E   |     |  

2024-02-06

පුවත් කාණ්ඩ : පුවත් 

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනිව සම්මත කර ඇති බවට දැනුවත්භාවයෙන් තොරව සහ පදනම් විරහිත ලෙස පළකර ඇති වාර්තා පිළිබඳව කථානායක කාර්යාලය විසින් මහජනතාවට කරනු ලබන පැහැදිලි කිරීම

2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මත වීම සහ ඉන්පසුව බලාත්මක කරනු ලැබීම පිළිබඳව පළවන වාර්තා පොදු යහපත පිණිස නිවැරදි කිරීම සඳහා මෙම ප්‍රකාශය නිකුත් කරනු ලැබේ. මහජනතාවගේ දැනගැනීම පිණිස සහ රැවටීමට ලක්වීම වැළැක්වීම සඳහා, නීතියක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙසේ පැහැදිලි කරනු ලැබේ.

යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ඕනෑම අයෙකුට එය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම විරෝධතා සලකා බලනු ලැබීමෙන් අනතුරුව සති තුනක කාලයක් ඇතුළත ස්වකීය තීරණය කථානායකවරයා වෙත දැනුම් දෙනු ලැබේ. කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමන් වෙත දැනුම් දෙනු ලැබීමෙන් අනතුරුව එළඹෙන පළමු වැනි පාර්ලිමේන්තු රැස්වීම් සතියේ පළමු වැනි දිනයේ දී ම එම තීරණය පාර්ලිමේන්තුවට නිවේදනය කර, එම සම්පූර්ණ තීරණය එදිනම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙහි පළ කරන ලෙසට ද නියෝග කරයි.

ඉහත සඳහන් කළ ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින්, 2023 ඔක්තෝබර් 03 වැනි දින මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව කථානායකතුමා 2023 නොවැම්බර් මස 07 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට නිවේදනය කර එය එදින හැන්සාඩ් වාර්තාවේ පළ කරන ලෙසට ද නියෝග කළේය. ඉන්පසුව එය උනන්දුවක් දක්වන ඕනෑම පාර්ශ්වයකට ප්‍රවේශ විය හැකි ප්‍රසිද්ධ ලියවිල්ලක් බවට පත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව, අදාළ අමාත්‍යාංශය විසින් (මෙහිදී, මහජන ආරක්ෂක අමාත්‍යාංශය) නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන ඉදිරිපත් කරනු ලැබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන පරිදි මෙම සංශෝධන ඉදිරිපත් කිරීම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ පාර්ශ්වය විසින් සිදුකරනු ලැබේ. එම සංශෝධන භාෂා ත්‍රිත්වයෙන් ම මුද්‍රණය කර සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බෙදා දෙනු ලැබේ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද මෙම ක්‍රියාවලිය ම අනුගමනය කරන ලද අතර, එම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයේ පළමුවැනි දිනය වූ 2024 ජනවාරි 23 වැනි දින පෙරවරුවේ අදාළ සංශෝධන සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත භාෂා ත්‍රිත්වයෙන් ම මුද්‍රණය කර බෙදා දෙන ලදී.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දින දෙකක් විවාදයට ගනු ලැබූ අතර, එහි කාරක සභා අවස්ථාව එම විවාදයේ දෙවැනි දිනය වූ 2024 ජනවාරි 24 වැනි දින පස්වරු 5.00 ට ආරම්භ විය. එම පනත් කෙටුම්පත වගන්තියෙන් වගන්තිය සම්මත කර ගන්නා අවස්ථාවේ කථානායකතුමා මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යාංශය විසින් ලබා දෙන ලද සංශෝධන ලැයිස්තුව අනුව එක් එක් සංශෝධනය සම්මත කර ගැනීම සඳහා සභාවට ඉදිරිපත් කිරීමට සැලැස්වූයේය. එම අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ රාජ්‍ය නිලධාරීන් සඳහා වෙන් කර ඇති නිල මැදිරියේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයට අනුව අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතු සංශෝධන සියල්ල කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කළ සංශෝධන මගින් ඇතුළත් කර ඇති බව කථානායකතුමාට දැනුම් දුන්නේය. මේ අවස්ථාවේ ගරු එම්.ඒ. සුමන්තිරන් මහතා යම් යම් ගැටලු ඉස්මතු කළ බැවින්, ඒ සම්බන්ධයෙන් ඒ මහතාට වැඩිදුරටත් කරුණු පැහැදිලි කර දෙන ලෙස කථානායකතුමා අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටි අතර, අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ අනුව කටයුතු කළේය.

එකී සංශෝධන ඉදිරිපත් කර කාරක සභා අවස්ථාවේදී සලකා බලනු ලැබීමෙන් අනතුරුව, සෑම පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ම අනුගමනය කරන ක්‍රියාවලිය අනුගමනය කරමින්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ද තුන්වැනි වර කියවීමෙන් පසුව යථා පරිදි පාර්ලිමේන්තුවේ දී සම්මත විය. එම අවස්ථාවේදී නීතිපතිවරයා මෙම සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මගින් ලබා දී ඇති උපදෙස් අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව සහතික කරමින් ස්වකීය සහතිකය ද ලබා දුන්නේය.

මෙම සමස්ත ක්‍රියාවලියේදී ම, ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළුව කවර හෝ පාර්ශ්වයක් විසින් යෝජනා කරනු ලබන සංශෝධනයක්/සංශෝධන සහ/හෝ නිර්දේශ/යෝජනා පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට කථානායකවරයාට වගකීමක් හෝ බලයක් නැත. එම බලය සම්පූර්ණයෙන් ම පාර්ලිමේන්තුව සතු වේ; එනම් එහි මන්ත්‍රීවරුන්ට, බොහෝ විට බහුතර ඡන්දයෙන් එය සිදු කළ හැක.

යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ දී සම්මත වූ විට, ආණ්ඩුකම ව්‍යවස්ථාවෙහි 79 සහ 80 ව්‍යවස්ථාවන් ප්‍රකාරව එම පනත් කෙටුම්පත පිළිබඳ සහතිකය අත්සන් කිරීමට කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බැඳී සිටියි. ඒ අනුව කථානායකතුමා අදාළ සංශෝධන ද අන්තර්ගත කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත බවට පත්කරමින් එකී පනත් කෙටුම්පත පිළිබඳ සහතිකය 2024.02.01 වැනි දින අත්සන් කළේය.

මේ අනුව, නීතිපති දෙපාර්තමේන්තුව විසින් සහතික කරන ලද පරිදි, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද බව කථානායක කාර්යාලය නිවේදනය කරයි. පාර්ලිමේන්තුව විසින් නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සමග එක්ව සිදුකරන ඒකාබද්ධ ක්‍රියාවලියක් බැවින්, පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයකට අනුකූල නොවන ආකාරයට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන ආකාරයකට කටයුතු කිරීමට පාර්ලිමේන්තුවට අවස්ථාවක් නැත.

මෙම ක්‍රියාවලිය පිළිබඳව වඩාත් හොඳින් දැනුවත්ව සිටිය යුතු අය මේ සම්බන්ධයෙන් වෙනත් ආකාරයකින් ප්‍රකාශ කිරීම කනගාටුවට කරුණක් වන අතර, කථානායකවරයාට ස්වකීය අභිමතය පරිදි නීති පැනවීමට හෝ පනත් කෙටුම්පත්වලට සංශෝධන ඉදිරිපත් කිරීමට හැකි බවට අවධාරණය කිරීම නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඔවුන්ගේම දැනුමට කරන අපහාසයකි.

ඇතැම් මන්ත්‍රීවරුන්ගේ චර්යාව හේතුවෙන් මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ කාරක සභා අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය හා අනුකූල වන බව සහතික කිරීම පිණිස නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් ද පැමිණ සිටීම අවශ්‍ය කරන තරමට (2017 පළාත් සභා මැතිවරණ සංශෝධන පනතෙන් පසුව) එම මන්ත්‍රීවරුන්ගේ සවිඥාණය වැඩිදියුණු වී ඇති බව පෙනෙන්නට තිබීම දිරිගන්වන සුළු කරුණක් වන නමුත්, ඉහත පැහැදිලි කළ පරිදි කථානායකවරයාට එවැනි ගැටලු සම්බන්ධයෙන් කිසිදු අභිමතයක් නොමැති බැවින්, නොසලකා හරිනු ලැබ ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද කවර නිර්දේශ දැයි එම මන්ත්‍රීවරුන් නිශ්චිතව සඳහන් කරන්නේ නම් අදාළ බලධාරීන්ට එවැනි චෝදනා වලට ප්‍රතිචාර දැක්වීමට හැකි වනු ඇත.

ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පැමිණ 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මත කර ගැනීම හා සම්බන්ධ සියලු ම ලියකියවිලි සහ ක්‍රියාපටිපාටි පරීක්‍ෂා කර කරුණු හොඳින් අවබෝධ කර ගැනීමට සහ විෂය පිළිබඳ දැනුමක් ඇති නිලධාරීන්ගෙන් උපදෙස් ලබා ගැනීමට හැකි බැවින් ඒ සඳහා සාදරයෙන් ආරාධනය කරන්නෙමු.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ එහි කොටස් පිළිබඳව විනිශ්චය කරනු ලබන්නේ සමස්තය සැලකිල්ලට ගෙන මිස එහි ප්‍රතිවිරුද්ධ පිළිවෙළට නොවන බැවින්, පාර්ලිමේන්තුව අපකීර්තියට පත් කිරීම හෝ එහි විශ්වාසනීයත්වය හෑල්ලුවට ලක් කිරීම යහපත් දෙයක් නොවන බව කථානායක කාර්යාලය සියලුම මන්ත්‍රීවරුන්ට මෙයින් නැවත සිහිපත් කර දෙයි.

 



සම්බන්ධිත පුවත්

2026-09-14

එම්.එස්. අබ්දුල් වාහිද් මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී  එම්.එස්. අබ්දුල් වාහිද් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලබාදී ඇති බව  පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් හංස අබේරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.එම්.එස්. අබ්දුල් වාහිද් මහතාගේ ලිපියට අනුව, ඉහත ඉල්ලා අස්වීම 2026 සැප්තැම්බර් මස 14 වැනි දින සිට බලපැවැත්වෙන බවද වැඩ බලන මහ ලේකම්වරයා  සඳහන් කර ඇත.ඒ අනුව, දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(5) වගන්තිය ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දී තිබේ.


2026-09-11

නව චීන තානාපතිවරයා ගරු කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති ගරු වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා පසුගිය  සැප්. 10 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවාය.නව තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් ගරු කථානායකවරයා, ශ්‍රී ලංකාවේ චීන තානාපති ධුරයට පත්වීම පිළිබඳව ඒ මහතා වෙත සුබපැතුම් පළ කළේය. එමෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝ කාලයක් පුරා පවතින මිත්‍රශීලී සහ සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.විවිධ අභියෝගාත්මක අවස්ථාවලදී, විශේෂයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් මෑත කාලීන ආර්ථික අර්බුදයේදී, සැබෑ මිතුරෙකු ලෙස චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කරන බව ගරු කථානායකවරයා සඳහන් කළේය. මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු චීනය ලබාදුන් සහයෝගය මෙන්ම මෙරට පාසල් සිසුන් සඳහා පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි ලබාදීම ඇතුළු සහයෝගය ද ඔහු මෙහිදී ඔහු‍ගේ ඇගයීමට ලක් විය.පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල වැදගත්කම පෙන්වා දෙමින් ගරු කථානායකවරයා, ශ්‍රී ලංකා සහ චීන පාර්ලිමේන්තු අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු හුවමාරු වැඩසටහන් ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් කළේය. ඉදිරියේදී ද ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා වැඩසටහන් සහ නව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය. එසේම ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා වැදගත් වේදිකාවක් ලෙස කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය. රජය විසින් දූෂණයට එරෙහිව ගෙන යන ක්‍රියාමාර්ග සහ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා සිදුකරන වැඩපිළිවෙළ පිළිබඳව ද ගරු කථානායකවරයා චීන තානාපතිවරයා දැනුවත් කළේය. තවද, එක් තීරයක් - එක් මාවතක් (Belt and Road Initiative) වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව විවිධ ක්ෂේත්‍ර වෙත පුළුල් වී ඇති බවත්, එමඟින් දෙරටේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය.ගරු කථානායකවරයා ලබාදුන් උණුසුම් පිළිගැනීම පිළිබඳව ස්තූතිය පළ කළ තානාපති වේයි හුවාෂියැං මහතා, ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුහදශීලී බව සහ සිනහව තමන්ගේ සිත් ගත් බව සඳහන් කළේය. ශ්‍රී ලංකාව “සිනහවෙන් පිරි සුන්දර දිවයිනක්” ලෙස හඳුන්වමින්, මෙරටට පැමිණි දා සිට තමන් වෙත ලබාදුන් උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කළේය. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන සබඳතා පිළිබඳව අදහස් දැක්වූ තානාපතිවරයා, සියවස් ගණනාවක් පුරා දෙරට අතර පැවති නාවික සහ සංස්කෘතික හුවමාරු සිහිපත් කළේය. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් අනතුරුව ද එම සබඳතා අඛණ්ඩව වර්ධනය වී ඇති බව ඔහු සඳහන් කළේය.2025 වසරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය චීනයේ සිදු කළ සංචාරයන්හිදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සමඟ පැවැත්වූ සාකච්ඡා ද තානාපතිවරයා මෙහිදී සිහිපත් කළේය. එම ඉහළ පෙළේ හමුවීම් දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා නව උපායමාර්ගික මඟපෙන්වීමක් ලබාදුන් බව ද ඔහු පැවසීය.චීනය සිය අසල්වැසි රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානයක් ලබාදෙන බව සඳහන් කළ තානාපති වේයි හුවාෂියැං මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට චීනය සූදානම් බව ප්‍රකාශ කළේය.2027 වසරේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 70ක් සම්පූර්ණ වන අතර, දෙරට අතර රබර් - සහල් ගිවිසුමට වසර 75ක් සම්පූර්ණ වීම ද සනිටුහන් කෙරේ. මෙම වැදගත් අවස්ථා දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාවක් වනු ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගීතාව පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවේ සිටින චීන ආයතන හා පුරවැසියන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කිරීමට තමන් කැපවී සිටින බව ද තානාපති වේයි හුවාෂියැං මහතා සඳහන් කළේය.


2026-09-11

සැප්තැම්බර් දෙවන පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කෙරේ

•    විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සැප්තැම්බර් 24 සහ 25 විවාදයටසැප්තැම්බර් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ කටයුතු තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (සැප්. 10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම කටයුතු තීරණය වී ඇත.පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනක ම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.මේ අනුව, සැප්තැම්බර් 22 අගහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ඛනිජ තෙල් සම්පත් පනත යටතේ අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) විවාදයට ගැනීමට තීරණය වී ඇත. අනතුරුව  ප.ව. 5.00 ට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ට්‍රෙඩ්සෝ සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතව ඇත.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන  සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමටත් තීරණය කර තිබේ. අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර  තිබේ.සැප්තැම්බර් 24 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 7.00 දක්වා විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීම සඳහා කාලය වෙන් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම පනත් කෙටුම්පත්වලට එරෙහිව ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ  ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දීමෙන් අනතුරුව එය ගරු කථානායකවරයා විසින් සභාවට නිවේදනය කිරීමට යටත්ව අදාළ දෙදින විවාදය පැවැත්වීමට එකඟත්වය පළ වී ඇත. සැප්තැම්බර් 25 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 7.00 දක්වා විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.  


2026-09-09

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (සැප්. 09) පාර්ලිමේන්තුවේදී  සම්මත විය.අදාළ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය අද පෙරවරු 11.00 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි.මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරමින් හඳුන්වාදුන් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.2009 වසරේදී සම්මත කරන ලද එම පනත මගින් කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබිණි.ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද අවසන් කිරීමට නියමිතය.තවද, මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇති.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks