01

E   |   த   |  

2024-05-17

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

උතුරු පළාතේ, සෑම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවකටම අදාළව ආබාධ සහිත පුද්ගල මෙහෙයුම් කමිටුවක් පිහිටුවා එ් සෑම කමිටුවකදීම ආබාධිත ප්‍රජාවගේ ගැටළු සාකච්ඡා කිරීමට න්‍යාය පත්‍රයේ විශේෂ ස්ථානයක් වෙන් කරන්න

  • ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම මහතාගෙන් ඉල්ලීමක්

 

ආබාධ සහිත පුද්ගලයන් මුහුණ දෙන අභියෝග, ගැටලු, පවතින අවස්ථා සහ ඒවාට නිසි ලෙස ආමන්ත්‍රණය කිරීමට ගත හැකි පියවර සහ යෝජනා පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීම සඳහා වූ  විශේෂ දෙවන සැසිය ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන්  පසුගියදා (මැයි 13) කිලිනොච්චි  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විශේෂ සැසිය සදහා  එම සංසදයේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මධුර විතානගේ, වැඩබලන කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන්, උතුරු පළාත් සමාජ සේවා අමාත්‍යංශයේ ලේකම් ඇම් වාගීෂ්, කණ්ඩාවලෙයි, කරච්චි, පච්චිලෙයිපල්ලි, පූනකරි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ප්‍රාදේශීය ලේකම්වරුන්, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) උපදේශිකා ශ්‍යාමා සල්ගාදු, ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ නියෝජනය කරමින් සභාපති රසාංජලි පතිරගේ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

කිලිනොච්චිය දිස්ත්‍රිකයේ ජීවත් වන ආබාධ සහිත තැනැත්තන්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන සංවිධානවල නියෝජිතයන්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ආබාධ සහිත දරුවන් සදහා ඉගැන්වීම් සිදුකරන ආයතන කිහිපයක නිලධාරීන්, ප්‍රදේශයේ මහජන නියෝජිතයින්ගේ සම්බන්ධිකරණ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආබාධ සහිත පුද්ගලයින් රටේ පාලන ව්‍යුහයට සහ සමාජයට අන්තර්කරණය කිරීම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සහ යෝජනා රැස්කිරීම මෙහිදී සිදුවිය.

සාකච්ජාව  සඳහා සහභාගිවී සිටි අබාධ සහිත පිරිස හා සංවිධාන තමන්ගේ අදහස්, යෝජනා  හා ගැටලු  මෙහිදී ඉදිපත් කරන ලදී.  

මෙහිදී අදහස් දක්වමින් සංසදයේ සභාපති ගරු ඩලස් අලහප්පෙරුම මහතා උතුරු පළාතේ සෑම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවකටම සහ සහ සෑම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවකටම අදාළව ආබාධ සහිත පුද්ගල මෙහෙයුම් කමිටුවක් පිහිටුවන ලෙසත් එම සෑම සම්බන්ධීකරණ කමිටුවකදීම ආබාධිත ප්‍රජාවගේ ගැටළු සාකච්ඡා කිරීමට න්‍යාය පත්‍රයේ විශේෂ ස්ථානයක් වෙන් කරන ලෙසටත්  ඉල්ලා සිටියේ. එමෙන්ම එම ක්‍රියාවලිය දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක වීමේ වටිනාකම ගැනද සභාපතිවරයා මෙහිදී  පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම අවම වශයෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් රජයේ ආධාර ලබන එක පාසලක් හෝ තිබුනද උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ වෙනුවෙන්ම ඇත්තේ එක් පාසලක් පමණක් වීම බලවත් අසාධාරණයක් බව සංසදයේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.  කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ ඉඩමක් ලබා දෙන්නේ නම් එම පාසල ඉදිකිරීම සඳහා බ්‍රිතාන්‍යයේ ජීවත් වන  රංජිත් චන්ද්‍රසේකර නමැති ශ්‍රී ලාංකික බුද්ධිමත් ත්‍යාගශීලයකු කැමැත්ත පළකර ඇති  එබැවින් ඒ සඳහා ඉඩමක් වෙන් කිරීමට කටයුතු කරන්නයි දිසාපතිවරයාගෙන් හා සමාජ සේවා ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළේය. එසේම දැනට අකර්මණ්‍යව පවතින කිලිනොච්චිය වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරවන බවද සභාපතිවරයා මෙහිදී  අවධාරණය කළේය.

2012 වසරේ මෙරට සිදු කළ ජන සංගණනය අනුව සමස්ත ජන ගහනයෙන් 8.2% එනම් ලක්ෂ  17කට ආසන්න පිරිසක් අබාධ සහිත පිරිස් බව හඳුනාගෙන ඇති බව සභාපතිවරයා පැවසුවේය. කෙසේ වෙතත් මෙම  දත්ත  එක්  එක්  දිස්ත්‍රික්ක හා ප්‍රදේශ අනුව බලන විට  වෙනස් කම්  දක්නට ලැබෙන බව  සභාපතිවරයා නිදසුන් ගෙනහැර දක්වමින්  පැහැදිලි කළේය. දිවයින පුරා  අබාධ සහිත පිරිස්  සම්බන්ධයෙන්  තොරතරු  ඇතුලත්  නිවැරදි දත්ත පද්ධතියක් නොමැතිවීමේ ගැටලුව සභාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

මේ අතර  අබාධ සහිතවූවන්ට  පොදු ප්‍රවාහන පහසුකම් වල පතින අඩු පාඩුකම් පිළිබඳව පැමිණ සිටි ප්‍රපිරිස් ගැටලූ ඉදිරිපත් කළහ. ඒ අනුව මෙරට ප්‍රවාහන පද්ධතියට එකතු කිරීම සඳහා බස්රථ  ගෙන්වීමට  නුදුරේදීම කටයුතු සැලසුම් කර ඇති බවත්  එම ලැබෙන බස් රථ වලින් ප්‍රමාණයක් අබාධ සහිත වූවන්ගේ ප්‍රවාහන කටයුතු පහසු කිරීම වෙනුන් යෙදවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව සංසදයේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මධුර විතානගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

 

1 2

3 4

9 17

 



සම්බන්ධිත පුවත්

2026-11-06

තරුණ ප්‍රජාව සහ පාර්ලිමේන්තුව සම්බන්ධ කරගනිමින් ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳ තරුණයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා

තරුණ ප්‍රජාව සහ පාර්ලිමේන්තුව සම්බන්ධ කරගනිමින් ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා කෙරිණි.තරුණයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය එහි සභාපති, ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අතර, එහිදී මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඔෂානි උමංගා මහත්මිය විසින් සකස් කරන ලද තරුණ ව්‍යවසායකත්වය සහ කර්මාන්ත සංවර්ධනය පිළිබඳ යෝජනාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ හිරුණි විජේසිංහ මහත්මිය විසින් සකස් කරන ලද පළාත් පාලන ආයතන තුළ තරුණයන් සවිබලගැන්වීම පිළිබඳ යෝජනාව සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි අම්බිකා සාමිවේල් මෙනෙවිය විසින් සකස් කරන ලද වතු හා වගා ක්ෂේත්‍රයේ තරුණයන් සඳහා වන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් ඉදිරිපත් විය.එමෙන්ම, බාහිර තරුණ සහභාගීත්ව වැඩසටහන සහ නියමු වැඩමුළු මාලාව සම්බන්ධයෙන් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ ගමගේ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්වරුන් විසින් සකස් කරන ලද යෝජනා පිළිබඳව ද දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනිණි.තරුණ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි මෙම යෝජනා පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඒවා අවසන් වශයෙන් සකස් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.මේ අවස්ථාවට සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-11-05

භාර (සංශෝධන) පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය

පාර්ලිමේන්තුවේ දී අද දින (නොවැ. 05) දෙවැනිවර කියවීමට නියමිත භාර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය.උක්ත කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) රැස් වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කර කාරක සභාව විසින් අනුමතිය ලබා දෙන ලදී.(87 වන අධිකාරය වන) භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වන මෙම පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් 2026 ඔක්තෝබර් 21 වැනි දින පළමුවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.මෙම පනත් කෙටුම්පත මඟින් සිදු කිරීමට අපේක්ෂිත සංශෝධන පිළිබඳව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීහු කාරක සභාවට කරුණු පැහැදිලි කළහ. මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී. ඩී. සූරියබණ්ඩාර සහ ධර්මප්‍රිය විජේසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-11-04

පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙන් දිවයින පුරා විශේෂ වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව වාර්තා වන පියයුරු පිළිකා රෝගය කලින් හඳුනා ගැනීම සහ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නොවැම්බර් මස 02 වැනිදා දිවයින පුරා විශේෂ ජාතික වැඩසටහනක් සාර්ථකව පැවැත්විණි.  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් නියෝජනය කරන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ගණනාවක සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ සහ පරීක්ෂා කිරීමේ වැඩසටහන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ  සංසදයේ සභාපතිනි, ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ සහභාගී වූහ. දිනකට කාන්තාවන් 17 දෙනෙකු පියයුරු පිළිකා‍වෙන් පෙළෙන බවට හඳුනා ගනු ලබන අතර ශ්‍රී ලංකාව තුළ වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000 ක් පමණ වාර්තා වේ. එසේම වසරකට මරණ 1,000 කට අධික සංඛ්‍යාවක් සිදු වන අතර, එය දිනකට ජීවිත තුනක් පමණ අහිමි වීමට සමානය. පියයුරු පිළිකාවක් ආරම්භක අවස්ථාවේදීම හඳුනාගතහොත් එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි වේ. බිය, ලැජ්ජාව හෝ දැනුවත්භාවය අඩුකම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමුවීම ප්‍රමාද වීම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනා ගෙන ඇත.සෑම කාන්තාවක්ම තම පියයුරුවල සාමාන්‍ය ස්වභාවය පිළිබඳව හුරුපුරුදු වීමත්, නිතිපතා ස්වයං පරීක්ෂාව සිදු කිරීමත් කළ යුතුවේ. අසාමාන්‍ය වෙනසක් හඳුනාගතහොත් ප්‍රමාදයකින් තොරව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. කල්තියා හඳුනා ගැනීමෙන් සාර්ථක ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව වැඩි වන අතර රජයේ සෞඛ්‍ය ආයතන මඟින් නොමිලේ පරීක්ෂණ සහ අනෙකුත් අතවශ්‍ය සෞඛ්‍ය සේවා සපයනු ලැබේ. එසේම, සෑම කාන්තාවක්ම සුවනාරී සායනයට (Well Woman Clinic) සහභාගී වී, ගැබ්ගෙල පිළිකාව වැළැක්වීම සඳහා පූර්වමය පිළිකාමය වෙනස්කම් කල්තියා හඳුනා ගැනීමට උපකාරී වන නිර්දේශිත පැප් පරීක්ෂාව වයස අවුරුදු 35 දී සහ 45 දී සිදු කර ගැනීමත් කළ යුතු වේ.


2026-11-03

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ජාතික විෂයමාලා රාමුව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී

සංශෝධිත ජාතික විෂයමාලා රාමුව සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයීය කාරක සභා රැස්වීමක් ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පසුගියදා පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සහ ජාතික අධ්‍යාපන ආයතනය (NIE) ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක් සහභාගී වූහ.අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව 2026 අප්‍රේල් මාසය වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව විෂය ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් ජාතික කමිටුවක් පත් කරණු ලැබූ බවත් ඒ යටතේ ඇති ප්‍රධාන අනු කමිටු 5 ක් යටතේ මීට අදාළ උපදේශනය සහ දිශානතිය සපයන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු  අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසීය. අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව 2026 වසරේදී 1 ශ්‍රේණිය සඳහාත්, 2027 වසරේදී 6 ශ්‍රේණිය සහ 2 ශ්‍රේණිය සඳහාත් නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පැවසීය. මේ සඳහා අවශ්‍ය ගුරු පුහුණු වැඩසටහන්, මොඩියුල හා ගුරු මාර්ගෝපදේශ මුද්‍රණය කිරීම සහ පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් නැංවීමේ සැලැස්ම ද ක්‍රියාත්මක වෙමින් පවතී.මෙහිදී ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඕ. ජී. දයාරත්න මහතා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පදනම, ජාතික විෂයමාලා රාමුව, ඇගයීම් ක්‍රමවේද සහ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව දීර්ඝ විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කෙරිණි.2019 වසරේදී මෙම ක්‍රියාවලිය ආරම්භ වූ බවත් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් 2023 වසරේ අනුමත කරගන්නා ලද නව ප්‍රතිපත්තියට අනුව, ජාතික අධ්‍යාපන ආයතනය විසින් ජාතික විෂයමාලා රාමුව පිළියෙල කළ බවත් මෙය ආයතන ගණනාවක සාමූහික ප්‍රයත්නයක් බවත් ඒ මහතා සඳහන් කළේය. ලෝකයේ දියුණුම රටක ක්‍රියාත්මක වන ආකාරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ අනුව අප රටට හඳුන්වා දෙන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.පොදු අධ්‍යාපනයේ මූලික අරමුණ හුදෙක් වෙළඳපොළට අවශ්‍ය අනාගත ශ්‍රමිකයන් නිෂ්පාදනය කිරීම පමණක් නොවන බවත්, ආචාර ධර්ම, ගුණධර්ම සහ වටිනාකම්වලින් පිරි සාකල්‍යවාදී (holistic) පරිපූර්ණ පුරවැසියන් සහ ජාතිය ගොඩනඟන අනාගත පරපුරක් බිහි කිරීම බවත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.දැනට පවතින විෂය අන්තර්ගතය (content-based) මත පදනම් වූ ක්‍රමය වෙනුවට ඉගෙනුම් ඵල පාදක (outcome-based) සහ ශිෂ්‍ය කේන්ද්‍රීය (student-centered) අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබේ. කටපාඩම් කර විභාග ලිවීමේ පීඩනය සහ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන බර අඩු කරමින්, සම්භාර (credit) පාදක මොඩියුල ක්‍රමයක් සහ වසර පුරා සිදුවන අඛණ්ඩ ඇගයීම් (Continuous Assessments) මඟින් සිසුන්ගේ ප්‍රගතිය තක්සේරු කිරීමට නව ඇගයීම් රාමුවක් සකස් කර ඇති බවත් ඒ මහතා පැවසීය. 6 ශ්‍රේණියේ සිටම වෘත්තීය ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධයක් ලබාදීමටත්, 12 සහ 13 ශ්‍රේණිවල දී NVQ Level 4 දක්වා වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට හෝ උසස් අධ්‍යාපනය වෙත යොමු වීමටත් හැකි වන පරිදි නම්‍යශීලී විකල්ප අධ්‍යාපන මාර්ග (Vocational Pathways) සකසා තිබේ.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනතාව, ගුරුවරුන් සහ දෙමාපියන් දැනුවත් කිරීම සඳහා "RIES" වෙබ් අඩවිය ආරම්භ කර ඇති අතර, අදියර කිහිපයක් යටතේ දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.අධ්‍යාපනයේ මූලික අරමුණ විය යුත්තේ දරුවන් හුදෙක් අනාගත ශ්‍රමිකයන් බවට පත්කිරීම පමණක් නොව, ඔවුන් පරිපූර්ණ මිනිසුන් සහ වගකීම්සහගත ජාතිය ගොඩනඟන්නන් ලෙස නිර්මාණය කිරීම බව මෙහිදී අදහස් දක්වමින් ගරු අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී පැනනඟින ගැටලු පිළිබඳව පුද්ගලික මනෝභාවයන් හෝ අදහස් මත පමණක් පදනම් නොවී, විද්‍යාත්මක පර්යේෂණාත්මක සාක්ෂි (evidence) නිරීක්ෂණය කර තීරණ ගත යුතු බව ද ඇය පෙන්වා දුන්නාය. සාකච්ඡාවට එක්වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු විමසමින් සිය අදහස් යෝජනා ඉදිරිපත් කළහ.‍මෙම ජාතික කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා කිසිදු භේදයකින් තොරව සියලු දෙනාගේම සහය අපේක්ෂා කරන බව ද මෙහිදී අවධාරණය කෙරිණි. ගරු අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks