01

E   |   த   |  

2025-03-05

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට රැස්වෙයි

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට ඊයේ (මාර්තු 04) පාර්ලිමේන්තුවේදී රැස්විය. ඒ එම කාරක සභාවේ සභාපති, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අවස්ථාව සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි යන මහත්වරුන්ද සහභාගී වී සිටියහ.

මෙහිදී දිවයින පුරා රෝහල් හා ඒ ආශ්‍රිතව පවතින ගැටලු සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරයන් කාරක සභාවේ අවධානයට යොමුකළහ. ඒ අනුව දැනට රෝහල්වල භාවිතයට නොගෙන ගාල් කර ඇති ගිලන් රථ වල පවතින දෝෂ සකස් කර රෝගී සත්කාර සේවාවලට භාවිතා කිරීම පිළිබඳව කාරක සභාවේදී සාකච්ජා විය. එහිදී අදහස් දැක්වූ ගරු මන්ත්‍රීවරයන් එම දෝෂ සහිත ගිලන් රථ, රජයට වැය බරක්‌ නොමැතිව පෞද්ගලික මට්ටමින් සකස් කර භාවිතට ගැනීම සඳහා පවතින නීතිමය තත්ත්වයන් පිළිබඳව නිලධාරීන්ගෙන් විමසා සිටියහ. ඒ අනුව එම තත්ත්වය පිළිබඳව සොයාබලා හැකි ඉක්මනින් ගරු මන්ත්‍රීවරයන් දැනුත් කිරීමට සුදානම් බව අදාළ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුළු නඩත්තු කටයුතු සිදුකිරීමට අවශ්‍ය රථවාහන වෙනුවෙන් පළාත් මට්ටමින් නඩත්තු ඒකක ස්ථාපිත කිරීම යෝග්‍ය බවත් ඒ අනුව බස්නාහිර පළාත තුළ එහි ආරම්භක පියවරක් ලෙස එවැනි ඒකකයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔසුසලක් ස්ථාපිත කිරීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා විය. ඒ අනුව අදාළ ස්ථානය හා භූමි ප්‍රමාණයන් නිශ්චිතව හඳුනාගැනීමෙන් අනතුරුව එම ඔසුසල හැකි ඉක්මනින් ස්ථාපිත කර අවසන් කරන බව නිලධාරීහු පැවසූහ. මිට අමතරව නැගෙනහිර පළාතේ රෝහල්වල ඉදිකිරීම් සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය. ඒ අනුව සම්පුර්ණයෙන් ඉදිකිරීම් අවසන් නොකරන ලද රෝහල්වල ඉදිකිරීම්, අවසන් කිරීමට රජය ප්‍රමුඛස්ථානය ලබා දී ඇති බව කාරක සභාව පැවසීය. තවද මෙම සාකච්ඡාවේදී ප්‍රාදේශීය රෝහල්වල පවතින අඩුපාඩු, වෛද්‍යවරුන්ගේ හිඟය, වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ආදී කරුණු සම්බන්ධයෙන් ද අවධානය යොමුවිය.

එමෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා විය. ඒ අනුව රජරට ප්‍රාදේශීය ගුවන් විදුලියේ විකාශන කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යන්නේද යන්න මන්ත්‍රීවරයන් නිලධාරීන්ගෙන් විමසීය. ඒ අනුව වර්තමානයේ රජරට ගුවන් විදුලිය බොහෝ දුෂ්කරතා මධ්‍යයේ විකාශන කටයුතු සිදුකරන බවත් එය නවතා දැමීම පිළිබඳව කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. එමෙන්ම එම ගුවන් විදුලිය නැවත ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා සැලසුම් සකස් කර ඇති බවද එම නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ. රජරට සේවය සඳහා ස්වේච්ඡාවෙන් සම්පත් දායකත්වය ලබාදීම වෙනුවෙන් විශාල කලාකරුවන් හා විද්වතුන් පිරිසක් සුදානමින් සිටින බවත් ඒ සඳහා සම්බන්ධ වීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන ලෙසත් මෙහිදී අදහස් දක්වමින් ගරු මන්ත්‍රීවරයන් අවධාරණය කළහ.

එකිනෙකට වෙනස් විෂය පථයන් දෙකක් පවතින මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එක සැසියකට පැවැත්වීමට වඩා එය සැසි දෙකක් ලෙස ක්‍රියාත්මක කළයුතු බව මන්ත්‍රීවරයන් මෙහිදී යෝජනා කළහ. ඊට පිළිතුරු දැක්වූ කාරක සභා සභාපතිවරයා, අමාත්‍යාංශයේ විෂය පථයන් දෙක පිළිබදව කෙටි කාල සීමාවක් තුළ විධිමත්ව සාකච්ජා කිරීමට අපහසු බවත් මන්ත්‍රීවරයන් යෝජනා කළ පරිදි ඉදිරියේදී මෙම කාරක සභාව තුළ අදාල විෂය පථයන් දෙක වෙන වෙනම සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් පැවසුවේය.

මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරයන්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.




සම්බන්ධිත පුවත්

2026-11-10

ළමා අයිතිවාසිකම් සුරැකීම, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි, ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (නොවැ. 06) රැස්විය. මෙහිදී ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ තාක්ෂණික හා පර්යේෂණමය ධාරිතාව වර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.ඒ අනුව, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) ශ්‍රී ලංකා නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවේදී නොවැම්බර් 20 වැනිදා ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත “විශේෂ ළමා පාර්ලිමේන්තු සහභාගීත්ව වැඩසටහන” පිළිබඳව අවධානය යොමු විය. දිවයින පුරා දරුවන් 1,200 කට අධික පිරිසකගේ අදහස් ලබා ගෙන සකස් කළ ළමා ප්‍රකාශනය (Children’s Statement) දරුවන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත්, ළමා අයිතිවාසිකම් සහ සුභසාධනය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ ළමා සංසදයක් නැවත ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.තවද, ළමා අපයෝජන සම්බන්ධ නඩු කඩිනම් කිරීම, ඒ සඳහා පවතින නීතිමය බාධා ඉවත් කිරීම සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. අනතුරුව, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකා නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවේදී ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 ක ගෝලීය ක්‍රියාකාරී වැඩසටහන පිළිබඳව කරුණු සාකච්ඡා කෙරිණි. නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත ඉහත වැඩසටහන යටතේ “This is my right” යන තේමාවෙන් දැනුවත් කිරීමේ පාගමනක් සංවිධානය කිරීමටත්, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් කර ඇති සැලසුම් පිළිබඳ සාකච්ඡා කෙරිණි.එම පාගමනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට අමතරව මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන්, රාජ්‍ය ආයතනවල නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් සහභාගී කරගැනීමට අපේක්ෂා කරන බව මෙහිදී පැමිණි නියෝජිතයෝ පැවසූහ. එමෙන්ම, ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන්ට සහාය ලබා ගත හැකි ආයතන හා සේවා පිළිබඳ තොරතුරු ඇතුළත් QR කේතයක් සහිත ඩිජිටල් සේවා නාමාවලියක් හඳුන්වාදීම සහ අදාළ පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් සංවාදයක් පැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.මේ අතර, මැක්ස් ප්ලෑන්ක් පදනමේ (Max Planck Foundation) නියෝජිතයන් සමඟ පැවති තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ පසු විපරම් සාකච්ඡාවේදී පාර්ලිමේන්තු පර්යේෂණ සහාය සහ දැනුම හුවමාරුව සම්බන්ධයෙන් අවධානය යොමු විය. නීති කෙටුම්පත් සකස් කිරීම, සංසන්දනාත්මක නීති අධ්‍යයනය සහ පනත් කෙටුම්පත්වල ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව හා මානව හිමිකම් කෙරෙහි ඇති බලපෑම ඇගයීම වැනි ක්ෂේත්‍රවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තාක්ෂණික හා පර්යේෂණමය සහාය ලබාගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.එමෙන්ම, ළමා ආරක්ෂාව, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මුල්කරගත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර ආයතන සමඟ සහයෝගයෙන් ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල සහ සමන්මලී ගුණසිංහ යන මහත්මීන් ඇතුළු කාරක සභා සාමාජික මන්ත්‍රීවරියන් පිරිසක් ද මෙම සාකච්ඡාවලට සහභාගී වූහ.


2026-11-10

රාජ්‍ය ව්‍යවසායයන්ගේ කාර්යසාධනය ඉහළ නැංවීමට නිසි ආයතනික සැලසුම් හා ප්‍රධාන කාර්යසාධන දර්ශක සකස් කිරීමේ වැදගත්කම 'කෝප්' සභාපතිවරයා අවධාරණය කරයි

රාජ්‍ය ව්‍යවසායයන්ගේ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා නිසි ආයතනික හා ක්‍රියාකාරී සැලසුම් සකස් කර, ඒවායේ ප්‍රගතිය මැනිය හැකි ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPIs) හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අවධාරණය කළේය.පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ III වැනි අනු කාරක සභාව හමුවේ පළමු අධියර ලෙස සිය ආයතනික සැලසුම් ඉදිරිපත් කළ  ආයතන 41හි සංයුක්ත සහ ක්‍රියාකාරී සැලසුම්වල ප්‍රධාන කාර්යසාධන දර්ශක පිළිබඳ  ප්‍රගති සමාලෝචන වැඩමුළුව පාර්ලිමේන්තුවේ දී පසුගියදා පැවති අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.රාජ්‍ය ආයතනවල කාර්යභාරය, මූල්‍ය විනය සහ කාර්යක්ෂමතාව නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා නීත්‍යානුකූල බලතල හා වගකීම් හඳුනාගෙන කටයුතු කිරීම අවශ්‍ය බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම, අතීත විගණන ගැටලු පිළිබඳව පමණක් අවධානය යොමු කිරීම වෙනුවට, ආයතනික සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ ඒවා මඟින් අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගෙන තිබේද යන්න ඇගයීමට ලක් කිරීම වැදගත් බව ද ඔහු අවධාරණය කළේය.මෙම වැඩමුළුවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය ඇතුළු ජාතික විගණන කාර්යාලයේ විගණන නිලධාරීන්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ උපදේශකවරුන් වන පී. රණසිංහ සහ  සී. එස්. මායාදුන්නේ යන මහත්වරුන්, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම රාජ්‍ය ව්‍යවසායයන්හි ප්‍රධාන විධායක නිලධාරීන් සහ මූල්‍ය ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-11-10

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනේ

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබා ගැනීම, පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සිදු කරන ලදී.ඒ, එම විශේෂ කාරක සභාව එහි සභාපති, ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ය.මෙහිදී ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (Eelam People's Revolutionary Liberation Front - EPRLF) නියෝජනය කරමින් කේ. ප්‍රේමචන්ද්‍රන්, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (Eros Democratic Front) නියෝජනය කරමින් රාමසාමි රාජේන්ද්‍රන්, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (Eelam People's Democratic Party - EPDP/ඊ. පී. ඩී. පී. ) නියෝජනය කරමින් ශන්මුගනාදන් සන්ජීවන් යන මහත්වරු සිය පක්ෂ වෙනුවෙන් අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ.පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු මැතිවරණ ක්‍රමය, කාන්තා සහ තරුණ නියෝජනය ආදී කරුණු සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය. මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මුනීර් මුලාෆර්, නීතිඥ සුනිල් වටගල, අරුන් හේමචන්ද්‍ර යන මහත්වරු මෙන්ම කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මප්‍රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ සහ ලක්ෂ්මන් නිපුණ ආරච්චි යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.


2026-11-06

තරුණ ප්‍රජාව සහ පාර්ලිමේන්තුව සම්බන්ධ කරගනිමින් ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳ තරුණයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා

තරුණ ප්‍රජාව සහ පාර්ලිමේන්තුව සම්බන්ධ කරගනිමින් ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා කෙරිණි.තරුණයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය එහි සභාපති, ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අතර, එහිදී මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඔෂානි උමංගා මහත්මිය විසින් සකස් කරන ලද තරුණ ව්‍යවසායකත්වය සහ කර්මාන්ත සංවර්ධනය පිළිබඳ යෝජනාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ හිරුණි විජේසිංහ මහත්මිය විසින් සකස් කරන ලද පළාත් පාලන ආයතන තුළ තරුණයන් සවිබලගැන්වීම පිළිබඳ යෝජනාව සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි අම්බිකා සාමිවේල් මෙනෙවිය විසින් සකස් කරන ලද වතු හා වගා ක්ෂේත්‍රයේ තරුණයන් සඳහා වන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් ඉදිරිපත් විය.එමෙන්ම, බාහිර තරුණ සහභාගීත්ව වැඩසටහන සහ නියමු වැඩමුළු මාලාව සම්බන්ධයෙන් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ ගමගේ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්වරුන් විසින් සකස් කරන ලද යෝජනා පිළිබඳව ද දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනිණි.තරුණ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි මෙම යෝජනා පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඒවා අවසන් වශයෙන් සකස් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.මේ අවස්ථාවට සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks