logo

E   |     |  

2023-09-06

පුවත් කාණ්ඩ : පුවත් 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් තවදුරටත් තහවුරු කිරීම සඳහා වැඩසටහන් මාලාවක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් තවදුරටත් පුළුල් කිරීමේ  වැඩ පිළිවෙල කඩිනම් කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ තෝරාගත් කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ සහභාගිත්වයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් 2023 අගෝස්තු 18 සිට 23 දක්වා කාලය තුළ සාර්ථකව පැවැත්විණි.

ඒ සඳහා ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණයට ලක්කිරීම සඳහා වූ පාර්ලිමේන්තු කාර්ය සාධක බලකාය, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මාධ්ය අංශය සහ මහජන සේවා අංශය, කාන්තාවන් සහ ස්ත්රී පුරුෂ සමාජභාවය පිළිබඳ තේරීම් කාරක සභාවේ සාමාජිකයින් සහභාගී වූහ.

ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණයට ලක්කිරීම පිළිබඳව පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ දීර්ඝ කාලීන ක‍්‍රියාවලියේ පළමු පියවර ලෙස මෙම සැසි මාලාව හැඳින්විය හැක.

සමස්ත පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ භෞතික, ඩිජිටල් සහ සමාජීය අවකාශයන් ආබාධ සහිත තැනැත්තන් සඳහා හිතකාමී බවට පත් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පියවර ගනිමින් සිටී. ආබාධ සහිත තැනැත්තන් හට පාර්ලිමේන්තුව වෙත ඇති ප‍්‍රවේශය පිළිබඳ පුළුල් තක්සේරුවක් මෙම වසර ආරම්භයේදී සිදු කරන ලදී. එම වාර්තාවට අනූව, භෞතික ඉදිකිරීම්, පාර්ලිමේන්තු වෙබ් අඩවිය සහ ඩිජිටල් අවකාශයන් ආබාධ සහිත තැනැත්තන් සඳහා හිතකාමී බවට පත් කිරීම මෙන්ම කාර්ය මණ්ඩලයේ සහ මන්ත‍්‍රීවරුන්ගේ ධාරිතා සංවර්ධනය ඇතුළු වැඩිදියුණු කිරීමට අවශ්‍ය ක්ෂේත‍්‍ර ගණනාවක් නිර්දේශ කර ඇත.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් විසින් ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණයට ලක්කිරීම පිළිබඳව ස්ථාවර සහ තිරසාර ලෙස කටයුතු කිරීම පිණිස පාර්ලිමේන්තු විශේෂ කාර්ය සාධක බලකායක් පත් කරන ලදී. මෙම කාර්ය සාධක බලකාය දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්ගෙන් සමන්විත වන අතර එහි සභාපතිත්වය දරනු ලබන්නේ පාර්ලිමේන්තු සහකාර මහ ලේකම්වරයා විසිනි. තවද, පාර්ලිමේන්තු සහ පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයීය සන්දර්භය තුළ ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණයට ලක් කර ගැනීම හා ඒ සම්බන්ධ විවිධ දෘෂ්ටිකෝණයන් වෙත අවධානය යොමු කරන ලද මොඩියුල ඇතුලත් පුහුණු අත්පොතක් සකස් කරනු ලැබිණි. මෙම අත්පොත පරිවර්තනයට ලක් කෙරෙන අතර අනාගතයේදී ධාරිතා සංවර්ධනය කිරීම සඳහා භාවිතා කරනු ඇත.

පාරිසරික, ආකල්පමය සහ ආයතනිකමය වශයෙන් ඇති බාධක වලට මුහුණ දෙන ආබාධ සහිත තැනැත්තන් ආබාධිතභාවය පමණක් නොව, සමාජයේ සමාන පුරවැසියෙක් ලෙස පෙනී සිටීමටද බාධා පැමිණෙන බව මෙහිදී පෙන්වා දෙන ලදී.

එබැවින් එවැනි බාධා ඉවත් කළොත් ආබාධ සහිත පසුබිමක් ඇති නොවන බැවින් සමාජය සහ ආයතන වශයෙන් අප උත්සාහ කළ යුත්තේ බාධා සහිත තැනැත්තන් හට ඉහත කී බාධා වලින් තොර වෙනත්  පුද්ගලයකුට මෙන් සමාජයේ සහභාගී වීමට හැකි වන පරිදි මෙම බාධක ඉවත් කිරීම බව මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම සැසිවාර වලදී, සහභාගිවන්නන් ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම්වල නියැළෙමින්, ආබාධ සහිත පුද්ගලයන්ගේ යථාර්ථයන් වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට අවස්ථාව ලැබිණි. දේශීය පුහුණුකරුවන් පිරිසක් නිරීක්ෂකයින් ලෙස පුහුණු සැසියට එක් වූ අතර, මෙම විෂය පිළිබඳ වසර ගණනාවක පළපුරුද්දක් ඇති ජාත්‍යන්තර උපදේශකයෙකු විසින් සංවේදීකරණ සැසි මෙහෙයවන ලදී. පාර්ලිමේන්තුවේ මෙම ප‍්‍රයත්නයන්ට අන්තර් ජාතික කටයුතු සඳහා වන ජාතික ප‍්‍රජාතන්ත‍්‍රික ආයතනයේ (NDI) සහය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) මූල්‍යමය අනුග‍්‍රහය සපයයි.

 

1 2

3



සම්බන්ධිත පුවත්

2026-08-21

වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අනුමතයි

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.


2026-08-21

ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කෙරේ

•    ශෝකය පළ කිරීම සඳහා සභා ගර්භයේ විනාඩියක නිශ්ශබ්දතාවක්දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (අගෝ. 21) ශෝකය පළ කෙරිණි. ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවක‍ට අනුව සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි. ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි. නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය. ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය. අද නන්දා මාලිනියගේ  වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය. එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද  සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.මෙම අවස්ථාවේදී ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම අදහස් පළ කරමින් සඳහන් කළේ නන්දා මාලිනී මහත්මිය තමා පෞද්ගලිකවම හඳුනන බවත් ඇය කිසිවකට නොනැමුණු හැමවිටම ජනතාව වෙනුවෙන් හිටගත් කලාකාරිණියක් ලෙස මානව දයාව, කරුණාව, අනුකම්පාව ඉතාමත්ම ඉහළින්ම තිබුණු අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ගායනවේදිනියක් බවයි. මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අභාවයට පත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් සභාගර්භය තුළ පළ කළ අදහස් සමග තමාද එක්වන බවත් එතුමියට නිවන්සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කළේය.


2026-08-20

වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පාර්ලිමේන්තුවට

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දක්වා අනුමතිය සඳහා විවාදයට ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් අද (අගෝ. 20) රැස් වූ  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබේ.   අනතුරුව රජය විසින් ගෙනෙනු ලබන සභාව  කල් තැබීමේ යෝජනාව පෙ.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතව තිබේ.


2026-08-20

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතයි

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (අගෝ. 20) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පනත් කෙටුම්පතට අදාළ දෙවෙනි වර කියවීමේ විවාදය පැවැත්විණි. අනතුරුව පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks