E   |   த   |  

2024-08-12

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ගෙවීම් පටිපාටිය රජයේ මුදල් රෙගුලාසි වලට අනනුකුල වීම සම්බන්ධයෙන් ‘කෝපා’ අවධානය

  • බස්නාගොඩ ජලාශය ඉදික්රීමේ ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත්කරු විසින් ඉදිරිපත් කරන ලද රු.මි. 2,093 ක ලංසුව තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත රු.මි. 254 කින් වැඩි කිරීම සම්බන්ධයෙන් කෝපා කාරක සභාව නිලධාරීන්ගෙන් විමසයි

 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ගෙවීම් පටිපාටිය රජයේ මුදල් රෙගුලාසි වලට අනුකුල නොවන බැවින්  එම පටිපාටිය නිවැරදි කිරීමට පෙර පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ  දුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව කාරක සභා සභාපතිවරයාගේ අවධානය යොමු විය.

මේ පිළිබඳ අවධානය යොමු වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (අගෝ. 07) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

තවද, 2022 වර්ෂයේදී රු. 352,420,052ක් වටිනා චෙක්පත් 1177 ක් ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු නමට නිකුත් කර රේඛනය අවලංගු කර ගෙවීම් සහතික කල කොට්ඨාශ සහකාර විසින්ම මුදල් කරගෙන තිබීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.  මේ අනුව මේ සම්බන්ධයෙන්  නිසි  ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන ලෙස කෝපා කාරක සභාව මෙහිදී නිලධාරීන්ට නිර්දේශ කළේය.

බස්නාගොඩ ජලාශය ඉදික්රීමේ ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත්කරු විසින් ඉදිරිපත් කරන ලද රු.මි. 2,093 ක ලංසුව තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත රු. මි. 254 කින් වැඩි කර රු. මි. 2,347 ක වටිනාකමකට ප්‍රදානය කර තිබීම පිළිබඳව කෝපා කාරක සභාව විසින් පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසා සිටින ලදී.

එහිදී පැමිණ සිටි නිලධාරීන් පවසා සිටියේ ගණනයේ යම් අත්වැරදීමක් සිදුව ඇති බවත්, එය නිවැරදි කිරීමට මේ වන විට සියලු කටයුතු යොදා ඇති බවත් ය.

මෙහිදී ගිං නිල්වලා ව්‍යාපෘතියේ ඇස්තමේන්තුවෙන් 4.35% ක වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් ගෙවා තිබුනද එම ව්‍යාපෘතිය ආරම්භ නොකිරීම පිළිබඳවද සාකච්ඡා විය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතා, ගරු ජේ. සී. අලවතුවල මහතා, ගරු ජයන්ත කැටගොඩ මහතා සහභාගී විය.

 

1 2

3



සම්බන්ධිත පුවත්

2026-11-27

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වෙයි

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් විය. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් කොළඹට නුදුරින් පිහිටි අක්කර 27 ක භූමි ප්‍රමාණයක් ලබා ගෙන, සිනමා, කලා සංස්කෘතික කටයුතු මෙන්ම භාවනා සහ බෞද්ධ දර්ශනය හැදෑරීමේ ආයතන සඳහා "කලා සංස්කෘතික ගම්මානයක්" ස්ථාපිත කිරීම සඳහා ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව කාරක සභා සභාපතිවරයා සඳහන් කළේය.පුරාවිද්‍යාත්මක පරික්ෂණ සිදු කිරීමේදී කැණීම් සිදු කිරීමෙන් තොරව, GPR (Ground Penetrating Radar) ඇතුළු නවීන තාක්ෂණය භාවිත කරමින් පොළොව යට පවතින පුරාවස්තු පරීක්ෂා කිරීමේ නවීන ප්‍රවේශයක් අනුගමනය කරන බව කාරක සභා සභාපතිවරයා ඇතුළු නිලධාරීහු මෙහිදී පැහැදිළි කළහ. දහම් පාසල් අවසාන විභාගය සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය එකම කාලසීමාව තුළ යෙදීමෙන් සිසුන්ට සහ දෙමාපියන්ට සිදු වන අපහසුතාව මඟහරවා ගැනීම සඳහා, අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඒකාබද්ධ විභාග කැලැන්ඩරයක් සකස් කිරීමටත්, පළාත් හා කලාප මට්ටමින් විභාග දින සම්බන්ධයෙන් ගැටලු ඇති වීම වැළැක්වීමට අදාළ උපදෙස් යැවීමටත් සාකච්ඡා කෙරිණි.හානියට පත් කුරුණෑගල රාජ සභා මණ්ඩපය සංරක්ෂණය කිරීම පිළිබඳව ද අවධානය යොමු විය. මෙම ස්ථානයේ පැවති හිමිකාරීත්ව හා පරිපාලන ගැටලු නිරාකරණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, කුරුණෑගල නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව ඒකාබද්ධ සාකච්ඡාවක් පවත්වා කඩිනමින් අවසන් විසඳුමකට පැමිණීමට මෙහිදී තීරණය විය.රාමසාන් සමයේදී විදේශයන්ගෙන් පරිත්‍යාග ලෙස ලැබෙන රටඉඳි දිවයින පුරා පිහිටි මුස්ලිම් පල්ලි 2,700 ක් අතර සාධාරණව හා විනිවිදභාවයෙන් යුතුව බෙදා හැරීම සිදු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය. මේ සඳහා නිසි පරිිදි ලේඛනගත ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් මෙහිදී සාකච්ඡා විය.මීට අමතරව, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික ක්ෂේත්‍රවලවලට අදාළව මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවට ඉදිරිපත් කළ තවත් කරුණු පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ගමගෙදර දිසානායක සහ මුනීර් මුලාෆර් යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද  බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන නියෝජනය කරනු ලබන නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. 


2026-11-26

ලිංගික අපයෝජන සම්බන්ධයෙන් විදේශ රටවලදී වරදකරුවන් වී මෙරටට පිටුවහල් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය

ලිංගික අපයෝජන සම්බන්ධයෙන් විදේශ රටවලදී වරදකරුවන් වී මෙරටට පිටුවහල් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සහ සංසදය විසින් පත් කරන ලද අනු කමිටුවේ අවධානය යොමු වී තිබේ.කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා ආයතන අතර පවතින සම්බන්ධීකරණ ගැටලු සහ සන්නිවේදන බාධා කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර ගැනීම මෙන්ම ඒ සඳහා රටේ පවතින නීතිමය හා ආයතනික ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ සංසදය විසින් පත් කරන ලද අනු කමිටුව එහි සම සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ රැස්වීමක් ලෙස පසුගියදා (නොවැ. 23) පාර්ලිමේන්තුවේ දී රැස් විය.මෙහිදී අදහස් දැක්වූ සංසදයේ සභාපතිනිය විදේශ රටවලදී ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වරදකරුවන් වී මෙරටට පිටුවහල් කරන පුද්ගලයන්ගේ පෙර අපරාධ වාර්තා පිළිබඳව මෙරට අදාළ ආයතන දැනුවත් නොවීම හේතුවෙන් ඔවුන් සාමාන්‍ය පුද්ගලයන් ලෙස සමාජගත වීමට ඉඩ ඇති බව පෙන්වා දුන්නාය. එමඟින් ඔවුන් නැවතත් ලිංගික අපරාධවල නිරත වීමේ අවදානමක් පවතින බැවින්, විදේශීය අධිකරණ මඟින් ලබා දෙන එවැනි නඩු තීන්දු මෙරට තුළ පිළිගැනීම සහ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.ඒ අනුව, විදේශ රටවලදී ලිංගික අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර සම්බන්ධීකරණ ක්‍රමවේදයක් සකස් කිරීම, එවැනි පුද්ගලයන් පිළිබඳ තොරතුරු පොලිස් අපරාධ වාර්තා පද්ධතියට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය හා තාක්ෂණික ක්‍රමවේද හඳුන්වාදීම, ළමයින් සමඟ කටයුතු කරන ආයතනවල රැකියා සඳහා බඳවා ගැනීමේදී අනිවාර්ය පසුබිම් පරීක්ෂාවක් සිදු කිරීම සහ නැවත අපරාධ සිදුවීම වැළැක්වීම සඳහා අවදානම මත පදනම් වූ නීත්‍යනුකූල අධීක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මේ සඳහා අවශ්‍ය නීති සංශෝධන හෝ නව නීති හෝ හඳුන්වාදීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය විය.මීට අමතරව, මෙරට පරිවාස භාරයේ පසුවන දරුවන්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය සහ යහපැවැත්ම තහවුරු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඒ අනුව, පරිවාස භාරයේ පසුවන චූදිත දරුවන් සහ වින්දිත දරුවන් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් සෑම මාස හයකට වරක් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කර, ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් සහ චර්යාත්මක වාර්තාවක් පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා විය.එමෙන්ම, පළාත් සභා යටතේ පාලනය වන පරිවාස ආයතන මධ්‍යම රජය යටතට පවරා ගැනීමේ හැකියාව සහ එම ආයතනවල ප්‍රධාන තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීමේදී පරිවාස සේවයේ පළපුරුදු නිලධාරීන්ට ප්‍රමුඛත්වය ලබා දීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.තවද, 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත සහ 1999 අංක 37 දරන නඩත්තු පනත ඇතුළු කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ පනත් කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.එසේම, දරුවන් සහ කාන්තාවන් සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානය යොමු විය. රජයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් අධිකරණ තීන්දු ලබා දීමේදී ඇති වන ප්‍රමාදය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර ඒ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් විසඳුම් සහ විධිමත් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය ද කාරක සභාව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත දැනුම් දුන්නේය.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ගරු සාමාජිකා ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි සහ සංසදය විසින් පත් කරන ලද අනු කමිටුවේ ගරු සාමාජිකාවන් වන සමන්මලී ගුණසිංහ, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, නීතිඥ අනුෂ්කා තිලකරත්න සහ නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ යන මහත්මීහු සහභාගී වූහ.එසේම, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


2026-11-26

කාන්තා නියෝජනය හා නායකත්වය ශක්තිමත් කිරීම පිළිබඳ ආසියානු රටවල අත්දැකීම් හුවමාරුවට ශ්‍රී ලංකාව එක්වෙයි

2026 ආසියානු කාන්තා පාර්ලිමේන්තු සංසදයේ (Asian Women Parliamentary Caucus) වාර්ෂික රැස්වීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය සම සභාපතිනිය වන නීතිඥ චමින්ද්‍රානී කිරිඇල්ල මහත්මිය සහභාගී වූවාය.මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවති මෙම රැස්වීමේදී ඉන්දියාව, පාකිස්තානය, ජපානය, නේපාලය, මාලදිවයින, තායිවානය, පිලිපීනය සහ මැලේසියාව නියෝජනය කරන කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සමඟ අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසුණු අතර, කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ දේශපාලනය තුළ කාන්තා නායකත්වය ශක්තිමත් කිරීම සඳහා කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු විය.මෙම නිල සංචාරය අතරතුර මැලේසියානු පාර්ලිමේන්තුව නැරඹීමට ද අවස්ථාව සැලසුණු අතර, එහිදී පැවති විශේෂ මාර්ගෝපදේශක චාරිකාව තුළින් එරට පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන් සහ ව්‍යවස්ථාදායක කටයුතු පිළිබඳව වටිනා අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. එමෙන්ම මැලේසියානු අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා හමුවීමට ද අවස්ථාව උදා විය.තවද, මැලේසියාවේ ජර්මානු තානාපතිනියගේ නිල නිවස වෙත ගොස් ඇය හමුවීම ද මෙම සංචාරයේ තවත් සුවිශේෂී අවස්ථාවක් වූ අතර, එය ජාත්‍යන්තර මිත්‍රත්වය සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ලැබුණු අවස්ථාවක් විය.මෙම සංචාරය තුළින් කලාපීය කාන්තා පාර්ලිමේන්තු නියෝජිතයන් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමටත්, ජාත්‍යන්තර පාර්ලිමේන්තු සබඳතා සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීමටත් වැදගත් අවස්ථාවක් සැලසිණි.


2026-11-26

ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය සංශෝධනයට සහ ජාතික හා පළාත් පාසල් අතර ගුරු මාරුවීම් සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. විශේෂයෙන්ම, ගුරු ස්ථාන මාරුවීම්, පාසල්වල භෞතික සම්පත් සංවර්ධනය, පෙර පාසල් අධ්‍යාපනය, පාසල් දිවා ආහාර වැඩසටහන සහ විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.ඒ එම කාරක සභාව ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 20) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී එකම පාසලක වසර 10 කට වැඩි කාලයක් සේවය කළ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදු කිරීමේදී පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම ගුරු මාරු මණ්ඩලය විසින් තීරණය කර ඇති කිලෝමීටර් 30ක දුර සීමාව, හම්බන්තොට, පොලොන්නරුව සහ අනුරාධපුර වැනි දිස්ත්‍රික්කවල දුරස්ථ පාසල් සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු මතු කරන බැවින් එම සීමාව නැවත සමාලෝචනය කරන ලෙස මාරු මණ්ඩලයට දැනුම් දීමට කාරක සභාව විසින් තීරණය කරන ලදි.එමෙන්ම, ඇතැම් ජාතික පාසල්වල වසර 10 කට වැඩි කාලයක් සේවය කළ ගුරුවරුන්ට වෙනත් ජාතික පාසල් නොමැතිවීම හේතුවෙන් ස්ථාන මාරුවීම් ලබා ගැනීමේදී මතුවන ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි. ඒ අනුව, ස්ථාන මාරුවීම් සඳහා පමණක් ජාතික පාසල් සහ පළාත් පාසල් අතර ගුරුවරුන් මාරු කිරීමේ හැකියාව පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට තීරණය විය.ගුරු සේවා කාලය සම්බන්ධ තොරතුරු ඇතැම් පාසල්වලින් නිවැරදිව ඉදිරිපත් නොකිරීම සහ ගුරු දත්ත පද්ධතියේ පවතින අඩුපාඩු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව, අදාළ තොරතුරු වසන් කරන බවට සැක කෙරෙන පාසල් වෙත භෞතිකව ගොස් පරීක්ෂා කිරීමටත්, ගුරු දත්ත පද්ධතියේ තොරතුරු යාවත්කාලීන කර සේවා කාලය නිවැරදිව ගණනය කිරීමටත් පියවර ගැනීම පිළිබඳව සාකච්ඡා විය.උතුරු පළාතේ ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය වෙනුවට 2027 වසරේ සිට ක්‍රියාත්මක වන නව ප්‍රතිපත්තියක් සකස් කිරීමට ද මෙහිදී අවධානය යොමු විය. පාසල්වල අඩක් නිමකර අතහැර දමා ඇති ගොඩනැගිලි සහ වැඩ අවසන් කර තිබියදීත් පාසල් වෙත භාර නොදුන් ගොඩනැගිලි සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. විශේෂයෙන්ම කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් අවසන් කර භාර නොදීම හේතුවෙන් එහි ශබ්ද පාලන පැනල සහ වායු සමීකරණ පද්ධති විනාශ වෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් සිදු කිරීමට තීරණය විය.දිස්ත්‍රික් මට්ටමින් පාසල් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා වූ අතර, වවුනියාව දිස්ත්‍රික්කයේ චෙම්බලම්කුලම් සහ තාජනිකුලම් පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකකවල අඩුපාඩු සපුරාලීම සඳහා පළාත් ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය විය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් පාසල් පහක ව්‍යාපෘති 21 න් ව්‍යාපෘති 12 ක් සඳහා ඇස්තමේන්තු අනුමත කර ප්‍රතිපාදන ලබාදීමට ද තීරණය කර ඇත.පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් සකස් කර තිබුණද එය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොමැතිවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් පළාත් සභා සහ අදාළ අමාත්‍යාංශ අතර පවතින වගකීම් බෙදීයාම හේතුවෙන් මතුවන පරිපාලන හා අධීක්ෂණ ගැටලු විසඳීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.පාසල් සිසුන් සඳහා ලබාදෙන නොමිලේ දිවා ආහාර වැඩසටහනේදී නිකුත් කර ඇති මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය නොකිරීම සහ ආහාරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මතුවන ගැටලු ද මෙහිදී අවධානයට ලක් විය.මේ අතර, පාසල්වල පවතින මානව සම්පත් සම්බන්ධ ගැටලු සහ ඒවාට විසඳුම් ලබා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් කර සකස් කරන ලද “ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ පවතින මානව සම්පත් ඌන උපයෝජනය තුරන් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් විද්වත් කමිටු වාර්තාව” නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙ‍ෙනවිය විසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලදී. පාසල්වල පවතින මානව සම්පත් සම්බන්ධයෙන් අනුකාරක සභාව විසින් ලබාදුන් උපදෙස් අනුව සකස් කරන ලද මෙම වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානයට යොමු විය.කාරක සභා රැස්වීම සඳහා අමාත්‍යාංශ නිලධාරීන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ පාර්ශ්වයන් ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks