බලන්න

01

E   |   த   |  

2024-06-11

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් නව කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු විධිවිධාන සහිත නව පනත කෙටුම්පතේ කටයුතු අවසන් කිරීමට ආබාධ සහත පුද්ගලයින් සදහා වන පාර්ලිමේන්තු සංසදය මැදිහත් වෙයි

  • අවසන් කෙටුම්පත පිළිබඳ පැහැදිළි කිරීමක් (Presentation) ජූනි 14 වන විට සිදු කරන  ලෙසටත් දැනුම් දෙයි

 

ආබාධ සහිත ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම සදහා නව කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු විධිවිධාන ඇතුළත් නව පනත් කෙටුම්පත අවසන් කිරීම සදහා කඩිනමින් පියවර ගන්නා ලෙසත් එහි අවසන් කෙටුම්පත ජූනි 14 වන විට සංසදයට ඉදිරිපත් කරන ලෙසත් ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම මහතා  අදාළ සියලු පාර්ශ්වයන්ට පසුගියදා දැනුම් දුන්නේය.   

එම සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කළ අතර සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගරු අනුප පැස්කුවල් මහතා ද මෙම අවස්ථාවට එක්විය.  

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් සදහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව මෙම පනත් කෙටුම්පත සකස්වන බවත් මෙහිදී අනාවරණය විය. එසේම කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව මෙය කෙටුම්පත් කළ යුතු බවත් මෙහිදී සංසදයේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය ඇතුළු සියලු පාර්ශ්ව මැදිහත්ව මෙය කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය. අනතුරුව අනෙකුත් අදාළ පාර්ශ්වයන්ගේ අදහස් ලබාගෙන අවසන් ලියවිල්ල සකස්කළ හැකි බවත් සංසදයේ සභාපතිවරයා සදහන් කළේය.

මෙම කටයුතු සදහා අධිකරණ විෂයභාර අමාත්‍යවරයාගේ පූර්ණ මඟ පෙන්වීම සහ ආශීර්වාදය හිමිවන බවත් ඒ අනුව ලබන ජූනි 14 වැනිදා වන විට අවසන් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක්  (presentation) සංසදයට සිදු කරන ලෙස ද දැනුම් දුන්නේය.

එසේම මේ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව සාකච්ඡාකොට අවශ්‍ය උපදෙස් ලබාගැනීම සදහා  විෂය භාර අමාත්‍යවරයා වන ගරු ජනාධිපතිවරයා හමුවීමට ද කඩිනමින් පියවර ගන්නා බව සංසදයේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

ආබාධ සහිත දරුවන්ගේ අධ්‍යාපනය සදහා දැනට පාසැල් 27ක් පවතින බවත් ඒවා පාලනය වන 1961 අංක 8 දරන උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (අතිරේක විධිවිධාන) පනත සහ එහි සංශෝධන විය යුතු විධිවිධාන පිළිබඳවත්  මෙහිදී අවධානය යොමු විය.
    
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු මධුර විතානගේ, ගරු වීරසුමන වීරසිංහ සහ ගරු ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහූ ද ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණෙහි නියෝජිතයෝද, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද මෙම ‍අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2



සම්බන්ධිත පුවත්

2026-10-21

මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට සහ ඇප ලබාදීමේ නීති සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත් දෙකකට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලදී ඇප ලබා ගැනීමේ විධිවිධාන සංශෝධනය කිරීම සහ කංසා ශාකය පිළිබඳ නීතිමය නිර්වචනය පැහැදිලි කිරීම අරමුණු කරගත් විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත් දෙකක්, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා සලකා බලා, නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව  අනුමත කරන ලදී.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ කාරක සභාවේදී, අත්අඩංගුවට ගෙන රජයේ භාරයේ පවතින මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ එහි විනිවිදභාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කර ඇති නීතිමය සංශෝධන පිළිබඳව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරීහු කරුණු පැහැදිලි කළහ.එහිදී, රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව දින 60ක් ඇතුළත ලබා ගැනීම, එම වාර්තාව ලැබීමෙන් පසු දින 15ක් ඇතුළත අධිකරණ නියෝගය ලබා ගැනීම සහ අධිකරණ නියෝගයෙන් පසු දින 14ක් ඇතුළත මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා කාලසීමා නියම කිරීමට අදාළ විධිවිධාන පිළිබඳව නිලධාරීහු පැහැදිලි කළහ. එමෙන්ම, සැකකරුවකු නොමැති හෝ මත්ද්‍රව්‍ය අතහැර දමා ගොස් ඇති අවස්ථාවලදී හෝ අදාළ නීතිමය ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කටයුතු කඩිනම් කිරීමට යෝජනා කර ඇති විධිවිධාන පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරිණි.මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය සහ සාක්ෂි සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා එම ක්‍රියාවලිය ඡායාරූපගත කිරීම හා වීඩියෝගත කිරීම, අවශ්‍යතාවක් ඇති වුවහොත් දෙවන රසායනාගාර පරීක්ෂණයක් සඳහා සාම්පලයක් ආරක්ෂිතව තබා ගැනීම සහ විශාල මත්ද්‍රව්‍ය තොගවලින් නියෝජිත සාම්පල ලබා ගැනීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් යෝජිත විධිවිධාන ද නිලධාරීහු පැහැදිලි කළහ.මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලදී ඇප ලබා ගැනීමට අදාළ නීතිමය විධිවිධාන සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි. ඒ අනුව, ග්‍රෑම් 100 දක්වා බරක් සහිත මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇප ඉල්ලීම් අදාළ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත්, එම සීමාව ඉක්මවන අවස්ථාවලදී අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් යෝජනා කර ඇති සංශෝධන පිළිබඳව නිලධාරීහු පැහැදිලි කළහ.මීට පෙර පැවති ග්‍රෑම් 10ක සීමාව සංශෝධනය කිරීමේ අරමුණ වන්නේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම ඇතුළු හේතු මත සැකකරුවන් දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම අවම කිරීම සහ බන්ධනාගාර තදබදය අඩු කිරීමට දායක වීම බව ද මෙහිදී පැහැදිලි කෙරිණි. තවද, මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැරදි සම්බන්ධයෙන් ආඥාපනතේ 54(1) වගන්තියට අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් විය.මෙම පනත් කෙටුම්පත් දෙකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව ඉදිරිපත් වූ සංශෝධන සහ අතිරේක සංශෝධන ද කාරක සභා අවස්ථාවේදී සලකා බැලීමෙන් අනතුරුව, පනත් කෙටුම්පත් දෙක නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව අනුමත කරන ලදී.මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, චන්දන සූරියආරච්චි සහ ධර්මප්‍රිය විජේසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.


2026-10-19

දකුණු පළාත් සභාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිකතා සහ රාජ්‍ය දේපළ වෙන්දේසි කිරීමේදී සිදුවූ මූල්‍ය අලාභ පිළිබඳව “කෝපා” කමිටුවේ අවධානය

දකුණු පළාත් සභාවට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය සමාලෝචනය කිරීමේදී රාජ්‍ය ආයතනවලට අදාළ දීමනා ලබාදීම, චක්‍රලේඛ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිකතා සහ යන්ත්‍රෝපකරණ වෙන්දේසි කිරීමේදී සිදුවූ මූල්‍ය අලාභ සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අවධානය යොමු විය.2023.03.24 දිනැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ රැස්වීමේදී ලබාදී තිබු නිර්දේශ සම්බන්ධයෙන්  පසු විපරමක් සහ 2021-2023 වර්ෂවල විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 හා 2025 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ සාකච්ඡ‍ා කිරීමට එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සතුව තිබූ ඇස්ෆෝල්ට් නිෂ්පාදන යන්ත්‍රය 2021 වසරේදී වෙන්දේසි කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේය. 2013 වසරේදී අධිකාරිය වෙත පවරා දී තිබූ මෙම යන්ත්‍රය, 2018 වසරෙන් පසු මහා පරිමාණ මාර්ග කාපට් කිරීමේ ව්‍යාපෘති නොමැති වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබූ බව නිලධාරීහු පෙන්වා දුන්හ. යන්ත්‍රය අක්‍රියව තබා ගැනීමෙන් නඩත්තු හා ආරක්ෂණ වියදම් දැරීමට සිදුවීම ද එය වෙන්දේසි කිරීමට බලපෑ හේතුවක් ලෙස සඳහන් විය.කෙසේ වෙතත්, යන්ත්‍රය වෙන්දේසි කිරීමේදී එහි ඉතිරිව තිබූ තාර ලීටර් 21,782ක් සහ ඩීසල් තොගය නිසි පරිදි තක්සේරු කර වෙන්දේසි වටිනාකමට ඇතුළත් නොකිරීම හේතුවෙන් මූල්‍ය අලාභයක් සිදුවී ඇති බව මෙහිදී සාකච්ඡා විය. මෙම අලාභයට අදාළව ගැනුම්කරුගෙන් මුදල් අය කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ද අනාවරණය විය.මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන හා විධිමත් විනය පරීක්ෂණ සිදුකර නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන තිබුණද, අලාභය අදාළ නිලධාරීන්ගෙන් අය කර ගැනීම මෙතෙක් සිදුව නොමැති බව ද සාකච්ඡා කෙරිණි. අදාළ නිලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති කරුණු ද සැලකිල්ලට ගනිමින්, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශනය කර සැබෑ වගකිවයුත්තන් හඳුනා ගැනීම සඳහා නැවත පූර්ණ විමර්ශන කමිටුවක් පත් කර ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.මීට අමතරව, දකුණු පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී මතුවූ ගැටලු පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. පැළ සැපයීම සඳහා සිදුකළ ප්‍රසම්පාදනයකදී එකම සැපයුම්කරුවෙකු සමඟ ගිවිසුම් කිහිපයකට එළඹීම, අත්තිකාරම් මුදල් ගෙවා තිබියදී නියමිත සැපයුම් සම්පූර්ණ නොවීම සහ අයවිය යුතු මුදල් පියවා ගැනීම සඳහා ඉඩමක් පවරා ගැනීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි. එසේම, නිසි අවශ්‍යතා ඇගයීමකින් හෝ ශක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් මිලියන 27ක පමණ වියදමින් ස්කෑනර් යන්ත්‍ර 86ක් මිලදී ගැනීම සහ ඒවායින් බහුතරයක් අපේක්ෂිත කාර්යයන් සඳහා භාවිතයට නොගැනීම පිළිබඳව ද සාකච්ඡා විය. අදාළ මෘදුකාංග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මතුවූ ගැටලු හේතුවෙන් ඩිජිටල්කරණ කටයුතු අතරමඟ ඇනහිටීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.තවද, රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට ඉන්ධන සහ නිවාස දීමනා ලබාදීමේදී අදාළ චක්‍රලේඛ හා මූල්‍ය රෙගුලාසි නිසි පරිදි අනුගමනය කර තිබේද යන්න සම්බන්ධයෙන් ද කරුණු විමසා බැලුණි.රාජ්‍ය මුදල් සහ දේපළ භාවිතයේදී විනිවිදභාවය හා වගවීම තහවුරු කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාව, අනාවරණය වූ ගැටලු සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදුකර, වගකිවයුතු පාර්ශ්ව හඳුනාගෙන අදාළ නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කළේය.මෙම රැස්වීම සඳහා ගරු රාජ්‍ය අමාත්‍යවරුන් වන නලීන් හේවගේ, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, අරවින්ද සෙනරත්, ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ සාගරිකා අතාවුද, ‍ටී. කේ. ජයසුන්දර, ලාල් ප්‍රේමනාත්, සුසන්ත කුමාර නවරත්න, රුවන්තිලක ජයකොඩි, මංජුල සුරවීර ආරච්චි, අජන්ත ගම්මැද්දෙගේ සහ සුනිල් රත්නසිරි  යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-10-19

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත  කඩිනමින් ක්‍රියාත්මක කරමින් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය විධිමත් ලෙස නියාමනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය.ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියගේ සභාපතිත්වයෙන්  පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ  අතර, එහිදී මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ නිලධාරීන්  සමඟ සාකච්ඡා කෙරිණි.ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය  දීමේ ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා සම්මත කරන ලද  පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි. අවිධිමත් ලෙස අධික පොලී අය කරමින් ජනතාව පීඩාවට පත් කරන ණය දෙන ආයතන පාලනය කිරීම මෙන්ම විධිමත් ලෙස ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සඳහා සාධාරණ නියාමන පරිසරයක් සකස් කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙන ලදී.මෙහිදී ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර කටයුතු සිදු කරන ආයතනවලට බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය, පනතේ  ඇතැම් වගන්ති සම්බන්ධයෙන් පවතින නීතිමය හා ප්‍රායෝගික ගැටලු, තැන්පතු ලබා ගැනීමේ සීමා සහ අරමුදල් පිරිවැය පිළිබඳව සාකච්ඡා වූ අතර, දැනට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සඳහා බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය සරල කිරීම, නියාමනයකට යටත්ව සීමිත මහජන තැන්පතු ලබා ගැනීමට අවස්ථාව සැලසීම සහ අඩු පිරිවැය අරමුදල් වෙත ප්‍රවේශය ලබාදීම සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් කෙරිණි.එමෙන්ම, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනවලින් ලැබෙන සහනදායී අරමුදල් නියාමනය වන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වෙත ලබා දීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම තුළින් ණය පොලී අනුපාත පහළ දැමීමට හැකි ආකාරය පිළිබඳවද අවධානය යොමු විය.පනතේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධ වගන්ති ක්‍රියාත්මක කිරීම, නියාමන අධිකාරිය පිහිටුවීමට ගතවන කාලය සහ ආයතනවලට බලපත්‍ර ලබාගැනීම සඳහා ලබා දී ඇති කාලසීමාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මේ අතර, ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් (LMSL) ආයතනය සඳහා ග්‍රිඩ් 68ක කැණීම් අයිතිය ලබාදීම සහ මෙහෙයුම් සහය ලබාදීම සම්බන්ධ කරුණු පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ නිකුත් කිරීමට කාරක සභාව තීරණය කළේය.උතුරු-නැගෙනහිර වෙරළ තීරයේ පවතින  ඛනිජ වැලි තැන්පතු වෙනත් පෞද්ගලික ආයතන වෙත ලබා නොදී රාජ්‍ය සතු ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය වෙත අනන්‍ය කැණීම් අයිතිය ලබාදෙන ලෙස එම ආයතනය විසින් කාරක සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබිණි.මෙහිදී නැගෙනහිර වෙරළ තීරයේ පවතින ඛනිජ වැලි තැන්පතු භාවිත කරමින් අගය එකතු කළ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය දීර්ඝකාලීනව සහ අඛණ්ඩව සපයා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා විය. ඛනිජ වැලි අමුද්‍රව්‍ය ලෙස පමණක් අපනයනය කිරීම වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කර අපනයනය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව, දේශීය හා විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කරගනිමින් අගය එකතු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.එමෙන්ම, අතීතයේ නිකුත් කර ඇති ඛනිජ කැණීම් බලපත්‍ර සමාලෝචනය කිරීම, අක්‍රමවත් ලෙස පවතින බලපත්‍ර සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සහ  අදාළ ඛනිජ තැන්පතු LMSL ආයතනය වෙත පැවරීම පිළිබඳව ද සාකච්ඡා විය. පසුගිය කාලයේ සිදුව ඇති බවට හඳුනාගෙන ඇති ඇතැම් අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට පියවර ගෙන ඇති බවද සඳහන් වූ අතර, ඉදිරියේදී ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේදී විනිවිදභාවය සහ ආයතන අතර සම්බන්ධීකරණය තහවුරු කිරීම සඳහා බහු-ආයතනික කමිටු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.මෙම රැස්වීමට  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, කන්දසාමි ප්‍රභු, තිළිණ සමරකෝන්, විජේසිරි බස්නායක, සුරංග රත්නායක සහ සිවඥානම් ශ්‍රීතරන් යන මහත්ම මහත්මීන් ඇතුළු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්  පිරිසක් ද  සහභාගී වූහ.


2026-10-16

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සඳහා විසඳුම් කඩිනම් කිරීමට අග්‍රාමාත්‍යවරියගෙන් නිලධාරීන්ට උපදෙස්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු රැසකට අදාළ විසඳුම් කඩිනම් කරන ලෙස  ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබා දුන්නාය. ගරු අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ගරු මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවේ අවධානයට යොමු කළ ගැටලු සම්බන්ධයෙන් කරුණු විමසමින් ඇය මෙලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය. සාමාන්‍ය විදුලි සංදේශ ජාල මගින් අන්තර්ජාල සබඳතා ලබා ගැනීමට අපහසු පාසල් 334ක් හඳුනාගෙන ඇති අතර, ඒවා සඳහා Wi-Fi පහසුකම් ලබා දීම සඳහා  පෞද්ගලික ආයතනයකට  පවරා ඇති බවත් මෙහිදී අනාවරණය විය. එසේම භූගෝලීය දුෂ්කරතා හේතුවෙන් කිසිදු සාමාන්‍ය ක්‍රමයකින් අන්තර්ජාලය සැපයිය නොහැකි දුෂ්කර පාසල් 10ක් සඳහා මෙරට ආරම්භ වූ චන්ද්‍රිකා අන්තර්ජාල පහසුකම් සපයන නව සමාගමක් මගින් අන්තර්ජාලය ලබා දීමට ව්‍යාපෘති යෝජනාවක් මගින් කටයුතු කිරීමට අපේක්ෂා ‍කරන බව නිලධාරිහු සඳහන් කළහ.පාසල්වල පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා වෙන් කළ මුදල්, මූල්‍ය වර්ෂය අවසන් වීමට පෙර පූර්ණ ලෙස ප්‍රයෝජනයට නොගෙන ආපසු යාම වැළැක්වීම සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ප්‍රගතිය අධීක්ෂණය කිරීමට ද අගමැතිවරිය විසින් උපදෙස් ලබා දෙන ලදී.තෝරාගත් ප්‍රාථමික පාසල් 169ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලූ අතර, ප්‍රමාද වී ඇති ඉංජිනේරු ඇස්තමේන්තු සකස් කිරීම කඩිනම් කරන ලෙස පළාත් බලධාරීන්ට කාරක සභාව විසින් දැනුම් දෙන ලදී. කුඩා දරුවන් පරිසරය හා සෘජුව බද්ධව ඉගෙනුම ලැබිය යුතු බැවින්, ප්‍රාථමික අංශවල එක් ශ්‍රේණියකට එක් සුහුරු පන්ති කාමරයක් (Smart classroom) පමණක් සීමා කරන ලෙසත්, සියලුම පන්ති කාමර ස්මාර්ට් පන්ති කාමර බවට පත් නොකරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබා දුන්නාය. තවද අලුතින් සැලසුම් කෙරෙන ප්‍රාථමික පාසල්වල දරුවන්ට මානසික සුවතාවයෙන් හා නිදහසේ රැඳී සිටිය හැකි විවේකාගාර හා කියවීම් කාමර ඇතුළත් කිරීම අනිවාර්ය විය යුතු බව අවධාරණය කෙරිණි.පරිවාස භාරයේ පසුවන දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී අධිකරණ නියෝග මත පදනම්ව කටයුතු කිරීමටත්, එම දරුවන්ට අනවශ්‍ය බාධාවකින් තොරව නගරාසන්න හා ජාතික පාසල්වලට ඇතුළත් වීමට හැකි වන පරිදි පොදු මාර්ගෝපදේශ සහ චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීමටත් කාරක සභාව විසින් උපදෙස් දෙන ලදී.වාර්ෂික ගුරු ස්ථාන මාරු ක්‍රියාවලියේදී අනුප්‍රාප්තිකයින් නොමැති වීම හේතුවෙන් විදුහල්පතිවරුන් විසින් ගුරුවරුන් මුදා නොහැරීම නිසා ඇතැම් ගුරු ස්ථාන මාරු  සංශෝධනය කිරීමට හෝ අත්හිටුවීමට සිදු වූ බව අනාවරණය විය. අදාළ අංශ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය ගුරුවරුන් ප්‍රමාණය බඳවා ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස නිලධාරීන්ට කාරක සභාවෙන් උපදේශ ලැබිණි. තවද,  පාසල් වෙත පත් කර සිටින ක්‍රීඩා පුහුණුකරුවන්ගේ රාජකාරි නිරීක්ෂණය විධිමත් කිරීම, රාජකාරි වේලාවන් නියම කිරීම සහ පළාත් හා ජාතික මට්ටමින් ස්ථාන මාරු ප්‍රතිපත්තියක් සැකසීම පිළිබඳව ද සාකච්ඡා විය.විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉගෙනුම ලබන පාසල්වල පවතින වැසිකිළි හා ප්‍රවේශ පහසුකම්වල (Accessibility) දැඩි ඌනතා පිළිබඳව විශේෂ අවධානය යොමු විය. එම පාසල් සඳහා පවතින අවශ්‍යතා පිළිබඳව ජාතික විගණනයක් (Audit) සිදු කිරීමටත් විශේෂ ප්‍රතිපාදන යොදවා දරුවන්ට පහසුවෙන් භාවිත කළ හැකි ගොඩනැගිලි හා සනීපාරක්ෂක පහසුකම් කඩිනමින් ඉදිකිරීමටත් උපදෙස් ලබා දීම සිදු විය.පෙර පාසල් අධ්‍යාපනය නියාමනය කිරීම, ගුරු පුහුණු රාමුව විධිමත් කිරීම සහ අනවසර බාහිර ආයතන මගින් නිසි ප්‍රමිතියකින් තොරව සහතික පත්‍ර නිකුත් කිරීම වැළැක්වීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡා කෙරිණි.මේ අතර, උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය, එම අනුකාරක සභාවේ සභාපති, ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා විසින් ද, පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය එම අනු කාරක සභා සභාපතිනි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් ද කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ද  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීහු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks