පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-07-24
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ඉන්දියානු ණය ආධාරය නොමැති කාලසීමාවේදීත් මෙරටට ආනයනය කරන ඖෂධ වලින් 80% ආනයනය කරන්නේ ඉන්දියාවෙන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මේ බව සඳහන් කළේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජූලි 19) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සංජීව එදිරිමාන්න මහතා මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී නිලධාරීන් මේ සම්බන්ධයෙන් පැවසූ අතර මෑත කාලීනව ඉන්දියානු ණය අධාර යටතේ ගෙන්වූ බෙහෙත් භාවිතා කරන බවද ඔවුහු පෙන්වා දුන්හ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම නිලධාරීන් පෙන්වා දුන්නේ ඖෂධ ගෙන්වීමට අවශ්‍ය අංශ කටයුතු නොකළේ නම් මිනිසුන් මිය යන්නේ ඖෂධ නොමැති කමින් බවයි.
එසේම මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය ගරු කෙහෙලිය රඔුක්වැල්ල මහතා පෙන්වා දුන්නේ පේරාදෙණිය රෝහලේ සිදු වීම සිදු වන අවස්ථාවේදී එම වාට්ටුවේම සිටි රෝගීන් 12 දෙනෙකුට මෙම ඖෂධය ලබාදී තිබූ බවයි. තවද මෙම වසර තුළ 167,000 ක් මෙම ඖෂධය භාවිත කොට ඇති බවයි. එසේම 230000ක් රෝහල් සඳහා මෙම ඖෂධය ලබා දී ඇති බවයි. මෙම ඖෂධය 2013 ඔක්තෝම්බර් 21 ලියාපදිංචි කොට ඇති ඖෂධයක් බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එසේම බාල ඖෂධ යනු කුමක්දැයි අර්ථකථනයක් නැති බැවින් බාල ඖෂධ යන්න තමන් ප්‍රතික්ෂේප කරන බවද අමාත්‍ය කෙහෙලිය රඔුක්වැල්ල මහතා මෙහිදී සඳහන් කළේය.
මෙහිදී මහාචාර්ය සේනක බිබිලේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය වර්ථමානයේ ක්‍රියාත්මක වන්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු තිස්ස විතාරණ මහතා විමසා සිටි අතර එම ප්‍රතිපත්තිය තවමත් අනුගමනය කරන බවද අමාත්‍ය රඔුක්වැල්ල මහතා මෙහිදී පැවසීය. මෙහිදී මෙම ප්‍රතිපත්තිය මගින් සම්පූර්ණ වසරකට අවශ්‍ය ඖෂධයන් ඹෟෂධ නාමය සහිතව එක් වර ටෙන්ඩර් කොට ලබාගැනීම පිළිබඳ අදහස් කොට ඇති බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා පෙන්වා දුන්නේය.
මීට අමතරව ද්ස්ත්‍රික්ක මට්ටමෙන් රෝහල් ආශ්‍රීතව පවතින ගැටලු, නිලධාරීන් සම්බන්ධ පුරප්පාඩු, ඖෂධ සහ උපකරණ හිගය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
මෙම කාරක සභාව සඳහා විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු සිසිර ජයකොඩි, ගරු ඩයනා ගමගේ, ගරු සිරිපාල ගම්ලත් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු සමන්ප්‍රිය හේරත්, ගරු තිස්ස කුට්ටිආරච්චි, ගරු සහන් ප්‍රදීප් විතාන, ගරු (වෛද්‍ය) ගයාශාන් නවනන්ද, ගරු එම්. එච්. ඒ හලීම් සහ ගරු සම්පත් අතුකෝරල ඇතුළු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
2026-07-10
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩී.පී. වික්‍රමසිංහ මහතා පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජූලි 08) රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී ඇත.ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම කාරක සභාවට, ගරු අමාත්‍යවරුන් වන බිමල් රත්නායක සහ ආචාර්ය උපාලි පන්නිලගේ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නිහාල් අබේසිංහ, රිසාඩ් බදියුදීන්, කේ. කාදර් මස්තාන්, කුමාර ජයකොඩි, කදිරවේලු ෂන්මුගම් කුගදාසන් සහ නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
2026-07-08
රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතයක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමයන් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව ඒවා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් අනුමැතිය ලබා දෙන ලදී. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජූලි 06) පාර්ලිමේන්තුවේදී රැස්වූ මෙම කාරක සභාවේදී ඉහත තීරණය ගනු ලැබීය. ඒ අනුව, (235 අධිකාරිය වූ) රේගු ආඥා පනත යටතේ අංක 2478/03 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති යෝජනා සම්මතය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2478/04 හා 2479/38 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියමයන් කාරක සභාව විසින් සලකා බලන ලදී. මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරීහු සහභාගිවී සිටියහ.ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන 2026 අයවැය යෝජනාව පරිදි මෙරටට ආනයනය කරන භාණ්ඩ මත ක්‍රියාත්මකව පැවතී පැවතී 0%, 15% සහ 20% වන රේගු ආනයන බදු අනුපාතයන් 0%, 10%, 20% සහ 30% ලෙස කාණ්ඩ හතරක් වන පරිදි 2026 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීම මේ අනුව සිදුවේ. මෙම සංශෝධන හුදෙක් බදු අනුපාත වෙනස් කිරීමක් නොව, ඉදිරි දශකය සඳහා රටේ වෙළෙඳ හා ආයෝජන පරිසරය හැඩගස්වන ජාතික තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ආරම්භය බව කාරක සභාවේදී අවධාරණය කෙරිණි. විද්‍යාත්මක හා පුරෝකථනය කළ හැකි තීරුබදු ව්‍යුහයක් ස්ථාපිත කිරීම මඟින් ශ්‍රී ලංකාව ගෝලීය සැපයුම් දාමයන් සමඟ වඩාත් කාර්යක්ෂමව සම්බන්ධ කිරීම මෙම ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ බව නිලධාරීහු පැහැදිලි කළහ.මෙම ප්‍රතිපත්තිය යටතේ, එක්සත් ජාතීන්ගේ පුළුල් ආර්ථික වර්ගීකරණය (BEC Revision 5) පදනම් කරගත් නව සිව්-වැදෑරුම් තීරුබදු ව්‍යුහයක් හඳුන්වා දීමට යෝජනා කර ඇති අතර, එමඟින් HS කේත රැසක් ප්‍රතිසංවිධානය කිරීමට නියමිතය. ප්‍රාග්ධන භාණ්ඩ, අතරමැදි භාණ්ඩ, සංවේදී අතරමැදි භාණ්ඩ සහ පාරිභෝජන භාණ්ඩ යන ප්‍රධාන කාණ්ඩ හතර යටතේ නව බදු ව්‍යුහය ක්‍රියාත්මක කෙරෙන අතර, දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම සහ රාජ්‍ය ආදායම් ස්ථාවරව පවත්වා ගැනීම පිළිබඳව ද අවධානය යොමු කර ඇත.ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහනයක් ලබාදීමේ අරමුණින් ටයිල් සඳහා දැනට පවතින 85-90% ඉහළ ඵලදායී බදු අනුපාතය 2029 වන විට පියවරෙන් පියවර 20% දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති බව ද අනාවරණය විය. එමඟින් ඉදිකිරීම් පිරිවැය අඩුවී නිවාස හා යටිතල පහසුකම් ආයෝජන සඳහා ධනාත්මක බලපෑමක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.දේශීය කර්මාන්තවල ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් විවිධ ක්ෂේත්‍ර සඳහා නව ජාතික උප-බෙදුම් හඳුන්වාදීමට ද යෝජනා කර තිබේ.තවද, 2029 වන විට CESS සහ PAL වැනි පැරා තීරුබදු ක්‍රමානුකූලව ඉවත් කර සරල තීරු බදු ක්‍රමයක් කරා ගමන් කිරීම රජයේ ඉලක්කය බවද නිලධාරීහු පෙන්වා දුන්හ. බදු ලිහිල් කිරීමත් සමඟ ඇතිවිය හැකි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ගත හැකි පියවරයන් පිළිබඳව ද කාරක සභාව උපදෙස් ලබා දුන්නේය.මෙම බදු ප්‍රතිසංස්කරණ මඟින් ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 18 සිට බිලියන 36 දක්වා දෙගුණ කිරීමේ අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉලක්කය සපුරා ගැනීමට සහාය වනු ඇති බවද සඳහන් විය. විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික උපකරණ, රබර් නිෂ්පාදන, ඖෂධ හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල ගෝලීය සැපයුම් දාමයන් සමඟ ඒකාබද්ධ වීම සඳහා මෙම ප්‍රතිපත්තිය වැදගත් පදනමක් වනු ඇතැයි ද ප්‍රකාශ විණි.එමෙන්ම, වෙළෙඳ දත්ත යාවත්කාලීන කිරීමේ ප්‍රමාදය පිළිබඳවද කාරක සභාව දැඩි අවධානය යොමු කළේය. වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සතු වෙළෙඳ දත්ත 2021 වසරෙන් පසු යාවත්කාලීන වී නොමැති බව සභාපතිවරයාගේ අවධානයට ලක් වූ අතර, දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවශ්‍ය සියලු වෙළෙඳ දත්ත සහ අදාළ තොරතුරු සතියක් ඇතුළත යාවත්කාලීන කරන ලෙස අදාළ නිලධාරීන්ට කාරක සභාව උපදෙස් ලබා දුන්නේය.මෙම ගැසට් නිවේදන අද (08) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමැතිය ලබා ගැනීමට ගැනීමට නියමිතය.ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවි කරුණානායක, හර්ෂණ රාජකරුණා සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-07-08
වඩාත් යහපත් පොදු ප්‍රවාහනයක් උදෙසා පොකුරු බස් සමාගම් ක්‍රමය ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගියදා හිමි වූ බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී ඊයේ (ජූලි 07) පැවති ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා ලෙස අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව 177, 170 සහ 190 යන මාර්ග අංකයන්හි ධාවනය වන බස් රථවලට අදාළව, නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, සුඛෝපභෝගී සේවා හා අධි සුඛෝපභෝගී සේවා ලෙස පෙර පැවති කාණ්ඩ හතරෙන් අර්ධ සුඛෝපභෝගී සේවා හා අධි සුඛෝපභෝගී සේවා කාණ්ඩ දෙක ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. අර්ධ සුඛෝපභෝගී සේවා සම්බන්ධයෙන් අධිකරණමය කටයුත්තක් පවතින බවත් ඊට අදාළ කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය. දුර ගමන් සේවා සහ කෙටි දුර ගමන් සේවා සඳහා බස් ගාස්තු තීරණය කිරීමට එකම සූත්‍රයක් භාවිතා කිරීම සාධාරණ නොවන බැවින් දුර ගමන් සේවා සඳහා දැරීමට සිදුවන වැඩි පිරිවැය සැලකිල්ලට ගෙන දුර ගමන් බස් ගාස්තු තීරණය කිරීම සඳහා වෙනම ක්‍රමවේදයක් හදුන්වා දෙන බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. බස් කර්මාන්තය රැක ගැනීමටත් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමටත් කටයුතු කරන බව ද ඒ මහතා අවධාරණය කළේය. ඉන්ධන මිල අඩුවීමේදී බස් ගාස්තු අඩු කිරීමට ඇති හැකියාව පිළිබඳව කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ගෙන් කරුණු විමසා සිටියේය. තෙල් මිල අඩුවන ප්‍රමාණයට සාපේක්ෂව අනෙකුත් පිරිවැය තවදුරටත් ඉහළ මට්ටමක පැවතීම ගැටලුවක් බව නිලධාරීහු එහිදී පෙන්වා දුන්හ. මාර්ග අනතුරු අවම කිරීම, පාපැදි සහ යතුරු පැදි සඳහා වෙනම මං තීරුවක් සකස් කිරීම, මාර්ග සංවර්ධන කටයුතු, මගී ජනතාවට ඉතිරි මුදල් නොලැබීම සම්බන්ධ පැමිණිලි ඇතුළු කරුණු රැසක් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර අදාළ පියවර ගැනීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දීම ද සිදුවිය. එසේම ප්‍රවාහන හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රවලට අදාළව ගරු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට මැදිහත් වන ලෙස ද කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.තවද, (203 අධිකාරිය වූ ) මෝටර් වාහන පනත යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 මාර්තු 19 දිනැති අංක 2480/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සලකා බැලීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ද මෙහිදී කාරක සභාවේ එකඟත්වය පළවිය. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවිකර නොමැති ආසන සඳහා ආසන පටි සවිකිරීමට ලබා දුන් සහන කාලය ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වූ බැවින් එම සහන කාලය 2026.03.20 වැනි දිනයෙන් ආරම්භ වී 2026.06.19 වැනි දිනයෙන් අවසාන වන දින දක්වා දීර්ඝ කිරීම සඳහා මෙම නියෝග ප්‍රකාශයට පත්කර ඇත.නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී විය.
2026-07-07
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සහ සංචාරක ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ලබන වසරේ අයවැයෙන් වෙන් කිරීමට යෝජිත ප්‍රතිපාදන පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.ඒ, එම උපදේශක කාරක සභාව එහි සභාපති, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී, ශ්‍රී ලංකාව විදේශ රටවල් සමඟ එළඹ ඇති වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. විදේශ වෙළෙඳ ගිවිසුම් සමාලෝචනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවත්, එම කමිටුවේ වාර්තාව ලැබීමෙන් අනතුරුව අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන බවත් කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.එමෙන්ම, සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කළ හැකි නව ව්‍යාපෘති හා වැඩසටහන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් යෝජනා රැසක් කාරක සභාවේ අවධානයට යොමු කරන ලදී.මෙම රැස්වීමට විදේශ කටයුතු හා විදේශ රැකියා ගරු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර , සංචාරක ගරු නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ යන මහත්වරු සහ කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

