E   |     |  

2023-09-21

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ශ්‍රී ලංකා තේ මණ්ඩලය ‘කෝප්’ කාරක සභාවේ අනු කමිටුවක් හමුවට

  • තේ මණ්ඩලයේ කටයුතු පිළිබඳ කෝප් කමිටුවේ කනස්සල්ල
  • තේ කර්මාන්තය ආශ්‍රිත එකතුවකට යෝජනා
  • තේ කොමසාරිස් තනතුරේ කටයුතු කරන පුද්ගලයාම වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කිරීම පිළිබඳ කෝප් කමිටුවේ අවධානය
  • අමාත්‍ය මණ්ඩල අනුමතිය තිබියදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අලෙවිකරණ) තනතුරේ පුරප්පාඩුව පිරවීමට කටයුතු නොකිරීම පිළිබඳ කෝප් කමිටුවේ අවධානය
  • ගිවිසුමකට අනුව තේ අලෙවි මණ්ඩලය සඳහා තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස් කිරීමට සැලසුම්කර තිබුණද තවමත් එය සකස් නොකිරීම පිළිබඳ කමිටුවේ අප්‍රසාදය
  • ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අලෙවි ප්‍රවර්ධන අරමුදලේ ශේෂය ලෙස පවතින රුපියල් බිලියන 9 ඉක්මවූ මුදල වියදම් කිරීම පිළිබඳ කෝප් කමිටුව වාර්තාවක් කැඳවයි.
  • 2020 ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට පටහැනිව ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් පත් කිරීම පිළිබඳ අවධානය

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.09.19  දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ලංකා තේ මණ්ඩලය කැඳවා තිබිණි.

මෙහිදී 2020 සහ 2021 වර්ෂය සදහා විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබද පරීක්ෂා කිරීම සිදුවූ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ඩී. මෙල් යන මහත්වරුන් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට කැඳවා තිබිණි. එසේම 2018 සැප්තැම්බර් 21 දින ශ්‍රී ලංකා තේ මණ්ඩලය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී විමසා බැලීම සිදු විය.

මෙහිදී පහත සදහන් කරුණු පිළිබඳ අවධානය යොමුවිය.

 

තේ කර්මාන්ත ක්ෂේත්‍රය ආවරණය වන පරිදි කෝප් අනු කමිටුවක් පත් කෙරේ

තේ කර්මාන්ත ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි කෝප් අනු කමිටුවක් පත් කිරීමට මෙහිදී කෝප් කමිටුවේ සභාපතිවරයා නිර්දේශ කිරීම සිදු විය. මේ අනුව ඉදිරියේදී මෙම අනු කමිටුව සඳහා සභාපතිවරයෙකු පත් කිරීම සිදු කරන බව කෝප් කමිටු සභාපතිවරයා පැවසීය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා තේ මණ්ඩලය වෙත යොමු කළ ප්‍රශ්න සඳහා ලැබෙන පිළිතුරු ප්‍රමාණවත් නොවන බනත් මේ නිසා මෙම විගණකාධිපති වාර්තාවේ සඳහන් වන කරුණු පිළිබඳව අනු කමිටුව පත් කිරීමෙන් පසු දීර්ඝව විමසා බැලීම සිදු කරීමට බලාපොරොත්තු වන බවත් කමිටුව සඳහන් කළේය.

 

තේ කොමසාරිස් තනතුරේ කටයුතු කරන පුද්ගලයාම වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කිරීම පිළිබඳ කෝප් කමිටුවේ අවධානය

තේ කොමසාරිස් තනතුරේ කටයුතු කරන පුද්ගලයාම වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කිරීම පිළිබඳ කෝප් කමිටුවේ අප්‍රසාදය පළ කළේය. මේ මගින් ලැදියාවන් අතර ගැටුමක් පෙනී යන බවද කමිටු සභාපතිවරයා සඳහන් කළේය. මෙහිදී පැමිණි නිලධාරීන් සඳහන් කළේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්‍රාම යෑම නිසා වැඩබලන තනතුර සඳහා මෙම නිලධාරියා පත් කළ බවයි. එසේම මේ සම්බන්ධයෙන් වන සම්මුඛ පරීක්ෂණය සති දෙකකින් පවත්වන බවද නිලධාරීහු සඳහන් කළේය. මේ අනුව ඉකිමනින් මෙම පුරප්පාඩුව පිරවීමට කමිටුව උපදෙස් ලබා දෙන ලදි.

 

අමාත්‍ය මණ්ඩල අනුමතිය තිබියදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අලෙවිකරණ) තනතුරේ පුරප්පාඩුව පිරවීමට කටයුතු නොකිරීම පිළිබඳ කෝප් කමිටුවේ අවධානය

අමාත්‍ය මණ්ඩල අනුමතිය තිබියදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අලෙවිකරණ) තණතුරේ පුරප්පාඩුව පිරවීමට කටයුතු නොකිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය.විශේෂයෙන්ම මෙහිදී මෙම තනතුරද ඇතුළුව විධායක ශ්‍රේණියේ තනතුරු 4ක් සහ තවත් තනතුරු 81 ක පුරප්පාඩු පිරවීමට කටයුතු නොකිරීම පිළිබඳ කමිටුව ප්‍රශ්න කරන ලදි. මෙහිදී පැමිණි නිලධාරීන් සඳහන් කළේ 2018 වර්ෂයේ  ශ්‍රී ලංකා තේ මණ්ඩලය කෝප් කමිටුවට කැදවූ අවස්ථාවේදී මෙම තනතුරු අවශ්‍ය නොවන බව සඳහන් කළ බවත් මේ නිසා බඳවා ගැනීමට කටයුතු නොකළ බවත්ය. මේ අනුව කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේ 2016 අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති මෙම තනතුරේ පුරප්පාඩුව පිරවීමට කටයුතු නොකිරීම අමාත්‍ය මණ්ඩලය පවා මගහැර කටයුතු කිරීමක් බවයි. මෙසේ අමාත්‍ය මණ්ඩල තීරණය මගහැර කටයුතු කිරීමට මෙම ආයතනයට නොහැකි බව පෙන්වා දුන්නේය. කෝප් කමිටුව දැනුවත් කිරීම මෙහිදී ප්‍රමාණවත් නොවන බවත් මෙම තනතුරු අවශ්‍ය නොවේනම් අවශ්‍ය නිවැරදි ක්‍රියාමාර්ග අනුගමණය කළ යුතු බව කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය. එසේම නිලධාරීන් ලබාදෙන පිළිතුරු පිළිබඳවද මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා සිය අප්‍රසාධය පළ කළේය.

එසේම මෙම තනතුරු පිරවීමට කටයුතු නොකර තේ ප්‍රවර්ධනය සඳහා විධිමත් බවකින් තොරව විශාල වශයෙන් මුදල් වියදම් කිරීම පිළිබඳවද මෙහිදී කමිටුවේ අප්‍රසාදය පළ විය. තවද පැමිණ සිටි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ වෙළඳ දැන්වීම් සඳහා වෙළඳපොල වටිනාකම ඉක්මවමින් වෙළඳ දැන්වීම් සමාගම් සඳහා මුදල් ලබාදී ඇති බවයි. එසේම අත්තිකාරම් මුදල වෙනුවට අදාළ දැනිවීම් සකස්කිරීම සඳහා සමිපූර්ණ මුදල ලබාදීම පිළිබඳවද මෙහිදී කමිටුව ප්‍රශ්න කරන ලදි. මේ අනුව මේ පිළිබඳ සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදීමට කෝප් කමිටුව නිර්දේශ කරන ලදී.

 

ගිවිසුමකට අනුව තේ අලෙවි මණ්ඩලය සඳහා තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස් කිරීමට සැලසුම්කර තිබුණද තවමත් එය සකස් නොකිරීම පිළිබඳ කමිටුවේ අප්‍රසාදය

පෞද්ගලික සමාගමක් සමග ඇතිකරගත් ගිවිසුමකට අනුව තේ අලෙවි මණ්ඩලය සඳහා තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස් කිරීමට සැලසුම්කර තිබුණද තවමත් එය සකස් නොකිරීම පිළිබඳ කමිටුවේ අප්‍රසාදය පළ විය.  මේ සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ උපදේශන සේවා මත ප්‍රසම්පාදන කටයුතු සිදු කළ යුතු වුවත් රු. 53,964,995 කට පෞද්ගලික ආයතනයක් තෝරා ගැනීම පිළිබඳ මෙහිදී ප්‍රශ්න කරන ලදි. මේ අනුව මාස 18 ක කාලයක් ඇතුළත මෙම පද්ධතිය සකස් කළ යුතු වුවත් වසර 3 කට ආසන්න කාලයක් ගතවුවද මෙම තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස් නොකිරීම පිළිබඳ කමිටුව සිය අප්‍රසාද පළ කළේය. විශේෂයෙන්ම මෙම සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා දැනට වසර 07 ක් ගතවී ඇති වනත් කෝප් කමිටුව පෙන්වා දුන්නේය. මේ නිසා මාස තුනකින් මෙම ආයතනය නැවත කෝප් කමිටුවට කැඳවන බවත් එහිදී මේ පිළිබඳ නිවැරදි පිළිතුරක් අවශ්‍ය බවත් කමිටුව සඳහන් කරන ලදි.

 

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අලෙවි ප්‍රවර්ධන අරමුදලේ ශේෂය ලෙස පවතින රුපියල් බිලියන 9 ඉක්මවූ මුදල වියදම් කිරීම පිළිබඳ කෝප් කමිටුව වාර්තාවක් කැඳවයි.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය තේ ප්‍රවර්ධනය සඳහා මුදල් වියදම් කිරීම සෑහීමකට පත්විය නොහැකි බැවින් තේ මණ්ඩලයේ අලෙවි ප්‍රවර්ධන අරමුදලේ ශේෂය ලෙස පවතින රුපියල් 9,869,442,652 ක මුදල වියදම් කිරීමට සැලසුම් කර ඇති ආකාරය පිළිබඳ කෝප් කමිටුවට සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස නිර්දේශ කළේය.

 

2020 ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට පටහැනිව ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් පත් කිරීම පිළිබඳ අවධානය  

2020 ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට පටහැනිව ක්‍රියාකිරී අධ්‍යක්ෂවරයෙක් පත් කිරීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී පනතට අනුව මේ සඳහා බලතල ඇති බව පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේය. මේ අනුව මේ සම්බන්ධයෙන් මත දෙකක් පවතින බවත් මේ නිසා සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසත් කෝප් කමිටුව නිර්දේශ කළේය.

 

එසේම ලෝක වෙළඳපොළ තුළ සිලෝන් ටී ඉල්ලුම අවම වීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
 
රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජගත් පුෂ්පකුමාර, ගරු ජානක වක්කුඹුර, ගරු ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු රවුෆ් හකීම්, ගරු අනුර ප්‍රියදර්ශන යාපා, ගරු දයාසිරි ජයසේකර, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු එස්.එම් මරික්කාර්, ගරු සංජීව එදිරිමාන්න, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු එම්. රාමේෂ්වරන්, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු මධුර විතානගේ සහ ගරු මහාචාර්ය චරිත හේරත් යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

 

8 7

 



සම්බන්ධිත පුවත්

2026-09-17

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීමට අදාළ නියෝගයට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය  හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය  ලැබිණි.2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ 17 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 48 වැනි වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද සහ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම නියෝගය, 2026 ජූලි 16 දිනැති අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර තිබිණි.මෙම නියෝගය මඟින් හඳුනාගත් බිම් කොටස්  එකක් හෝ වැඩි ගණනක් තුළ ඛනිජතෙල් සම්පත් ගවේෂණය කිරීමට හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන තැනැත්තෙකු, ආයෝජන යෝජනාවක්, අදාළ ලංසු කැඳවීමේ නිශ්චිතව දක්වා ඇති පරිපාලන ගාස්තු ගෙවීමක් සමඟ ඉදිරිපත් කළ යුතුය.මෙම රැස්වීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-09-17

විශ්වවිද්‍යාලවල නවක වදය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති විය යුතුයි – අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරයි

විශ්වවිද්‍යාලවල සිදු වන නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති වන ආකාරයෙන් විශ්වවිද්‍යාල මඟින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව  ආචාර්ය හරිනි අමරසූරිය, ගරු  අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය  අවධාරණය කළාය.අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අනුකාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු විය.උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ, විශේෂයෙන් විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සහ නවක වදය සම්බන්ධ සිදුවීම් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.විශ්වවිද්‍යාලවල නවක වදය පාලනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙත සදාචාරාත්මක වගකීමක් පවතින බවත්, නවක වදයට ලක් වන සිසුන්ට විශ්වවිද්‍යාලවල පවතින විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කාර්යක්ෂම හා ඵලදායී විය යුතු අතර, වින්දිත සිසුන්ට කඩිනමින් සහනයක් ලබා දිය හැකි වන පරිදි එම කටයුතු සිදුකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.එමෙන්ම, විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය මඟින් අනුමත කර ඇති පත්වීම් මෙතෙක් සිදුකර නොමැති වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් විමසා සිටියාය. අනුමත කර ඇති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරිය එහිදී නිලධාරීන්ට  උපදෙස් ලබා දුන්නාය.මෙම රැස්වීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී වූහ.


2026-09-15

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහන වල සියළුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසනපටි පැළඳීම සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි පැළඳීම ලබන සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ. වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවි කර නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවි කර ගැනීමට ලබා දුන් සහන කාලය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2026 ජූනි 17 දිනැති අංක 2493/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.  දිනෙන් දින ඉහළ යන රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමටත්, තුවාල සිදුවීමෙන් ඇතිවන බරපතළ තත්ත්වයන් අවම කර ගැනීම සඳහාත්, අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලු ආසවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම සඳහා අංක 1717/14  දරන 2011.08.03 දිනැති මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරමින් අංක 2455/29 දරන 2025.09.25 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාශ පත්කෙරිණි.ඒ අනුව, වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවිකොට නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවිකිරීමට ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළ දින සිට මාස 03ක සහන කාලයක් ලබාදෙන ලද අතර මෙම සහන කාලය 2025.12.25 දිනෙන් අවසන් විය.  එහෙත් ආසන පටි සවිකර ගැනීම සඳහා මෙම සහන කාලය තවදුරටත් දීර්ඝ කොට දෙන ලෙසට  ලද විවිධ මහජන ඉල්ලීම් සැලකිල්ලට ගෙන එම සහන කාලය නැවත 2026.03.20 දින සිට 2026.06.19 වන දින දක්වා දීර්ඝ කිරීම සඳහා පියවර ගැණිනි. සභාපතිවරයා මෙහිදී මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේ අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි සවි කිරීම පිළිබඳව වාහන හිමියන් සහ මහජනතාව දැනුවත් කරන ලෙසයි. එමෙන්ම, ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය හෝ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියාමනය කරනු ලබන මගී ප්‍රවාහන සේවා, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාලීය ප්‍රවාහන සේවා සහ කුලී පදනම මත ධාවනය වන විශේෂ චාරිකාවල යෙදෙන වාහනවල තාක්ෂණික තත්ත්වය සම්බන්ධ අවම ප්‍රමිතිය හා පිරිවිතර පරීක්ෂාවට ලක් කොට මාර්ගයේ ධාවන යෝග්‍යතාවය තහවුරු කිරීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ඒ සඳහා ඉදිරිපත් කරන ලද  අංක 2489/22 දරණ 2026.05.19 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගද පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.ශ්‍රී ලංකාවේ මෝටර් වාහන සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ මාර්ග ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව හා වාහනවල තාක්ෂණික යෝග්‍යතාවය තහවුරු කිරීමේ අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ සිදුවන රථවාහන අනතුරු සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී රියදුරන් අතින් සිදුවන වැරදි මෙන්ම වාහනවල පවතින කාර්මික දෝෂ හා නඩත්තු ගැටලු හේතුවෙන්ද බරපතළ රිය අනතුරු බහුලව සිදුවන බව නිරීක්ෂණය කොට ඇති බව ද එහිදී සාකච්ඡා විය. මෙම කාරක සභාවට ප්‍රවාහන හා මහාමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන,  නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ඇතුලු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.


2026-09-14

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අනුකාරක සභාවේදී සාකච්ඡා කෙරේ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා (සැප්. 09) පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරිණි.සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ආරම්භක පියවර ලෙස 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල සකස් කර ඇති අතර, ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද මෙහිදී සඳහන් විය.සාමාන්‍ය පෙළ සඳහා  ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළුව විෂයයන් 7ක් ඇතුළත් කිරීමටත්, 10 සහ 11 ශ්‍රේණිවල සිට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමටත්, 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාර ධර්ම මොඩියුලර්  ඇතුළත් කිරීමටත් සැලසුම් ඇති බව ද කියවිණි.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්  මාලවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවට ද  මෙහිදී  ප්‍රකාශ  විය.පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීම සඳහා ජාතික පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර ඇති අතර, පෙර පාසල් ලියාපදිංචි කිරීම, විෂයමාලා හා ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම සහ ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද මෙහිදී අනාවරණය විය.මේ අවස්ථාව සඳහා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks