පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තියේ විධිවිධාන අනුව, 2024 සැප්තැම්බර් 24 වැනි දින මධ්‍යම රාත්‍රියෙහි සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් 2024 නොවැම්බර් 21 වැනිදා අභිනව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා කැඳවන බවත් නිවේදනය කර ඇත.
2024.09.24 දිනැති අංක 2403/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම ප්‍රකාශනය සිදුකොට ඇත.
එසේම මෙම ප්‍රකාශනය මගින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා 2024.11.14 වැනි දිනය නියම කර ඇති අතර නාමයෝජනා භාර ගැනීමේ කාලසීමාව ලෙස 2024.10.04 සිට 2024.10.11 දක්වා නියම කර තිබේ.
2026-07-10
මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ශ්‍රේෂඨාධිකරණ නියෝගයට අනුව ( 14 වැනි වගන්තියට) විශේෂ බහුතරයකින් ද , මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ජන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත ජන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී අද (ජූලි 09) සම්මත විය.මෙම පනත් කෙටුම්පත් මඟින් මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම සහ මූල්‍ය අපරාධ වැළැක්වීම සඳහා පවතින නීතිමය රාමුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව තවදුරටත් ශක්තිමත් කිරීම, මූල්‍ය පද්ධතියේ විනිවිදභාවය ඉහළ නැංවීම සහ මූල්‍ය ගනුදෙනු පිළිබඳ නියාමන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම අපේක්ෂා කෙරේ.
2026-07-08
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි ස්ථාපිත කිරීමේ රැස්වීම පාර්ලිමේන්තුවේදී ඊයේ (ජූලි 07) ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති අතිගරු අඩෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා ගෞරවණීය ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.මෙහිදී ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ අතර, ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා ලේකම්වරයා ලෙසත්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අම්බිකා සාමිවෙල් මෙනවිය භාණ්ඩාගාරිකවරිය ලෙසත් තේරී පත් වූහ.පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම් පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් යාන්ත්‍රණයක් වන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමටත් වටිනා වේදිකාවක් බවත් රැස්වීම අමතමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය. එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර දීර්ඝකාලීන මිත්‍රශීලී සබඳතාව, අන්‍යෝන්‍ය ගෞරවය, මිත්‍රත්වය සහ සහයෝගීතාව මත ගොඩනැගී ඇති බව සඳහන් කළ ගරු කථානායකවරයා, මෙම මිත්‍රත්ව සංගමය දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් අන්‍යෝන්‍ය වැදගත්කමක් ඇති ක්ෂේත්‍රයන්හි නව සහයෝගීතා අවස්ථා විවෘත කරනු ඇතැයි විශ්වාස කරන බව පැවසීය.මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති අතිගරු අඩෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා ද අදහස් දක්වමින් දේශපාලන, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපන හා සංචාරක ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර දිගුකාලීනව පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බවද සඳහන් කළේය. එසේම ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති අතිගරු අඩෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා අතර කථානායකවරයාගේ නිල කාර්යාලයේදී සුහද හමුවක් ද පැවැත්වුණු අතර, එහිදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී සබඳතා සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳවද අදහස් හුවමාරු කර ගනු ලැබීය.මෙම අවස්ථාවට අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.
2026-07-07
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (ජූලි 07) ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.නාවික හමුදාපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිදු කළ මෙම සුහද හමුවේදී ජාතික ආරක්ෂාව සහ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉටුකරන කාර්යභාරය, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙන්ම ජාතික අභිවෘද්ධිය සඳහා වන සහයෝගීතාව පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු ගැනිණි.මෙහිදී අභිනව නාවික හමුදාපතිවරයා වෙත සිය සුබපැතුම් එක් කළ ගරු කථානායකවරයා, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සීමා ආරක්ෂා කිරීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ මහජනතාවගේ සුබසාධනය වෙනුවෙන් නාවික හමුදාව ඉටු කරන සුවිශේෂී මෙහෙවර අගය කළ අතර, නව ධුරයේ රාජකාරි සාර්ථකව ඉටු කිරීමට සිය සුබාශිංසන ද එක් කළේය.එහිදී අදහස් දැක්වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා, කථානායකවරයාගේ සුබපැතුම් සඳහා සිය කෘතඥතාව පළ කරමින්, ජාතික ආරක්ෂාව හා සමුද්‍රීය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නාවික හමුදාවට පැවරී ඇති වගකීම් උපරිම කැපවීමෙන් ඉටු කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.ඉන්දියන් සාගර කලාපය තුළ පවතින භූ දේශපාලනික තත්ත්වයන් හමුවේ අනෙකුත් රටවල් සමඟ සමබර හා මධ්‍යස්ථ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් බව ද නාවික හමුදාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.එසේම, ශ්‍රී ලංකා නාවික හමුදාව වාණිජමය වශයෙන් බෝට්ටු නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති බවත්, ඒ හරහා රටට ආදායම් උත්පාදනය කිරීම සහ දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ත් සාකච්ඡා කෙරිණි.උතුරු ප්‍රදේශයේ දූපත් ආශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ එම ප්‍රදේශවල ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීම සඳහා රජය සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව සමීපව කටයුතු කරන බව ද නාවික හමුදාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
2026-07-06
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සංවිධානය කරන ලද “තැනැත්තන් වෙළඳාම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්” පාර්ලිමේන්තු සංකීර්ණයේදී නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.ආරක්ෂක අමාත්‍යාංශයේ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකාය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන, “තැනැත්තන් වෙළඳාම” සහ "මිනිස් ජාවාරම" සම්බන්ධ නව ප්‍රවණතා, නීතිමය, සංවර්ධන සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැනුවත්භාවය වර්ධනය කිරීමත්, නීති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමත් අරමුණු කර ගෙන පැවැත්විණි.මෙම වැඩසටහන නීතිපති දෙපාර්තමේන්තුවේ විශේෂඥ සම්පත්දායකයින්ගේ සහභාගීත්වයෙන් සිදු විය. එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ හරිප්‍රිය ජයසුන්දර මහත්මිය සහ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා සම්පත් දායකත්වය ලබා දුන්හ.ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා මෙහිදී අදහස් දක්වමින්, තැනැත්තන් වෙළඳාම කාලයත් සමඟ වෙනස් වෙමින්, සංවිධානාත්මක ජාත්‍යන්තර අපරාධ ජාල සමඟ සම්බන්ධ වෙමින් පවතින කියා සිටියේය.රැවටිලිකාර විදේශ රැකියා අවස්ථා, වංචනික බඳවා ගැනීම්, සයිබර් තාක්ෂණය භාවිතයෙන් සිදු කරන බඳවා ගැනීම්, බලහත්කාරී ශ්‍රමය, ලිංගික සූරාකෑම් සහ ඇතැම් අවස්ථාවලදී බලහත්කාරී අපරාධ කටයුතු සඳහා යොදා ගැනීම වැනි තත්ත්වයන්, සංවිධානාත්මක ජාතික ප්‍රතික්‍රියාවන් අවශ්‍ය වන්නා වූ ප්‍රධාන ගැටලු බවට පත්ව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ 2026–2030 ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳවද මෙහිදී මන්ත්‍රීවරුන් දැනුවත් කෙරිණි. එය තැනැත්තන් වෙළඳාම වැළැක්වීම, ගොදුරු වූවන් හඳුනාගෙන ආරක්ෂා කිරීම, අපරාධ නීතිමය ප්‍රතිචාර ශක්තිමත් කිරීම සහ රාජ්‍ය ආයතන අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීම යන ප්‍රධාන අංශ හතර මත පදනම් වේ.තැනැත්තන් වෙළඳාම සම්බන්ධ නව ප්‍රවණතා, විශේෂයෙන් තාක්ෂණය මත පදනම් වූ බඳවාගැනීම්, රැවටිලිකාර සංක්‍රමණ ක්‍රම, ශ්‍රම සූරාකෑම් සහ බලහත්කාරී අපරාධ කටයුතු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ සභාපති සම්පත් තුයියකොන්තා, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධකබලකායේ ලේකම් (වැඩබලන) නීතිඥ ප්‍රියංගනී හේවාරත්න, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන) චින්තා බුලත්සිංහල, සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) පී.එච්. කුමාරසිංහ යන මහත්ම මහත්මීන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ හා පාර්ලිමේන්තුවේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks