logo

01

E   |     |  

2024-11-21

පුවත් කාණ්ඩ : පුවත් 

දසවැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරය‍ා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා තේරී පත් වෙයි

•    නියෝජ්‍ය කථානායක ධුරය ජාතික ජන බලවේගයේ වෛද්‍ය රිස්වි සාලි මහතාට...

•    නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය ජාතික ජන බලවේගයේ හේමාලි වීරසේකර මහත්මියට...

 

දසවැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධුරයට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය අශෝක රන්වල මහතා ඒකමතිකව තේරී පත්විය. අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රන්වල මහතාගේ නම යෝජනා කරන ලද අතර අමාත්‍ය ගරු විජිත හේරත් මහතා විසින් ස්ථිර කරන ලදී.

අනතුරුව කථානායකවරයාගේ නම යෝජනා ස්ථිර කළ අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් සාම්ප්‍රදායිකව නව කථානායකවරයා සිය අසුන වෙත කැඳවාගෙන යෑම සිදුවිය. මෙහිදී කථානායකවරයා විසින් තමා පත්කිරීම පිළිබඳව කෙටි ස්තූතිය පිරිනැමීමක් සිදු කළ අතර අනතුරුව කථානායකවරයා විසින් මහලේකම්වරිය ඉදිරියේ සිය ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දෙන ලදී. අනතුරුව අනෙකුත් සියලු මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම සිදුවිය.

ඉන්පසු නව කථානායකවරයාගේ තේරී පත්වීම පිළිබඳ අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය, සමගි ජන බලවේගයේ නායක ගරු සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක ගරු රවුෆ් හකීම් යන මහත්ම මහත්මීහු සුභාශිංෂණ එක් කළහ.   

කථානායක ධුරයට තමා පත් කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කළ කථානායකවරයා පවසා සිටියේ රටේ උත්තරීතරම ආයතනයක් ලෙස පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය, ගෞරවය ආරක්ෂා කරමින් කටයුතු කිරීමට කැපවන බවයි.  එසේම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා පිළිවෙත් අනුව ආදර්ශවත් පාර්ලිමේන්තුවක් සඳහා කටයුතු කරන බවත් ඒ සඳහා සියලු පාර්ශවයන්ගේ සහය අපෙක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය. එසේම රටේ ජනතාව අපේක්ෂා කරන නව දේශපාලන සංස්කෘතියක් සහිතව පාර්ලිමේන්තු ක්‍රියාවලිය වඩාත් ඵලදායිව ක්‍රියාත්මක කිරීමට උපරිම කැපවන බවත් කථානායකවරයා සඳහන් කළේය. තවද පාර්ලිමේන්තු කාරක සභා යාන්ත්‍රණය වඩාත් විධිමත්  කිරිීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සියලු දෙනාගේ සහය අපේක්ෂා කරන බවත් පැවසූ කථානායකවරයා පාර්ලිමේන්තු කටයුතුවලදී ආදර්ශවත් ලෙස සහ  විනයානුකූලව දායකත්වය ලබා දෙන ලෙසත් වැඩිදුරටත් සියලු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේය.

ආචාර්ය ගරු අශෝක රන්වල මහතා ජාතික ජන බල‍වේගය නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුමේන්තුවට තේරී පත් විය.  ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු ලෙස සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ ඒ මහතා වර්තමානයේ ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකයෙකු වේ. ගම්පහ දිස්ත්‍රික්කයේ බියගමදී උපත ලද රන්වල මහතා මූලික අධ්‍යාපනය බියගම යටිහේන ප්‍රාථමික විදුහලෙන් සහ උසස් අධ්‍යාපනය ගම්/හෙනේගම මධ්‍ය මහා විදුහලෙන් ලබා තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ඉංජිනේරු උපාධිධාරියෙක් වන නව කථානායකවරයා ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් ජෛව රසායනය පිළිබඳ ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කර තිබේ. බියගම ප්‍රාදේශීය සභාවේ සහ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස ද ඒ මහතා කටයුතු කර ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි මහතා තේරී පත්වූ අතර ඒ මහතාගේ නම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ අමාත්‍ය ගරු සරෝජා පෝල්රාජ් යන මහත්ම මහත්මීහූ යෝජනා ස්ථිර කළහ.

ගරු වෛද්‍ය මොහාමඩ් රිස්වි සාලි මහතා ජාතික ජනබලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකයෙකු වන අතර ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික සංසදයේ ද සාමාජිකයෙකි. දශක තුනකට වැඩි කාලයක් වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස සේවය කර ඇති ඒ මහතා 2024 මහ මැතිවරණයට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්විය.

තවද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය සඳහා  ගරු හේමාලි වීරසේකර මහත්මිය ඒකමතිකව තේරී පත් වූවාය. අමාත්‍ය ගරු  සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඇගේ නම යෝජනා කරන ලද අතර ගරු සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් ස්ථිර කරන ලදී. හේමාලි වීරසේකර මහත්මිය ජාතික ජනබලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරියකි. කොළඹ යසෝධරා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇති ඇය වෘත්තියෙන් වෛද්‍ය රසායනාගාර තාක්ෂණික නිලධාරිනියක ලෙස සේවය කොට තිබේ. ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විධායක සභික සහ ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් කාන්තා විධායක සභික ලෙස කටයුතු කර ඇති වීරසේකර මහත්මිය මහර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරියක් ද වේ.




සම්බන්ධිත පුවත්

2026-07-31

කාම්බෝජයේ පැවැත්වෙන දෙවැනි අන්තර් පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සමුළුව සඳහා ගරු කථානායකවරයාට ඇරයුම්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ අන්තර් පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සමුළුවේ (Inter-Parliamentary Speakers' Conference - ISC) මහලේකම් ඒක් නාත් ධකල් (Ek Nath Dhakal), මහතා අතර හමුවක් පසුගියදා  පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.මෙම හමුවේදී, 2026 අගෝස්තු 26 සිට 28 දක්වා කාම්බෝජයේදී පැවැත්වීමට නියමිත දෙවැනි අන්තර් පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සමුළුවට (ISC) සහභාගී වන ලෙස කාම්බෝජ රාජධානියේ ගරු ජනාධිපතිතුමා විසින් ගරු කථානායකවරයා වෙත යොමු කරන ලද නිල ආරාධනය, අන්තර් පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සමුළුවේ මහලේකම් ඒක් නාත් ධකල් මහතා විසින් ගරු කථානායකවරයා වෙත පිළිගන්වන ලදී.“සාමය සහ සමෘද්ධිය සඳහා සහයෝගීතාව: අභ්‍යන්තර නීති ශක්තිමත් කිරීම සහ ගැටුම් සාමකාමීව විසඳීම” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වීමට නියමිතය.මෙහිදී පැවති සුහද සාකච්ඡාවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ, වර්තමාන ගෝලීය පසුබිම තුළ මෙම සමුළුවේ තේමාව කාලෝචිත මෙන්ම ඉතා වැදගත් කරුණක් වන බවයි.මෙහිදී අන්තර් පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සමුළුවේ කටයුතු සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ද අවධානය යොමු වූ අතර, සාමය, නීතියේ ආධිපත්‍යය සහ සාමූහික සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තු අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, අන්තර් පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සමුළුවේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විධායක අධ්‍යක්ෂ සයිටෝ හජිමේ (Saito Hajime) සහ එක්සත් සාම සම්මේලනයේ (UPF) ශ්‍රී ලංකා මහලේකම් වෛද්‍ය චූලා සේනාරත්න යන මහත්ම මහත්මීහූ ද සහභාගී වූහ.


2026-07-30

ජනතා නියෝජිතයන්ව පාර්ලිමේන්තුවට පත්කොට එවිය යුත්තේ රාජ්‍යතාන්ත්‍රිකයන් ලෙස මිස දේශපාලකයන් ලෙස නොවෙයි – නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා

ජනතා නියෝජිතයන්ව පාර්ලිමේන්තුවට පත්කොට එවිය යුත්තේ රාජ්‍යතාන්ත්‍රිකයන් ලෙස මිස දේශපාලකයන් ලෙස නොවන බව  ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා අවධාරණය කළේය. දේශපාලකයන් ඊළඟ ඡන්දය බලාගෙන වැඩ කරන බවත්, රාජ්‍යතාන්ත්‍රිකයන් දරුවන්ගේ යහපත  ගැන සිතා වැඩ කරන බවත් ඒ මහතා සඳහන් කළේය.කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී  පැවති අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ගරු නියෝජ්‍ය කථානායකවරයා මෙම අදහස් පළ කළේය.කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන්ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ප්‍රයෝගික අත්දැකීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාවලිය පිළිබඳව  අවබෝධයක් ලබා දීමේ අරමුණින්   ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යංශය  එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.වැඩිදුරටත් සභාව ඇමතු ගරු  නියෝජ්‍ය  කථානායකවරයා,  “ නීතියට ගරු නොකරන මිනිසුන් සිටින රටකට වෙන විපත සිතා ගැනීමටත් නොහැකියි. රටට අවශ්‍ය නීති සම්පාදනය කිරීම පාර්ලිමේන්තුවෙන් සිදු වෙනවා. එයට තෝරා එවිය යුත්තේ නිතියට ගරුකරන , නීතියට යටින් ඉන්න අයයි.   රටට අවශ්‍ය නීති හැදිය හැක්කේ ඒ අයට පමණයි.දරුවන්ගේ සිහින යථාර්තයක් බවට පත්  කිරීමට  තමන්ගේ උපරීම ශක්තිය යොදන ගුරුවරුන්ට ගෞරව කරන්න. ඔවූන්ට හොඳින් සවන් දෙන්න. ඔවූන්ගේ අශිවාදය නිරන්තරවම ලබා ගන්න.  ශිෂ්‍ය ඔබ  අනාගතයේදී ඉහළ  තත්ත්වයකට පැමිණියත් තමන්ට සිප්සතර ඉගැන්නු ගුරුවරු තවමත් ගුරුවරුමයි.  තමන් කුමන  රැකියාව කළත් එය  ආදරයෙන්  කරන්න. කරන  රැකියාව ගැන සතුටු වන්න. එයට ගෞරවය දෙන්න.  රැකියාවේ නිරත වන විට අවංක වෙන්න.  තමන්ට වඩා දරුවන් ශ්‍රේෂ්ඨ විය යුතු  බවට හිතන දෙන්නා තමයි දෙමාපියන්. ශිෂ්‍ය ඔබව පෝෂණය කරන  ඔවුන්ට ගෞරව කරන්න, දරුවෝ දෙමාපියන්ව  අනුගමනය කරනවා. ඒ නිසා තමන්ගේ දරුවන් ඉදිරියේ ආදර්ශමත් වීම දෙමාපියන් සතු වගකීමක්.  නීතියට ගරුකරන විට තමන් නීතිගරුක පුරවැසියෙක් යන හැඟීම ඇති වෙනවා . ශිෂ්‍ය ඔබ අද මෙම ස්ථානයෙන් පිටත්ව යන විට නීතියට ගරු කරන පුරවැසියන් බවට පත් වන බවට ධාරණය කර ගන්න. ” යනුවෙන් සඳහන් කළේය.ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය  දම්මික පටබැඳි මහතා ද අදහස් දක්වමින් " පසුගිය කාලයේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ජනවරමට විරුද්ධව පාවිච්චි වීම නිසා  ජනතාවගේ අප්‍රසාදයට එය  ලක් වෙලා. බලයට එන අය , බලය රැක  ගන්න, දුෂිතයන්  රැක  ගන්න වරප්‍රසාද  පාවිච්චි කළා. ජනවරමට  වගකියන, වගකීම් සම්පන්න, සංයමයක්, විනයක් , ආදර්ශයක් ඇති තැනක් බවට පාර්ලිමේන්තුව පත් කීරීමට රජය උත්සහ ගන්නවා.කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයීය  ශිෂ්‍යාවන්  විශිෂ්ට ගණයේ පාර්ලිමේන්තු සැසියක් පැවැත්තුවා. රටට හොඳ අනාගතයක් තිබෙන බව දැක්කා.   අනාගතයේදී ශිෂ්‍ය ඔබ මේ රට පාලනය  අතටගෙන ඔබෙන් පසු පරම්පරාව වෙනුවෙන් ඔබගේ වගකීම ඉටු කරන්න" යැයි පැවසිය.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ  ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ එම්. ජයලත් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ වැඩකටයුතු මෙහෙය වීමට පාදක කරගනු  ලබන ප්‍රධාන මුලාශ්‍ර පිළිබඳව ද සිසුන්ව මනා ලෙස  දැනුවත් කළේය.ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය ආරම්භ කරමින්, කථානායකවරිය තෝරා පත් කර ගැනීම සහ මන්ත්‍රීවරියන් දිවුරුම් දීම සිදු විය. අමාත්‍ය ධුර දරන ශිෂ්‍යාවෝ තම අමාත්‍යාංශ හරහා පාසල තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ සංවර්ධන යෝජනා සභාවට ඉදිරිපත් කළහ.මෙම අවස්ථාවට සහභාගී වූ ශිෂ්‍යාවන් වෙත ගරු නියෝජ්‍ය කථානායකවරයා ඇතුළු සම්භාවනීය ආරාධිතයින්ගේ අතින් සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදු විය.වැඩසටහන අවසානයේ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ  විදුහල්පතිනි ගංගානි තිලකරත්න මැණිකේ  මහත්මිය ස්තුති කතාව සිදු කළාය. සම්භාවනීය ආරාධිතයන් සමග ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් සහ ගුරු මණ්ඩලය සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මාලාවේ තවත්  එක්  පියවරක් ලෙස මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කෙරුණු අතර, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් නදීක දංගොල්ල, පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (සන්නිවේදන) සමන්ත මල්ලවආරච්චි යන මහත්වරුන් සහ  ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ගුරු මණ්ඩලය, දෙමාපියන් සහ සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2026-07-30

පාර්ලිමේන්තුව අගෝස්තු 04 සිට 07 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව අගෝස්තු 04 සිට 07 දක්වා රැස්වීමට නියමිත ය.එම පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම්වලදී තීරණය විය.අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති අගෝස්තු 05 බදාදා හැර අන්  සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අගෝස්තු 04 අගහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ පරිපූරක ඇස්තමේන්තුව සහ විගණකාධිපතිගේ වැටුප නිශ්චය කිරීම, පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව තිබේ.  ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා කාලය ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සඳහා වෙන් කර ඇත. අගෝස්තු 05 බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත.  පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව.  11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග  27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා ඔස්ට්‍රේලියාවට ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ණය ආපසු ගෙවීමට අදාළ සයිබර් අපරාධමය වංචාව සම්බන්ධ රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාව පිළිබඳ විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය වී ඇත. අගෝස්තු 06 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) සහ සත්ත්ව (සංශෝධන) යන පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ (මෙම පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභායෝගයට ලක් නොවුවහොත්) දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර  ඇත.අගෝස්තු 07 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිතව ඇත.  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමපෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ නමකන්දසාමි ප්‍රභූ මහතාකිරි නිෂ්පාදන අංශයෙන් ස්වයංපෝෂිත්වය ප්‍රවර්ධනය කිරීමහෙක්ටර් අප්පුහාමි මහතාකඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට වැඩසටහනක් සකස් කිරීමඑම්.එස්. උදුමාලෙබ්බේ මහතාමඩකලපුව සිට පොතුවිල් දක්වා දුම්රිය මාර්ගය පුළුල් කිරීම හෝ මාතර සිට කල්මුණේ දක්වා දුම්රිය මාර්ගය පුළුල් කිරීමඉම්රාන් මහරූෆ් මහතාකොරෝනා වසංගතය පැවති කාලය තුළ, ඒකපාර්ශ්විකව හා බලහත්කාරයෙන් මුස්ලිම් ජනතාවගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කොමිෂන් සභාවක් පිහිටුවීමදයාසිරි ජයසේකර මහතාරසායන ද්‍රව්‍ය යොදා පලතුරු ඉදවීම නතර කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමසුසන්ත කුමාර නවරත්න මහතාශ්‍රී ලංකාවේ වන සතුන් කළමනාකරණය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සහ ක්‍රමවේදයක් සකස් කිරීමෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාසංවර්ධනයේ කලාපීය විෂමතා අවම කිරීම සඳහා වෙන් වූ විශේෂ සංවර්ධන අරමුදලක් පිහිටුවීමඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර  ඇත.


2026-07-28

කිරි ගොවීන් නඟා සිටුවීමේ ජාතික කිරි නිෂ්පාදන වැඩසටහනට 2026 අයවැයෙන් රුපියල් මිලියන 1,000ක්

කිරි ගොවීන් නඟා සිටුවීමේ ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන සඳහා 2026 වසරේ ජාතික අයවැයෙන් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන යටතේ Dairy Hub සමිති 325ක් හරහා කිරි ගොවීන් සංවිධානය කිරීම, කිරි ආශ්‍රිත ව්‍යවසායකයින් බිහි කිරීම සහ ඔවුන්ගේ නිෂ්පාදන හැකියාවන් ඉහළ නැංවීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.මෙම වැඩසටහන හරහා මෙරට වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 410 සිට ලීටර් මිලියන 1,200 දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව බවද ඔහු සඳහන් කළේය.එමෙන්ම අභිජනන ගොවිපළ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් නිකවැරටිය කිරි ගොවිපළ සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බවත්, පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු මඟින් කිරි ගොවීන් නඟා සිටුවීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම, කිරි ගොවීන්ගේ ආදායම් ශක්තිමත් කිරීම සහ දේශීය කිරි අවශ්‍යතාව සපුරාලීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks