E   |     |  

2023-09-21

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය සමඟ වෙළඳ ශේෂය අතිරික්තයක් පවතින බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී කරුණු අනාවරණය වේ

  • ශ්‍රී ලංකාව තුළ මිනිරන් සහ අනෙකුත් ඛණිජ සම්පත් බහුලව ඇතත්, එම ඛණිජ සම්පත් එකතු කළ අගයකින් යුත් නිෂ්පාදන ලෙස අපනයනය කිරීමේදී අඩු කාර්ය සාධනයක් පවතී - තරුණ නියෝජිතයන් කාරක සභාවට පවසයි
  • GSP ප්ලස් සහ යුරෝපය සහ උතුරු ඇමරිකානු කලාප අතර වෙළඳ සබඳතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානයට,
  • ‘තනි කවුළු මෙහෙයුම් පද්ධතිය’ විධිමත් කිරීමට කඩිනමින් කටයුතු කරන්න - පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතාගෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයට උපදෙස්,
  • නිෂ්පාදන පිරිවැය සහ විවිධ නිෂ්පාදන අපනයනය කිරීමට අදාළ තාක්ෂණික ගැටලු විසඳීම සඳහා යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි.

 

ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය සමඟ වෙළඳ ශේෂය අතිරික්තයක් පවතින බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී කරුණු අනාවරණය විය

“GSP ප්ලස්, යුරෝපය සහ උතුරු ඇමරිකානු කලාප අතර වෙළඳ සබඳතා පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් විසින් මෙම කරුණු කාරක සභාව වෙත අනාවරණය කරන ලදී.

ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් විසින් GSP ප්ලස්, යුරෝපය සහ උතුරු ඇමරිකානු කලාප අතර වෙළඳ සබඳතා වල වත්මන් තත්ත්වය ගැන කරුණු ඉදිරිපත් කළ අතර මේ පිළිබඳව කමිටුව තුල  දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

මේ පිළිබඳව සාකච්ජා වුයේ ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් 2023.09.19 දින ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය. එහිදී තරුණ නියෝජිතයින්ට හට සිය ගැටලු සහ යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුව අවස්ථා ව ලබා දෙන ලදී

ඒ අනුව ශ්‍රී ලංකාව මිනිරන් සහ අනෙකුත් ඛනිජ සම්පත් වලින් ආශිර්වාද ලත් රටක් වුවද, එම ඛණිජ සම්පත් එකතු කළ අගයකින් යුත් නිෂ්පාදන ලෙස අපනයනය කිරීමේදී අඩු කාර්ය සාධනයක් සහිත මට්ටමක පවතින බව කාරක සභාවට සහභාගි වූ තරුණ නියෝජිතන් ප්‍රකාශ කළහ.  

මෙහිදී තරුණ නියෝජිතයින් පෙන්වා දුන්නේ බෝගල මිනිරන් පතල, කහටගහ පතල, රාගෙදර පතල සහ තවත් පතල් ශ්‍රී ලංකාව තුළ තිබුනද, එහිදී අගය එකතු කළ නිෂ්පාදන නිපදවීමක් සිදු නොවන බවත්, සෘජු පතල් කැණීම් සහ අපනයනය මත පදනම් වූ වෙළඳපොළක් පමණක් පවතින බවයි.

ඊට පිළිතුරු දුන් කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා නැනෝතාක්‍ෂණ ආයතනය (SLINTEC) සමඟ සමීපව කටයුතු කරන බවත්, දකුණු කොරියානු සහ ජපාන තාක්ෂණ සමාගම් ඔවුන්ගේ කර්මාන්තශාලා මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා කර ඇති බවත්ය.  අපේක්ෂිත සංවර්ධනයක් නොපෙන්වුවද, වෙළඳපොළක් ඇති කිරීම සඳහා කර්මාන්ත සම්බන්ධ කර ගනිමින් ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සඳහා අදාළ බලධාරීන් කටයුතු කරමින් සිටින බව කාරක සභා සභාපතිවරයා තව දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

ආනයන හා අපනයන ගනුදෙනු පහසු කිරීම සඳහා හඳුන්වාදුන් 'තනි කවුළු මෙහෙයුම් පද්ධතියේ පවත්නා තත්ත්වය වඩා විධිමත් කළ යුතු බව කමිටුවේ අදහස විය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ආයෝජකයෙකු අනුමත කිරීමට පෙර, ඊට අදාළ අනුමැතින් විශාල ප්‍රමාණයක් ලබා ගත යුතු බව කමිටුව පෙන්වා දුන් අතර කලාපකරණය අනුව අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලිය සලකා බැලිය යුතු බව පෙන්වා දෙන ලදී.
එමෙන්ම ‘තනි කවුළු ක්‍රමය’බලාපොරොත්තු වූ ලෙස සාර්ථක නොවීමට හේතුව නිලධාරීන්ගේ හෝ රජයේ අකාර්යක්ෂමතාව නොව, නෛතික රාමුව තුළ යම් පවත්නා හිඩැස් බව කමිටුව විසින්  වැඩිදුරටත් පෙන්වා දෙන ලදී. ඒ අනුව ඇතැම් නීති නැවත සමාලෝචනය කර සංශෝධනය කළ යුතු බව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අදහස විය.

නිෂ්පාදන පිරිවැය සහ විවිධ නිෂ්පාදන අපනයනය කිරීමට අදාළ තාක්ෂණික ගැටලු විසඳීම සඳහා යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව කමිටුව වැඩිදුරටත් අවධාරණය කරන ලදී.  මෙහිදී අදහස් දක්වමින්  කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේ දේශීය වෙළෙඳපොළ තුළ පවා ඇතැම් නිෂ්පාදන සඳහා ඉල්ලුමක් පවතින නමුත් සැපයුම් දාමයේ අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම විශාල ගැටළුවක් බවයි.  අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම හේතුවෙන් මිල වැඩි වන අතර මේ හේතුවෙන් ගැනුම්කරුවන් අහිමි වන බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී නිලධාරීන්ට, කමිටුව විසින් පෙන්වා දුන්නේ නිෂ්පාදන පිරිවැය අධික වීම ගැටලුකාරී තත්වයක් බවත්, මෙම ගැටලුව විසඳීම සඳහා යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳව නිලධාරීන් සොයා බැලිය යුතු බවයි.

විදේශයන්හි ස්ථාපිත ශ්‍රී ලංකා තානාපති හා මහ කොමසාරිස් කාර්යාල වල පවතින සේවක හිඟය සඳහා ස්ථිර පිළියම් යොදන තෙක් ස්වේච්ඡා පදනමින් සිය සේවය ලබා දීමට කැමති අයවළුන් බඳවා ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභවේ සභාපති විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට නිර් දේශ  කරන ලදී.

යුරෝපය සහ උතුරු ඇමරිකානු කලාප අතර වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වල සේවයේ නියුතු අදාල නිලධාරීන්ගේ පුළුල් මැදිහත් වීමක වැදගත්කම පිළිබඳව පැහැදිලි කළ කාරක සභාව ඒ සඳහා අවශ්‍ය පියවර නොපමාව ගන්නා ලෙස ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට කාරක සභාවේ සභාපති විසින් උපදෙස් ලබා දෙන ලදී.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස්, ගරු නිරෝෂන් පෙරේරා, ගරු යදාමිණි ගුණවර්ධන, ගරු මධුර විතානගේ යන සභික මන්ත්‍රීවරු මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූ අතර ගරු චන්දිම වීරක්කොඩි මහතා සභාපතිවරයාගේ අනුමැතිය පරිදි කාරක සභා රැස්වීමට සහභාගී විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූ අතර ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට අනුයුක්ත තරුණ නියෝජිතයන් කිහිප දෙනෙක් ද මෙම රැස්වීමට එහි සභාපතිවරයාගේ ආරාධනය පරිදි ඒ සදහා සහභාගී විය.

 

12

3



සම්බන්ධිත පුවත්

2026-09-17

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීමට අදාළ නියෝගයට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය  හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය  ලැබිණි.2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ 17 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 48 වැනි වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද සහ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම නියෝගය, 2026 ජූලි 16 දිනැති අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර තිබිණි.මෙම නියෝගය මඟින් හඳුනාගත් බිම් කොටස්  එකක් හෝ වැඩි ගණනක් තුළ ඛනිජතෙල් සම්පත් ගවේෂණය කිරීමට හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන තැනැත්තෙකු, ආයෝජන යෝජනාවක්, අදාළ ලංසු කැඳවීමේ නිශ්චිතව දක්වා ඇති පරිපාලන ගාස්තු ගෙවීමක් සමඟ ඉදිරිපත් කළ යුතුය.මෙම රැස්වීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-09-17

විශ්වවිද්‍යාලවල නවක වදය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති විය යුතුයි – අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරයි

විශ්වවිද්‍යාලවල සිදු වන නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති වන ආකාරයෙන් විශ්වවිද්‍යාල මඟින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව  ආචාර්ය හරිනි අමරසූරිය, ගරු  අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය  අවධාරණය කළාය.අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අනුකාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු විය.උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ, විශේෂයෙන් විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සහ නවක වදය සම්බන්ධ සිදුවීම් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.විශ්වවිද්‍යාලවල නවක වදය පාලනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙත සදාචාරාත්මක වගකීමක් පවතින බවත්, නවක වදයට ලක් වන සිසුන්ට විශ්වවිද්‍යාලවල පවතින විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කාර්යක්ෂම හා ඵලදායී විය යුතු අතර, වින්දිත සිසුන්ට කඩිනමින් සහනයක් ලබා දිය හැකි වන පරිදි එම කටයුතු සිදුකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.එමෙන්ම, විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය මඟින් අනුමත කර ඇති පත්වීම් මෙතෙක් සිදුකර නොමැති වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් විමසා සිටියාය. අනුමත කර ඇති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරිය එහිදී නිලධාරීන්ට  උපදෙස් ලබා දුන්නාය.මෙම රැස්වීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී වූහ.


2026-09-15

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහන වල සියළුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසනපටි පැළඳීම සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි පැළඳීම ලබන සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ. වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවි කර නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවි කර ගැනීමට ලබා දුන් සහන කාලය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2026 ජූනි 17 දිනැති අංක 2493/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.  දිනෙන් දින ඉහළ යන රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමටත්, තුවාල සිදුවීමෙන් ඇතිවන බරපතළ තත්ත්වයන් අවම කර ගැනීම සඳහාත්, අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලු ආසවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම සඳහා අංක 1717/14  දරන 2011.08.03 දිනැති මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරමින් අංක 2455/29 දරන 2025.09.25 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාශ පත්කෙරිණි.ඒ අනුව, වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවිකොට නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවිකිරීමට ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළ දින සිට මාස 03ක සහන කාලයක් ලබාදෙන ලද අතර මෙම සහන කාලය 2025.12.25 දිනෙන් අවසන් විය.  එහෙත් ආසන පටි සවිකර ගැනීම සඳහා මෙම සහන කාලය තවදුරටත් දීර්ඝ කොට දෙන ලෙසට  ලද විවිධ මහජන ඉල්ලීම් සැලකිල්ලට ගෙන එම සහන කාලය නැවත 2026.03.20 දින සිට 2026.06.19 වන දින දක්වා දීර්ඝ කිරීම සඳහා පියවර ගැණිනි. සභාපතිවරයා මෙහිදී මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේ අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි සවි කිරීම පිළිබඳව වාහන හිමියන් සහ මහජනතාව දැනුවත් කරන ලෙසයි. එමෙන්ම, ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය හෝ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියාමනය කරනු ලබන මගී ප්‍රවාහන සේවා, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාලීය ප්‍රවාහන සේවා සහ කුලී පදනම මත ධාවනය වන විශේෂ චාරිකාවල යෙදෙන වාහනවල තාක්ෂණික තත්ත්වය සම්බන්ධ අවම ප්‍රමිතිය හා පිරිවිතර පරීක්ෂාවට ලක් කොට මාර්ගයේ ධාවන යෝග්‍යතාවය තහවුරු කිරීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ඒ සඳහා ඉදිරිපත් කරන ලද  අංක 2489/22 දරණ 2026.05.19 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගද පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.ශ්‍රී ලංකාවේ මෝටර් වාහන සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ මාර්ග ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව හා වාහනවල තාක්ෂණික යෝග්‍යතාවය තහවුරු කිරීමේ අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ සිදුවන රථවාහන අනතුරු සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී රියදුරන් අතින් සිදුවන වැරදි මෙන්ම වාහනවල පවතින කාර්මික දෝෂ හා නඩත්තු ගැටලු හේතුවෙන්ද බරපතළ රිය අනතුරු බහුලව සිදුවන බව නිරීක්ෂණය කොට ඇති බව ද එහිදී සාකච්ඡා විය. මෙම කාරක සභාවට ප්‍රවාහන හා මහාමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන,  නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ඇතුලු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.


2026-09-14

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අනුකාරක සභාවේදී සාකච්ඡා කෙරේ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා (සැප්. 09) පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරිණි.සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ආරම්භක පියවර ලෙස 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල සකස් කර ඇති අතර, ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද මෙහිදී සඳහන් විය.සාමාන්‍ය පෙළ සඳහා  ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළුව විෂයයන් 7ක් ඇතුළත් කිරීමටත්, 10 සහ 11 ශ්‍රේණිවල සිට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමටත්, 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාර ධර්ම මොඩියුලර්  ඇතුළත් කිරීමටත් සැලසුම් ඇති බව ද කියවිණි.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්  මාලවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවට ද  මෙහිදී  ප්‍රකාශ  විය.පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීම සඳහා ජාතික පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර ඇති අතර, පෙර පාසල් ලියාපදිංචි කිරීම, විෂයමාලා හා ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම සහ ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද මෙහිදී අනාවරණය විය.මේ අවස්ථාව සඳහා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks