පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-10-24
ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාවට නැංවීමට ඉදිරි වැඩපිළිවෙල සඳහා එකඟතාවයක් ඇති කර ගැනීමට කාරක සභාවේ සභාපති ගරු ඩී. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේනතුවේදී පැවති රැස්වීමට කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතාද සභාපතිවරයාගේ ආරාධනය පරිදි සහභාගී විය.
කාරක සභාව විසින් ලබා දුන් නිර්දේශ ක්‍රියාවට නැංවීමට ගරු කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුලු නිලධාරීන් ලබාදෙන සහයෝගය පිළිබඳ ස්තූතිය පල කළ සභාපතිවරයා, පසේ සාරවත් බව, සෞඛ්‍ය හා පරිසරය ද සුරක්ෂිත කරමින් ඉහළ බෝග අස්වැන්නක් ලබා ගැනීම සඳහා ක්‍රියාවට නැංවිය යුතු ඉදිරි පියවරයන්ද ඉදිරිපත් කළේය.
2020 වර්ෂයේදී කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්ෂණිකව ක්‍රියාවට නැංවීමමේදී අර්බුදය හඳුනාගෙන සිදුවූ වැරදි නිවැරදි කර කාබනික පොහොර වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා ක්‍රියාත්මක විය යුතු බව ගරු මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය. පවතින යුධමය වාතාවරණය සහ විවිධ අර්බුද නිසා මේ වන විට ලෝක වෙළඳපළෙහි පොහොර මිළ ගණන් ඉහළ යාම නිසා අද යූරියා කිලෝග්‍රෑමයක මිළ රුපියල් 480 ක් බවත් මෙම මිළ ඉදිරියේදී තව දුරටත් ඉහළ යා හැකි බැවින් කාබනික පොහොර භාවිතය තව දුරටත් ප්‍රචලිත කළ යුතු බවත් ගරු අමාත්‍යතුමාගේ අදහස විය.
යොදන රසායනික පොහොර ප්‍රමාණය 25% -50% දක්වා අඩුකර කාබනික හා ජෛව පොහොර යොදා අස්වැන්න 20%- 30% කින් වැඩි කළ හැකි බව හෙළිවූ පර්යේෂණ ප්‍රතිඵල ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව සහභාගී වූ විද්‍යඥයින් විසින් පෙන්වා දෙන ලදී.
ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සම්බන්ධීකරණයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, පොහොර නිෂ්පාදකයින්, නව පොහොර වර්ග හඳුන්වාදුන් විද්‍යාඥයින් හා ගොවීන්ගේ සහභාගීත්වයෙන් දේශීයව නිෂ්පාදනය කළ තාක්ෂණයෙන් දියුණු නව කාබනික හා ජෛව පොහොර පුළුල් ලෙස පරීක්ෂාවට ලක් කිරීමට නිර්දේශ කළ අතර ඒවායේ මිළ, පරිශීලක හිතකාමී බව, බෝග අස්වැන්නෙහි වැඩිවීම හා ලාභදායිතාවය මත එම පොහොර ගොවීන් අතර ප්‍රචලිත වන බව පෙන්වා දෙන ලදී.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නව පොහොර නිර්දේශ සකස් කිරීමටත්, පාංශු පර්යේෂණ වැඩසටහන අඛණ්ඩව සිදු කිරීමටත් ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් පාංශු රසායනාගාර නූතන තාක්ෂණික පහසුකම් සහිතව සංවර්ධනය කිරීමටත් කෘෂි උපදේශක හා කෘෂි පර්යේෂණ නිලධාරී සහකාරවරුන්ගේ දායකත්වයෙන් පාංශු පර්යේෂණ වැඩසටහන් ගොවීන්ට පහසුවන ලෙස සක්‍රීයව සිදු කිරීමටත් තීරණය විය. කාබනික සහ ජෛව පොහොර පර්යේෂණ සහ පුහුණු කිරීම් සඳහා මාකඳුර තිරසර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය ශක්තිමත් කිරීමටද යෝජනා විය.
කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමේදී සිදු වූ වැරදි, අභියෝග සහ බාධක අධ්‍යයනය කිරීම සඳහා සාමාජ විද්‍යාත්මක පර්යේෂණයක් පැවැත්වීමටත් කාබනික පොහොර වල ගුණාත්මකභාවය සුරක්ෂිත කිරීම සඳහා අඛණ්ඩ ඇගයීමකට ලක් කිරීමට සහාය දීමටත් හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකාර්මික පර්යේෂණ හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂවරයා සිය කැමැත්ත පල කළේය.
දේශීය කාබනික හා ජෛව පොහොර නිෂ්පාදකයින්හට SLS 1752 දරණ GMP සහතිකය ලබා ගැනීම අනිවාර්ය කිරීම තුළින් පොහොර ප්‍රමිතිය දිගුකාලීනව පවත්වාගෙන යා හැකි බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂවරයා පැවසීය.
බලපත්‍රලාභී සමාගම් 4ක් විසින් එප්පාවල රොක් පොස්පේට් භාවිතා කර SSP නිෂ්පාදනය මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ඒ හරහා මෙට්‍රික් ටොන් 4000ක් පමණ දැනට නිෂ්පාදනය වෙමින් පවතින බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා විසින් පෙන්වා දෙන ලදී. වාර්ෂිකව TSP අවශ්‍යතාවය වන මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයනය කිරීම සඳහා වැය වන රුපියල් බිලියන 8 ක පමණ විදේශ විනිමය ඉතිරි කරගත හැකි බවත් මෙරට නිෂ්පාදනය වන ගුණාත්මයෙන් වැඩි SSP වල පවතින බැරලෝහ ප්‍රමාණය ආනයනික TSP වල පවතින බැර ලෝහ ප්‍රමාණයට වඩා සාපේක්ෂව අඩු ප්‍රමාණයක් පවතින බව ද කමිටුවේදී අනාවරණය විය. එමනිසා දැනට අපනයන සඳහා යොදා ගැනෙන එප්පාවල රොක් පොස්පේට් අප රටේ නිපදවිය හැකි SSP සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් යොදා ගැනීමට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවට යෝජනා කරන ලදී.
තාක්ෂණිකව දියුණු කරන ලද ජෛව පොහොර හා කාබනික පොහොර යොදා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී සිදු කරන ලද පර්යේෂණ ප්‍රතිඵල වලින් සාර්ථක ඉහළ අස්වනු ලබාගෙන ඇති බවත් ඒ අනුව සාම්ප්‍රදායික ලෙස කාබනික පොහොර යෙදීමේදී මෙට්‍රික් ටොන් 10ක් වැනි විශාල ප්‍රමාණයක් යෙදීම වෙනුවට පහසුවෙන් භාවිතා කළහැකි තාක්ෂණය ගොවීන්ට හඳුන්වා දීමට පහසුකම් සලසන ලෙස විවිධ කාබනික පොහොර නිෂ්පාදකයින් විසින් ඉල්ලා සිටින ලදී.
ආංශික අධීක්ෂණ කාරක සභාවට සහභාගීවු තරුණ නියෝජිතයින් අදහස් දක්වමින් පැවසූයේ වී වගාවට මෙන්ම අනෙකුත් බෝග වර්ග වලටද එක් එක් බෝග කාණ්ඩය අනුව සහ වගා කරන ප්‍රදේශය අනුව පොහොර නිර්දේශ ලබා දිය යුතු බව හා ගැලපෙන පැකේජ සෑදිය යුතු බවය.
රැස්වීමට සඳහා කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් වන ගරු සී.බී රත්නායක මහතා, ගරු එස්.එම්. චන්ද්‍රසේන මහතා, ගරු කපිල අතුකෝරළ මහතා සහ කාරක සභාවේ සභාපතිතුමාගේ අවසරය මත ගරු උදයකාන්ත ගුණතිලක මහතා, ගරු යූ.කේ. සුමිත් උඩුකුඹුර මහතා සහ ගරු තිස්සකුට්ටිආරච්චි මහතා ද සහභාගී වූහ.
තවද, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව, අපනයන සංවර්ධන මණ්ඩලය, හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකාර්මික පර්යේෂණ හා පුහුණු ආයතනය, මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් ද සහභාගී වූහ. මෙයට අමතරව කාබනික පොහොර හා ජෛව පොහොර නිෂ්පාදනය කරන නිෂ්පාදකවරුන්ගේ සංගම්වල නියෝජිතයන්ද ආංශික අධීක්ෂණ කාරක සභාවට පත් කරන ලද තරුණ නියෝජිතයන්ද සහභාගී වූහ.


2026-09-18
2026-09-18
දිත්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ආපදා අවස්ථාවේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය සිදු වූ ආකාරය විමසා බැලීම සඳහා ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන් කාරක සභාවට කැඳවීමට තීරණය කරන ලදී.විශේෂයෙන්, ආපදා අවස්ථාවේදී ප්‍රාදේශීය සභා සහ නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන නිල සන්නිවේදන හා සම්බන්ධීකරණ ක්‍රියාවලියට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාව කාරක සභා සාමාජිකයින් මෙහිදී පෙන්වා දුන්හ.ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 10) රැස් වූ කාරක සභාවේදී, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ සාමාජිකයින් සහ මහනුවර, මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් කරුණු විමසා බැලීය.ඒ අනුව, 2025 නොවැම්බර් මස 23 සිට 27 දක්වා කාලය තුළ මෙම ප්‍රදේශවල ඇති වූ අධික වර්ෂාපතනය, නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් හමුවේ පූර්ව අනතුරු ඇඟවීම්, රාජ්‍ය ආයතන අතර සන්නිවේදනය සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, හදිසි ආපදා අවස්ථාවලදී අනුගමනය කළ යුතු විධිමත් ලිඛිත ක්‍රියා පටිපාටි සකස් කිරීම, ආපදා පෙරහුරු නිතිපතා පැවැත්වීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න, රෝහිණී කුමාරි විජේරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
2026-09-17
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය ලැබිණි.2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ 17 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 48 වැනි වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද සහ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම නියෝගය, 2026 ජූලි 16 දිනැති අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර තිබිණි.මෙම නියෝගය මඟින් හඳුනාගත් බිම් කොටස් එකක් හෝ වැඩි ගණනක් තුළ ඛනිජතෙල් සම්පත් ගවේෂණය කිරීමට හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන තැනැත්තෙකු, ආයෝජන යෝජනාවක්, අදාළ ලංසු කැඳවීමේ නිශ්චිතව දක්වා ඇති පරිපාලන ගාස්තු ගෙවීමක් සමඟ ඉදිරිපත් කළ යුතුය.මෙම රැස්වීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-09-17
විශ්වවිද්‍යාලවල සිදු වන නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති වන ආකාරයෙන් විශ්වවිද්‍යාල මඟින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ආචාර්ය හරිනි අමරසූරිය, ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය අවධාරණය කළාය.අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අනුකාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු විය.උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ, විශේෂයෙන් විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සහ නවක වදය සම්බන්ධ සිදුවීම් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.විශ්වවිද්‍යාලවල නවක වදය පාලනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙත සදාචාරාත්මක වගකීමක් පවතින බවත්, නවක වදයට ලක් වන සිසුන්ට විශ්වවිද්‍යාලවල පවතින විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කාර්යක්ෂම හා ඵලදායී විය යුතු අතර, වින්දිත සිසුන්ට කඩිනමින් සහනයක් ලබා දිය හැකි වන පරිදි එම කටයුතු සිදුකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.එමෙන්ම, විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය මඟින් අනුමත කර ඇති පත්වීම් මෙතෙක් සිදුකර නොමැති වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් විමසා සිටියාය. අනුමත කර ඇති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරිය එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.මෙම රැස්වීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks