නවවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු කාල පරිච්ඡේදය 2020 අගෝස්තු 20 දින මංගල රැස්වීම් දිනයේ සිට විසිරුවා හරිනු ලැබූ දිනය දක්වා අවුරුදු 4 කුත් මාස 1ක් සහ දින 4ක් වේ. ඒ අනුව සභාවර 5ක් තුළ දින 390ක් රැස්වී තිබෙන නවවැනි පාර්ලිමේන්තු කාල සීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, අනුප්‍රාප්තික ජනාධිපති ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම, විශ්වාසභංග යෝජනා ඉදිරිපත්කිරීම්, යෝජනා සම්මතයන් මගින් කොමිෂන් සභා සභාපතිවරයෙක් /සාමාජිකයෙක් ධුරයෙන් ඉවත් කිරීම් සහ විනය ක්‍රියාමාර්ග මත මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සේවා කාලය අත්හිටුවීම් ඇතුළු සුවිශේෂී අවස්ථා දක්නට ලැබිණ.
ඒ අනුව, 2020 වර්ෂයේ නවවැනි පාර්ලිමේන්තුවේ ආරම්භ වීමත් සමගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා එවකට අධිකරණ අමාත්‍ය එම්.යු.එම්. අලි සබ්රි මහතා විසින් “විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන” පනත් කෙටුම්පත 2020 සැප්තැම්බර් මස 22 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලදී.
ඔක්තෝබර් 21 සහ 22 දෙදින තුළ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයෙන් අනතුරුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කරන ලදී. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156 සහ විරුද්ධව ඡන්ද 65ක් ප්‍රකාශ කරන ලදී. කාරක සභා අවස්ථාවෙන් අනතුරුව පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීම ද විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කරන ලදී. එහිදී ඡන්ද විමසීමෙන් පක්ෂව 156 සහ විරුද්ධව 65 ලෙස ඡන්දය ප්‍රකශය කර පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය. අනතුරුව 2020 ඔක්තෝබර් 29 වැනිදා කථානායකවරයා විසින් පනත් කෙටුම්පතට සිය අත්සන යොදා සහතිකය සටහන් කිරීමෙන් පසු විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක විය.
එසේම, 2022 වර්ෂයේදී සිදුවූ අර්බුදකාරී තත්ත්වය මත ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ අටවැනි විධායක ජනාධිපති ලෙස පත්වූ ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ අමාත්‍ය මණ්ඩලයේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන” පනත් කෙටුම්පත 2022 අගෝස්තු 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
අනතුරුව ඔක්තෝබර් 20 සහ 21 දෙදනින තුළ පැවති දෙවැනි වර කියවීම පිළිබඳ විවාදය අවසානයේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 179 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 1 ලැබුණි. අනතුරුව කාරක සභා අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පනත් කෙටුම්පතට සංශෝධන එක්වූ අතර තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 174 ක් සහ විපක්ෂව ඡන්ද 1ක් හිමි විය. ඒ අනුව විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව “විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” ලෙස සම්මත කරන ලදී. අනතුරුව 2022 ඔක්තෝබර් 31 වැනිදා කථානායකවරයා විසින් පනත් කෙටුම්පතට සිය අත්සන යොදා සහතිකය සටහන් කිරීමෙන් පසු විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක විය.
බලශක්ති අමාත්‍ය ගරු උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව
බලශක්ති අමාත්‍ය ගරු උදය ගම්මන්පිල මහතා කෙරෙහි විශ්වාස භංගත්වය පළ කිරීමේ යෝජනාව නවවැනි පාර්ලිමේන්තුවේ ඉදිරිපත්කරන ලද ප්‍රථම විශ්වාසභංග යෝජනාව ලෙස සැලකෙන අතර, විපක්ෂනායක ගරු සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විසින් මෙයට අදාළ යෝජනාව ඉදිරිපත් කරන ලදී. එම යෝජනාව පිළිබඳ විවාදය 2021 ජූලි මස 19 සහ 20 දෙදින පවත්වන ලදී. එහිදී පැවැති ඡන්ද විමසීමෙන් යෝජනාවට පක්ෂව ඡන්ද 61ක් සහ විරුද්ධව ඡන්ද 152ක් ලැබමෙන් එම යෝජනාව පරාජයට පත් විය.
ජේ.ඩබ්.එම්.ජේ.පී.කේ. රත්නායක මහතා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනා සම්මතය
2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ විධිවිධාන ප්‍රකාරව එම කොමිෂන් සභාවේ එවකට සභාපතීත්වය සහ සාමාජිකත්වය දැරූ ජේ.ඩබ්.එම්.ජේ.පී.කේ. රත්නායක මහතා එහි සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සදහා වන යෝජනා සම්මතය අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත්කරන ලදී. ඒ පිළිබඳ විවාදය 2023 මැයි මස 24 වැනි දින පැවති අතර, එහිදී ඊට අදාළ ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් හා විපක්ෂව ඡන්ද 77 ක් ලැබීමෙන් යෝජනාව වැඩි ඡන්ද 46කින් සම්මත විය.
සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව
සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාස භංගත්වය ප්‍රකාශ කිරීමේ යෝජනාව විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 45 දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනාවට අදාළ විවාදය 2023 සැප්තැම්බර් 06, 07 සහ 08 යන තෙදින තුළ පැවැත්විණි. තෙදින විවාදයෙන් පසු යෝජනාවට අදාළව පැවති ඡන්ද විමසීමේදී ඊට විපක්ෂව ඡන්ද 113 හිමිවූ අතර යෝජනාවට පක්ෂව හිමිවූයේ ඡන්ද 73 ක් පමණි. ඒ අනුව යෝජනාව වැඩි ඡන්ද 40 කින් පරාජය කෙරිණි.
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව
2024 මාර්තු 19 වැනිදා විපක්ෂය නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 45 දෙනෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මාර්තු 19, 20 සහ 21 දිනයන්හි පැවති අතර විවාදය අවසානයේ පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට විරුද්ධව ඡන්ද 117 ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ඡන්ද 75 ක් පමණි. ඒ අනුව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 42 කින් පරාජය වූ අතර, ඉන් අනතුරුව කථානායකවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලදී.
රටේ ඇතිවූ දේශපාලන අර්බුදය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2022 ජූලි මස 14 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව පුරප්පාඩු වූ ජනාධිපති තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ඡන්දයෙන් අයෙකු තෝරාපත් කර ගැනීම සිදුවිය. එතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කළේය.
මේ අනුව 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාරව ජුලි 19 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ අතර එහිදී අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම් යෝජනා විය.
මේ අනුව පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයෙක් තෝරාගැනීම සඳහා වූ ඡන්ද විමසීම 2022 ජුලි 20 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ අතර, එහිදී වැඩි ඡන්දයෙන් වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. මෙම රහස් ඡන්ද විමසීමේ දී ගරු රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 134 ක් ලැබී තිබූ අතර ගරු ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්ද 82ක් ද ගරු අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද 03 ක් ද ලැබී තිබුණි.
2023 අගෝස්තු 23 වැනිදා පාර්ලිමේන්තු වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට අදාළ අතුරු ප්‍රශ්න ඇසීමේදී ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු නලින් බණ්ඩාර ජයමහ සහ ගරු වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන් මුලාසනය අසලට පැමිණ ඝෝෂා කිරීම් සිදුකළහ. එම අවස්ථාවේදී නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු රැස්‌වීම් විනාඩි 10කට තාවකාලික අත්හිටුවන ලද අතර අනතුරුව මූලාසනයට පැමිණි කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් එදින රැස්වීම්වලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු නලින් බණ්ඩාර ජයමහ සහ ගරු වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන් ඉවත් කිරීමට කටයුතු කටයුතු කරන ලදී.
තවද 2023 ඔක්තෝබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසන අවස්ථාවේ ඇතිවූ කලබලකාරී තත්ත්වයක් සැලකිල්ලට ගෙන කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ගරු අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය එදින සිට සති හතරකට අත්හිටුවන බව දැනුම් දුන්නේය. සෙංකෝලය පාර්ලිමේන්තුවේ සභා ගර්භය ඇතුළත තබා ඇති අවස්ථාවකදී එය ස්පර්ශ කිරීම ස්ථාවර නියෝග 77(3) ප්‍රකාරව බරපතළ විනය විරෝධි ක්‍රියාවක් වන බැවින් මෙම පියවර ගැනිණි.
මේ අතර 2023 ඔක්තෝබර් 20 දින පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩයනා ගමගේ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහණ බංඩාර මහතා යන මන්ත්‍රීවරයන් අතර සිදුවූවා යැයි කියන සිද්ධියක් හේතුවෙන් එම මන්ත්‍රීවරයන්ගේ පාර්ලිමේන්තු සේවය 2023 දෙසැම්බර් 02 වැනිදා සිට මාසයක කාලයක් සඳහා අත්හිටුවීමට පාර්ලිමේන්තුවේ යෝජනාවක් මගින් කටයුතු කරන ලදී.
මෙම සිදුවීම, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින් සළකා බැලීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට කරන ලද නිර්දේශ පදනම් කරගනිමින් මෙම යෝජනාව 2023 දෙසැම්බර් 02 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. එහිදී පැවති ඡන්ද විමසීමේදී අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 57ක් ද විරුද්ධව 01ක් ද ප්‍රකාශ විය. එමෙන්ම යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරුන් ගණන 03ක් ලෙස සටහන් විය.
තවද 2023.05.23 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා විසින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධී ලෙස රුපියල් මිලියන 70 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං සහ ස්මාර්ට් ජංගම දුරකථන ශ්‍රී ලංකාව තුළට රැගෙන ඒමට කටයුතු කිරීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නිර්දේශ අනුව එම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවා කාලය මසක කාලයක් සඳහා අත්හිටුවීම සිදුවිය. අලි සබ්රි රහීම් මහතාගේ නොමනා ක්‍රියා කලාපය හේතුකොටගෙන පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට ස්ථාවර නියෝග 118හි විධිවිධාන ප්‍රකාරව ඔහුගේ සේවා කාලය 2024 මාර්තු මස 06 දින සිට මාසයක කාලයක් සඳහා අත්හිටුවීමට පාර්ලිමේන්තුවේ යෝජනාවක් මගින් මෙම අත්හිටුවීම සිදුවිය.
2026-10-16
පාර්ලිමේන්තුව ඔක්තෝබර් 20 සිට 23 දක්වා රැස්වීමට නියමිත ය.ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ඔක්. 16) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීවේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ.පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.මේ අනුව, ඔක්තෝබර් 20 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවට අනුව විවාදයක් පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ. ඔක්තෝබර් 21 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇත.අනතුරුව, ප.ව. 5.00 ට ව්යවස්ථාපිත ආයතන 5ක වාර්ෂික වාර්තා විවාදයකින් තොරව අනුමත කර ගැනීමට තීරණය වී ඇත.ඉන්පසු, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ. ඔක්තෝබර් 22 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක ( පනත් කෙටුම්පත් අංක 79 සහ 80) දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් තීරණය වී තිබේ.අනතුරුව, ව්යවස්ථාපිත ආයතන 5ක වාර්ෂික වාර්තා විවාදයකින් තොරව අනුමත කර ගැනීමට නියමිතව ඇත.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය. ඔක්තෝබර් 23 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වේ. අනතුරුව, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.
2026-10-15
පේරාදෙණිය රණබිම රාජකීය විද්යාලයීය ශිෂ්ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පසුගිය ඔක්. 14 වැනිදා පැවැත්විණි. පේරාදෙණිය රණබිම විද්යාලයීය ශිෂ්ය ශිෂ්යාවන් සඳහා පාර්ලිමේන්තු ක්රමවේදය පිළිබඳ ප්රායෝගික අත්දැකීම් ලබා දීම අරමුණු කොටගෙන එම විද්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙහිදී අදහස් දක්වමින් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, ශිෂ්ය පාර්ලිමේන්තු වැඩසටහන් අනාගත නායකයින් තැනීම සඳහා තෝතැන්නක් බව පැවසුවාය. එසේම නායකත්වය යනු අභරණයක් නොවන බවත්, එය අනෙකාගේ සුඛ විහරණය වෙනුවෙන් ලැබෙන මෙවලමක් බවත් ඇය පැවසුවාය. තවද, සමාජය ඉදිරියට යාමේදී අනාගතයේ උසස් සමාජයක් ගොඩනැගීමේ වගකීම 100% ක්ම තරුණ ප්රජාව සහ දරුවන් සතු වන බව ද නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය පෙන්වා දුන් අතර සාම්ප්‍රදායික රාමුවෙන් පිට සිතීමේ වැදගත්කම ද පෙන්වා දුන්නාය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මානව සම්පත් සංවර්ධන අංශ ප්‍රධානී, සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) චූලා හේරත් මහත්මිය විසින් පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීම සිදු කරන ලදි.පේරාදෙණිය රණබිම විද්යාලයීය ශිෂ්ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරයා තෝරා පත් කර ගැනීම සිදු වීමෙන් අනතුරුව අග්රාමාත්යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීම සිදු විය. පසුව ශිෂ්ය පාර්ලිමේන්තුවේ එක් එක් අමාත්යවරුන් විසින් තම අමාත්යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැළසුම් පිළිබඳව සභාව දැනුවත් කරන ලදී.මෙහිදී ශිෂ්ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුන් සඳහා සහතික පත්ර ලබා දීම ද ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.වැඩසටහන අවසන් කරමින් පේරාදෙණිය රණබිම විද්‍යාලයේ විදුහල්පති එම්. එම්. පෙරේරා මහතා විසින් ස්තූති කථාව සිදු කරන ලද අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිදු කරන මෙම වැඩසටන් මාලාව සම්බන්ධයෙන් සිය පැසසුම එක් කළේය.මෙම වැඩසටහන සඳහා ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනල් කර්නල් නදීක දංගොල්ල යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.
2026-10-15
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නවරාත්රී පූජෝත්සවය එළඹෙන ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්රයේ දී උත්සවාකාරයෙන් සැමරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ බහු ආගමික සහජීවනය සංකේතවත් කරමින්, සමරනු ලබන මෙම නවරාත්රී පූජෝත්සවය සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය, ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඇතුළු මැති ඇමතිවරයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහභාගී වීමට නියමිතය. භක්තියෙන් සමරනු ලබන හින්දු ආගමික උත්සවයක් ලෙස නවරාත්රී උත්සවය හැඳින්වෙන අතර මේ උත්සවය සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී සමරනු ලැබේ. මෙම පූජෝත්සවය දින 9ක් රාත්‍රී භාගයේ දෙවියන් වෙනුවෙන් පවත්වන හෙයින් " නවරාත්රී " උත්සවය ලෙස නම් කොට ඇත. පළමු දින තුනේදී දුර්ගා දේවිය වෙනුවෙන් පුද පූජා පවත්වන අතර සියලු දුර්ගුණ, නපුර සහ දෝෂ දුරු කිරීමේ බලය ඇය සතුය. ඊළඟ තෙදින තුළ පුදනු ලබන්නේ තමන්ගේ බැතිමතුන් වෙත නොනැසෙන සම්පත සහ යස ඉසුර ලබාදෙන්නී සේ සැලකෙන ලක්ෂ්මී දේවියයි. ප්රඥාවේ දේවතාවිය සේ සලකන සරස්වතිය නමදිනු ලබන්නේ අවසන් තෙදින තුළය. මෙකී දින 09න් පසු 10වන දිනයේදී පූජාවක් පැවැත්වෙන අතර එය “විද්යා ආරම්භම්” ලෙස හඳුන්වයි. එම පූජාව අධ්යාපන කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් කරනු ලබන පූජාවක් ලෙස සැළකේ.ගරු කථානායකවරයාගේ උපදෙස් මත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහයෝගීත්වයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙම උත්සවය සංවිධානය කරනු ලබයි.
2026-10-13
වකුගඩු රෝගීන් 53,604 දෙනෙකුට රු.10,000 බැගින් මාසික දීමනාවක් ලබා දීම සඳහා මේ වසරේ අගෝස්තු මාසය වන විට හඳුනාගෙන තිබු බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා අනාවරණය කළේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.දීමනා ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනයක් නොමැති බවත්, ඉල්ලුම් කරන වකුගඩු රෝගීන්ට සුදුසුකම් අනුව මාසික දීමනාව ගෙවන බව ද ඒ මහතා කියා සිටියේය.