E   |     |  

2024-04-04

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

මෙරට ආර්ථික අර්බුදය සමනය කිරීමට, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහ ගතකිරීමේ ක්‍රියාවලිය ඔස්සේ ලැබෙන දායකත්වය පිළිබඳ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලේ

  • ප්‍රතිව්‍යුහ ගතකිරීමේ ක්‍රියාවලිය සඳහා තෝරා ගෙන තිබෙන ආයතන,  පසුගිය වසර 10 තුළ  ව්‍යාපාර සිදුකළ ආකාරය ගැන සියලු දත්තයන් සහිත වාර්තාවක් ලබා දෙන්න - කාරක සභාවෙන් නිර්දේශයක්
  • රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහ ගතකිරීම සඳහා පත්කළ ඒකකයේ නිත්‍යානුකූල භාවය ගැන වාර්තාවක් ලබා දෙන්න - කාරක සභාවෙන් මුදල් අමාත්‍යාංශ  නිලධාරීන්ට උපදෙස්

 

වර්තමානය වනවිට ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව සලකා බැලීම ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  සිදු විය. ඒ එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (අප්‍රේල් 01) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙදින කාරක සභාව හමුවට රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහ ගතකිරීම සඳහා පත්කළ ඒකකයේ  නිලධාරීහු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් කැඳවා තිබුණි.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය මගින් මෙම ඒකකය පත්කර ඇති බව එම නිලධාරීහු කරක සභාවට දන්වමින් ඔවුන්ගේ කාර්ය භාරය පිළිබඳව කාරක සභාව දැනුවත් කළහ. ඒ අනුව වර්තමානය වනවිට ආයතන 07ක් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහ ගතකිරීම සඳහා පත්කළ ඒකකයේ  නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. Srilankan Airlines Ltd., Sri lanka Telecom PLC, Sri lanka Insurance Corporation Ltd , Hotel Developers Ltd, Canwill Holdings (Pvt) Ltd, Litro Gas and Litro Gas Terminals Ltd, Lanka Hospitals Corporation PLC යන ආයතනයි එලෙස  ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට එක්කොට ඇත්තේ.ප්‍රතිව්‍යුහ ගතකිරීම යටතේ කමිටුවට පැවරී ඇති වගකීම  පිළිබඳව  අදහස් දක්වමින් එම නිලධාරීහු මෙම ආයතනවල අයිතිය රජයෙන් ස්වාධීන කිරීම හා ඉන්පසු ලංසු කැදවා පෞද්ගලික අංශයේ දේශීය හා විදේශීය ආයෝජකයන්ට ලබාදීම  බව නිශ්චිතව ප්‍රකාශ කළහ. එමෙන්ම  මේ වන විටත් ආයතන කීපයකට අදාළව (EOI) Expression of Interest කැදවා ඇති බවද ඔවුහු  ප්‍රකාශ කළහ.

මෙහිදී කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන්  විසින් මෙලෙස රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහ ගතකිරීම ඔස්සේ මෙරට සමාජ , ආර්ථික හා ජාතික ආරක්ෂාව යන අංශයන්ට එල්ලවිය හැකි බලපෑම සම්බන්ධයෙන් එම ඒකකයේ නිලධාරීන්ගෙන් කරුණු විමසන ලදී. ඒ අනුව කාරක සභා සභාපතිවරයා විසින් මෙලෙස ප්‍රතිව්‍යුහ ගතකිරීම සඳහා නම් කර ඇති ආයතනවල පසුගිය වසර 10 තුළ  සිදු කෙරුණු ව්‍යාපාර කටයුතු වල සම්පුර්ණ දත්ත වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහ ගතකිරීම සඳහා පත්කළ ඒකකයේ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. එමෙන්ම මෙරට ආර්ථික අර්බුදය සමනය කිරීමට රාජ්‍ය ආයතන  ප්‍රතිව්‍යුහ ගතකිරීමේ ක්‍රියාවලිය ඔස්සේ ලැබෙන  දායකත්වය පිළිබඳවද  වාර්තාවක් සකස් කර යොමු කරන ලෙසට කාරක සභාව විසින් උපදෙස් ලබාදෙන ලදී.

එමෙන්ම මෙම  රාජ්‍ය ආයතන  ප්‍රතිව්‍යුහ ගත කිරීමේ ක්‍රියාවලිය  ඔස්සේ  ජාතික ආරක්ෂාව හා සම්බන්ධව පවතින කරුණු  ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  වැඩි දුරටත් සාකච්ජා කිරීමට  යොමු කරන බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය. වැඩිදුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා  විසින්  මෙම කරුණු මෙලෙස දීර්ඝ ලෙස කාරක සභා තුළ  සාකච්ජා කිරීම ඔස්සේ වඩාත් විනිවිධ භාවයකින් මෙන්ම කාර්යක්ෂමව  සියලුම වැඩ කටයුතු සිදු කිරීමේ හැකියව පවතින බව පෙන්වා දෙන ලදී. ඒ සඳහා උදාහරණයක් ගෙන හැර දක්වමින් කාරක සභා සභාපතිවරයා ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය තොරතුරු කාර්යංශයට (CRIB) ලබා දුන් නිර්දේශයක් අනුව මහජනතාවට තමන් CRIB වල සිටිනවාද නැද්ද යන්න පිළිබඳව පහසුවෙන් දැනගැනීම සඳහා දුරකථන  යෙදවුමක් නිර්මාණය කර ඇති බව පෙන්වා දුන්නේය.එම කටයුතු නුදුරු දිනකදීම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටින බව කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් කරුණු දක්වමින් පෙන්වා දුන්නේය.   

මේ අවස්ථාව සඳහා කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු (ආචාර්ය) සරත් වීරසේකර, ගරු (වෛද්‍ය) ගයෂාන් නවනන්ද, ගරු ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන, ගරු සහන් ප්‍රදීප් විතාන ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රී  පුජ්‍ය අතුරලියේ රතන හිමි, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා, ගරු කබීර් හෂීම් , ගරු එරාන් වික්‍රමරත්න, ගරු සිවඥානම් ශ්‍රීතරන්, ගරු අසංක නවරත්න, ගරු ජගත් ප්‍රියංකර යන මහත්වරුන් ද ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

 

9 3

 



සම්බන්ධිත පුවත්

2025-11-27

උසස් නිලතල පිළිබඳ කාරක සභාව රාජ්‍ය ආයතන සභාපතිවරුන් තිදෙනෙකුගේ පත්වීම් අනුමත කරයි

රාජ්‍ය ආයතන සභාපතිවරුන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ඊයේ (නොවැ. 26) හිමිවිය.ඒ අනුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස ආචාර්ය ඩි.බි.පි.එච්. දිසාබණ්ඩාර, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස එම්.ඩි.සි.ඒ. පෙරේරා සහ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්හි සභාපති ලෙස ඉංජිනේරු පි.වි.ඒ. හේමලාල් යන මහත්වරුන්ගේ පත්වීම් මෙලෙස උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරන ලදී.ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් පැවැති මෙම කාරක සභා රැස්වීම සඳහා සාමාජික මන්ත්‍රීවරයන් පිරිසක් සහභාගී වූහ.


2025-11-27

රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතාකර ගියේදැයි පරීක්ෂා කිරීම සඳහා ඇති උපකරණ මෙරටට ගෙන්වීම සඳහා පවතින නීතිමය බාධක පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කර ගියේදැයි යන්න පරීක්ෂා කිරීම සඳහා ඇති උපකරණ මෙරටට ගෙන්වීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා  පවතින   නීතිමය බාධක ලිහිල් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මුලීක  වෙමින් ගත යුතු බව රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා පැවසීය. ඒ  එම  කාරක සභාව 20.11.2025 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙදින කාරක සභාවේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා වූ 2025 අයවැය යෝජනාවල ප්‍රගතිය සහ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කිරීම සිදු විය.මෙම රැස්වීම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිලධාරීහු අදහස් දක්වමින් අදාළ උපකරණ නොමැතිව එම පරීක්ෂා කිරීම සිදු කිරීමේ අපහසුතාව කාරක සභාවේ අවධානයට යොමු කළහ.මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා රජය මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා දැඩි අවධානයක් යොමු කර ඇති අතරම, මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය කරන රියදුරන් පාලනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව අවධාරණය කළේය.තවද මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හඳුනා ගැනීම සඳහා පවතින මෙවලම් විශේෂ අවශ්‍යතාවයක් පවතින ඒවා බැවින්, එම උපකරණ ප්‍රසම්පාදනය සඳහා ඇති නීතිමය බාධක ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව ද කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය. මෙහිදී මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සඳහා අයවැයගත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රගතියක් ලබා ඇති බව පොලිස් නිලධාරීන් කාරක සභාවට පැවසූහ. තවද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීහු ද තම මණ්ඩලයේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාවට දැනුම් දුන්හ.මේ අතර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අයවැය යෝජනාවල ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. 2025 වසරේ යෝජනාවල සැළකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවත්, අත්හිටුවා තිබූ බොහෝ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කර ක්‍රියාත්මක කරමින් පවතින බවත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, ජී.ජී. පොන්නම්බලම්, මුජිබුර් රහුමාන්, නීතිඥ තුෂාරි ජයසිංහ, ධර්මප්‍රිය විජේසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.


2025-11-26

ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ආකාරය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඒවා අනුමත පෞද්ගලික විශ්වවිද්‍යාල ලෙස පිළිගැනීම පිළිබඳව පවතින ගැටලු සම්බන්ධව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ජා කරන ලදී.ඒ එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන්  21.11.2025 වන  දින පාර්ලිමේතුවේ දී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී අදහස් දක්වමින්  කාරක සභා සභාපතිවරයා  මෙරට ගුණාත්මකභාවයෙන් පහළ  උපාධි ලබාදීම සඳහා ආයතන බිහිවීම, ඒ ඔස්සේ සිදුවන හානිය පිළිබඳව කරුණු දක්වමින් පැහැදිලි කළේය. එම ආයතන හුදෙක් අධ්‍යාපනය ලබාදීමට නොව ලාභ ලබාගැනීමේ මූලික අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන බව වැඩි දුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේය. ඒ අනුව උපාධි අපේක්ෂකයෙකු අදාළ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ සිට උපාධිය ලබාගැනීම දක්වා ක්‍රියාවලිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා අවධාරණය කර සිටියේය.මෙහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපතිවරයා මෙලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතුළු එම උපාධි ලබාදෙන ආයතන අධීක්ෂණය හා නියාමන කාර්ය සිදු කිරීම සඳහා උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී. ඒ ඔස්සේ අවශ්‍ය දත්ත පද්ධති සකස් කර ලොව අනෙකුත් විශ්වවිද්‍යාල හා සම්බන්ධ වෙමින් ඒවා අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරගැනීම මගින් එම විශ්වවිද්‍යාලවල ස්වභාවය, පාඨමාලාවන්ගේ ගුණාත්මක බව යනාදී කරුණු ගැන සියලු තොරතුරු දැනගැනීමට අවස්ථාව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපතිවරයා විසින්  දැනුම් දෙන ලදී. ඒ මගින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අපේක්ෂිත පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා අනුමැතිය ලබදෙන්නේ ද නැද්ද යන්න නිවැරදිව තීරණය කළ හැකි බවද අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අඅමාත්‍යාංශයේ අතිරේක ලේකම් (රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ) සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහතවද දේශීය විශ්වවිද්‍යාල වල ගැටලු, විදෙස් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව ආදී කරුණු සම්බන්ධයෙන්ද මෙම සාකච්ජාවේදී අවධානය යොමු විය.මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනෙවිය, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ, චානක මාදුගොඩ, තුරෛරාසා රවිකරන්, සුනිල් රාජපක්‍ෂ යන මහත්ම මහත්මීන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 


2025-11-26

අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 12ක කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික වාර්තා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සළකා බැලේ

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට අදාළ කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික වාර්තා 12ක් , රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා (18) සළකා බැලිණි.ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ගේ සභාපතීත්වයෙන් පසුගියදා (නොවැ. 18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ 2022, 2023 සහ 2024 කාර්ය සාධන වාර්තා, උපරිමාධිකරණ  විනිසුරුවරුන්ගේ 2023 සහ 2024  කාර්ය සාධන වාර්තා, උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ 2022 වසරට අදාළ වාර්ෂික වාර්තාව, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ 2022 සහ 2023 වසරවලට අදාළ වාර්ෂික වාර්තා සහ ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා මෙහිදී සළකා බැලිණි.තවද ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ 2022 සහ 2023 වාර්ෂික වාර්තා, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ 2023 හා 2024 වසරවල වාර්ෂික වාර්තා, රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ 2020,2021, 2022, 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ 2022 සහ 2023 වසර සඳහා වාර්ෂික වාර්තා, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසර සඳහා වාර්ෂික වාර්තා, සිරකරු සුබසාධක අරමුදලේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා සහ ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා මෙසේ ‍සළකා බැලීම සිදුවිය. එම ආයතනවලට අදාළ විගණන විමසුම් පිළිබඳව ද මෙහිදී කාරක සභාව විමසීම් සිදුකළ අතර ඊට අදාළ නිලධාරීහු කරුණු ඉදිරිපත් කළහ. එසේම මෙම ආයතනවල වත්මන් කාර්යයන්, පවතින ගැටලු සහ අඩුපාඩු කෙරෙහිද මෙහිදී අවධානය යොමුවිය. වඩාත් කාර්යක්ෂම සේවාවක් වෙනුවෙන් ඉහත ආයතනවල නෛතික රාමුවේ යම් සංශෝධන සිදු කිරීමට අවශ්‍යනම් කාරක සභාව දැනුවත් කරන ලෙසත් ඊට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීමට අපේක්ෂා කරන බවත් කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. මෙහිදී ප්‍රජා පාදක විශෝධක දෙපාර්තමේන්තුවේ  2024 වසරේ  වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අදාළව විගණකාධිපති වාර්තාවේ සඳහන් පුත්තලම අධිකරණයේ නීති ආධාර හා ප්‍රජා විශෝධක කාර්යාලය සඳහා ඉදිකරන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කර නොතිබීම සම්බන්ධයෙන් වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස දැනුම් දෙන ලදී. මේ අනුව 2023 සහ 2024 වසර සදහා ප්‍රජා පාදක විශෝධක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා හැර අනෙකුත් කාර්ය සාධන හා වාර්ෂික වාර්තා සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය. කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන  මුජිබුර් රහුමාන්, නීතීඥ තුෂාරි ජයසිංහ, මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීහු ද රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.   






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks