පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
නවවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු කාල පරිච්ඡේදය 2020 අගෝස්තු 20 දින මංගල රැස්වීම් දිනයේ සිට විසිරුවා හරිනු ලැබූ දිනය දක්වා අවුරුදු 4 කුත් මාස 1ක් සහ දින 4ක් වේ. ඒ අනුව සභාවර 5ක් තුළ දින 390ක් රැස්වී තිබෙන නවවැනි පාර්ලිමේන්තු කාල සීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, අනුප්‍රාප්තික ජනාධිපති ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම, විශ්වාසභංග යෝජනා ඉදිරිපත්කිරීම්, යෝජනා සම්මතයන් මගින් කොමිෂන් සභා සභාපතිවරයෙක් /සාමාජිකයෙක් ධුරයෙන් ඉවත් කිරීම් සහ විනය ක්‍රියාමාර්ග මත මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සේවා කාලය අත්හිටුවීම් ඇතුළු සුවිශේෂී අවස්ථා දක්නට ලැබිණ.
ඒ අනුව, 2020 වර්ෂයේ නවවැනි පාර්ලිමේන්තුවේ ආරම්භ වීමත් සමගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා එවකට අධිකරණ අමාත්‍ය එම්.යු.එම්. අලි සබ්රි මහතා විසින් “විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන” පනත් කෙටුම්පත 2020 සැප්තැම්බර් මස 22 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලදී.
ඔක්තෝබර් 21 සහ 22 දෙදින තුළ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයෙන් අනතුරුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කරන ලදී. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156 සහ විරුද්ධව ඡන්ද 65ක් ප්‍රකාශ කරන ලදී. කාරක සභා අවස්ථාවෙන් අනතුරුව පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීම ද විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කරන ලදී. එහිදී ඡන්ද විමසීමෙන් පක්ෂව 156 සහ විරුද්ධව 65 ලෙස ඡන්දය ප්‍රකශය කර පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය. අනතුරුව 2020 ඔක්තෝබර් 29 වැනිදා කථානායකවරයා විසින් පනත් කෙටුම්පතට සිය අත්සන යොදා සහතිකය සටහන් කිරීමෙන් පසු විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක විය.
එසේම, 2022 වර්ෂයේදී සිදුවූ අර්බුදකාරී තත්ත්වය මත ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ අටවැනි විධායක ජනාධිපති ලෙස පත්වූ ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ අමාත්‍ය මණ්ඩලයේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන” පනත් කෙටුම්පත 2022 අගෝස්තු 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
අනතුරුව ඔක්තෝබර් 20 සහ 21 දෙදනින තුළ පැවති දෙවැනි වර කියවීම පිළිබඳ විවාදය අවසානයේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 179 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 1 ලැබුණි. අනතුරුව කාරක සභා අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පනත් කෙටුම්පතට සංශෝධන එක්වූ අතර තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 174 ක් සහ විපක්ෂව ඡන්ද 1ක් හිමි විය. ඒ අනුව විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව “විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” ලෙස සම්මත කරන ලදී. අනතුරුව 2022 ඔක්තෝබර් 31 වැනිදා කථානායකවරයා විසින් පනත් කෙටුම්පතට සිය අත්සන යොදා සහතිකය සටහන් කිරීමෙන් පසු විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක විය.
බලශක්ති අමාත්‍ය ගරු උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව
බලශක්ති අමාත්‍ය ගරු උදය ගම්මන්පිල මහතා කෙරෙහි විශ්වාස භංගත්වය පළ කිරීමේ යෝජනාව නවවැනි පාර්ලිමේන්තුවේ ඉදිරිපත්කරන ලද ප්‍රථම විශ්වාසභංග යෝජනාව ලෙස සැලකෙන අතර, විපක්ෂනායක ගරු සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විසින් මෙයට අදාළ යෝජනාව ඉදිරිපත් කරන ලදී. එම යෝජනාව පිළිබඳ විවාදය 2021 ජූලි මස 19 සහ 20 දෙදින පවත්වන ලදී. එහිදී පැවැති ඡන්ද විමසීමෙන් යෝජනාවට පක්ෂව ඡන්ද 61ක් සහ විරුද්ධව ඡන්ද 152ක් ලැබමෙන් එම යෝජනාව පරාජයට පත් විය.
ජේ.ඩබ්.එම්.ජේ.පී.කේ. රත්නායක මහතා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනා සම්මතය
2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ විධිවිධාන ප්‍රකාරව එම කොමිෂන් සභාවේ එවකට සභාපතීත්වය සහ සාමාජිකත්වය දැරූ ජේ.ඩබ්.එම්.ජේ.පී.කේ. රත්නායක මහතා එහි සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සදහා වන යෝජනා සම්මතය අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත්කරන ලදී. ඒ පිළිබඳ විවාදය 2023 මැයි මස 24 වැනි දින පැවති අතර, එහිදී ඊට අදාළ ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් හා විපක්ෂව ඡන්ද 77 ක් ලැබීමෙන් යෝජනාව වැඩි ඡන්ද 46කින් සම්මත විය.
සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව
සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාස භංගත්වය ප්‍රකාශ කිරීමේ යෝජනාව විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 45 දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනාවට අදාළ විවාදය 2023 සැප්තැම්බර් 06, 07 සහ 08 යන තෙදින තුළ පැවැත්විණි. තෙදින විවාදයෙන් පසු යෝජනාවට අදාළව පැවති ඡන්ද විමසීමේදී ඊට විපක්ෂව ඡන්ද 113 හිමිවූ අතර යෝජනාවට පක්ෂව හිමිවූයේ ඡන්ද 73 ක් පමණි. ඒ අනුව යෝජනාව වැඩි ඡන්ද 40 කින් පරාජය කෙරිණි.
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව
2024 මාර්තු 19 වැනිදා විපක්ෂය නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 45 දෙනෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මාර්තු 19, 20 සහ 21 දිනයන්හි පැවති අතර විවාදය අවසානයේ පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට විරුද්ධව ඡන්ද 117 ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ඡන්ද 75 ක් පමණි. ඒ අනුව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 42 කින් පරාජය වූ අතර, ඉන් අනතුරුව කථානායකවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලදී.
රටේ ඇතිවූ දේශපාලන අර්බුදය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2022 ජූලි මස 14 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව පුරප්පාඩු වූ ජනාධිපති තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ඡන්දයෙන් අයෙකු තෝරාපත් කර ගැනීම සිදුවිය. එතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කළේය.
මේ අනුව 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාරව ජුලි 19 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ අතර එහිදී අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම් යෝජනා විය.
මේ අනුව පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයෙක් තෝරාගැනීම සඳහා වූ ඡන්ද විමසීම 2022 ජුලි 20 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ අතර, එහිදී වැඩි ඡන්දයෙන් වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. මෙම රහස් ඡන්ද විමසීමේ දී ගරු රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 134 ක් ලැබී තිබූ අතර ගරු ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්ද 82ක් ද ගරු අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද 03 ක් ද ලැබී තිබුණි.
2023 අගෝස්තු 23 වැනිදා පාර්ලිමේන්තු වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට අදාළ අතුරු ප්‍රශ්න ඇසීමේදී ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු නලින් බණ්ඩාර ජයමහ සහ ගරු වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන් මුලාසනය අසලට පැමිණ ඝෝෂා කිරීම් සිදුකළහ. එම අවස්ථාවේදී නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු රැස්‌වීම් විනාඩි 10කට තාවකාලික අත්හිටුවන ලද අතර අනතුරුව මූලාසනයට පැමිණි කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් එදින රැස්වීම්වලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු නලින් බණ්ඩාර ජයමහ සහ ගරු වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන් ඉවත් කිරීමට කටයුතු කටයුතු කරන ලදී.
තවද 2023 ඔක්තෝබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසන අවස්ථාවේ ඇතිවූ කලබලකාරී තත්ත්වයක් සැලකිල්ලට ගෙන කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ගරු අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය එදින සිට සති හතරකට අත්හිටුවන බව දැනුම් දුන්නේය. සෙංකෝලය පාර්ලිමේන්තුවේ සභා ගර්භය ඇතුළත තබා ඇති අවස්ථාවකදී එය ස්පර්ශ කිරීම ස්ථාවර නියෝග 77(3) ප්‍රකාරව බරපතළ විනය විරෝධි ක්‍රියාවක් වන බැවින් මෙම පියවර ගැනිණි.
මේ අතර 2023 ඔක්තෝබර් 20 දින පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩයනා ගමගේ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහණ බංඩාර මහතා යන මන්ත්‍රීවරයන් අතර සිදුවූවා යැයි කියන සිද්ධියක් හේතුවෙන් එම මන්ත්‍රීවරයන්ගේ පාර්ලිමේන්තු සේවය 2023 දෙසැම්බර් 02 වැනිදා සිට මාසයක කාලයක් සඳහා අත්හිටුවීමට පාර්ලිමේන්තුවේ යෝජනාවක් මගින් කටයුතු කරන ලදී.
මෙම සිදුවීම, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින් සළකා බැලීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට කරන ලද නිර්දේශ පදනම් කරගනිමින් මෙම යෝජනාව 2023 දෙසැම්බර් 02 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. එහිදී පැවති ඡන්ද විමසීමේදී අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 57ක් ද විරුද්ධව 01ක් ද ප්‍රකාශ විය. එමෙන්ම යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරුන් ගණන 03ක් ලෙස සටහන් විය.
තවද 2023.05.23 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා විසින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධී ලෙස රුපියල් මිලියන 70 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං සහ ස්මාර්ට් ජංගම දුරකථන ශ්‍රී ලංකාව තුළට රැගෙන ඒමට කටයුතු කිරීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නිර්දේශ අනුව එම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවා කාලය මසක කාලයක් සඳහා අත්හිටුවීම සිදුවිය. අලි සබ්රි රහීම් මහතාගේ නොමනා ක්‍රියා කලාපය හේතුකොටගෙන පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට ස්ථාවර නියෝග 118හි විධිවිධාන ප්‍රකාරව ඔහුගේ සේවා කාලය 2024 මාර්තු මස 06 දින සිට මාසයක කාලයක් සඳහා අත්හිටුවීමට පාර්ලිමේන්තුවේ යෝජනාවක් මගින් මෙම අත්හිටුවීම සිදුවිය.
2026-08-18
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (අගෝ. 18) සිය සහතිකය සටහන් කළේය.1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා විසින් 2026.07.21 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරන ලද අතර, එය 2026.08.06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.මෙම සංශෝධනයේ මූලික අරමුණ වන්නේ මුල් පනතේ 38 වන වගන්තියේ ''සත්ව'' යන යෙදුමේ නීතිමය අර්ථ දැක්වීම පුළුල් කිරීමයි. එමෙන්ම ''සතකු" යන්න නැවත අර්ථ දැක්වීම මගින් එළුවන්, ඌරන් සහ බැටළුවන් මෙම පනතේ II කොටසේ විධිවිධානවලට යටත් වන බව සහතික කෙරේ. තවද, පනතේ IV කොටසට අදාළව බැටළුවන්, එළුවන්,ඌරන් සහ කුකුළන් ඇතුළත් වන පරිදි අර්ථ දැක්වීම් පැහැදිලි කර ඇත.ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා විසින් 2026.07.21 දින පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරන ලද අතර, එයද 2026.08.06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.මෙම සංශෝධනය මගින් 1974 අංක 24 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනත නවීකරණය කරමින් ජල සම්පාදන හා අපජල කළමනාකරණ සේවා සැපයීම සම්බන්ධයෙන් මණ්ඩලයේ බලතල හා කාර්යයන් ශක්තිමත් කරනු ලබයි.කාර්මික වතු, කාර්මික උද්‍යාන සහ ප්‍රජා මූලික සංවිධානවල ජල හා අපජල කළමනා කරණ සේවාවන් ද මණ්ඩලයේ වගකීම්වලට ඇතුළත් වන පරිදි එහි වගකීම් පුළුල් කර ඇත. මීට අමතරව, වඩාත් ඵලදායි හා තිරසාර ජල හා අපජල කළමනාකරණයක් සඳහා සහාය වන පරිදි සේවක රක්ෂණ යෝජනා ක්‍රම, තාක්ෂණික සේවා, පුහුණු සේවා, රසායනාගාර සේවා සහ උපදේශන සේවා පුළුල් කිරීම සඳහා ද මෙම සංශෝධනය මගින් ප්‍රතිපාදන සලසා ඇත.ඒ අනුව, සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 19 දරන සත්ව (සංශෝධන) පනත ලෙසත්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 20 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත ලෙසත් බලාත්මක වේ.
2026-08-18
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන ප්‍රතිපාදන ඇතුළත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත අද (අගෝ. 18) පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.මෙම පනත් කෙටුම්පත රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කෙරුණු අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව අවකාශ සැලසේ.ඒ අනුව, පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් අභියෝග කිරීමට කැමති පාර්ශ්වයකට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින සිට දින 14ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වේ.එවැනි පෙත්සමක් ඉදිරිපත් වුවහොත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර දින 21ක් ඇතුළත සිය තීරණය කථානායකවරයා වෙත දැනුම් දීමට නියමිතය.මේ අතර, අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත (1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි) පළමුවර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර මේ මගින් මහාධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ ඇතුළු අනෙකුත් සියලු අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම යෝජිතය.
2026-08-17
නීති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ඇතුළු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ අතර ප්‍රශ්න සහ පිළිතුරු සැසියක් ද පැවැත්විණි. අනතුරුව, පාර්ලිමේන්තුවේ සභාගර්භය ඇතුළු පරිශ්‍රය නැරඹීමට ද ඔවුහු එක් වුහ.පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය විසින් සංවිධානය කළ මෙම වැඩසටහනට පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න, අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) එම්. ජයලත් පෙරේරා, සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) කාංචන හේරත් සහ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) ශාන්ත ප්‍රනාන්දු යන මහත්වරු එක්ව සිටියහ.
2026-08-14
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය ලෙසත් පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය රන් සම්මානය දිනා ගනියි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.parliament.lk, පසුගියදා පැවති “BestWeb.lk 2026” සම්මාන උළෙලේදී සියලු අංශයන්හි විශිෂ්ටතම වෙබ් අඩවියට හිමි රිදී සම්මානය (Overall Silver Award) දිනා ගැනීමට සමත් විය. එසේම මෙහිදී, “රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය” කාණ්ඩයේ රන් සම්මානය ද (Gold Award) පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට හිමිවීම විශේෂත්වයකි. ‘LK Domain Registry’ විසින් සංවිධානය කරන ලද “BestWeb.lk 2026” සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල්හිදී 2026 අගෝස්තු 12 වැනිදා පැවැත්විණි.විවිධ කාණ්ඩ 24ක් යටතේ වෙබ් අඩවි 350කට අධික සංඛ්‍යාවක් මෙවර තරඟයට එක්ව සිටි අතර, තාක්ෂණික ක්‍රියාත්මක කිරීම, කාර්යසාධනය, නිර්මාණකරණය, අන්තර්ගතය, ආරක්ෂාව සහ අනෙකුත් අමතර විශේෂාංග ඇතුළු නිර්ණායක රැසක් මත වෙබ් අඩවි ඇගයීමට ලක්කර තිබේ.පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය මීට පෙරද මෙම තරගාවලියේදී අවස්ථා කිහිපයකදී සම්මාන දිනාගෙන ඇති අතර, නවීකරණය කරන ලද වෙබ් අඩවිය හඳුන්වාදීමෙන් අනතුරුව වසර හතක විරාමයකින් පසු මෙවර තරගයට නැවත එක්වීම විශේෂත්වයකි.සම්මාන උළෙල සඳහා සම්භාවනීය ආරාධිතයින්, විද්වතුන්, ශාස්ත්‍රඥයින් මෙන්ම තරගයේ සම්මානලාභීන් සහ නිර්දේශිත වෙබ් අඩවි නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.පාර්ලිමේන්තුවේ ඩිජිටල් පැවැත්ම ශක්තිමත් කිරීමට සහ එහි නිල මාර්ගගත වේදිකාව හරහා මහජනතාවට ප්‍රවේශ විය හැකි, විශ්වාසදායක සහ පරිශීලක-හිතකාමී ලෙස පාර්ලිමේන්තු තොරතුරු සැපයීමට දරන අඛණ්ඩ කැපවීම මෙම ඇගයීමෙන් තහවුරු වේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks