පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-02-21
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
මෙරට ක්‍රීඩා සහ තරුණ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් අනු කමිටු දෙකක් පත් කරන ලදී.
ඒ අනුව ක්‍රීඩා කටයුතු අනු කමිටුව සඳහා කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන නීතිඥ නිලන්ති කොට්ටහච්චි , රුවන් මාපලගම, මයිල්වාගනම් ජෙගදීස්වරන් , නීතිඥ හිරුනි විජේසිංහ යන මහත්ම මහත්මීන් පත්කරන ලදී. එමෙන්ම තරුණ කටයුතු සඳහාවූ අනු කමිටුව වෙනුවෙන් කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන ලසිත් භාෂණ ගමගේ, දිනිඳු සමන්, කෝසල නුවන් ජයවීර යන මහත්වරුන් පත්කරන ලදී. එහිදී ස්වකැමත්ත මත අනෙකුත් මන්ත්‍රීවරයන්ට එම අනු කමිටු හා සම්බන්ධ වී වැඩකටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දෙන ලදී.
මෙලෙස අනුකමිටු පත් කෙරුණේ තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති තරුණ කටයුතු සහ ක්‍රීඩා ගරු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 19 වැනි දා පාර්ලිමේන්තුවේදී පළමු වරට රැස්වූ අවස්ථාවේදීය. මේ අවස්ථාව සඳහා තරුණ කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාද එක්ව සිටියේය.
මෙහිදී දිවයින පුරා ක්‍රීඩාවේ මෙන්ම තරුණ කටයුතු පිළිබඳව පවතින ගැටලු හා එම අංශ ශක්තිමත් කිරීම සඳහා යෝජනාවන්ද ගරු මන්ත්‍රීවරයන් විසින් ඉදිරිපත් කළහ. උතුරු නැගෙනහිර පළාත්වල මෙන්ම කඳුකරයේ දරුවන් ක්‍රීඩාව සම්බන්ධයෙන් දක්වන උනන්දුව ප්‍රශස්ථ මට්ටමක නොතිබීම හා ඒ හේතුවෙන් ඔවුන් සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමුවීමේ ප්‍රවනතාවයක් මතුව ඇති බව ගරු මන්ත්‍රීවරයන් අවධාරණය කළහ. එම නිසා ක්‍රීඩාව කෙරෙහි දරුවන් නැඹුරු කිරීම සඳහා දැනුවත් කිරීම් මුලික කරගත් වැඩසටහනක අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ජා කෙරිණි.
මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපති ගරු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ක්‍රීඩාව මෙරට ජාතික සමගිය ඇතිකිරීමේ ප්‍රභල සාධකයක් බව පෙන්වා දෙමින් මෙරට සියලු පළාත්වල ක්‍රීඩාව සම්බන්ධ ගැටලු පවතින බව පෙන්වා දුන්නේය. ක්‍රීඩාව සම්බන්ධව පවතින විවිධ ගැටලු පිළිබඳව ලිඛිතව අමාත්‍යාංශය දැනුවත් කරන ලෙසත් ,අමාත්‍යාංශය මැදිහත්ව මෙරට ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සියලුම ගැටලු නිරාකරණය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව, කාරක සභා සභාපතිවරයා මෙහිදී පැවසුවේය. තවද මෙරට ක්‍රීඩාව දියුණු කිරීමේ මුවාවෙන් සිදු කර ඇති දුෂණ , අක්‍රමිකතා හඳුනාගෙන අදාළ ක්‍රියාමාර්ග ගැනීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩි දුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.
තවද පාසල් දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් කුඩා කළ සිට හඳුනාගනිමින් එම හඳුනාගත් තොරතුරු එක් පද්ධතියක නොතිබීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා විය. ඒ අනුව එම තොරතුරු එක් පද්ධතියක පැවතීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභා සභාපතිවරයා මේ වන විට ස්වෙච්ඡාවෙන්ම මෘදුකාංග ඉංජිනේරුවරයෙක් විසින්, දත්ත රැස්කිරීමේ පද්ධතියක් නිර්මාණය කිරීමේ වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් පෙන්වා දුන්නේය.
එමෙන්ම තරුණ කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් දක්වමින් ගරු මන්ත්‍රීවරයන් ජාතික තරුණ සේවා සභාවේ සිදුව ඇති දුෂණ අක්‍රමිකතා පිළිබඳවද කරුණු ඉදිරිපත් කළහ.ඒ අනුව ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.
මේ අතර 2022 වර්ෂය සඳහා ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තාව අනුමතිය සඳහා කාරක සභාවට ඉදිරිපත් කර තිබුනද එම වාර්තාව අධ්‍යනය කිරීමට කාලය අවශ්‍ය බැවින් ඉදිරියේදී නැවත කාරක සභාව තුළ එම වාර්තාව සළකා බැලීමට තීරණය කෙරිණි.
මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු අමාත්‍යවරුන් , ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් , කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරයන්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-19
කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-18
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද සංසදය විසින් මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.
2026-06-17
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-17
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09) පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks