E   |     |  

2024-01-24

පුවත් කාණ්ඩ : පුවත් 

පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම කාර්ය මණ්ඩල සමාජිකයා වන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය පාර්ලිමේන්තුවේදී ඇගයීමට ලක් වෙයි

3වසර 42කට අධික කාලයක් පාර්ලිමේන්තුවේ සේවය කොට එළඹෙන ජනවාරි 30 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය අගයමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් අද (ජන. 24) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළහ.

සම්ප්‍රදානුකූලව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයෙකු විශ්‍රාම ගන්නා විට ඔහුගේ සේවය ඇගයීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම සදහා කාලය වෙන් කිරීම සිදුවේ. ඒ අනුව අද (24) දවසේ විවාදයට ගැණුනු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ  පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීමෙන් අනතුරුව ප.ව. 6.30 සිට ප.ව. 7.30 දක්වා  වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය ඇගයීම වෙනුවෙන් ‍පැයක කාලයක්  වෙන් කෙරිණි.

මේ අනුව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ විශිෂ්ට සේවය අගයමින්  අදාළ යෝජනාව සභානායක අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලදී. පාර්ලිමේන්තුවට ගංවතුර පැමිණි අවස්ථාවේ විදුලිය විසංධි වී‍ම නිසා ඉටිපන්දම් ආලෝකයෙන් පවා සභාව රැස්වීමට එතුමා දුන් දායකත්වය සභානායකවරයා මෙහිදී සිහිපත් කළේය. තම සේවා කාලය තුළ විශිෂ්ට කැපවීමෙන්, තම පසුපස සහෝදර නිලධාරීන්ට මග පෙන්වමින්, නිසි පරිදි ඔවුන්ට වගකීම් පවරමින් ඉටුකළ මෙහෙවර විශිෂ්ට බව සභානායක අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වෙනුවෙන් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉටු කළ මෙහෙවර අතිශය ප්‍රශංසනීය බවයි. කොවිඩ් තත්ත්වය ඇතුළු  පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වූ  සෑම අවස්ථාවකම එතුමා ඉටු කළ සේවය අනභිභවනීය බව කථානායකවරයා පෙන්වා දුන්නේය.

නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය අගයමින් පවසා සිටියේ ඉතා ජවසම්පන්නව, ක්‍රියාශීලීව කටයුතු කළ එතුමාගේ මෙහෙවර අමරණීය බවයි. සෙංකෝලය ආරක්ෂා කිරීම සදහා එතුමා දැක්වූ දායකත්වය ද මෙහිදී ඇගයීමට ලක්විය. නිරන්තරයෙන් අභියෝගයන්ට මුහුණදුන් එතුමාගේ අවසන් පාර්ලිමේන්තු රැස්වීම් දිනය වූ අද දවස පවා අභියෝගාත්මක වූ බවත් ඒ සියලු අවස්ථාවන්ට එතුමා ඉතා සාර්ථකව මුහුණ දුන් බවත් නියෝජ්‍ය කථානායකවරයා පෙන්වා දුන්නේය.  

අග්‍රාමාත්‍ය ගරු දිනේශ් ගුණවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින්  පවසා සිටියේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙන්වූ කැපවීම විශිෂ්ට ආදර්ශයක් බවයි. එදා ගාලු මුවදොර පාර්ලිමේන්තුවට බැඳුනු ඒ මහතා වසර 42ක් තරම් දීර්ඝ සේවා කාලය තුළ විවිධ අභියෝගයන් සාර්ථකව ජයගත් බව ‍අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කොවිඩ් වසංගතය පැවති කාල වකවානුවේදී පාර්ලිමේන්තු කටයුතු ආරක්ෂාකාරීව පවත්වාගැනීම සදහා එතුමා සිදුකළ කැපකිරීම අමතක ‍කළ නොහැකි අනභිභවනීය සේවාවක් බව අග්‍රාමාත්‍යවරයා පැවසීය. මන්ත්‍රීවරුන්ට පැමිණීමට හෝ පිටවීමට නොහැකි අර්බුධකාරී අවස්ථාවකදී පාර්ලිමේන්තුවට  ආරක්ෂාව සපයමින් එතුමා දැක්වූ දායකත්වය ද අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය.

එසේම මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා  පවසා සිටියේ සෑම ක්ෂේත්‍රයකම දක්ෂයෙක් වන නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සිය සේවා කාලය තුළ  විවිධ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් ඉටුකළ උත්තුංග සේවාව ප්‍රශංසනීය බවයි.

අනතුරුව පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය අගයමින් එතුමාට සුභ පැතුම් එක් කළහ. ඉතා ඍජු මෙන්ම මෘදු ගුණාංගයන් තුළ පිහිටා  අපක්ෂපාතීව කටයුතු කළ එතුමාගේ සේවය අගය කළ යුතු බව ඔවුහු පෙන්වා දුන්හ.

 

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පිළිබඳ කෙටි හැඳින්වීමක්

කොළඹ වැල්ලවත්තේදී උපන් නරේන්ද්‍ර මිහිඳුකුමාර ප්‍රනාන්දු මහතා කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන ලද අතර මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වාණිජවේදී උපාධිය ඉන්දියාවේදී හදාරා තිබේ.

පාර්ලිමේන්තුවේ සහකාර හැන්සාඩ් සංස්කාරකවරයෙකු වූ සිය පියා අනුව යමින් 1981දී ලිපිකරුවෙකු ලෙස පාර්ලිමේන්තු සේවයට එක් වන ප්‍රනාන්දු මහතා පුරා වසර 20ක කාලයක් පාර්ලිමේන්තුවේ පරිපාලන දෙපාර්තමේන්තුවට අයත් කාර්යාල ගණනාවක සේවය කළේය. 2000 වසරේදී සහකාර වේත්‍රධාරී ධුරයට පත් වන ප්‍රනාන්දු මහතා 2002දී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය වේත්‍රධාරී ධුරයට පත් විය. ඒ මහතා 2018 සැප්තැම්බර් 01 වැනි දින පාර්ලිමේන්තුවේ හයවැනි වේත්‍රධාරීවරයා ලෙස පත් විය.

වසර 5 කට අධික සිය සේවා කාලය තුළදී පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයා ලෙස පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා ප්‍රනාන්දු මහතා අභියෝග රැසකට මුහුණ දුන්නේය. ඒ අතර  දින 52 ආණ්ඩු වෙනස් වීමේදී මුහුණදුන් අභියෝග සාර්ථකව ජය ගැනීම, කෝවිඩ් වසංගත සමයේ පාර්ලිමේන්තු රැස්වීම් බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සහ එන්නත් ලබා දීමට අවශ්‍ය කටයුතු ඉටු කරමින් ගරු මන්ත්‍රීතුමන්ලාගේ සහ කාර්‍ය  මණ්ඩලයේ ආරක්ෂාව සහ සුභසාධනය සැලසීම, පසුගිය අරගල සමයේ පාර්ලිමේන්තු සංකීර්ණය ආරක්ෂා කිරිම සඳහා ආරක්ෂක අංශ සමඟ එකතු වී විවිධ පියවර ගැනීම, ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව තුලින් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ක්‍රියාවලියේ දී පාර්ලිමේන්තු මහලේකම්තුමාට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීම, ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු සංකීර්ණය තුල ගරු ජනධිපතිතුමා දිවුරුම් දීමේ උත්සවය සංවිධානය කිරීම, සෙංකෝලය ආරක්ෂා කර ගැනීම සඳහා උපරිම කැපවීමෙන් කටයුතු කිරීම ආදිය දැක්විය හැකිය.

1992 – 2010 වසර වලදී පාර්ලිමේන්තු සංකීර්ණය තුල ඇති වූ ගංවතුර තත්වයන් පාලනය කිරීම සඳහා කටයුතු කිරීම, 1987 පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාර සිද්ධියේ දී එවකට ගරු කථානායක තුමාගේ පුද්ගලික සහකාර ලෙස සේවය කරමින් සිටින අවස්ථාවේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ 1995 සහ 2014 යන වසරවලදී කොළඹ පැවති වාර්ෂික සමුළුවල සංවිධාන කටයුතුවලදී ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස කටයුතු කිරීම නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු සේවා කාලය තුළදී විශේෂ අවස්ථාවන් වේ.

එයට අමතරව ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ ආරක්ෂක මෙහෙයුමක් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට සහ පාර්ලිමෙන්තුවේ ආරක්ෂාව සම්බන්ධව පැවති දුර්වලතා මගහරවා ශක්තිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීමට ප්‍රනාන්දු මහතා වේත්‍රධාරීවරයා ලෙස පියවර ගත්තේය.

වෘත්තීය සුදුසුකම්ලත් ගණකාධිකාරීවරියක වන තුෂාන්ති ප්‍රනාන්දු සමග විවාහ වී සිටින ප්‍රනාන්දු මහතාගේ එකම පුත් අනුජ ප්‍රනාන්දු මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටී.

 

7 9

6 2

 



සම්බන්ධිත පුවත්

2026-09-11

නව චීන තානාපතිවරයා ගරු කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති ගරු වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා පසුගිය  සැප්. 10 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවාය.නව තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් ගරු කථානායකවරයා, ශ්‍රී ලංකාවේ චීන තානාපති ධුරයට පත්වීම පිළිබඳව ඒ මහතා වෙත සුබපැතුම් පළ කළේය. එමෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝ කාලයක් පුරා පවතින මිත්‍රශීලී සහ සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.විවිධ අභියෝගාත්මක අවස්ථාවලදී, විශේෂයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් මෑත කාලීන ආර්ථික අර්බුදයේදී, සැබෑ මිතුරෙකු ලෙස චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කරන බව ගරු කථානායකවරයා සඳහන් කළේය. මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු චීනය ලබාදුන් සහයෝගය මෙන්ම මෙරට පාසල් සිසුන් සඳහා පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි ලබාදීම ඇතුළු සහයෝගය ද ඔහු මෙහිදී ඔහු‍ගේ ඇගයීමට ලක් විය.පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල වැදගත්කම පෙන්වා දෙමින් ගරු කථානායකවරයා, ශ්‍රී ලංකා සහ චීන පාර්ලිමේන්තු අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු හුවමාරු වැඩසටහන් ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් කළේය. ඉදිරියේදී ද ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා වැඩසටහන් සහ නව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය. එසේම ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා වැදගත් වේදිකාවක් ලෙස කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය. රජය විසින් දූෂණයට එරෙහිව ගෙන යන ක්‍රියාමාර්ග සහ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා සිදුකරන වැඩපිළිවෙළ පිළිබඳව ද ගරු කථානායකවරයා චීන තානාපතිවරයා දැනුවත් කළේය. තවද, එක් තීරයක් - එක් මාවතක් (Belt and Road Initiative) වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව විවිධ ක්ෂේත්‍ර වෙත පුළුල් වී ඇති බවත්, එමඟින් දෙරටේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය.ගරු කථානායකවරයා ලබාදුන් උණුසුම් පිළිගැනීම පිළිබඳව ස්තූතිය පළ කළ තානාපති වේයි හුවාෂියැං මහතා, ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුහදශීලී බව සහ සිනහව තමන්ගේ සිත් ගත් බව සඳහන් කළේය. ශ්‍රී ලංකාව “සිනහවෙන් පිරි සුන්දර දිවයිනක්” ලෙස හඳුන්වමින්, මෙරටට පැමිණි දා සිට තමන් වෙත ලබාදුන් උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කළේය. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන සබඳතා පිළිබඳව අදහස් දැක්වූ තානාපතිවරයා, සියවස් ගණනාවක් පුරා දෙරට අතර පැවති නාවික සහ සංස්කෘතික හුවමාරු සිහිපත් කළේය. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් අනතුරුව ද එම සබඳතා අඛණ්ඩව වර්ධනය වී ඇති බව ඔහු සඳහන් කළේය.2025 වසරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය චීනයේ සිදු කළ සංචාරයන්හිදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සමඟ පැවැත්වූ සාකච්ඡා ද තානාපතිවරයා මෙහිදී සිහිපත් කළේය. එම ඉහළ පෙළේ හමුවීම් දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා නව උපායමාර්ගික මඟපෙන්වීමක් ලබාදුන් බව ද ඔහු පැවසීය.චීනය සිය අසල්වැසි රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානයක් ලබාදෙන බව සඳහන් කළ තානාපති වේයි හුවාෂියැං මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට චීනය සූදානම් බව ප්‍රකාශ කළේය.2027 වසරේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 70ක් සම්පූර්ණ වන අතර, දෙරට අතර රබර් - සහල් ගිවිසුමට වසර 75ක් සම්පූර්ණ වීම ද සනිටුහන් කෙරේ. මෙම වැදගත් අවස්ථා දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාවක් වනු ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගීතාව පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවේ සිටින චීන ආයතන හා පුරවැසියන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කිරීමට තමන් කැපවී සිටින බව ද තානාපති වේයි හුවාෂියැං මහතා සඳහන් කළේය.


2026-09-11

සැප්තැම්බර් දෙවන පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කෙරේ

•    විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සැප්තැම්බර් 24 සහ 25 විවාදයටසැප්තැම්බර් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ කටයුතු තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (සැප්. 10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම කටයුතු තීරණය වී ඇත.පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනක ම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.මේ අනුව, සැප්තැම්බර් 22 අගහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ඛනිජ තෙල් සම්පත් පනත යටතේ අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) විවාදයට ගැනීමට තීරණය වී ඇත. අනතුරුව  ප.ව. 5.00 ට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ට්‍රෙඩ්සෝ සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතව ඇත.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන  සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමටත් තීරණය කර තිබේ. අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර  තිබේ.සැප්තැම්බර් 24 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 7.00 දක්වා විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීම සඳහා කාලය වෙන් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම පනත් කෙටුම්පත්වලට එරෙහිව ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ  ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දීමෙන් අනතුරුව එය ගරු කථානායකවරයා විසින් සභාවට නිවේදනය කිරීමට යටත්ව අදාළ දෙදින විවාදය පැවැත්වීමට එකඟත්වය පළ වී ඇත. සැප්තැම්බර් 25 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 7.00 දක්වා විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.  


2026-09-09

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (සැප්. 09) පාර්ලිමේන්තුවේදී  සම්මත විය.අදාළ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය අද පෙරවරු 11.00 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි.මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරමින් හඳුන්වාදුන් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.2009 වසරේදී සම්මත කරන ලද එම පනත මගින් කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබිණි.ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද අවසන් කිරීමට නියමිතය.තවද, මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇති.


2026-09-09

වසර 50කට අධික පැරණි යන්ත්‍ර ඉවත් කර නවීන තාක්ෂණයෙන් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව නවීකරණයට සැලසුම්

වසර 50කට අධික කාලයක් භාවිතා කර ඇති පැරණි හා යල් පැන ගිය යන්ත්‍රෝපකරණ ක්‍රමයෙන් ඉවත් කර, නවීන තාක්ෂණයෙන් සමන්විත කාර්යක්ෂම උපකරණ මිලදී ගනිමින්, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගත් ඉහළ තාක්ෂණයෙන් සහ උසස් ආරක්ෂිත මුද්‍රණ (Smart Security Printing) හැකියාවන්ගෙන් සමන්විත නවීන මුද්‍රණ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව නවීකරණය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය  පාර්ලිමේන්තුවේදී පැවසුවාය.වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර  මහතා විසින් යොමු කළ  ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ ස්ථීර සේවකයන් 445 දෙනෙකු සහ කොන්ත්‍රාත් පදනමින් තවත් සේවකයන් 21 දෙනෙකු සේවයේ නිරත වන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.පාදුක්ක, වටරැක ප්‍රදේශයේ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුද්‍රණාලය මඟින් රජයෙන් ලැබෙන ඇණවුම් පරිදි පාසල් පෙළපොත්/මොඩියුල මුද්‍රණය, ආරක්ෂිත මුද්‍රණ කටයුතු ( පළාත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ලොතරැයි මුද්‍රණය හා රහස් ලේඛන මුද්‍රණය) සිදු කරන බව ද ඇය සඳහන් කළාය.එමෙන්ම, SPC අභ්‍යාස පොත් මුද්‍රණය, විවිධ රාජ්‍ය ආයතන සඳහා මුද්‍රණ කටයුතු, අනෙකුත් වාණිජ මුද්‍රණ කටයුතු, පුද්ගලික මුද්‍රණ ඇණවුම් කටයුතු සහ මැතිවරණ මුද්‍රණ කටයුතු සිදු කරන අතර, දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් පුරා SPC අලෙවිසැල් ජාලය ද පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.අමාත්‍යාංශය යටතේ මුද්‍රණාලයක් පැවතීම හේතුවෙන් රජයට ප්‍රතිලාභ රැසක් අත්වන බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, වෙළෙඳපොළ මිල පාලනය කිරීමේ සාධකයක් ලෙස රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීම, වෙළෙඳපොළ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය පාලනය කිරීම, විශ්වාසදායී ආරක්ෂිත මුද්‍රණ (Security Printing) ඒකකයක අවශ්‍යතාව සපුරාලීම සහ රාජ්‍ය අංශයේ එකම රාජ්‍ය ව්‍යවසාය ආයතනය ලෙස රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීම ඒ අතර වන බව ඇය සඳහන් කළාය.මහා පරිමාණ මුද්‍රණ යන්ත්‍රණයක අවශ්‍යතාව සැපයීම, රජය සතු මුද්‍රණ යන්ත්‍රණයක අවශ්‍යතාව සපුරාලීම සහ මුද්‍රණ කටයුතු සඳහා පවතින පිරිවැය අවම කර ගැනීම ද එහි ප්‍රතිලාභ අතර වන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.එමෙන්ම, දීර්ඝ කාලයක සිට රාජ්‍ය ආයතනයක් ලෙස රැකියා අවස්ථා සලසා දෙමින් පුහුණු මානව සම්පතක් සහිත වීම සහ රාජ්‍ය භාගය ලෙස රජයට ප්‍රතිලාභ අත්වීමට ඉඩ සැලසීම ද රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීමෙන් ලැබෙන ප්‍රතිලාභ ලෙස අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks