E   |   த   |  

2024-05-09

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු අසුනට සුදුසු කාන්තාවක් පත් කරන්නැයි මන්ත්‍රීවරියන්ගේ සංසදය සමගි ජන බලවේගයෙන් ඉල්ලයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වි ඇති මන්ත්‍රී අසුන සඳහා සුදුසු කාන්තාවක් පත් කරන්නැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) ගරු සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇති රීට් ආඥාව සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකාරී බලයට ගරු කරමින් අදාළ තීන්දුව අභියෝග නොකරන බව සඳහන් කරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කරනුයේ එම තීන්දුව හේතුකොට ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකයෙකු අහිමිවීමේ සහ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය තවදුරටත් අඩුවීම පිළිබඳව දැඩි ලෙස කනස්සල්ලට පත් වන බවයි.

කාන්තාවගේ අත්දැකීම් දැනුම සහ ඉදිරි දර්ශනය සමාජයේ සියලූම සාමාජිකයින්ට ප්‍රයෝජනවත් වන ප්‍රතිපත්ති සැකසීම සඳහා දායක වන බැවින් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඵලදායි ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා වැදගත් වන බවත් එනිසා ඩයනා ගමගේ මහත්මියගෙන් හිස්වුණු ආසනය සඳහා වෙනත් සුදුසු කාන්තාවක් පත්කිරීම සම්බන්ධව සලකා බලන ලෙස මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉල්ලා සිටී.

එමඟින් ඩයනා ගමගේ මන්ත්‍රිවරිය ඉවත් කිරීමෙන් ඇතිවන අහිතකර බලපෑම අවම කර ගත හැකි වනු ඇති අතර පාර්ලිමේන්තුව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ විවිධත්වය සඳහා පාර්ලිමේන්තුවේ කැපවීම තහවුරු කළ හැකි වනු ඇති බවද මන්ත්‍රිවරියන්ගේ සංසදය පෙන්වා දෙයි.

එමගින් පාර්ලිමේන්තුව තුළ කාන්තාවන්ගේ අවම නියෝජනය පිළිබඳ ඇති ගැටළුව විසඳීම පමණක් නොව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීමට සහ නායකත්ව භූමිකාවන්හි කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පාර්ලිමේන්තුවේ කැපවීම පිළිබඳ ප්‍රබල පණිවිඩයක් ලබා දෙනු ඇති බවද එම ලිපියේ සඳහන් වේ.

එනිසා උක්ත කරුණු පිළිබඳ සලකා බලා පාර්ලිමේන්තුව තුළ කාන්තාවන්ගේ හඬට කන්දීමටත් එය අගය කිරීමටත් සුදුසු පියවර ගනු ඇතැයි තම සංසදය විශ්වාස කරන බවද මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සමගි ජන බලවේගයේ මහ ලේකම් වෙත යවන ලද ලිපියේ සඳහන් වේ.

 



සම්බන්ධිත පුවත්

2026-11-25

දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම සහ රාජ්‍ය මුදල් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ගරු ජනාධිපතිවරයා අවධාරණය කරයි

දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරමින් රාජ්‍ය මුදල් කාර්යක්ෂමව හා ඵලදායීව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව  ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. මුදල් වර්ෂය ආරම්භයේ සිටම අමාත්‍යාංශ හා ආයතන තමන්ට අදාළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කර, ඒවායේ ප්‍රගතිය මාසිකව සමාලෝචනය කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (නොවැ. 23)  රැස්වූ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේ දී ඒ මහතා මේ අදහස් පළ කළේය.වසර අවසානයේ භාවිත නොකළ මුදල්, ඊළඟ වසරට ගෙන යා හැක්කේ ණයවර ලිපි (LC) විවෘත කර ඇති ව්‍යාපෘති වැනි නිශ්චිත කොන්දේසි සපුරා ඇති අවස්ථාවලදී පමණක් බවත්, එසේ නොවන අවස්ථාවලදී අදාළ ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයට නැවත යොමුවීම හේතුවෙන් ඊළඟ වසරේ අයවැයෙන් නැවත ප්‍රතිපාදන ලබා ගැනීමට සිදු වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එබැවින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු වෙත ලබා දී ඇති ව්‍යාපෘති වාර්තා පොත පදනම් කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය අධීක්ෂණය කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.ගොවි ජනතාවට ලබා දෙන පොහොර සහනාධාරය සහ මහ කන්නයේ වී අස්වැන්න කළමනාකරණය කිරීම පිළිබඳව ද මෙන්ම ගබඩාවල ඉතිරිව ඇති වී තොග ඊළඟ මහ කන්නයේ අස්වැන්න ලැබීමට පෙර කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව විසින් පෙන්වා දෙන ලදී. වී තොග සහල් බවට පත්කර සුබසාධන වැඩසටහන් සඳහා යොදා ගැනීම හෝ සත්ව ආහාර ඇතුළු වෙනත් නිෂ්පාදන සඳහා යොමු කිරීමේ විකල්ප පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.තවද, ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් බදු සහන ලබා දීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ආයෝජකයන්ට ඉඩම් ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. වර්තමානයේ ආයෝජකයෙකුට ඉඩමක් ලබා ගැනීම සඳහා මාස 18 ක පමණ කාලයක් ගතවීම ආයෝජන සඳහා බාධාවක් වී ඇති බැවින්, රජයේ ඉඩම් හඳුනාගෙන ඒවා ආයෝජන මණ්ඩලය හෝ විශේෂ ඉඩම් බැංකුවක් යටතට හෝ පවරාගෙන, ආයෝජන ප්‍රමාණය, රැකියා අවස්ථා සහ ජාතික ආර්ථිකයට සිදු වන බලපෑම පදනම් කරගනිමින් කඩිනමින් ඉඩම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා විය.මීට අමතරව ක්‍රිප්ටෝකරන්සි නියාමනය, රක්ෂණ හා ගනුදෙනු ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණය, සමුපකාර සංගම්වල VAT බදු ගැටලු සම්බන්ධ කරුණු ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීමට ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත හා ගරු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර යන මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


2026-11-25

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සම්බන්ධයෙන් සිවිල් සමාජ නියෝජිතයන්ගේ අදහස් විමසයි

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් සහ අදාළ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා විමසීම රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු විය.ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන්  පාර්ලිමේන්තුවේ දී පසුගියදා (නොවැ. 23) රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් සහ අදාළ පාර්ශ්වයන් විසින් යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ පවතින ගැටලු පිළිබඳව කාරක සභාවට කරුණු දැක්වූහ.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සම්බන්ධයෙන් එකඟතාවක් පැවතියද, ඒ වෙනුවට නව පනතක් ගෙන ඒමේ අවශ්‍යතාව සහ එහි අන්තර්ගතය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බව ද මෙහිදී එම සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් පෙන්වා දෙන ලදී.ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුවක් සකස් කිරීමේ අරමුණින් නව පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව, පනත් කෙටුම්පත සම්පාදනය කළ කමිටුව, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයා ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු වගකිවයුතු පාර්ශ්වයන් විසින් මෙහිදී අවධාරණය කරමින් කරුණු දක්වන ලදී.පනත් කෙටුම්පත සකස් කිරීමේදී පුළුල් මහජන සහභාගීත්වයක් ලබා ගෙන ඇති බවත්, ඉදිරියේදී ද සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් සමග තවත් සාකච්ඡා වට කිහිපයක් පවත්වන බවත් කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.මෙම අවස්ථාවට ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, මුජිබුර් රහුමාන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, එම්. කේ. එම්. අස්ලම්, චන්දන සූරියආරච්චි, ධර්මප්‍රිය විජේසිංහ, සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීන් ද, කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2026-11-23

යෝජිත නව කම්කරු නීති සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කෙරේ

යෝජිත නව කම්කරු නීති සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී  පසුගියදා (නොවැ. 18) පැවැත්විණි.මෙහිදී වර්තමාන හා අනාගත වැඩ ලෝකයට ගැළපෙන පරිදි ශ්‍රී ලංකාවේ කම්කරු නීති පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත පත් කළ විශේෂඥ කමිටුවක් විසින් සකස් කරනු ලබන යෝජිත නව කම්කරු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු ඉදිරිපත් කෙරුණු අතර, දැනට පවතින ප්‍රධාන කම්කරු නීති අධ්‍යයනය කර ඒවා ඒකාබද්ධ කරමින් නව නීති රාමුවක් සකස් කිරීම, මෙහි අරමුණ බව අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට අවධාරණය කළහ.යෝජිත නව කම්කරු නීති සංශෝධන ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් යටතේ සකස් කරන බවත්, ඒ අනුව ශ්‍රම ප්‍රමිතීන්, වෘත්තීය සෞඛ්‍ය, සහ ආරක්ෂාව, කාර්මික ආරවුල් හා සම්බන්ධතා සහ වෘත්තීය සමිති අයිතිවාසිකම් යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නව නීති රාමුව සකස් කිරීමට නියමිත බව ද ප්‍රකාශ විය.සේවා ගිවිසුම් රාමුව, වැඩ කරන වේලාවන්, නිවාඩු හා අතිකාල පිළිබඳ ප්‍රධාන විධිවිධාන, මාතෘ ආරක්ෂණය, පීතෘ නිවාඩු මෙන්ම වැඩ ලෝකය තුළ හිංසනය හා හිරිහැර වැළැක්වීම සම්බන්ධ ප්‍රතිපාදන ඇතුළත් වන බව නිලධාරීහු කාරක සභාවට ප්‍රකාශ කළහ.එසේම, අර්ධකාලීන සේවකයින්ගේ අයිතිවාසිකම්, සේවා ගිවිසුම් විධිමත් කිරීම, සේවකයින්ගේ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සහ සේවා ස්ථානවල ආරක්ෂිත පරිසරයක් තහවුරු කිරීම සම්බන්ධයෙන් ද යෝජිත නීතිමය ප්‍රතිපාදන පිළිබඳව මෙහිදී පැහැදිලි කෙරිණි.යෝජිත ශ්‍රම ප්‍රමිති පනත් කෙටුම්පතේ දැනට සකස් කර ඇති පරිච්ඡේද හතර මහජනතාවට සහ අදාළ පාර්ශ්වකරුවන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන labourmin.gov.lk ඔස්සේ ප්‍රකාශයට පත් කර ඇති බව ද නිලධාරීන් විසින් කාරක සභාවට දන්වන ලදී.යෝජිත නව කම්කරු නීති සකස් කිරීමේ ක්‍රියාවලිය සඳහා වෘත්තීය සමිති, සේවායෝජකයින්, සේවක නියෝජිතයින් ඇතුළු අදාළ පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබා ගැනීමට ද අපේක්ෂා කෙරේ.මෙම රැස්වීම සඳහා ගරු කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.


2026-11-21

අතරමඟ නතර වූ අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘති 72 ක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී කරුණු අනාවරණය වෙයි

2018–2021 කාල සීමාව තුළ ආරම්භ කර අතරමඟ නතර වූ සංවර්ධන ව්‍යාපෘති 72 ක් පිළිබඳ තොරතුරු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය විය.අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2021–2023 මූල්‍ය වර්ෂවලට අදාළ ත්‍රෛවාර්ෂික වාර්තා, 2024 විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේ දී පසුගිය දා (නොවැ. 19) රැස් වූ අවස්ථාවේදීය.ඒ අනුව අතරමඟ නතර වූ මෙම ව්‍යාපෘති 72 සඳහා රුපියල් මිලියන 1,664 ක මුදලක් වැය කර තිබූ බව මෙහිදී අනාවරණය විය. ඒ අතරින් ව්‍යාපෘති 35 ක් මේ වන විට සම්පූර්ණ කර ඇති අතර, ව්‍යාපෘති 13 ක වැඩකටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, තවත් ව්‍යාපෘති 4 ක් අත්හිටුවා ඇති බවත්, ව්‍යාපෘති 20 ක් කොන්ත්‍රාත්තු සම්බන්ධ ගැටලු හේතුවෙන් නතර වී තිබෙන බවත් නිලධාරීහු කාරක සභාව හමුවේ පැවසූහ. කෙසේ වෙතත් එම ගැටලු විසඳා ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා පියවර ගනිමින් පවතින බව ද එම නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.2019 වසරේදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ජාතික පාසල් තුනක් බැගින් පිහිටුවීමේ වැඩසටහන යටතේ තෝරා ගත් පාසල්වල භෞතික සංවර්ධනය සහ උපකරණ මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 1,600 කට ආසන්න මුදලක් ලබා දී ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. කෙසේ වෙතත්, ප්‍රතිපත්තිමය තීරණ මත එම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බැවින්, එක් එක් පාසලට ලබා දුන් මුදල් සහ සිදු කළ සංවර්ධන කටයුතු පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස්  දෙන ලදී.මේ අතර, අමාත්‍යාංශය ඇණවුම් කළ පරිගණක තොගයක් තාක්ෂණික පිරිවිතරයන්ට අනුකූල නොවීම හේතුවෙන් භාරගෙන නොමැති බවත්, ඒ සඳහා ගෙවීම් සිදු කර නොමැති බවත්, සැපයුම්කරු විසින් අධිකරණයේ නඩු දෙකක් පවරා ඇති බවත් අනාවරණය විය.ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (NEMIS) ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා වූ අතර, ගුරු තොරතුරු සහ සිසුන්ගේ ඇගයීම් දත්ත ඇතුළත් කිරීමට ප්‍රමුඛතාව ලබාදී ඇති බව නිලධාරීහු පැවසූහ. පළාත් කිහිපයක ගුරු ස්ථාන මාරු මෙම පද්ධතිය හරහා ක්‍රියාත්මක වන බව ද, එය දිවයිනේ සියලු පළාත් සහ ජාතික පාසල් දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව ද මෙහිදී ප්‍රකාශ විය.තවද, ප්‍රාග්ධන ප්‍රතිපාදන උපයෝජනයේදී ඇස්තමේන්තු සකස් කිරීමේ ප්‍රමාදයන්, තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය සහ ටෙන්ඩර් ගැටලු හේතුවෙන් බාධා මතුව ඇති බව ද අනාවරණය විය. විගණන විමසුම් සඳහා පිළිතුරු ලබා දීමේ ප්‍රමාදය සම්බන්ධයෙන්ද කරුණු විමසූ කාරක සභාව, ඒවා කඩිනමින් නිරාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා  දෙන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලින් හේවගේ හා මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර යන මහත්වරුන් සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, හෙක්ටර් අප්පුහාමි, චන්දන සූරියආරච්චි, චානක මාදුගොඩ, රුවන්තිලක ජයකොඩි, ඔෂානි උමංගා, මංජුල සුරවීර ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, වෛද්‍ය ජනක සේනාරත්න, සුසන්ත කුමාර නවරත්න, ලාල් ප්‍රේමනාත්, නීතිඥ තුෂාරි ජයසිංහ, ටී. කේ. ජයසුන්දර සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks