logo

E   |     |  

2024-03-28

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

දණ්ඩ නීති සංග්‍රහයේ "ස්ත්‍රී දූෂණ සඳහා දඬුවම්", ගැහැණු ළමයින්ගේ කැමැත්ත දැක්වීමේ වයස අවුරුදු 14 දක්වා අඩු කිරීම සහ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය සදහා දඬුවම් අවම කිරීම සදහා වන සංශෝධනවලට ළමුන්, කාන්තාවන් සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ විරුද්ධත්වය පළවෙයි

ළමා, කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව 2024.03.20 බදාදා දින පාර්ලිමේන්තුවේදී ගරු තලතා අතුකෝරල මහත්මියගේ සභාපතීත්වයෙන් රැස්විණි. 2024.03.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දණ්ඩ නීති සංග්‍රහය (19 වැනි පරිච්ඡේදයේ 363 සහ 364 වගන්ති) සංශෝධන පනත් කෙටුම්පතට අදාළ වැදගත් කරුණු මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරිණි.

ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ සිද්ධීන්වලදී ගැහැණු ළමයින්ගේ කැමැත්ත දැක්වීමේ වයස අඩු කිරීමට සහ දඬුවම් අවම කිරීමට අදහස් කරන ‘‘ස්ත්‍රී දූෂණ සඳහා දඬුවම්’’ සම්බන්ධයෙන් අදාළ වන 364 වගන්තියේ යෝජිත සංශෝධනයක් පනත් කෙටුම්පතට ඇතුළත් වේ. ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ සඳහා යෝජිත ලිහිල් කරන ලද දණ්ඩනය මගින් වැඩිහිටි පිරිමින්ට අවුරුදු 22 දක්වා අත්හිටවූ සිරදඬුවම් ලබාදීමට සහ ගැහැණු ළමයින්ගේ කැමැත්ත දැක්වීමේ වයස අවුරුදු 14 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇත.

වයස අවුරුදු දාහතරක තරුණ ගැහැණු ළමයින් සහ වැඩිහිටි පිරිමි සහ අතර පවතින බල අසමතුලිතතාවය, බාලවයස්කරුවන්ට ඔවුන්ගේ තීරණවල ප්‍රතිවිපාක සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය පරිණතභාවයක් නොමැති බව සලකනු ලබන අතර එමඟින් නීතිමය ආරක්ෂාව අඩාල වීම පිළිබඳව අවධානය යොමු විය. එසේම බාලවයස්කරුවන් ලිංගික සූරාකෑම සහ අපයෝජනයන්ට ලක්වීම, කායික, චිත්තවේගීය සහ මානසික ගැටලු, විශේෂයෙන් නව යොවුන් වියේ ගැබ් ගැනීම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන, පාසල් හැර යාම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදුවන ප්‍රචණ්ඩකාරී සිදුවීම් වැඩිවීම යනාදී කරුණු හේතුවෙන් මෙම සංශෝධනවලට කාරක සභාවේ විරෝධය පළ විය.

තවද, පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කරමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමට කමිටුව තීරණය කළේය.

  1. දඬුවම් නියම කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ අභිමතය ක්‍රියාත්මක කළ යුත්තේ වයස අවුරුදු 18 හෝ ඊට අඩු වැරදිකරුවන් සම්බන්ධයෙන් පමණි - එනම් වයස අවුරුදු 18 ට වැඩි වැරදිකරුවන්ට අත්හිටවූ සිරදඬුවම් හෝ වසර 10 ට අඩු අවම සිර දඬුවමක් ලබා නොදීම.
  2. ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් කැමැත්ත පළ කිරීමේ වයස නොවෙනස්ව තැබිය යුතුය - එනම් අවුරුදු 16 කි.
  3. 'කැමැත්ත' නිර්වචනය කිරීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශ සැපයීම.
  4. පිරිමි ළමුන් දූෂණය කිරීමේ වරද අපරාධයක් බවට පත් කෙරෙන වෙනම වගන්තියක් හඳුන්වා දීම.
  5. දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා නව පනතක් කෙටුම්පත් කරන්නේ නම් (363 සහ 364 වගන්තිය - 19 පරිච්ඡේදය) සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙතින් අදහස් ලබා ගැනීම.

 

තවද, පාසල්වල ලිංගිකත්ව හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපනයේ අවශ්‍යතාවය පිළිබඳව කමිටුව අවධානය යොමු කළ අතර පවුල් සැලසුම් වැනි ආරක්ෂණ ක්‍රම පිළිබඳ නිසි අවබෝධයක් පාසල් දරුවන් අතර නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගයෙන් මේ සම්බන්ධයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව ද අවධාරණය කෙරිණි.

කාරක සභාවේ සාමාජිකයින් වන ගරු රෝහිණී කුමාරි විජේරත්න, ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය සහ ගරු චන්දිම වීරක්කොඩි යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගි වූහ. එසේම පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA),  යන ආයතන නියෝජිතයෝ ද ළමා මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥයින්, සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් සහ තරුණ නියෝජිතයෝ ද මෙම රැස්වීමට සහභාගී වූහ.

 

 



සම්බන්ධිත පුවත්

2026-06-19

කැලණි ‍‍ ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය

කැලණි ‍‍ ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා  රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ‍ ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි.  එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 


2026-06-18

රාජ්‍ය අයවැයට ස්ත්‍රී–පුරුෂ සමාජභාවීය සංවේදී ප්‍රවේශයක් එක් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාකච්ඡා

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම  රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද  සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද  සංසදය විසින්  මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ  නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.


2026-06-17

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙයි

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී  පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු  රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-06-17

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙයි

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම   බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09)  පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය  සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks