පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-12-04
පුවත් කාණ්ඩ : පුවත්
පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
ඒ 2023.12.01 වැනිදා, පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය ගරු (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්, ගරු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා අධ්‍යපන අමාත්‍යංශයේ අයවැය සඳහා 2023 වර්ෂයේ ප්‍රගතිය හා 2024 වර්ෂයේ සැලසුම් ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදීය.
ඒ අනුව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ සෑම දරුවෙකුටම අවරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලෙසන බව අධ්‍යාපන බලධාරීහු පැවසූහ. ඒ අනුව පෙර පාසැල් අධ්‍යපනය වයස අවුරුදු 4 දීත්, ප්‍රථමික අංශය 1-5 දක්වාත්, කනිෂ්ඨ අංශය 6- 8 ලෙසත්, ජ්‍යෙෂ්ඨ අංශය 9 වසරේ සිට 12 වසර දක්වා ලෙස වර්ගීකරණය කර ඇත.
පහ ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසැල් පාදක ඇගයීම්වලින් යම් ප්‍රතිශතයක්ද, විභාග මගින් යම් ප්‍රතිශතයක්ද ලෙස ලකුණු ලබාදීමට යෝජනා කර අති අතර, පහ ශිෂ්‍යත්ව විභාගය සරල කර තරඟකාරිත්වය නැති කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශ යෝජනා කර ඇත.
එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදීත් උසස් පෙළ විභාගය 12 වසරේදීත් පැවැත්වීමට, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ අධ්‍යාපන අමත්‍යාංශය යෝජනා කර ඇත. එහිදී දැනට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවතින විෂයන් සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු කිරීමටද තීරණය කර ඇත. එම විෂයන් 7 තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT), තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ ආගමික හා සාරධර්ම යන නව විෂයන් ත්‍රිත්වය හැදෑරීම අනිවාර්ය කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ.
වසරකදී සාමාන්‍ය පෙළ විභාගයෙන් අසූ දහසකට (80,000) අධික සිසුන් සංඛ්‍යාවක් අසමත් වන බව පෙන්වාදුන් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් කිසිදු දරුවකු අසමත් නොවන බවත් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සියලු දරුවන්ට වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා දීමටයි යෝජනා කර ඇත්තේ.
ඒ වෙනුවෙන් උසස් පෙළ විෂයන් ශාස්ත්‍රීය අධ්‍යනය හා වෘත්තීය අධ්‍යනය ලෙස ඛාණ්ඩ දෙකකට වර්ගීකරණය කොට සෑම දරුවෙකුටම උපාධියක් ලබාගැනීම දක්වා මාර්ගයක් සකස් කර ඇත. ශාස්ත්‍රීය අධ්‍යනය යටතේ දැනට පවතින විෂය අංශයන් 6 සිට 8 දක්වා වැඩි කරමින් නව විෂය අංශ දෙකක් එක්කොට ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන ලදී. එමෙන්ම ප්‍රායෝගික අධ්‍යනය යටතේ විෂය අංශයන් 10ක් ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලැබීම අවස්ථාව ලැබෙන බවත් ඒ ඔස්සේ උපාධි නොවන ක්‍ෂේත්‍ර ඔස්සේ යමින් උපාධි ලබාගැනීමේ අවස්ථාව දරුවන්ට ලැබෙන බවද එම අමාත්‍යාංශයේ නිලධාරීහු පැවසුහ.
අධ්‍යාපන සේවය තුළ පරිපාලනමය ප්‍රතිව්‍යුහගත කිරීමද සිදුවන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙන ලදී. එහිදී දැනට පවතින අධ්‍යාපන කලාප සංඛ්‍යාව 100 සිට 122 දක්වා ඉහළ යන අතර දස දහස් එකසිය විසි හයක් වන (10,126) සමස්ත පාසල් සංඛ්‍යාව එක්දහස් දෙසිය විස්සක් (1220) වූ පොකුරු පාසල් ලෙස වර්ගීකරණයකට ලක්වෙනු ඇත. දැනට පවතින සියලුම ජාතික පාසල් පළාත් මට්ටමින් ප්‍රමුඛ පාසල් ලෙස පාසැල් පොකුරක ප්‍රධාන පාසලක් වනු ඇත.
2024 වර්ෂය සඳහා මෙවර අයවැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 517.05ක් වෙන් කර ඇති බව එම අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ. ඉන් රුපියල් මිලියන දෙදහසක් පාසල් පෙළ පොත් ලබා දීමටද, රුපියල් මිලියන හය දහසක් පාසැල් නිළ ඇඳුම් සඳහාද, දරුවන් හත්ලක්ෂ විසි අට දහස් හාරසිය අසූවක් (728,480) වූ දරුවන්ට පාසැල් සපත්තු ලබාදීම සඳහා රුපියල් මිලියන දෙදහස් පන්සියයක් ද වෙන්කොට ඇත. පාසැල් දරුවන් මිලියන 1.07 කට පමණ දැනට දිවා ආහාරය ලබා දෙන අතර එම සංඛ්‍යාව 2024 වර්ෂයේදී දරුවන් මිලියන 1.5 කට ලබා දීමට සුදානම් බවද අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීහු පැවසූහ.
මේ අවස්ථාව සඳහා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ගරු අරවින්ද් කුමාර් මහතා ඇතුළු ගරු අමාත්‍යවරුන් හා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ද , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු පිරිසක් සහභාගී විය.
2026-08-18
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (අගෝ. 18) සිය සහතිකය සටහන් කළේය.1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා විසින් 2026.07.21 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරන ලද අතර, එය 2026.08.06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.මෙම සංශෝධනයේ මූලික අරමුණ වන්නේ මුල් පනතේ 38 වන වගන්තියේ ''සත්ව'' යන යෙදුමේ නීතිමය අර්ථ දැක්වීම පුළුල් කිරීමයි. එමෙන්ම ''සතකු" යන්න නැවත අර්ථ දැක්වීම මගින් එළුවන්, ඌරන් සහ බැටළුවන් මෙම පනතේ II කොටසේ විධිවිධානවලට යටත් වන බව සහතික කෙරේ. තවද, පනතේ IV කොටසට අදාළව බැටළුවන්, එළුවන්,ඌරන් සහ කුකුළන් ඇතුළත් වන පරිදි අර්ථ දැක්වීම් පැහැදිලි කර ඇත.ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා විසින් 2026.07.21 දින පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරන ලද අතර, එයද 2026.08.06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.මෙම සංශෝධනය මගින් 1974 අංක 24 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනත නවීකරණය කරමින් ජල සම්පාදන හා අපජල කළමනාකරණ සේවා සැපයීම සම්බන්ධයෙන් මණ්ඩලයේ බලතල හා කාර්යයන් ශක්තිමත් කරනු ලබයි.කාර්මික වතු, කාර්මික උද්‍යාන සහ ප්‍රජා මූලික සංවිධානවල ජල හා අපජල කළමනා කරණ සේවාවන් ද මණ්ඩලයේ වගකීම්වලට ඇතුළත් වන පරිදි එහි වගකීම් පුළුල් කර ඇත. මීට අමතරව, වඩාත් ඵලදායි හා තිරසාර ජල හා අපජල කළමනාකරණයක් සඳහා සහාය වන පරිදි සේවක රක්ෂණ යෝජනා ක්‍රම, තාක්ෂණික සේවා, පුහුණු සේවා, රසායනාගාර සේවා සහ උපදේශන සේවා පුළුල් කිරීම සඳහා ද මෙම සංශෝධනය මගින් ප්‍රතිපාදන සලසා ඇත.ඒ අනුව, සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 19 දරන සත්ව (සංශෝධන) පනත ලෙසත්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 20 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත ලෙසත් බලාත්මක වේ.
2026-08-18
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන ප්‍රතිපාදන ඇතුළත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත අද (අගෝ. 18) පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.මෙම පනත් කෙටුම්පත රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කෙරුණු අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව අවකාශ සැලසේ.ඒ අනුව, පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් අභියෝග කිරීමට කැමති පාර්ශ්වයකට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින සිට දින 14ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වේ.එවැනි පෙත්සමක් ඉදිරිපත් වුවහොත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර දින 21ක් ඇතුළත සිය තීරණය කථානායකවරයා වෙත දැනුම් දීමට නියමිතය.මේ අතර, අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත (1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි) පළමුවර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර මේ මගින් මහාධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ ඇතුළු අනෙකුත් සියලු අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම යෝජිතය.
2026-08-17
නීති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ඇතුළු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ අතර ප්‍රශ්න සහ පිළිතුරු සැසියක් ද පැවැත්විණි. අනතුරුව, පාර්ලිමේන්තුවේ සභාගර්භය ඇතුළු පරිශ්‍රය නැරඹීමට ද ඔවුහු එක් වුහ.පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය විසින් සංවිධානය කළ මෙම වැඩසටහනට පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න, අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) එම්. ජයලත් පෙරේරා, සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) කාංචන හේරත් සහ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) ශාන්ත ප්‍රනාන්දු යන මහත්වරු එක්ව සිටියහ.
2026-08-14
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය ලෙසත් පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය රන් සම්මානය දිනා ගනියි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.parliament.lk, පසුගියදා පැවති “BestWeb.lk 2026” සම්මාන උළෙලේදී සියලු අංශයන්හි විශිෂ්ටතම වෙබ් අඩවියට හිමි රිදී සම්මානය (Overall Silver Award) දිනා ගැනීමට සමත් විය. එසේම මෙහිදී, “රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය” කාණ්ඩයේ රන් සම්මානය ද (Gold Award) පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට හිමිවීම විශේෂත්වයකි. ‘LK Domain Registry’ විසින් සංවිධානය කරන ලද “BestWeb.lk 2026” සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල්හිදී 2026 අගෝස්තු 12 වැනිදා පැවැත්විණි.විවිධ කාණ්ඩ 24ක් යටතේ වෙබ් අඩවි 350කට අධික සංඛ්‍යාවක් මෙවර තරඟයට එක්ව සිටි අතර, තාක්ෂණික ක්‍රියාත්මක කිරීම, කාර්යසාධනය, නිර්මාණකරණය, අන්තර්ගතය, ආරක්ෂාව සහ අනෙකුත් අමතර විශේෂාංග ඇතුළු නිර්ණායක රැසක් මත වෙබ් අඩවි ඇගයීමට ලක්කර තිබේ.පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය මීට පෙරද මෙම තරගාවලියේදී අවස්ථා කිහිපයකදී සම්මාන දිනාගෙන ඇති අතර, නවීකරණය කරන ලද වෙබ් අඩවිය හඳුන්වාදීමෙන් අනතුරුව වසර හතක විරාමයකින් පසු මෙවර තරගයට නැවත එක්වීම විශේෂත්වයකි.සම්මාන උළෙල සඳහා සම්භාවනීය ආරාධිතයින්, විද්වතුන්, ශාස්ත්‍රඥයින් මෙන්ම තරගයේ සම්මානලාභීන් සහ නිර්දේශිත වෙබ් අඩවි නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.පාර්ලිමේන්තුවේ ඩිජිටල් පැවැත්ම ශක්තිමත් කිරීමට සහ එහි නිල මාර්ගගත වේදිකාව හරහා මහජනතාවට ප්‍රවේශ විය හැකි, විශ්වාසදායක සහ පරිශීලක-හිතකාමී ලෙස පාර්ලිමේන්තු තොරතුරු සැපයීමට දරන අඛණ්ඩ කැපවීම මෙම ඇගයීමෙන් තහවුරු වේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks


