පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2024-05-31
මෙරට බෞද්ධ ධර්මය විකෘති කිරීම, සංඝ සංස්ථාව බිඳවැට්ටීම සහ ලාංකීය ඉතිහාසය විකෘති කිරීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිළිබඳ ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු විය. ඒ එම පාර්ලිමේන්තු සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජයන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (මැයි 22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මේ සඳහා පූජ්‍ය ගලගම කුසලධම්ම් හිමි, පූජ්‍ය පාගොඩ ජනිතවංශ හිමි, පූජ්‍ය වාද්දුවේ ධම්මවංශ හිමි, සංසදයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චන්න ජයසුමන, මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර, වෛද්‍ය මනොජ් කුමාර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ඉසුරු උපනාද, නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ශකිල රාජකරුණා, ශාන්ත කුමාර යන මහත්වරුන් සහභාගී විය. එයට අමතරව මිස්සක කමලසිරි හිමි සූම් තාක්ෂණය ඔස්සේ ඇමරිකාවේ සිට කාරක සභාව වෙත සම්බන්ධ වූහ.
මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් උක්ත කරුණ සම්බන්ධව අදාළ පාර්ශවයන් දැනුවත් කර ඇතත් ඒ පිළිබඳ ප්‍රමාණවත් ක්‍රියාමාර්ග තවමත් ගෙන නොමැති බවයි. එ නිසා බෞද්ධ ධර්මය විකෘති කිරීම, සංඝ සංස්ථාව බිඳවැට්ටීම සහ ලාංකීය ඉතිහාසය විකෘති කිරීම වැළැක්වීම පිණිස අදාළ පාර්ශවයන්ගේ අවධානය යොමු කිරීම සහ ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සිය සංසදයේ අරමුණ බවද සමරවීර මහතා පෙන්වා දුන්නේය.
මෙහිදී, බෞද්ධ දර්ශනය විකෘති කිරීම්, බුද්ධ චරිතය පිළිබඳ මිථ්‍ය මත ප්‍රචාරය කිරීම් මෙන්ම භික්ෂුන් වහන්සේලාට අපහාස වන අයුරින් නොයෙක් මාධ්‍ය භාවිත කරමින් ගෙනයනු ලබන ප්‍රචාරයන් පිළිබඳ පැමිණ සිටි පිරිස විසින් දිර්ඝ වශයෙන් උදාහරණ දක්වමින් පැහැදිලි කිරීම සිදු කෙරිණි. බෞද්ධ දර්ශනය විකෘති කොට සම්පාදනය කරනු ලබන ග්‍රන්ථ විශාල වශයෙන් ජනගත කෙරෙන බවද පැමිණ සිටි ස්වාමීන් වහන්සේලා උදාහරණ දක්වමින් පෙන්වා දුන්හ.
මෙසේ විකෘති දත්ත සහිත ග්‍රන්ථ ජනගතවීම මගින් බෞද්ධ දර්ශනය පිළිබඳ වැරදි අදහස් ජනතාව අතර පැතිරෙමින් පවතින බවද උන් වහන්සේලා පෙන්වා දුන්හ. එමගින් භික්ෂු ශාසනය, පැවිදි උපසම්පදාව මෙන්ම ශාසන චාරිත්‍ර ආදී කාලාන්තරයක් තිස්සේ ආරක්ෂා කරන ලද සංකල්ප පිළිබඳ අප්‍රසාදයක් ඇති වන අයුරින් මෙම ප්‍රචාරණයන් සිදු කරන බවද මෙහිදී සාකච්ඡා කෙරිණි. මේ නිසා බුදුරජාණන් වහන්සේ යනු මන:කල්පිත චරිතයක් බවට ජනතාවට ඒත්තු ගන්වා බෞද්ධ ශාසනය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ දැමිම සිදුවන බවද ස්වාමීන්වහන්සේලා විසින් පෙන්වා දෙන ලදී.
මෙයට අමතරව බෞද්ධ දර්ශනයට, බුද්ධ චරියතයට අපහාස කරමින් ප්‍රචාරයන් ගෙනයන පිරිස් මෙරට මෙන්ම වෙනත් විදේශ රටවලද විවිධ ව්‍යාපාරවල නියැලෙමින් විශාල ලෙස ධනය යොදවමින් මෙම කාර්යය සිදුකරන බව පැමිණ සිටි පිරිස පෙන්වා දුන්හ. මෙය ජාත්‍යන්තර භූ දේශපාලනය තුළ ශ්‍රී ලංකාව රටක් ලෙස බිඳ වැට්ටීම සඳහා ගෙනයන කිසියම් කුමන්ත්‍රණයක එක් මුහුණුවරක් වියහැකි බැවින් සමස්තයම සලකා බලා පියවර ගත යතු බවත් ඔවුහු පෙන්වා දුන්හ. මෙම ක්‍රියා හේතුවෙන් සමාජ ප්‍රචණ්ඩකරණය හා සංස්කෘතික බිඳ වැට්ටීම සිදුවන අතර ඒමගින් මෙරට තුළ පුද්ගලයා, පවුල, ආයතන සහ අවසානයේ සමස්ථ සමාජයම බිඳවැටීම සිදු විය හැකි බවත් ඒ නිසා මේ පිළිබඳ කඩිනමින් අවධානය යොමු කළයුතු බවත් ඔවුන්ගේ අදහස විය.
මේ තත්ත්වය වැළැක්වීම සඳහා නෛතික ප්‍රතිපාදන සංශෝධනය කිරීම, ශ්‍රී ලංකාවේ ඒකීය පදනමට බලපාන ඓතිහාසික මූලාශ්‍ර විකෘති කිරීම වැලැක්වීම යන කරුණු කෙරෙහි දැඩි අවධානයක් කළ යුතු බව විද්වත්හු මෙහිදී පෙන්වා දුන්හ. මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේ ඉදිරිපත්වන සියළු යෝජනා සහ අදහස් ඒකරාශි කොට බෞද්ධ දර්ශනය විකෘති කිරීම්, බුද්ධ චරිතය පිළිබඳ මිථ්‍ය මත ප්‍රචාරය කිරීම් මෙන්ම භික්ෂුන් වහන්සේලාට අපහාස වන අන්දමේ ප්‍රචාරයන් වැලැක්වීම සඳහා අවශ්‍ය නිර්දේශ සංසදය විසින් ඉදිරිපත් කිරීමට බලාපොරෙත්තු වන බවයි.
2026-09-25
නව තානාපතිවරයෙක්, මහ කොමසාරිස්වරයෙක් සහ ආයතන සභපතිවරයෙක් පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමි විය. උසස් නිලතල පිළිබඳ කාරක සභාව ගරු අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් රැස් වූ අවස්ථාවේ උක්ත පත්වීම් සඳහා අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, පිලිපීනයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස අන්සුල් බානු ජාන් මහත්මියගේ පත්වීමට සහ කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස චන්දන රෝහණ කුමාර අඹගොල්ල මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.එමෙන්ම, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්හි නව සභාපතිවරයා ලෙස නුසිත් කුමාරතුංග මහතාගේ පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමැතිය ලබා දෙන ලදී.
2026-09-24
ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී ඔවුන්ගේ ගෞරවය, පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා ජාතික මාධ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධාරණය කෙරිණි. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් පසුගියදා (සැප්. 22) පාර්ලිමේන්තුවේදී රැස් වූ කාරක සභාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය.මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී ඔවුන්ගේ උපරිම යහපත සැලසීම, සත්‍යතාව සහ සාධාරණත්වය ආරක්ෂා කිරීම මෙන්ම ළමයින් හා ඔවුන්ගේ පවුල් අනවශ්‍ය ලෙස නිරාවරණය වීම වැළැක්වීම මෙම මාර්ගෝපදේශ සංග්‍රහයේ ප්‍රධාන අරමුණු ලෙස හඳුනාගෙන තිබේ.එමෙන්ම, ආබාධිත දරුවන් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණයේදී ඔවුන්ගේ ගෞරවය සහ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය විය.මේ අතර, දෙමළ භාෂාව කතා කරන ප්‍රදේශවල කාන්තා සහ ළමා ඒකක ශක්තිමත් කිරීම සඳහා දෙමළ භාෂාව හැසිරවිය හැකි කාන්තා පොලිස් නිලධාරිනියන් බඳවා ගැනීම සහ පුහුණු කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. යාපනය ඇතුළු ප්‍රදේශවල කාන්තාවන්ට සහ ළමයින්ට තම පැමිණිලි ඉදිරිපත් කිරීමේදී පවතින භාෂාමය අපහසුතා මගහරවා ගැනීම මෙහි අරමුණ විය.දිවයින පුරා පවතින ළමා නිවාස පාලනය සහ අධීක්ෂණය විධිමත් කිරීම සඳහා මධ්‍යගත තොරතුරු පද්ධතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධානයට ලක් විය. දරුවන්ට සිදු වන හිංසන වැළැක්වීම සඳහා එම ආයතනවල කළමනාකාරීත්වයේ වගකීම තහවුරු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.තවද, වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ රැකියා සඳහා පිටත් වීම සම්බන්ධයෙන් පවතින කරුණු පිළිබඳව ද සාකච්ඡා වූ අතර, ඒ සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුවක් මගින් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව සඳහන් විය. විදේශ රැකියාවල නිරත කාන්තාවන්ගේ දරුවන් සඳහා අධ්‍යාපනික වියදම් ප්‍රතිපූරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.එමෙන්ම, 2027 වසර වන විට සියලු පෙර පාසල් සඳහා පොදු ප්‍රමිතීන් හඳුන්වා දීම, පෙර පාසල් ගුරුවරුන් සඳහා පොදු පුහුණු හා සහතික ක්‍රමවේදයක් ඇති කිරීම සහ පෙර පාසල්වල පවතින යටිතල පහසුකම්වල ගැටලු විසඳීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.ළමා අපයෝජන නඩු විභාග කිරීමේදී පවතින ප්‍රමාදයන් අවම කිරීම සඳහා අධිකරණ වෛද්‍ය වාර්තා සහ රජයේ රස පරීක්ෂක වාර්තා ලබා දීම කඩිනම් කිරීම, නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් ලබා දීම සහ ළමා අපයෝජන නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය.ළමයින්ට සිදු කරන ශාරීරික දණ්ඩනය නීතියෙන් තහනම් කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි විය.
2026-09-23
සැප්තැම්බර් 24 සහ 25 දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” පනත් කෙටුම්පත්, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය ලබා දීම සිදු විය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (සැප්. 22) එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සලකා බැලිණි. නීතිපති, ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරින් හා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම කාරක සභාවට සහභාගී වූහ. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් 2026.09.22 දින පාර්ලිමේන්තුවට නිවේදනය කළ පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පිළිබඳව ද නිතිපතිවරයා කාරක සභාවට පැහැදිළි කිරීමක් සිදු කළේය. එසේම පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ කරුණු සම්බන්ධයෙන් කාරක සභා මන්ත්‍රීවරු සිය අදහස් පළ කළහ. යෝජිත සංශෝධන මගින් අධිකරණ ධාරිතාව පුළුල් කිරීම, අභියාචනා යුක්තිය සඳහා ප්‍රාදේශීය මට්ටමින් ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම, විභාග වෙමින් පවතින නඩු වේගවත්ව අවසන් කිරීම, විනිසුරුවරුන්ගේ අත්දැකීම් රඳවා ගැනීම සහ විනිසුරුවරුන් පත් කිරීමේ ආයතනික ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන තිබේ.ඒ අනුව, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 137 වන වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර ඇත. ප්‍රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවා ක්‍රියාත්මක කිරීම මඟින් විභාග කිරීමට පවතින නඩු කඩිනමින් අවසන් කිරීමටත්, නඩුවල පාර්ශවකරුවන්ට කොළඹට පැමිණීමට ඇති අවශ්‍යතාව අඩු කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.තවද, පළාත්බද මහාධිකරණ මට්ටමේ අධිකරණ ධාරිතාව වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. පළාත්බද මහාධිකරණ විසින් බරපතළ අපරාධ සම්බන්ධයෙන් මුල් අධිකරණ බලය ක්‍රියාත්මක කරනු ලබන අතර, 2006 වසරේ සිදු කරන ලද සංශෝධනවලින් අනතුරුව පළාත්බද සිවිල් මහාධිකරණ මඟින් අභියාචනා අධිකරණ බලය ද ක්‍රියාත්මක කරනු ලැබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස නඩු ගොඩ ගැසීම සහ ඒවා අවසන් කිරීමේදී සිදු වන ප්‍රමාදයන් හේතුවෙන් අතිරේක අධිකරණ සහ විනිසුරුවරුන්ගේ අවශ්‍යතාවය මතු වී ඇත. ඒ අනුව; අතිරේක පළාත්බද මහාධිකරණ සහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවීමට හැකි වන පරිදි උපරිම මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීම සඳහා අධිකරණ සංවිධාන පනතේ 4 වන වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.ව්‍යවස්ථාපිත විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාවන් සංශෝධනය කිරීම මඟින් පළපුරුදු අධිකරණ නිලධාරින්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සහතික කිරීම ද මෙම සංශෝධන මගින් අපේක්ෂා කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 සිට 65 දක්වාත්, මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 සිට 63 දක්වාත්, දිසා විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 සිට 62 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ තුෂාරි ජයසිංහ, (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන්, ධර්මප්‍රිය විජේසිංහ, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඩී. සූරියබණ්ඩාර සහ චන්දන සූරියආරච්චි යන මහත්ම මහත්මීහු ද මීට අමතරව කාරක සභික නොවන මන්ත්‍රීවරුන් වන නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, නීතීඥ යූ.පී. අබේවික්‍රම හා ගයාන් ජනක යන මහත්ම මහත්මීහු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-09-23
ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු හා විධිමත් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත් කරන ලද, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී ආබාධ සහිත තැනැත්තන් මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පිහිටුවන ලද විශේෂ කමිටුව පාර්ලිමේන්තුවේදී පසුගියදා පළමු වරට රැස්විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුගත් වසන්ත ද සිල්වා, දිනේෂ් හේමන්ත සහ එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී මෙන්ම ඔවුන්ගේ ආබාධිත තත්ත්වයට ගැළපෙන පරිදි වාහන සකස් කර භාවිත කිරීමේදී මුහුණ පාන ප්‍රායෝගික හා නෛතික ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මෙහිදී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය (NTMI) මගින් සිදු කරන වෛද්‍ය පරීක්ෂණ, ආබාධිත තත්ත්වය අනුව ලබා දෙන වෛද්‍ය නිර්දේශ සහ ඒ අනුව රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමු විය. විශේෂයෙන්, වෛද්‍ය පරීක්ෂණ දිස්ත්‍රික් මට්ටමින් ලබා දීම, දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් සඳහා පෙනීමේ පරාසය ඇතුළු වෛද්‍ය නිර්ණායක සලකා බලමින් රියදුරු බලපත්‍ර ලබා දෙන වාහන වර්ග පුළුල් කිරීම,වාහනවලට ගැළපෙන ආරක්ෂිත උපකරණ සවි කිරීම සහ ඉදිරි ගැසට් සංශෝධන පිළිබඳව ද සාකච්ඡා කෙරිණි..ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා දීමේදී පවතින නීතිමය තත්ත්වය, විශේෂ සලකුණු භාවිතය සහ සංඥා භාෂා පරිවර්තකයන්ගේ සහාය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. එමෙන්ම, ආබාධිත තත්ත්වයට ගැළපෙන පරිදි වාහන නවීකරණය කිරීමේ ක්‍රමවේද පිළිබඳව ද අවධානය යොමු විය.එක් පුද්ගලයෙකුට වාහන කිහිපයක් සඳහා බලපත්‍ර ලබා දීම, වෛද්‍ය පරීක්ෂණ ක්‍රමවේදය සරල කිරීම සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර මාර්ගගත පද්ධතිය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් විය.ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු හා විධිමත් කිරීම සඳහා අවශ්‍ය ගැසට් සංශෝධන, ප්‍රාදේශීය මට්ටමින් සේවා පුළුල් කිරීම සහ අදාළ ආයතන දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි. මාර්ග ආරක්ෂාව තහවුරු කරමින් ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවාහන අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ඉදිරි පියවර ගැනීමේ වැදගත්කම ද අවධාරණය විය.මෙම රැස්වීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks



