පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2024-11-21
• නියෝජ්‍ය කථානායක ධුරය ජාතික ජන බලවේගයේ වෛද්‍ය රිස්වි සාලි මහතාට...
• නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය ජාතික ජන බලවේගයේ හේමාලි වීරසේකර මහත්මියට...
දසවැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධුරයට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය අශෝක රන්වල මහතා ඒකමතිකව තේරී පත්විය. අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රන්වල මහතාගේ නම යෝජනා කරන ලද අතර අමාත්‍ය ගරු විජිත හේරත් මහතා විසින් ස්ථිර කරන ලදී.
අනතුරුව කථානායකවරයාගේ නම යෝජනා ස්ථිර කළ අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් සාම්ප්‍රදායිකව නව කථානායකවරයා සිය අසුන වෙත කැඳවාගෙන යෑම සිදුවිය. මෙහිදී කථානායකවරයා විසින් තමා පත්කිරීම පිළිබඳව කෙටි ස්තූතිය පිරිනැමීමක් සිදු කළ අතර අනතුරුව කථානායකවරයා විසින් මහලේකම්වරිය ඉදිරියේ සිය ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දෙන ලදී. අනතුරුව අනෙකුත් සියලු මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම සිදුවිය.
ඉන්පසු නව කථානායකවරයාගේ තේරී පත්වීම පිළිබඳ අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය, සමගි ජන බලවේගයේ නායක ගරු සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක ගරු රවුෆ් හකීම් යන මහත්ම මහත්මීහු සුභාශිංෂණ එක් කළහ.
කථානායක ධුරයට තමා පත් කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කළ කථානායකවරයා පවසා සිටියේ රටේ උත්තරීතරම ආයතනයක් ලෙස පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය, ගෞරවය ආරක්ෂා කරමින් කටයුතු කිරීමට කැපවන බවයි. එසේම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා පිළිවෙත් අනුව ආදර්ශවත් පාර්ලිමේන්තුවක් සඳහා කටයුතු කරන බවත් ඒ සඳහා සියලු පාර්ශවයන්ගේ සහය අපෙක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය. එසේම රටේ ජනතාව අපේක්ෂා කරන නව දේශපාලන සංස්කෘතියක් සහිතව පාර්ලිමේන්තු ක්‍රියාවලිය වඩාත් ඵලදායිව ක්‍රියාත්මක කිරීමට උපරිම කැපවන බවත් කථානායකවරයා සඳහන් කළේය. තවද පාර්ලිමේන්තු කාරක සභා යාන්ත්‍රණය වඩාත් විධිමත් කිරිීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සියලු දෙනාගේ සහය අපේක්ෂා කරන බවත් පැවසූ කථානායකවරයා පාර්ලිමේන්තු කටයුතුවලදී ආදර්ශවත් ලෙස සහ විනයානුකූලව දායකත්වය ලබා දෙන ලෙසත් වැඩිදුරටත් සියලු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේය.
ආචාර්ය ගරු අශෝක රන්වල මහතා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුමේන්තුවට තේරී පත් විය. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු ලෙස සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ ඒ මහතා වර්තමානයේ ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකයෙකු වේ. ගම්පහ දිස්ත්‍රික්කයේ බියගමදී උපත ලද රන්වල මහතා මූලික අධ්‍යාපනය බියගම යටිහේන ප්‍රාථමික විදුහලෙන් සහ උසස් අධ්‍යාපනය ගම්/හෙනේගම මධ්‍ය මහා විදුහලෙන් ලබා තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ඉංජිනේරු උපාධිධාරියෙක් වන නව කථානායකවරයා ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් ජෛව රසායනය පිළිබඳ ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කර තිබේ. බියගම ප්‍රාදේශීය සභාවේ සහ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස ද ඒ මහතා කටයුතු කර ඇත.
මේ අතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි මහතා තේරී පත්වූ අතර ඒ මහතාගේ නම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ අමාත්‍ය ගරු සරෝජා පෝල්රාජ් යන මහත්ම මහත්මීහූ යෝජනා ස්ථිර කළහ.
ගරු වෛද්‍ය මොහාමඩ් රිස්වි සාලි මහතා ජාතික ජනබලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකයෙකු වන අතර ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික සංසදයේ ද සාමාජිකයෙකි. දශක තුනකට වැඩි කාලයක් වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස සේවය කර ඇති ඒ මහතා 2024 මහ මැතිවරණයට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්විය.
තවද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය සඳහා ගරු හේමාලි වීරසේකර මහත්මිය ඒකමතිකව තේරී පත් වූවාය. අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඇගේ නම යෝජනා කරන ලද අතර ගරු සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් ස්ථිර කරන ලදී. හේමාලි වීරසේකර මහත්මිය ජාතික ජනබලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරියකි. කොළඹ යසෝධරා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇති ඇය වෘත්තියෙන් වෛද්‍ය රසායනාගාර තාක්ෂණික නිලධාරිනියක ලෙස සේවය කොට තිබේ. ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විධායක සභික සහ ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් කාන්තා විධායක සභික ලෙස කටයුතු කර ඇති වීරසේකර මහත්මිය මහර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරියක් ද වේ.
2026-10-27
ශ්‍රී ලංකාවේ, කටාර් රාජ්‍ය තානාපති, ගරු හමාඩ් බින් මොහොමඩ් අල්-දෝසාරි (H.E Hamad bin Mohammed Al-Dosari) මහතා, ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පසුගියදා (ඔක්. 23) හමුවිය. එහිදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින්, දෙරට අතර සහයෝගීතාව ඉදිරියටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට ඇති කැපවීම අවධාරණය කෙරිණි.මෙම වසරේදී ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්යය අතර රාජ්යතාන්ත්රික සබඳතාවලට වසර 50ක් සපිරීම ද මෙහිදී සිහිපත් කෙරිණි. දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, දෙරටේම ජනතාවගේ යහපත උදෙසා සහයෝගීතාව පුළුල් කර ගැනීමටත්, නව සහයෝගීතා අවස්ථා හඳුනා ගැනීමත් දෙපාර්ශ්වයම අවධාරණය කළහ.තානාපතිවරයා පිළිගත් ගරු කථානායකවරයා, ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්යය අතර පවතින ශක්තිමත් හා සුහද සබඳතා අවධාරණය කළ අතර, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් වර්ධනය කිරීම සඳහා ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්රික හමුවීම් පවත්වාගෙන යාමේ වැදගත්කම පෙන්වා දුන්නේය. දෙරට අතර මෑතකදී සිදු වූ ඉහළ පෙළේ සංචාර සිහිපත් කළ කථානායකවරයා, එමගින් අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කිරීමට සහ සහයෝගීතාව සඳහා පවතින අවස්ථා පුළුල් කිරීමට විශාල දායකත්වයක් ලැබුණු බව සඳහන් කළේය.කටාර් රාජ්යයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්රමිකයන්ගේ වටිනා දායකත්වය ද කථානායකවරයා මෙහිදී අගය කළේය. විශේෂයෙන්ම කටාර් රාජ්යයේ සංවර්ධනයට ඔවුන් ලබා දෙන දායකත්වය මෙන්ම විදේශ ප්රේෂණ හරහා ශ්‍රී ලංකා ආර්ථිකයට ලබා දෙන දායකත්වය ද කථානායකවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව වෙත කටාර් රාජ්යය ලබා දෙන සහාය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ කථානායකවරයා, දෙරටේම අන්‍යෝන්‍ය යහපත උදෙසා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමේදී පාර්ලිමේන්තු රාජ්යතාන්ත්රික සබඳතාවල වැදගත්කම පෙන්වා දුන් ගරු කථානායකවරයා, ශ්‍රී ලංකා - කටාර් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සූදානම ද ප්‍රකාශ කළේය. එමඟින් දෙරටේ පාර්ලිමේන්තු අතර සංවාදය, අත්දැකීම් හා යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීම මෙන්ම අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා අවස්ථාව සැලසෙන බව ද ගරු කථානායකවරයා පැවසුවේය.විශ්වාසවන්ත මිතුරකු සහ හවුල්කරුවකු ලෙස ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට කටාර් රාජ්යය කැපවී සිටින බව තානාපති අල්-දෝසාරි මහතා මෙහිදී යළි තහවුරු කළේය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ සහ ජනතාව අතර පවතින සබඳතා වඩාත් සමීප කර ගැනීමේ වැදගත්කම ද ඒ මහතා අවධාරණය කළේය. එමෙන්ම, සංචාරක, වෙළෙඳ හා ආයෝජන ඇතුළු දෙරටටම වැදගත් වන ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව පුළුල් කර ගැනීමට ඇති අවස්ථා පිළිබඳව ද තානාපතිවරයා පෙන්වා දුන්නේය.දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය දෙරටේම ජනතාවට ප්‍රායෝගික ප්රතිලාභ අත්කර දෙන අයුරින් ඉදිරියට ගෙන යාම සඳහා නව සහයෝගීතා අවස්ථා ගවේෂණය කිරීමටත්, පවතින හවුල්කාරිත්වයන් තවදුරටත් ශක්තිමත් කිරීමටත් දෙපාර්ශ්වය සිය කැපවීම යළි තහවුරු කළහ.මෙම සංචාරය අතරතුරදී තානාපති අල්-දෝසාරි මහතා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වාස්තු විද්යාත්මක වටිනාකම සහ ඒ අවට පරිසරයේ ස්වාභාවික සුන්දරත්වය පිළිබඳව සිය ප්රසාදය පළ කළේය. එසේම, ඒ මහතා පාර්ලිමේන්තු පරිශ්රයේ චාරිකාවකට ද එක්විය.
2026-10-27
දේශපාලන නායකයන් දූෂණයෙන් තොර, අවංක පුද්ගලයන් විය යුතු යැයි සමාජය අපේක්ෂා කරන්නේ නම්, එවැනි නායකත්වයක් බිහිවීම සඳහා සමස්ත සමාජය තුළ ද අවංකභාවය හා සදාචාරාත්මක වටිනාකම් තහවුරු විය යුතු බව ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පැවසීය.ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ශාලාවේදී පසුගියදා පැවති වැල්ලවත්ත සෛව මංගයර් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයට විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් නියෝජ්‍ය කථානායකවරයා මේ බව සඳහන් කළේය.රටේ දේශපාලනඥයන් තෝරා පත් කර ගනු ලබන්නේ සමාජයෙන්ම බව පෙන්වා දුන් ඒ මහතා, අනාගත නායකයන් වන ශිෂ්‍ය ප්‍රජාව පාසල් අවධියේ සිටම අවංකභාවය, සදාචාරාත්මක වටිනාකම් සහ වගකීම්සහගත හැසිරීම ප්රගුණ කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.වැල්ලවත්ත සෛව මංගයර් විද්‍යාලයේ ශිෂ්‍යාවන්ට පාර්ලිමේන්තු ක්රියාපටිපාටි පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දීමේ අරමුණින් එම විද්‍යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.මෙහිදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (ජනාධිපති අරමුදල) සුභාෂ් රෝෂන් මහතා විසින් ජනාධිපති අරමුදල හරහා සිසුන්ට සහ මහජනතාවට ලබා දෙන සේවාවන් පිළිබඳව පැහැදිලි කරන ලදී.කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ආ. සර්වේෂ්වරන් මහතා මෙම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සිසුන් දැනුවත් කළේය. එමෙන්ම, පාර්ලිමේන්තුවේ ප්‍රධාන නිලධාරී ටී.එන්.එම්.පී. ෂහීඩ් මහතා විසින් පාර්ලිමේන්තුවේ කාර්යභාරය සහ එහි ක්රියාකාරීත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය කථානායකවරයා තෝරා පත් කර ගැනීම සහ මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සමඟ ආරම්භ විය. අනතුරුව, ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අමාත්යවරුන් විසින් තම අමාත්‍යාංශ යටතේ පාසල තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබඳ යෝජනා සභාවට ඉදිරිපත් කරමින් අදහස් දැක්වූහ.මෙම වැඩසටහනට සහභාගී වූ ශිෂ්‍ය පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට විශේෂ ආරාධිත අමුත්තන් විසින් සහතිකපත් ප්‍රදානය කරන ලදී. වැල්ලවත්ත සෛව මංගයර් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව භාර ආචාර්ය සින්දූරි පද්මරාජ් මහත්මිය ස්තුති කථාව සිදු කළාය.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාත්මක කරනු ලබන අඛණ්ඩ ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මාලාවේ එක් අදියරක් ලෙස මෙම වැඩසටහන පැවැත්විණි.මෙම අවස්ථාවට ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් නදීක දංගොල්ල යන මහත්වරුන් මෙන්ම, වැල්ලවත්ත සෛව මංගයර් විද්‍යාලයේ විදුහල්පති අරුණ්ධතී රාජවිජයන් මහත්මිය වෙනුවෙන් නියෝජ්‍ය විදුහල්පති මලර්විළි ශ්රීකුමාර් මහත්මිය, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-10-23
‘ප්රජා ශක්ති’ දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය සඳහා වෙන් කරන ලද රු.මිලියන 25,000 ක ප්රතිපාදන මගින් රු.මිලියන 23,000 ක් දිස්ත්‍රික් පදනමින් ප්රජා සංවර්ධන සභා මගින් හඳුනාගනු ලබන ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති බවත්, ඉතිරි රු.මිලියන 2,000 න් ජාතික මට්ටමින් හඳුනාගනු ලබන මධ්‍ය පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවත් ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීම් ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේදී සභාගත කළ පිළිතුරෙහි සඳහන් වෙයි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්රශ්නවලට අමාත්‍යවරයා විසින් ලබා දුන් පිළිතුරේ ඉහත කරුණු සඳහන් විය. එම සභාගත කළ පිළිතුරට අනුව, ප්රජා ශක්ති ජාතික ව්‍යාපාරය යටතේ රු.මිලියන 24,221.38 ක ව්‍යාපෘති 15,725 ක් ආරම්භ කර ඇති අතර ඉන් ව්‍යාපෘති 15,316 ක් ජීවනෝපාය සංවර්ධනය යටතේ ද, 273 ක් අධ්‍යාපනය යටතේ ද සහ 136 ක් සෞඛ්‍ය යටතේ ද ක්‍රියාත්මක වෙයි. මෙම සියලුම ව්‍යාපෘති 2026.12.31 දින වන විට අවසන් කිරීමට නියමිතය.ග්රාම නිලධාරී වසම් මට්ටමින් පිහිටුවා ඇති ප්රජා සංවර්ධන සභා මගින් ඒ ඒ දිස්ත්රික්කවල සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල හඳුනාගත් බහුමාන දරිද්රතාවය තුරන් කිරීම සඳහා ඍජුවම අදාළ වන ව්‍යාපෘති හඳුනා ගැනීමට කටයුතු කරනු ලබයි. නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාවය, සමාජ පරිසරය, මානව සම්පත් සංවර්ධනය, රැකවරණය මෙන්ම සැපයුම් ජාල සහ ප්රවේශය යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි.සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික ලේකම් කාර්යාලය මගින් ආබාධ සහිත පාසල් දරුවන් විශේෂිත වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශය සහ වෙනත් රේඛිය අමාත්‍යාංශ, ආබාධ සහිත පාසල් දරුවන් සඳහා මූල්යාධාර හෝ වෙනත් සහනාධාර හෝ ලබා දීම සිදු කරයි. එසේම, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ එම පවුල් ඒකක සවිබලගැන්වීමේ අරමුණින් ඔවුන් සඳහා විශේෂිත වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, මූල්‍ය ආධාර ලබාදීම, සහනාධාර ලබාදීම, සහ සුබසාධන වැඩසටහන් ආදිය ක්‍රියාත්මක කෙරෙයි.
2026-10-22
ගම්මිරිස් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ජාන දර්ශ ඇගයීම්, රෝග හා පළිබෝධ කළමනාකරණය, බෝග සංවර්ධනය, ශාක පෝෂණ කළමනාකරණය, ශෂ්ය විද්යාත්මක අධ්‍යයන, පසු අස්වනු තාක්ෂණය සහ අගය එකතු කිරීම සහ කාලගුණ විපර්යාසයන් මඟින් සිදු වන බලපෑම අවම කර ගැනීම සඳහා පර්යේෂණ ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් පර්යේෂණ ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතාගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්නවලට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ ගම්මිරිස් නිෂ්පාදනයට ප්‍රධාන වශයෙන් දායක වන දිස්ත්රික්ක ලෙස ගම්පහ, මහනුවර, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට, කුරුණෑගල, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්රික්ක හඳුනාගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.මේ වනවිට මෙරට වගා කරනු ලබන ගම්මිරිස් ප්රභේද අතර දේශීය, පනියුර් 1 සහ දේශීය වරණයන් වන ඩිංගිරි රාල, කොහුකුඹුරේ රාල සහ බූටාවේ රාල යන ප්රභේද ඇතුළත් වන බව ද ඔහු පැවසීය.ගම්මිරිස් වගාව තවදුරටත් ව්යාප්ත කිරීම සඳහා රෝපණ ද්‍රව්‍ය නොමිලේ ලබාදීම, ආයෝජන ආධාර ලබා දීම, කුඩා පරිමාණ ගෙවතු වගා වැඩසටහන් යටතේ ගම්මිරිස් පැළ නොමිලේ ලබා දීම සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා දැනුම හා අවශ්‍ය ආධාර ලබා දීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.එමෙන්ම, කාලගුණ විපර්යාසයන්ට ගම්මිරිස් වගාව අනුවර්තනය කිරීම සඳහා සුදුසු ජල සම්පාදන ක්රම හඳුන්වා දීම, රෝග හා පළිබෝධ පාලනය, සත්ත්ව හානි වැළැක්වීම සඳහා අවශ්‍ය උපකරණ හා පද්ධති සඳහා ආයෝජන ආධාර ලබා දීම ද සිදු කෙරේ.ගම්මිරිස් නිෂ්පාදන ජාත්‍යන්තර ප්රමිතීන්ට අනුකූලව සකස් කිරීම සඳහා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ යහපත් නිෂ්පාදන පිළිවෙත් ප්‍රවර්ධනය කරන අතර, ගුණාත්මකභාවය ඉහළ නංවා අගය එකතු කළ නිෂ්පාදන සඳහා අවශ්‍ය පසු අස්වනු තාක්ෂණය සහ උපකරණ සඳහා ද ආයෝජන ආධාර ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.තවද, ගම්මිරිස් නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළට කාබනික නිෂ්පාදන ලෙස ඉදිරිපත් කිරීම සඳහා වගාවන් කාබනික වගාවන් බවට පත් කිරීම, අවශ්‍ය සහතික ලබා ගැනීම සඳහා තාක්ෂණික උපදෙස් සහ ආයෝජන ආධාර ලබා දීම මෙන්ම අපනයන කෘෂි ගම්මාන පිහිටුවීම ද සිදු කෙරේ.විවිධ මාධ්ය ඔස්සේ ගම්මිරිස් වගාව සම්බන්ධ දැනුම ගොවීන් වෙත ලබාදීම ද සිදුකරන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ගම්මිරිස් නිෂ්පාදකයන්ට අපනයනය සඳහා අවශ්‍ය උපදේශන සේවා ලබාදීම සහ සැපයුම්කරුවන් හා ගනුදෙනුකරුවන් සම්බන්ධ කිරීම සඳහා ද වැඩසටහන් ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks