීමට හැකිවන පරිදි අවශ්‍ය  නෛතික සංශෝධන මෙම නියෝගය මගින් හදුන්වා දී ඇත. එසේවුවද මෙම නියෝගය යටතේ සේවයේ නියුක්ත කරවන ලද යම් ස්ත්‍රියකගේ සේවා මුරය පස්වරු හයත් පසුදා පෙරවරු හයත් අතර වේලාවකදී අවසන් වන අවස්ථාවකදී , එකී සේවා මුරය අවසන් වූ  අවස්ථාවේ සිට පෙරවරු හය දක්වා එම ස්ත්‍රීයට සුදුසු නවාතැනක් සැපයීම හෝ එම ස්ත්‍රීයගේ සුපුරුදු වාසස්ථානය වෙත ප්‍රවාහන පහසුකම් සැපයීම ඇතුළුව එම ස්ත්‍රීයගේ සෞඛ්‍යාරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් සේවා යෝජකයා වගකිව යුතු බවටත් නෛතික ප්‍රතිපාදන සහිත බව නිලධාරීහු මෙහිදී කාරක සභාවට දැනුම් දුන්හ. මෙරට වර්තමාන කාන්තා ජනගහන ප්‍රතිශතය 51%ක් පමණ වන නමුත් කාන්තා ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 34%ක් පමණ වේ. එසේම වර්තමානයේ ශීඝ්‍රයෙන් දියුණුවන සංචාරක ක්ෂේත්‍රයට පහසුකම් සැපයීම සඳහා කාන්තා ශ්‍රම දායකත්වයට වැඩි කිරීමට අවස්ථාවක් සලසා දීමේ අරමුණින් පවතින නීතිමය සීමාවන් ලිහිල් කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් මෙහිදී සාකච්ඡා විය. එසේම කාන්තා ශ්‍රමිකයන් ඇතුළු සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගතහැකි පියවර පිළිබඳ යෝජනා රැසක් මෙන්ම වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකිරී‍මට අදාළ තත්ත්වයන් පිළිබඳ කරුණු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් කාරක සභාවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ඉදිරියේදී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමටත් අපේක්ෂා කරන බව ගරු කම්කරු අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක්ද කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු කම්කරු අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. 


2026-01-08

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ රැස්වීමක් ගරු ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජන. 07) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.පෙර පැවති කාරක සභා රැස්වීම්වලදී එළැඹි තීරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීම මෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් නිදහස් කිරීම, මාර්ග විවෘත කිරීම සහ පාසල් පවත්වා ගෙන යාම ආදිය පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් බොහෝ ගැටලු කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ඒවාට  සාධනීය විසදුම් ලබා දීමට ගරු ජනාධිපතිවරයා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදුවූ අතර මෙම කටයුතු සිදු කරගෙන යාමේදී තවදුරටත් පවතින බාධා සහ ඊට ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡා විය.එසේම ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු, එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සඳහා වැඩිපුර පිරිස් යොමු කිරීම ආදී කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.ගරු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා ද අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. එසේම  ආරක්ෂක ආමාත්‍යාංශයේ ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ ආරක්ෂක අංශ සාමාජිකයෝ පිරිසක් ද පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද  අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ. 


2026-01-08

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කිරීමට නියමිත මෝටර් වාහන පනත යටතේ නියෝග සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

2025.01.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කිරීමට නියමිත (203 අධිකාරය වූ) මෝටර් වාහන පනත යටතේ නියෝග සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජන. 06) පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව  (203 අධිකාරය වූ ) මෝටර් වාහන පනත යටතේ  අංක  2452/40 දරන අති  විශේෂ  ගැසට්   පත්‍රයේ පල කරන ලද  නියෝග මගින්  කිසියම් මාර්ගයක මෝටර් වාහනයක්, පදවනු ලබන, ක්‍රියාත්මක කරනු ලබන හෝ සත්‍ය වශයෙන් යම් මෝටර් වාහනයක් කායිකව පාලනය කරනු ලබන යම් තැනැත්තකු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට පොලිස් නිලධරයකු විසින් සාධාරණව සැක කරනු ලබන අවස්ථාවක දී ඒ පොලිස් නිලධරයා විසින් ඒ තැනැත්තා රජයේ වෛද්‍ය නිලධරයකු හෝ රෝහල විසින් තත්කාර්ය සඳහා බලය දෙන ලද යම් නිලධරයකු වෙත වැඩිදුර පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කළ යුතු බව දක්වා ඇත. එමෙන්ම  (203 අධිකාරය වූ ) මෝටර් වාහන පනත යටතේ   අංක  2455/29 දරන අති විශේෂ  ගැසට්  පත්‍රයේ පල කරන ලද  නියෝගය මගින් අධිවේගී මහා මාර්ගයක  රථවාහන වල ගමන් කිරීමේදී සෑම පුද්ගලයෙකුම ,පුද්ගල ආරක්ෂක ආසන පටියක් පැළඳ සිටිනු ලැබිය යුතු  බව දක්වා ඇත. ඒ අනුව මෙම නියෝග සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය. තවද මෙම රැස්වීමේදී දිවයින තුළ ඇතිවූ හදිසි ආපදා තත්ත්වය  හේතුවෙන්  සිදුවූ හානිය  සහ ඒවා  යථා තත්ත්වයට පත්කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු  කාරක සභාව දැනුවත් කළහ.  ඒ අනුව කිලෝමීටර 1481 පමණ දුරකින් යුත්, මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග කොටස්  287ක් කැඩී ගොස් ඇති බව එම අධිකාරියේ නිලධාරීහු පැවසූහ. ඒවා  නැවත ඉදිකිරීම් සඳහා ඇස්තමේන්තු ගතමුදල  රුපියල් බිලියන 86ක් පමණ වන  බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 300ක පමණ අලාභයක් සිදුව ඇති බවද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ. තවද ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් රුපියල් මිලියන 63ක පමණ පාඩුවක්  ලංකා ගමනාගමන මණ්ඩලයට සිදුව තිබෙන බවත් එම නිලධාරීහු පැවසූහ. එමෙන්ම ලංකාවේ මාර්ග පද්ධතියට ඒ ඒ ප්‍රදේශවල සිදුව ඇති හානි පිළිබඳව, මහජනතාවට  අදාළ බලධාරීන් දැනුවත් කිරීම උදෙසා වෙබ් පිටුවක් සකස් කර ඇති බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය. ඒ අනුව https://road-lk.org/ යන වෙබ් පිටුවට පිවිස අදාළ හානි පිළිබඳව දැනුවත් කිරීමේ අවස්ථාව මහජනතාවට පවතින බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ප්‍රවාහන සහ මහාමාර්ග  ගරු නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, අනෙකුත් ගරු  නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.


2026-01-08

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි...

දිත්වා හේතුවෙන් ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන් සඳහා රුපියල් මිලියන 25ක කාරක ප්‍රාග්ධන ණය සහ ආයෝජන යෝජනා ක්‍රමයක් මෙන්ම  5% පොළියට රුපියල් මිලියන 25ක ණය ක්‍රමවේදයක් - මුදල් අමාත්‍යාංශයේ ලේකම්මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ඊයේ (ජන. 07) ගරු. ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විය. කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ  මුදල් අමාත්‍යාංශයේ ලේකම්  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් ද මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී විය.දිත්වා සුළි කුණාටුව හේතුවෙන්  ආපදාවට ලක්වූ කර්මාන්ත සඳහා මුදල් යෙදවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන් සඳහා විවිධ ණය ක්‍රම හඳුන්වා දී තිබෙන බවටද මෙහිදී සඳහන් විය. ඒ අනුව රුපියල් මිලියන  25ක කාරක ප්‍රාග්ධන ණය සහ ආයෝජන යෝජනා ක්‍රමයක්, 5% පොළියට රුපියල් මිලියන 25ක ණය ක්‍රමවේදයක් මේ වන විටත් සකසා තිබෙන බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසී ය.තවද, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙත මේ වන විටත් රුපියල් බිලියනක මුදලක් ලබා දී ඇති  බවත්, එකී මුදල්  නිසි ලෙස තවමත් යොදා නොගැනීම පිළිබඳව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. අමතර මුදල් ලබා දීම සලකා බැලීමට  ප්‍රථමයෙන්  දැනට වෙන් කොට, ලබා දී තිබෙන මුදල් නිසි ලෙස යෙදවීමට ක්‍රමවත් යාන්ත්‍රණයක් සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස මුදල් , ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා මාත්‍යාංශයට  උපදෙස් ලබා දෙන ලදී.තවද, රටේ ආර්ථිකයට දායක වන සෑම ව්‍යාපාරයක්ම ලියාපදිංචි කිරීම සඳහා වූ යාන්ත්‍රණයක අවශ්‍යතාව සහ එහි ප්‍රතිලාභ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැදගත්කමඅමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට බඳුන් විය.ඒ අනුව, පසුගිය ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ලියාපදිංචි නොකළ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්හට සහන සැලසීම පිළිබඳව ද රජය අවධානය යොමු කර ඇති බවත්, ඒ පිළිබඳ වාර්තා ලබා දීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙන බවත් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා  සඳහන් කළේය.එමෙන්ම, ආපදාවෙන් පූර්ණ වශයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ ජනවාරි 09 වන දා අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කරන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා පැවසීය.නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමිය හේමාලි වීරසේකර මහත්මිය, අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්  ඇතුළු  එම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහු පිරිසක්ද, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා)  සහ  (වැඩ බලන) අධ්‍යක්ෂ සන්නිවේදන  එම්. ජයලත් පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks