01

E   |   த   |  

2025-02-21

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ජාතික තරුණ සේවා සභාව සහ අනුබද්ධිත ආයතනවල පසුගිය කාලයේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳ ‍සොයා බැලීමට විශේෂ ‘කෝප්’ අනු කමිටුවක්

  • ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් වැයකළ රු. මිලියන 188 ක පමණ චෙක්පත් ජනාධිපතිවරණයට පෙර දින නිකුත් කිරීම පිළිබඳ විමසීමට තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා කෝප් කමිටුවට
  • තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා නිලධාරීන්ට බලපෑම් කළ බව පැහැදිලියි - කෝප් කමිටුව
  • තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ පෞද්ගලික ලේකම්ට එම පත්වීම සඳහා අවශ්‍ය අවම සුදුසුකම් වත් නැති බව තහවුරු වෙයි
  • හිටපු ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් මුදල් අවභාවිතා කොට ඇති බව පැහැදිලියි - කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු
  • එවකට සිටි මුදල් අධ්‍යක්ෂවරයා සිය තනතුරේ කටයුතු කළ ආකාරය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකියි - කෝප් කමිටුව
  • රාජ්‍ය සේවකයින් තමන්ගේ රාජකාරිය නිවැරදිව ඉටු කරමින් තම ආරක්ෂාව තහවුරු කරගන්න - කෝප් සභාපතිවරයාගෙන් සියලු රාජ්‍ය නිලධාරීන්ට ඉල්ලීමක්

 

ජාතික තරුණ සේවා සභාව සහ අනුබද්ධිත ආයතනවල පසුගිය කාලයේ සිදු වූ අක්‍රමිකතා ‍පිළිබඳ සොයා බැලීමට විශේෂ කෝප් අනු කමිටුවක් පත් කිරීමට තීරණය කෙරුණි.

මේ පිළිබඳ තීරණය කෙරුණේ ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා යූත් සර්විසස් (පුද්ගලික) සමාගමේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා, වර්තමාන කාර්ය සාධනය සහ 2021 නොවැම්බර් 16 දින පවත්වන ලද ‍පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ගනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (පෙබ. 20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

පසුගිය 18 වැනිදාද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කෝප් කමිටුව රැස්වූ අතර එහිදී අක්‍රමිකතා රැසක් අනාවරණය කර ගැනීමට හැකි විය. මේ අනුව ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරුන්ද කෝප් කමිටුවට කැඳවා මෙම සාකච්ඡාව ඉදිරියට ගෙනයාමට තීරණය කෙරුණු අතර හිටපු සභාපතිවරුන් සහ අවශ්‍ය නිලධාරීන් ඊයේ දින නැවත කැඳවා එම සාකච්ඡාව ඉදිරියට ගෙනයෑම සිදු විය.

මෙම සාකච්ඡාවේදී ද මූල්‍යමය අක්‍රමිකතා සහ අක්‍රමවත් ක්‍රියාවලීන් රැසක් අනාවරණය වූ අතර එහිදී ජාතික තරුණසේවා සභාව සහ අනුබද්ධිත ආයතනවල පසුගිය කාලයේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳ ‍සොයා බැලීමට විශේෂ කෝප් අනු කමිටුවක් පත් කිරීමට කෝප් කමිටු සභාපතිවරයා තීරණය කළේය. මේ අනුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාගේ සභාපතිත්වයෙන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්මලී ගුණසිංහ, ජගත් මනුවර්ණ, සුනිල් රාජපක්‍ෂ, අසිත නිරෝෂණ එගොඩ විතාන සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ගේ සාමාජිකත්වයෙන් මෙම විශේෂ කෝප් අනු කමිටුව පත් කරන ලදි. ඒ අනුව ඉදිරියේදී අනු කමිටුව රැස්වී මේ සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන සිදු කර සකස් කරන වාර්තාවක් කෝප් කමිටුවට ලබා දීමට නියමිතය.

ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් වැයකළ රු. මිලියන 188 ක් පමණ චෙක්පත් ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සනින් ලබා දීම සම්බන්ධයෙන් පෙර දින සාකච්ඡාවේදී තහවුරු වූ බැවින් මේ සම්බන්ධයෙන් අදාළ හිටපු සභාපතිවරයා කමිටුවට කැඳවා විමසා සිටීම සිදු විය. මෙහිදී ඔහු පැවසුවේ මෙම ගෙවීම් කළේ මාස 3 කට 4 කට පෙර පැවති වැඩසටහන් වෙනුවෙන් බවයි. නිලධාරීන් තමා බලපෑම් කළේ යැයි පැවසීම සම්බන්ධයෙන් තමා පුදුම වන බවද පැවසීය. මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ අතර මෙහිදී ද නිලධාරීන් ‍සඳහන් කළේ අදාළ දින සවස 2 සිට 5 කාලය ඇතුළත මෙම චෙක්පත් සහතික කර දෙන ලෙස හිටපු සභාපතිවරයා බලපෑම් කළ බවයි. මේ අනුව කමිටුව පෙන්වා දුන්නේ හිටපු සභාපතිවරයා මෙහිදී බලපෑම් කළ බව තහවුරු වන බවයි.

එසේම මෙහිදී තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා පත් කොට ඇත්තේද එම පත් කිරීම වෙනුවෙන් අවශ්‍ය අවම සුදුසුකම් වත් නොසලකමින් බව අනාවරණය විය. නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම පත් කිරීම සඳහා උපාධියක් පැවතීම අත්‍යවශ්‍ය බවයි. නමුත් අදාළ පෞද්ගලික ලේකම්වරයාගෙන් එම සුදුසුකම් ඉල්ලා සිටි විට ඔහු එවා තහවුරු කිරීමට අසමත් වූ බවත් එබැවින් එම තනතුරෙන් ඉල්ලා අස් වූ බවත් මෙහිදී අනාවරණය විය. අදාළ පෞද්ගලික ලේකම්වරයා ද මෙම ස්ථානයට පැමිණ සිටි අතර ඔහුගෙන් කමිටුව මේ සම්බන්ධයෙන් විමසා සිටි අතර එම අවධියේදී තමන් උපාධිය හදාරමින් සිටි බවත් එය සම්පූර්ණ කොට නොතිබුණු බවත් හෙතෙම පැවසීය. එසේම මෙම තනතුරෙන් ඉවත් වී ඔහු ජාතික තරුණසේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට එක් වී සේවය කොට ඇති බවත් මෙහිදී අනාවරණය විය. තවද පළාත් අධ්‍යක්ෂවරුන් සහ ‍අනෙකුත් නිලධාරීන්ද පෙන්වා දුන්නේ මෙම පුද්ගලයාද විවිධ කටයුතු වලදී නිලධාරීන්ට බලපෑම් කළ බවයි.

තවද මෙහිදී තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ ස්මාර්ට් යූත් අවුරුදු උත්සවය පිළිබඳවද සාකච්ඡා කෙරුණි. මෙහිදීද නිවැරදි ක්‍රියාවලියක් අනුගමනය නොකරමින් මෙම වැඩසටහන ද ක්‍රියාත්මක වී ඇති බව කමිටුවට අනාවරණය වූ අතර කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේ  තරුණසේවා සභාවේ සභාපතිවරයාගේ උවමනාව මත මෙම සියලු කටයුතු සිදු වී ඇති බව පැහැදිලි වන බවයි. එසේම මෙහිදී සැපයුම්කරුවන් සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී කමිටුව ප්‍රශ්න කළ අතර හිටපු සභාපතිවරයා පෙන්වා දුන්නේ තමන්ට ලිපි විශාල ප්‍රමාණයක් යොමු වූ බවත් ඒවා තමන් අදාළ අංශ වෙත යොමු කරන බවත්ය. එසේම මෙම වැඩසටහන් වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මුදල් වෙන් වූ බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. නමුත් මෙම ක්‍රියාවලිය අවිධිමත් ආකාරයෙන් සිදු වී ඇති බව පැහැදිලි වන බව කෝප් කමිටුව පෙන්වා දුන්නේය.

එසේම ජනාධිපතිවරණ සමයේ තරුණ සේවා සභාව විසින් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රචාරණය වෙනුවෙන් වැඩසටහන් සංවිධානය කොට ඇති බව පැහැදිලි වන බව කාරක සභාව තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාට පැවසීය. මෙහිදී හිටපු සභාපතිවරයා පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවෙන් පෙන්වා දුන් උපදෙස් අනුව එතෙක් කරගෙන ගිය වැඩසටහන් සියල්ල නැවැත්වූ බවත් ජනාධිපති ලේකම් කාර්යාලය හා එක්ව ක්‍රීඩාව පමණක් අරමුණු කරගත් ස්මාර්ට් ෆියෙස්ටා වැඩසටහන ක්‍රියාත්ම කළ බවයි. නමුත් කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ නම වෙනස් කරමින් පෙර වැඩසටහනම ක්‍රියාත්මක කොට ඇති බවයි. එසේම මෙම  ස්මාර්ට් ෆියෙස්ටා වැඩසටහන වෙනුවෙන් සිදු කළ සංගීත වැඩසටහනක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 43ක් වියදම් කොට ඇති බවත් එම වීඩියෝව තරුණ සේවා සභාවට නොලැබී ඇති බවත් මෙහිදී අනාවරණය විය. නමුත් හිටපු සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙම වීඩියෝව තරුණ සේවා සභාවට ලබා දී ඇති බවයි. මේ අනුව මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් සොයා බලන ලෙස කාරක සභාව නිර්දේශ කළේය.

මීට අමතරව ජාතික තුරුණු පොසොන් කලාපය සහ යාපනය සහ අම්පාර තරුණ හමුව වැඩසටහන් පැවැත්වීම සම්බන්ධයෙන්ද මෙහිදි අවධානය යෙ‍ාමු විය. විශේෂයෙන්ම මෙම වැඩසටහන වෙනුවෙන් ඩබ්. ඩී. වීරසිංහ පදනම සම්බන්ධවීම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය. එසේම බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය නවීකරණය කිරීම සහ නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ ක්‍රියාවලිය ආශ්‍රිතව 2021 වර්ෂයේ රැස්වූ කෝප් කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.
 
මෙහිදී දීර්ඝ වශයෙන් මෙම කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව එවකට සිටි මුදල් අධ්‍යක්ෂවරයා සිය තනතුරේ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත් නෙ‍ාවන බව කෝප් සභාපතිවරයා පැවසූ අතර රාජ්‍ය සේවකයින් තමන්ගේ රාජකාරිය නිවැරදිව ඉටු කරමින් තම ආරක්ෂාව තහවුරු කරගන්නා ලෙස තමන් සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.කේ.එම්. අස්ලම්, සමන්මලී ගුණසිංහ, කෝසල නුවන් ජයවීර, සුජීව දිසානායක, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම, සුනිල් රාජපක්‍ෂ, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.




සම්බන්ධිත පුවත්

2026-11-14

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභදායී මට්ටමකට ගෙන ඒම සඳහා පස් අවුරුදු සැලැස්මක් - යානා සංචිතය ඉහළ නැංවීම සහ ණය බර පාලනය කිරීම පිළිබඳ අවධානය

ශ්‍රී ලංකන් ගුවන් සේවය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය, අධික ගුවන් ගමන් ප්‍රමාදයන්, ණය බර සහ නව ගුවන් යානා ලබා ගැනීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාදයන් පිළිබඳව යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය.දැනට පවතින ගුවන් යානා 23 කින් සමන්විත සංචිතය ප්‍රමාණවත් නොවීම සහ එම ගුවන් යානා වර්ෂ 12 ක් පමණ පැරණි වීම හේතුවෙන් ගුවන් ගමන්වලට බලපාන තාක්ෂණික දෝෂ සහ ප්‍රමාදයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. එක් ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් හෝ වෙනත් හේතුවක් මත හෝ ප්‍රමාදයක් ඇති වූ විට විකල්ප යානා යෙදවීමේ සීමා හේතුවෙන් සමස්ත ගුවන් ගමන් ජාලයටම බලපෑම් එල්ල වන බව ද මෙහිදී අනාවරණය විය.ගුවන් යානා ලබා ගැනීම සඳහා පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අසාර්ථක වීම සහ ඒ ආශ්‍රිත දීර්ඝ ප්‍රමාදයන් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. මෙම තත්ත්වයට විසඳුමක් ලෙස ගුවන් යානා සහ ඒ ආශ්‍රිත උපකරණ මිලදී ගැනීම සඳහා විශේෂ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බවත්, එය ගැසට් කිරීම සඳහා කටයුතු යොදා ඇති බවත් මෙහිදී සඳහන් කෙරිණි. එමෙන්ම ප්‍රසම්පාදන කටයුතු සෘජුව අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් විශේෂ ප්‍රසම්පාදන අංශයක් ද පිහිටුවා ඇති බව ද මෙහිදී ප්‍රකාශ විය.නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යටතේ ගුවන් යානා සංචිතය පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි ජූනි මාසය වන විට නව නැරෝ-බොඩි ගුවන් යානයක් සහ වයිට්-බොඩි ගුවන් යානා දෙකක් සංචිතයට එක්කර ගැනීමට අපේක්ෂා කරන බව ද සාකච්ඡා විය. 2029 වන විට ගුවන් යානා සංචිතය අවම වශයෙන් යානා 29 ක් දක්වා ඉහළ නැංවීම, පස් අවුරුදු සැලැස්මේ ඉලක්කයක් බවද නිලධාරීහු සඳහන් කළහ.ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය යහපත් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මඟින් පැරණි බැංකු ණය සහ බැඳුම්කර ණය පවරා ගැනීම ඇතුළු පියවර ගෙන ඇති බව මෙහිදී පැහැදිලි කෙරිණි. එමෙන්ම ගුවන් යානා ලීසිං ගාස්තු අඩු කර ගැනීම, ඉන්ධන පිරිවැය පාලනය කිරීම සහ ගුවන් සේවයේ ආදායම් ඉහළ නැංවීම සඳහා වාණිජ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය, ඉන්ධන මිල ඉහළ යාම සහ ජාත්‍යන්තර ගුවන් සේවා සමඟ පවතින තරගකාරීත්වය ද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ ආදායම් කෙරෙහි බලපාන බව මෙහිදී සාකච්ඡා විය.තවද, ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය විසින් පත් කරන ලද කමිටුව මඟින් නව ආයෝජකයන් ලබා ගැනීම, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් ඇති කිරීම හෝ රජය යටතේ පවත්වාගෙන යමින් හෝ පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම ඇතුළු විකල්ප සලකා බලන බව ද සඳහන් විය.ඒ අනුව, ඉදිරි වසර දෙක හෝ තුන හෝ ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සේවය පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම සඳහා ගත යුතු පියවර ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් නොවැම්බර් 30 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට සහ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, නලීන් බණ්ඩාර ජයමහ, රවීන්ද්‍ර බණ්ඩාර, මංජුල සුරවීර ආරච්චි, චතුර ගලප්පත්ති, ධනුෂ්ක රංගනාත්, ජගත් විතාන, ශාන්ත පද්ම කුමාර සුබසිංහ සහ නීතීඥ ගීතා හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-14

ශ්‍රී ලංකාවේ ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී පුළුල් සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ  අවස්ථාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.මෙහිදී, ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව මහතා මේ සම්බන්ධයෙන් කාරක සභාවට සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කළේය. ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සහ ඒවා ඉදිරියට පවත්වාගෙන යාම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.සාකච්ඡා මට්ටමේ පවතින වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන සිදු කරමින් ඒවා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභාව අවධාරණය කළේය.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ එරංග වීරරත්න යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක සපුමල් රන්වල, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ චතුර ගලප්පත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-11-13

විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත සඳහා ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය.එම ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමත කෙරිණි.විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ගෙන් එල්ල වන තර්ජනය වැළැක්වීම සහ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් 2014 සැප්තැම්බර් මස 24 වැනි දින සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2178 දරන යෝජනාව බලාත්මක කිරීම සඳහාත්, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලසීම සඳහාත් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් මස 20 වැනි දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.ශ්‍රී ලාංකික පුරවැසියකු හෝ ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන වෙනත් රටක පුරවැසියකු හෝ ශ්‍රී ලංකාව තුළ සිටියදී හෝ ශ්‍රී ලංකාවෙන් පිටතදී වරදක් සිදුකර ඇති අවස්ථාවක හෝ, එම ක්‍රියාව අදාළ රටේ නීතිය යටතේ ද වරදක් වන අවස්ථාවකදී මෙම පනත යටතේ ශ්‍රී ලංකාව තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව නිලධාරීහු කාරක සභාව හමුවේ පැහැදිලි කළහ.ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නිරත වීම, ඒවා සැලසුම් කිරීම, සූදානම් කිරීම හෝ ඒවාට සහභාගී වීම මෙන්ම ත්‍රස්තවාදී පුහුණුව ලබා දීම හෝ ලබා ගැනීම ද මෙම පනත යටතේ වැරදි ලෙස අර්ථ දක්වා ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.විදේශ රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් වාර්ගික පදනම මත මෙම නීතිමය විධිවිධාන හඳුන්වා දී නොමැති බව ද නිලධාරීන් විසින් කාරක සභාවට අවධාරණය කරන ලදී.දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාව විසින් අදාළ පනත් කෙටුම්පත අනුමත කරන ලදී. කෙසේ වෙතත්, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා මෙම පනත් කෙටුම්පතට සිය විරෝධය පළ කළේය.මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරංග රත්නායක, තිලිණ සමරකෝන්, විජේසිරි බස්නායක සහ සිවඥානම් ශ්‍රීතරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2026-11-13

විදුහල්පති සේවයේ වැටුප් විෂමතා පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභා අනුකමිටුවේ දී සාකච්ඡා කෙරේ

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මේ සඳහා විදුහල්පති සේවයේ වෘත්තීය සමිති නියෝජිතයින්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු  සහභාගී වූහ.ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම උසස්වීමක් ලෙස නොව “නව පත්වීමක්” ලෙස සැලකීම මෙම වැටුප් විෂමතාවට හේතු වී ඇති බව වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දුන්හ.ගුරු සේවයේ I ශ්‍රේණියේ සිට විදුහල්පති සේවයේ III ශ්‍රේණියට පත්වීමේදී වැටුප් වර්ධක අතර පවතින සැලකිය යුතු වෙනස හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වන බව ද ඔවුහු සඳහන් කළහ.එසේම, විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් වෙනස පියවීම සඳහා ගැලපුම් දීමනාවක් ලබා දී තිබුණ ද, සේවා කාලය ඉදිරියට යාමේදී ගුරු සේවයේ තවදුරටත් රැඳී සිටියේ නම් හිමි වන ඉහළ වැටුප් වර්ධක නොලැබීම හේතුවෙන් යළිත් වැටුප් පරතරයක් ඇති වන බව ද ඔවුහු පෙන්වා දුන්හ.මේ හේතුවෙන් ගුරු සේවයේ I සහ  II -I ශ්‍රේණිවල සේවය කරන ජ්‍යෙෂ්ඨ හා පළපුරුදු ගුරුවරුන් විදුහල්පති විභාගයට පෙනී සිටීමට සහ විදුහල්පති සේවයට පිවිසීමට අධෛර්යමත් වන තත්ත්වයක් මතුව ඇති බව ද මෙහිදී අවධාරණය කෙරිණි.කාරක සභාවට ඉදිරිපත් වූ කරුණු සලකා බලා මේ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව වෙත අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අනුකමිටුවේ සභාපතිවරයා පැවසීය.මීට අමතරව, විදුහල්පති සේවයේ නියුතු නිලධාරීන් මුහුණ දෙන අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ආයතන අධ්‍යක්ෂ ජනරාල් සමග සාකච්ඡා කිරීමට ද අනුකමිටුව විසින් තීරණය  කරන ලදී.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks